20141004

බුදුන් වහන්සේ සමාජ යහපත උදෙසා ක්‍රියා කළ කෙනෙකු නොවේ.



 බුදුන් වහන්සේ කිසිසේත්ම
සමාජ යහපත උදෙසා ක්‍රියා කළ කෙනෙකු නොවේ.
උන් වහන්සේ ක්‍රියා කළේ
සියලු සත්වයාගේ පුද්ගල විමුක්තිය උදෙසායි.

මේ බුදුන් වහන්සේගේ වචන...........
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

යම් මහණෙක්,
1, 
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2,
වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3,
සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4,
දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මේ සියල්ලම මේ මොහොත තුළ
පවතින දේයි..

ගමනාන්තය නිවන වුවද
ගමනාන්තයෙහි අරමුණත්
මේ මොහොතෙහි අරමුණත් දෙකම එකකි.
ගමනාන්තයට ලඟා වන්නට නම්
මේ මොහොතෙහි පටන්ම
මොහොතින් මොහොතට
දුක නිවා ගත යුතුය.

නිවන යනු දුකෙන් මිදීම නොවේ.
සියලු දුකෙන් මිදීමය.
මේ මොහොතෙහි
දුකෙන් මිදෙන මග විපස්සනාවයි.
නිවන කොතෙක් ඈත වුවත්
මේ මොහොත සිහියෙන් පසුවීමත්
එසේ සිහියෙන් පසුවෙන අතරම
දුකෙන් මිදීමත්
හැම කෙනෙකුටම වැදගත් වෙයි.

ඔබට නිවන අවශ්‍ය වුවත් නැතත්
දුකෙන් මිදෙන්නට නම් ඇත්තේ
විපස්සනා මාර්ගය පමණි.
අන් සියලුම මාර්ගවලින් කරන්නේ
ඔබ නොදකින ලෙස දුක සැඟවීම හෝ
දුක නොපෙනෙන ලෙස ඔබ රැවටීමයි.

මිනිසෙකුගෙ සැබෑ වටිනාකම තීරණය වෙන
ප්‍රධානම සාධකය මේ මොහොතෙ ඔබ ගැනම පවතින සිහියයි.

[[[ සමස්ථයක් ලෙස මිනිසුන් ආගමක් නිසා යහපත් වුවද.
එය හුදෙක් තාවකාලික දෘෂ්ටියක් තුල හිරවීමක්ද.. ]]]

දෘෂ්ඨියක් යනු දැක්මකි.
අත්දැකීමක් නොවේ.
සෑම මිනිසෙක්ම ජීවත්වන්නේ දෘෂ්ඨියකයි.
මේ මොහොතේ ඔබට ඔබ අත්දැකිය හැකිද?
ඔබට ඔබ ගැන පවා ඇත්තේ දෘෂ්ඨියකි.

මේ මොහොතේ
ඔබේ ඉරියව්ව ඔබ දන්නේ නැති බව ඇත්ත නේද?
ඔබේ වම් අත, දකුණු අත..
ඔබේ වම් පය දකුණු පය..
මෙතෙක් වේලා තිබුණේ කොහොමද?

ඔබට ඔබ දැනෙන්නේ නැත.
පරිසරයේ හො ඇතුළත සිදු වෙන
විශාල වෙනස්කම් හැර
මොහොතින් මොහොතට ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබට දැනෙන්නේ නැත.
ඔබට ඔබේ කය ගැන සිහිය නැත.

මේ මොහොතේ
ඔබට ඔබේ හුස්ම නොදැනෙන්නේත්
ඔබට ඔබේ කය ගැන සිහිය නැති නිසාය.

හුස්මක් හුස්මක් පාසා ඔබෙ කය වෙනස්වෙයි.
ඔබට ඒ වෙනස නොදැනෙන්නේ ඇයි.?

සැබෑ සිහියෙන් පසුවෙන කෙනෙක් කුමක් කළත්
හුස්ම නිසා සිදුවෙන වෙනස දකින්නට හැකි තලයකට
මිනිසාට ළඟා විය හැක..
ඒ දිසාවට තබන පියවරක් පියවරක් පාසා
මිනිස්ස්ගේ වටිනාකම වැඩි වෙයි.

මිනිසෙකුට ප්‍රත්‍යක්ෂයෙන් දකින්න පුලුවන්
මේ මොහොතෙ තමන් තුළ සිදු වෙන
වෙනස් වීම් විතරයි.
අනික් සියල්ලම එක්කො වාර්තාවක්... මතකයක්...
හිතලුවක්... තර්කයක්... විවරණයක්..
මොනවා වුණත් ප්‍රත්‍යක්ෂය නොවෙයි..

මිනිසෙකුගෙ සැබෑ වටිනා කම..
මේ මොහොත පිළිබඳව ඇති සිහිය සහ
ඒ සිහියෙ පුළුල් බවයි.

වටිනාකමක් ඇති කෙනෙක්
මත්පැන් පානය කරල ඉන්න වෙලාවට
අපිට ඔහුගෙ වටිනාකම අඩුයි.
ඔහු වැදගත් දේක නිරත වුණත් එහි වටිනාකම අඩුයි.
ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
ඔහුගෙ මත්බව නැතිවීමෙන් පසුවයි...

මත්පැන් බිව්වාම වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.
ආවේගශීලී වුණාම වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.
වයසට යද්දි වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.

සිහිය හොඳටම දුර්වල මිනිහා උන්මත්තකයෙක්..
ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
ඔහු නැවත සිහිය ලබා ගැනීමෙන් පසුවයි...

සිහිය දුර්වල කරන
හැම දේම හානිකරයි..
දියුණු කරන හැම දේම
ආශීර්වාදයක්..

බුදු දහමට අනුව හෝ නැතුව
සිහිය දියුණු කරන්න තියන එකම මග
තමන්ගෙ හිතත් කයත්
වෙනස්වෙන ආකාරය පිළිබඳව
සිහිය පිහිටුවා ගැනීමයි.
ඒ සඳහා
හිතත් කයත් වෙනස්වෙන ආකාරය පිළිබඳව
උපේක්ෂාව අත්‍යාවශ්‍යයි.

1 comment:

  1. ඉතාම වටිනා අදහස් රැසක්

    ReplyDelete