20150204

ආගමික චින්තනයත් නිරාගමික චින්තනයත් ප්‍රඥාව නොවෙයි.



අද උදේ පුතාටත් දෝණිටත්
ඵස්ස, වේදනා, සංඥා, සංඛාර, විඥාණ
නැවත වරක් විස්තර කළා.
ඔවුන්ට වචන පෙළ මතකයි..
පැහැදිලි කිරීම වරින්වර කළ යුතුයි..

ඔවුන්ට ලැබෙන පැහැදිලි කිරීම
මතක තබා ගන්නා දැනුමක් ලෙස
තැන්පත් වෙන්නට අවකාශ නොදිය යුතුයි.

විඤ්ඤාණය - විඥාණය

ස්පර්ශය අවස්ථාවෙදි
ආයතනබද්ධව ඇතිවෙන විඤ්ඤාණයත්
ඉන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපිට ආවේණික ප්‍රිය අප්‍රියතා අනුව
ඒ වේදනා වර්ගකිරීමෙන්
අපි සකස්කරගන්නා විඥාණයත් වෙනස් බව
අද තවදුරටත් පැහැදිලි වුණා.

අපි කීපදෙනෙක් හිටියොත්
අපි එකම ආහාරයක් ගත්තොත්
අපේ ජිව්හා විඥාණය සමාන වුණත්
අපි ඒ ආහාරයෙන් ඇතිවෙන වේදනාව
හඳුනාගනිද්දි
අපිට ආවේණික  ප්‍රිය අප්‍රියතා අනුව
ඒ වේදනාව වර්ගකිරීමෙන්
අපි සකස්කරගන්නා විඥාණය
අපි එකිනෙකාට වෙනස්.

සිහිය දියුණු පුද්ගලයා

ආයතන බද්ධ විඤ්ඤාණය
ඇතිවෙන වෙලාවෙදි
ඒ බව දන්න පුද්ගලයාගෙ සිහිය දියුණුයි..

ස්පර්ශය ඇති වෙන විට
ඔහු ස්පර්ශ වුණ බව දන්නවා.

ඉන් ඇතිවෙන වේදනාව
සුඛ දුක්ඛ අදුක්ඛමාසුඛ ලෙස දන්නවා.

උපේක්ෂාව දියුණු පුද්ගලයා

සංඥා අවස්ථාවෙදි
තමන්ගෙ ප්‍රිය අප්‍රියතා
ඇතිවෙන ආකාරය සිහියෙන් දකින නිසා
වරක් ආදාන වූ
ඒ වේදනාවන් නැවත වරක්,
උප ආදාන කර නොගන්නා පුද්ගලයාගෙ උපේක්ෂාව දියුණුයි.

ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණහා
තණහා පච්චයා උපාදාන කියන ක්‍රියාවලියත්
ඒ අනුව පුතාටත් දෝණිටත් විස්තර කළා.

අපි කරන කියන හැම හොඳ නරක ක්‍රියාවක්ම
උපාදාන බව අද මතුවුණ වැදගත්ම කරුණක්.

අධ්‍යාපනය ලැබීම, ශිල්පයක් ඉගෙනීමත්
උපාදාන කර ගැනීමක්.
පාඩම් කිරීම, අභ්‍යාස කිරීමත්
උපාදාන කර ගැනීමක්..

මේ ප්‍රකාශය වැරදියි කියල හිතන්නෙ
ඇත්ත ඇති සැටියෙන් නොදැකීම නිසයි.

ධර්මය නෙගටිව් හෝ පොසිටිව් නැහැ.
ධර්මය කියන්නෙ යමක් සිදු වෙන ආකාරයයි.
හොඳ නරක සාපේක්ෂයි.

ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීමත්
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීමත්

හොඳ නරක වශයෙන් දෙකක් වුණාට
විද්‍යානුකූලව, තර්කානුකූලව බැලුවොත් එකක්.
ගින්නෙන් පිළිස්සීමක්.
දෙකේදිම වෙන්නෙ එකම දෙයක්.
තාපය නිසා ඇතිවෙන ද්‍රව‍ය අණුවල වෙනස්වීමක්.

