20150620

කාමාශාව කුසගින්නකි. කාමයෙහි හැසිරීම ආහාරයකි.




ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
ස්වාභාවික කාමයෙහි හැසිරීමත් අතර
වෙනසක් නැත.
වෙනසක් ඇත.

මේ සතර ආකාරයෙන්ම හැසිරෙන අය
ස්වාභාවිකද?

මානසිකව මේ සියළු දෙනාම
එකම අරමුණකින් ක්‍රියා කරති.

වෙනස් වන්නේ
අරමුණ උපාදාන වීමේ ප්‍රබලතාවය සහ
කායික - වාචික හැසිරීමෙනි.
-------------------------------------------------------------

ස්වභාවික සත්වයාට
කාමාශාව කුසගින්නකි.
කාමයෙහි හැසිරීම ආහාරයකි.
ඔවුන් වෙනස් වන්නේ
ඔවුන්ගේ කුසගින්නෙහි ප්‍රබලතාවය සහ
ආහාර සොයාගැනීමේ ක්‍රමවේද අනුවයි.

ආහාරයක් සොයන්නට
සතෙක් පෙළඹෙන හේතු දෙකකි.

එකක් අභ්‍යන්තරික අවශ්‍යතාවය වන කුසගින්නයි.

අනෙක් හේතුව
බාහිර ලෝකයෙහි දකින
කිසියම් ආහාරයකින් සිදුවෙන
මානසික උත්තේජනයයි.

මිනිසාගේ ආහාර ගැනීම
කායික අවශ්‍යතාවයට වඩා
මානසික උත්තේජනය මත සිදුවේ.

ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
කායික අවශ්‍යතාවයට වඩා
මානසික උත්තේජනය මත සිදුවේ.

ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්වාභාවික කාමයෙහි හැසිරීමත්
කුසගින්න මෙන් කායික පෙළඹවීමක් මත
සිදුවීම විරල විය හැක.

වනයෙහි වෙසෙන සතුන් අතරත්,
සමාහිත සිත් ඇති
තෘප්තිමත් ජීවිත ගත කරන
සරල මිනිසුන් තුළත් පහලවෙන කාමයට
රටාවක් තිබිය හැක.

එහෙත්...
බහුතරයක් මිනිසුන් කාමයට පෙළඹෙන්නේ
බාහිර අරමුණක් මනසෙහි ස්පර්ශ වීමෙනි.
එතැන් පටන්
කාමය පෝෂණය වෙමින් සිත උණුසුම් වෙයි.

කාමයෙන් උණුසුම් වන සිත
කාමාතුර සිතක් බවට පරිවර්තනය වන විට
ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ
කාමයෙහි හැසිරීමේදී
කායික ස්පර්ශයෙන් විඳින්නට ලැබෙන
ප්‍රිය ජනක සංවේදනා මාලාවට හේතුවෙන
ජෛව රසායනික ක්‍රියාවලිය
කෙසේ හෝ තමා තුළ ජනිත කරගෙන
තමන්ගෙ සිතෙහි දැවෙන කාමගින්න
නිවාගැනීම හෝ සමනය කර ගැනීමයි.

මේ අරමුණ ඉටුකරගැනීමේදී
සමාජීය වශයෙන් පවතින සංවරභාවයත්
මානසික වශයෙන් පවතින සමාහිත බවත්
තම ක්‍රියාව බලපාන සියලු අංශ පිළිබඳව
ඔහුට ඇති පුළුල් සිහියත් අනුව
ඔවුහු දෙයාකාරයකින් හැසිරෙත්.

සමාජීය වශයෙන් සංවර
මානසිකව සමාහිත
තම ක්‍රියාව බලපාන සියලු අංශ පිළිබඳව
පුළුල් සිහිය සහිතව ක්‍රියා කරන තැනැත්තෙක්
තමාට හානිකර නොවෙන,
අනෙක් සාමාජිකයාට හානිකර නොවෙන,
සමාජයට හානිකර නොවන,
සරල පහසු මාර්ගයකින්
තම කාමයට ඇති ආශාව තෘප්තිමත් කරගනියි.
විවාහ වී සාර්ථක ජීවිත ගත කරන්නේ මේ පිරිසයි.

