20150618

ඔබේ දැක්මෙ ක්ෂේත්‍ර ගැඹුර කොපමණද?


ක්ෂේත්‍ර ගැඹුර
ඔබ කඩදාසියක් තෝරන වෙලාවට..
රෙදි වර්ගවලින් එකක් තෝරන විට..
ඔබේ සම්පූර්ණ සිහිය
ඇඟිලිතුඩු වලට යොමු කරනවා.
ඔබ අවශ්‍ය දේ කරගන්නවා.

ඒ වෙලාවට
ඔබට අවට ගැන සිහිය නැහැ..

මුළු ජීවිතේ පුරාම
දිළින්දෙක් ජීවත් වෙන්නෙ ඒ විදියටයි.
ඔහු කෑවොත් ඔහුට අඳින්න නෑ.
ඉඳ හිටලා ඇඳුමක් ගත්තොත්
දින කිහිපයක් කුසගින්නෙ ඉන්න වෙනවා.

ඔබටත් සිහිය බොහොම හිගයි...

ඒ තියන සීමිත සිහිය
එක දේකට යොමු කළොත්
ඔබට තව බොහෝ දේ මග හැරෙනවා.

ඔබ ළදරුව්ක් කාලෙ
ඔබේ සිහිය විශාල ක්ෂේත්‍රයක
පැතිර තිබුණා.

ඔබට ලැබෙන තොරතුරු වලින්
ඔබ කැමති සහ අකැමති දෙ හැර
අන් සියල්ල නොසලකා හරින්න පුරුදු වෙද්දි
ඔබේ ක්ෂේත්‍ර ගැඹුර අඩුවුණා.

ඔබ ඉගෙනුම මගහැරලා
සහතිකය ලබාගත්තා.
ඒ සහතිකයෙන් ඔබේ දැනුම ගැන
විවරණය කරන්න බැහැ.
ඔබේ අධ්‍යාපන සහතිකයෙ තියෙන්නෙ
විභාගය දවසෙ විභාගෙට ලියද්දි
ඔබ දැන සිටිදේ පිළිබඳව
සහතිකයක් පමණයි.
ඔබ දැනුත් ඒ දේවල් දන්නවා කියා
ඉන් අදහස් වෙන්නෙ නෑ.

ඔබේ සැබෑ අගය තීරණය වෙන්නෙ
ඔබ සතුව තියන සිහිය, උපෙක්ෂාව
සහ ප්‍රඥාව අනුවයි.
මේ අංග තුන එකිනෙක මත යැපෙනවා.
අනික් අංග දෙකම රඳාපවතින්නෙ
ඔබේ සිහිය මතයි..
මේ විදියට වයසට ගියොත්
ඔබ වයස්ගතවෙන විට
මේ සිහියත් ඔබට අහිමි වෙනවා.

ඔබට අවශ්‍ය දේටත් සිහිය නැති
ඇවිදින මළකඳක් හෝ
ඇඳේ වැතිර සිටින මළකඳක් ලෙස
ජීවිතයේ අවසාන සමය ගෙවීමට
ඔබට සිදුවෙන්න පුලුවන්.
ඒ අවදානම ඔබට තියනවා.

සිහිය පිහිටුවා ගන්න කියලා
බුදුන් වහන්සේ අපට කියනවා.
බුදු දහමෙන් කරන ප්‍රධානම දේ
සිහිය පිහිටුවීමයි.

බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක්
වැරදි නොකර, හරි දේ කරමින් ජීවත් වෙන්නෙ
ඔහුගෙ සිහිය
තියුණු වෙන ප්‍රමාණයට නොවෙයි..
සිහිය පුළුල් වෙන ප්‍රමාණයටයි.

ඔබ එක දෙයක් ගැන තීරණය කරද්දි
ඔබට ඒ දේට අදාළ සියලුම දේ ගැන
සිහිය තියනවා නම්
ඔබේ තීරණය නිවැරදියි.

ඔබ මේ සටහනෙන් උකහාගන්න දේත්
ඔබේ සිහියෙ ප්‍රබලතාවය මත
රඳා පවතිනවා.

මිනිසෙකු ලෙස ඔබ වගාකරගත යුතු
ප්‍රධානම ගුණාංග තුනෙන් මූලිකම අංගය
සිහිය පිහිටුවා ගැනීමයි..

අනික් අංග දෙකට පළමුව සිහිය අවශ්‍යයි.

එක දෙයක් අරමුණු කරද්දි
ඊට අදාළ අනික් සියලුදේත්...
ඔබ ගැනත් සිහිය පිහිටුවා ගැනීම
මිනිසෙකු ලෙස ඔබට ඇති
ප්‍රබලම අභියෝගයයි..

2 comments:

  1. ඒ කියන්නෙ සම්මා සතිය
    නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔව්... Mahesh..
      සම්මා සතිය..
      ඒත් ලේබල් කරලා අයින් කරනවට වඩා
      ප්‍රායෝගිකව තමන් ළඟ තියනවද කියා
      විමසා බැලීමයි මේ සටහනෙහි අරමුණ.

      සම්මා සතිය දැන ගැනීමෙන් වැඩෙන්නෙ නෑ.
      ප්‍රායෝගිකව පුහුණු විය යුතුයි.
      ඔබට ඔබ පිළිබඳව
      සිහිය කොතර්ම්ද.

      මේ මොහොතෙ
      ඔබේ ඇස් ඉදිරිපට
      ඔබට නොපෙනෙන දේ කොතරම්ද?
      ඔබේ කණට ඇසෙන නමුත්
      ඔබට නෑසෙන ශබ්ද
      ඔබ අවට කොතරම් තියනවද?
      ඔබ ඉන්න ඉරියව්ව ඔබ දන්නවද?

      ඔබ සිත කියන ආයතනයට වෙලා
      අතීතයෙ අනාගතයෙ සැරි සරන අතරෙ
      ඔබ නොදන්නා දේ කොතෙක්
      ඔබතුළට ඇවිත් නැතිවෙලා යනවද?

      ඔබේ සිහිය ඉතාම පටුයි..
      ඔබ තීරණ ගන්නෙ ඒ පටු දැක්මෙන්..

      අපි සිහිය දියුණු කළ යුතුයි.
      පළමු පියවර, ආනාපාන සතිය.
      දෙවැන්න සමස්ත ඉරියව්ව වෙනස් වෙන ආකාරය ගැන
      සිහියෙන් සිටීම.
      මේ දෙක විතරක් වුණත්
      ඔබ තුළ ලොකු වෙනසක් කරාවි..
      ඔබේ හිතේ සන්සුන් බව දියුණු වෙයි..


      Delete