ආගමික චින්තනය
ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීමත්
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීමත්
හොඳ නරක වශයෙන් දෙකක්

නිරාගමික චින්තනය
ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීමත්
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීම
විද්‍යානුකූලව, තර්කානුකූලව එකක්.
ගින්නෙන් පිළිස්සීමක්.
දෙකේදිම වෙන්නෙ එකම දෙයක්.
තාපය නිසා ඇතිවෙන ද්‍රව‍ය අණුවල වෙනස්වීමක්.

ගින්නෙන් පිළිස්සීම අවස්ථා දෙකට අනුව
වෙන් වෙන්ව දෙකක් ලෙස ආගමිකව හෝ
විද්‍යානුකූලව, තර්කානුකූලව එකක් ලෙස
නිරාගමිකව අසම්පූර්ණ ලෙස දැකීම
ආංගික දර්ශනයක්.

විදර්ශනය නොවෙයි.

ඇත්ත ඇති සැටියෙන් දකින්නට නම්
ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීම
අවස්ථාවෙදි ද්වේශයත්
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීම
අවස්ථාවෙදි කාමච්ඡන්දයත්
ඒ ක්‍රියාවන්ට මුල්වූ බව දැකිය යුතුයි.

ඒ දෙක නිසා
තමා තුළ සිදුවෙන වෙනස් කම්ද
දැකිය යුතුයි.
ඒ වෙනස්කම්වලට උපේක්ෂාවද තිබිය යුතුයි.

ඒ අවස්ථා දෙක හොඳ නරක වශයෙන්
ලේබල් කරලා රාක්කයේ තියන කෙනෙකුට
ධර්මය පෙනෙන්නෙ නැහැ.
චින්තනය ආගමිකයි.

ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීම
හොඳත් නෑ නරකත් නෑ
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීම
හොඳත් නෑ නරකත් නෑ වශයෙන්
විද්‍යානුකූලව, තර්කානුකූලව දැකලා
ඉවත හෙළන කෙනෙකුටත්
ඇත්ත ඇති සැටියෙන්
ඒ මොහොතෙ පවතින ධර්මය පෙනෙන්නෙ නැහැ.
චින්තනය නිරාගමිකයි.

ආගමික චින්තනයට අනුව
ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීම
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීම
වෙන් වෙන්ව දකින කෙනෙක්
එකක් දෙස රාගයෙන් සහ
අනික දෙස ද්වේශයෙන් බලනවා.

නිරාගමික චින්තනයට අනුව
ඒ දෙක එකක් ලෙස දකින කෙනෙක්
මෝහයෙන් බලා නොසලකා හරිනවා.

ද්වේශයෙන් තව කෙනෙක් පිළිස්සීමත්
ආහාරයට අල ගෙඩියක් පුළුස්සා ගැනීම ක්‍රියාවන් දෙකත්,
ඒ ක්‍රියාවන් නිසා තමා තුළ සිදුවෙන වෙනසත්
කියන තුනම ප්‍රඥාවන්තයා දකිනවා.
මේ නිසා ආගමිකයා නිරාගමිකයාට වඩා
ප්‍රඥාවට සමීපයි..

ප්‍රඥාවන්තයා
ඇත්ත ඇතිසැටියෙන් දකිනවා.

බුදු දහම තමා තුළ දැකිය යුතුයි.

ධර්මය ඔබේ දෑස දෙසවන් දෑත් දෙපා විය යුතුයි.
ධර්මය ඔබේ දරුවන් ගේ
දෑස දෙසවන් දෑත් දෙපා බවට පත් කළ යුතුයි..

ධර්මය යනු
මතකයෙහි රැස් කරගන්නා
මියගිය නීති මාලාවක් ලෙස නොව
සිදු වෙන ක්‍රියාවලිය හඳුනා ගැනීමට
තත්කාලීනව කෙනෙකුට ලැබෙන
හොඳම සජීවී තොරතුරු මාලාවයි.

ධර්මය යනු
ඔරුවෙහි රැගෙන යන ලෑලි ගොඩක් නොව
ජීවන ඔරුව පදවන හබල විය යුතුයි..
හබල පදවන රටාව විය යුතුයි..

දහම කියන්නෙ
ඔබ ගැන ඔබ නොදන්නා දේයි.
ඔබ දැනගතයුතු දේයි.
පොත පතෙන් හෝ වෙනත් කෙනෙකුගෙන්
දහම දැන ගන්න බැහැ.
පොත පතෙන් හෝ වෙනත් කෙනෙකුගෙන්
දහම දැන ගන්න විදිය දැන ගන්න පුලුවන්.