අනෙක් පිරිස
තමන්ගේ අතට අසුවෙන ඕනෑම ක්‍රමයකින්
තම ගින්න නිවාගැනීමට සූදානම්ය.
ඔවුන්ගේ කාම ගින්නෙහි ප්‍රබලතාවයත්,
කාම ගින්න නිසා ඔවුන් විඳින දුකත්,
කාම ගින්නට ඔවුන්ගේ ඇති වහල්භාවයත්
ඔවුන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නට
පොළඹවති.

මේ මානසික පෙළඹීම
පුද්ගලයාගෙ චරිතය අනුව සහ
ඔහු තුළ කාමය උපාදාන වීමේ
ප්‍රබලතාවය අනුව වෙනස් වෙයි.

ඇසට දකින රූපයකින් හෝ කණට ඇසෙන තොරතුරකින්
කයෙහි ජනිත වෙන ප්‍රිය ජනක සියුම් සංවේදනා
වැඩි වැඩියෙන් විඳින්නට පෙළඹෙන
ඔහු සිතෙහි ඇති කාම තෘෂ්ණාව උපාදාන වෙයි.
මේ උපාදානයට පැවැත්මක් අවශ්‍යවෙයි.
ඒ සඳහා ඔහු ගන්නා ක්‍රියා මාර්ගයන්
පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ
අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙයි.

කෙනෙක් ස්වයංවින්දනයෙහි යෙදී
සිතේ කැළඹිල්ල සමනය කරගනියි.
දැඩි සිත් ඇති පුද්ගලයෙක්
අසභ්‍ය ඡායාරූප,
නිල් චිත්‍රපට ආදිය නරඹා
කාමය දැඩිව උපාදාන කරගැනීමෙන්
තාවකාලිකව වියරුවැටී
ස්ත්‍රී දූෂණයකට, මිනීමැරුමකට පවා
පෙළඹීමට අවකාශ ඇත.

කාමයෙන් වියරු වැටුණ පුද්ගලයා
කාමය රස විඳින්නෙක් නොවේ.
දැඩි කුසගින්නෙන් පෙළෙමින් ආහාර ගිලදමන්නා
ආහාරය රස විඳින්නේ නැත.
අතට අසුවෙන ඕනෑම ආහාරයක් ගිල දමා
තෘප්තිමත් වන්නේද ඔහුය.

ස්වාභාවිකව කාමයෙහි හැසිරීම හැර
ස්වයං වින්දනයත්
සමලිංගික හැසිරීමත්
ස්ත්‍රී දූෂණයත්
සසඳා බැලීමේදී
කායික පෙළඹවීම නොසැලකිය හැකිය.
අස්වාභාවික විකෘතිභාවයකින්
කාමයෙන් තෘප්තිමත් වෙන අය
ඒ සඳහා පොළඹවනු ලබන්නේ
ඔහුගේ මානසික ක්‍රියාවලියයි.
සර්ප පැටියෙක් මෙන් ඔහු සිත තුළ
කිරි පොවමින් ඇති දැඩි කරන සර්පයා
ඔහු මුදා හරින ආකාරය
ස්වයං වින්දනය, සමලිංගික හැසිරීම
ස්ත්‍රී දූෂණය වශයෙන්
අප දකිමු.


ස්වාභාවිකව කම් සුව විඳින්නේත් 
අස්වාභාවිකව කාමය රස විඳින්නේත් 
කාම අපරාධ වලට පෙළඹෙන්නේත්
කාමය ජනිත කරවන ස්පර්ශයෙන්
කයෙහි ඇතිවෙන ප්‍රියජනක වේදනාවන්ට
සිතෙහි ඇතිවෙන තණ්හාව උපාදාන කරගැනීමෙනි.