දහම දැන ගන්න විදිය දැන ගන්න
බුදු දහම අත්වැලක් පමණයි.

බුදු දහමෙන් කරන්නේ
ඔබ ගැන ඔබ නොදන්නා දේ දැන ගන්න
මග පෙන්වීමයි.

ඔබ ගැන ඔබ දන්නා දේ
වැඩි දියුණු කරගන්නට මග පෙන්වීමයි.

ඔබ ගැන ඔබ දන්නා තරමට
ඔබේ සිහිය හා උපේක්ෂාව වැඩෙන තරමට
ඔබ ධාර්මික වෙනවා.

ධර්මය නම්
මේ මොහොතෙහි ඔබ දකින
මේ මොහොතෙහි ඔබ හඳුනා ගන්නා දේයි.

ඔබ තුළ සිදුවෙන දේ
ඔබටත් අන් අයටත් හානිකර නම්
ඔබ අධාර්මිකයි.

ඔබ තුළ සිදුවෙන දේ
ඔබටත් අන් අයටත් යහපතක් නම්
ඔබ ධාර්මිකයි.

ඔබ අධාර්මික නම්
ඔබට ඔබ තුළ දකින්නට ලැබෙන්නේ
අසත්ධර්මයයි.

ඔබ ධාර්මික නම්
ඔබට ඔබ තුළ දකින්නට ලැබෙන්නේ
සත්ධර්මයයි.

ධර්මය  කියන්නෙ
ඔරුවෙහි රැගෙන යන
දිරාගිය ලෑලි ගොඩක් නොව
ජීවන ඔරුව පදවන හබල විය යුතුයි..

ඔබ හබල හසුරුවන රටාව අනුව
ඔබේ සමස්ත ජීවිතයේ සාර්ථකත්වය
රැඳී පවතිනවා.

6 comments:

  1. ධර්මය බරක් කරගත යුතු නැත... ධර්මය ජීවිතය කරගත යුතුය

    ReplyDelete
    Replies
    1. ධර්මය ජීවිතය කරගන්නා මග
      තමා තුළ සිදුවෙන වෙනස්කම් ගැන සිහියෙන්
      ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම
      විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
      ආතාපි සම්පජානො විහරති...
      විපස්සනා වැඩීමයි..

      Delete
  2. මුකුත් ඕන්නැ ධර්මයේ හැසිරුනානම් ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා ;)

    ReplyDelete
    Replies
    1. ධර්මයේ හැසිරෙනවා කියන්නෙ මොන වගේද?
      පැහැදිලිව කියන්න පුලුවන්ද?
      1, හැසිරිය යුතු ධර්ම මොනවාද.
      2, හැසිරෙන්නෙ කොහොම්ද?
      3, ඒ හැසිරීම නිසා රැකෙන්නෙ කොහොමද?

      Delete
    2. @ අතුල,
      ධර්මයෙහි හැසිරෙන්නා යන්න මට වැටහෙන්නෙ මෙහෙමයි.

      පළමුව ධර්මය අසන කෙනා. දෙවනුව ඒ ධර්මය ධාරණය කරගත යුතුය. තෙවනුව ධාරණය කරගත් ධර්මය නැවත නැවත විමසා බැලිය යුතුය සිව්වැනිව විමසු ධර්මය (නිරාකරණය කර ගත්) සිහියේ තබා ගත යුතුය.පස්වැනිව එසේ නිරාකරණය කර ගත් ධර්මය අණුව තම දිවි මග පවත්වා ගත යුතුව.
      මේ ඔක්කොම කරන්න නම් මුලින්ම ධර්මය ඇසීමට ශ්‍රද්ධාවක්,ධර්මය ඇසීමට කැමැත්තක් සහ ඉහත විස්තර කල පියවර අනුගමනය කිරිමට විර්යක් තිබිය යුතුය.

      සමරසේකර

      Delete
    3. දෙසූ ධර්මය කියන අදහසෙන් මිදිලා
      1, ධර්මයෙහි හැසිරෙන විට
      අපි රකින ධර්ම මොනවාද? කියා හිතා බලමු..
      2, හැසිරෙන්නෙ කොහොම්ද?
      3, ඒ හැසිරීම නිසා රැකෙන්නෙ කොහොමද?

      Delete