කිසියම් කාමය උපදවන අරමුණක්
සිතෙහි ජනිතවූ විට සිත දෙස බලන්න.
ඒ අරමුණ වහා ඉවත්වන්නේ නැත.
ඔබ නැවත හැරී බලන්නට පොළඹවන්නේ
තවමත් නොමැකුණ කාම අරමුණයි.

කාම අරමුණක් ස්පර්ශවීමෙන්
ඔබේ කයෙහි ඇතිවුණ
ජෛව රසායනික වෙනස නිසා
ප්‍රියජනක සංවේදනා මාලාවක් ඇති විය.
වේදනා ප්‍රිය කිරීමෙන්
ඔබේ සිත තුළ ඇතිවෙන තණ්හාව නිසා
ඔබ දුටු රූපය මොහොතක් දෙකක් පවතියි.
ඒ කාලය තුළ
ඒ චිත්ත රූපය නැවත නැවත දකිමින්
ඔබ ඒ ජෛව රසායනික වෙනස සහ
ඒ අනුව ජනිත වෙන ප්‍රියජනක සංවේදනා
දිගින් දිගට පවත්වා ගනියි.

මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන්නේ
පළමු ස්පර්ශයෙන් ඇතිවූ වේදනාවට අනුව
කාම තණ්හාව උපාදාන කරගැනීමෙන්
ඔබ සිතෙහි මැවෙන චිත්ත රූප මාලාවයි.
ඔබ ඒ තෘප්තිමත් වන්නේත්,
ඔබේ කාමය පෝෂණය වන්නේත්
මනොසඤ්‌චෙතනා ආහාරයෙනි.

නොමැකුණ අරමුණ අනුව සිත නිර්මාණය කරන
ප්‍රිය ජනක චිත්ත රූප ඔබට දැකිය හැක.
ඒ චිත්තරූප නිසාත්
සමාන්‍යයෙන් අද ඔබට නොදැණුනත්
ඒ චිත්ත රූප වලට සමානුපාතිකව
කයෙහි ඇතිවෙන සංවේදනා මාලාව ගැන සිහියෙන්
ඒ සංවේදනා මාලාවට උපේක්ෂාවෙන් වෙසෙන්නට
ඔබ සමත් වූ දා පටන්
කාම ගින්නෙන් පීඩා විඳීමෙන්
ඔබ මිදෙන්නට පටන් ගනු ඇත.

=================================
මූලික වූ ධර්ම කරුණු

කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා,
ඵස්‌සො දුතියො, මනොසඤ්‌චෙතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං.

‘‘චත්‌තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘ඉමෙ චත්‌තාරො ආහාරා තණ්‌හානිදානා තණ්‌හාසමුදයා තණ්‌හාජාතිකා තණ්‌හාපභවා.

‘‘තණ්‌හා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘තණ්‌හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.

‘‘වෙදනා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?

‘‘වෙදනා ඵස්‌සනිදානා ඵස්‌සසමුදයා ඵස්‌සජාතිකා ඵස්‌සපභවා .

‘‘ඵස්‌සො චායං, භික්‌ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො?

ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා
තණහා පච්චයා උපාදාන,
උපාදාන පච්චයා භව...

කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ
අකුසල් සිත් ඇතිව වාසය කරයි.
======= මහා තණ්හා සංඛය සුත්‍රය. =======

3 comments:

  1. මට ග්‍රහණය කරගන්න පුලුවන් අයුරකින් ලියැවිලා තියනවා
    ස්තූතියි අතුල මහත්තයට

    ReplyDelete
  2. කියවගෙන එද්දි දිග වැඩියි වගේ නිසා අන්තිම කොටස බැලුවා.
    පාලි කොටස.. ;)
    ආසාවෙන් කියෙව්වා..
    ධර්මාචාර්යයට පටිච්චසමුප්පාදය පාලියෙන් ඉගෙන ගත්ත නිසාද මන්දා..

    සිංහල කොටස කියවන්න හිත දුන්නෙ ඊට පස්සෙ..
    සරලයි. ස්තුතියි.

    ජය වේවා..

    ReplyDelete