20141002

සැබෑ නිරාගමිකත්වය


නිරාගමිකයෙක් මෙසේ කියයි..
[[[ මට අනුව නිරාගමිකත්වය යනු ආගමක ඉගැන්වීම ගැන විශ්වාසයක් නැති වීමයි. 
එය තාර්කික සිදුවීමකි. ආගම විසින් අපට උගන්වන කතාවට 
පිටින් දෙයක් සිතන්නට හැකි වූ විට නිරාගමිකත්වය නිරායාසයෙන් සිදු වන්නකි. ]]]

මේ ස්ථාවරයේ සිටින නිරාගමික වූවන්
නිරාගමික වන්නේ මූලික හේතු කිහිපයක් මතය.

1, 
ආගමක් ගැන සැබෑ දැනුමක් ලබා ගැනීමට
අවශ්‍යතාවයක් නැති කම
2, 
ආගම පිළිබඳව ශාස්තෘවරයාගේ දහම නොවිමසා
වෙනත් ආගමිකයන්ගේ සීමිත දැනුම ඔස්සේ
ආගම ගැන පූර්ව නිගමන වලට පැමිණීම.
3, 
නිරාගමික වූ පසු
ඔහුගේ සිත නිවහල් වුවත්
පැහැදිලි පදනමක් නැතිව
තමා ගත් මතයේ දැඩිව එල්බගෙන
ආගම ගැන සොයන්නට අකමැති වීම.

විමර්ශන ශීලීව ජීවත් වෙන
සැබෑ නිරාගමිකයෙකු
නිසි ලෙස වර්ධනය වුවහොත්
ඔහු ආගමිකයා ඉක්මවා
ආගම ගැන දැනුවත් විය යුතුය.
ඔහු දිනෙන් දින වර්ධනය විය යුතුය.

සැබෑ නිරාගමිකත්වය
සටන අත හැරීමක් නොව
තාවකාලික පසුබැසීමකි.
ආගමිකයා නොලබන ජයක්
ඔහු ලැබිය යුතුය..
ආගමිකයාටද මගපෙන්වීමට
ඔහුට හැකි විය යුතුය..

බුදුන් වහන්සේ එවැන්නෙකි..

-----------------------------------------------------------------------

19 comments:

  1. ආගමකට වඩා ධර්මයකින් ලැබෙන සුව අපමණය...

    ReplyDelete
    Replies
    1. ධර්මයෙහි පිහිටීම තරම් සුවයක්
      තවත් නැත..

      Delete
  2. සැහෙන දවසක් සිතන්නට සිදුවන ලියවිල්ලක්....

    ReplyDelete
  3. ආගමෙන් තොරව ධර්මය දැකිය නොහැකි යැයි අප තුල ඇත්තේ මිත්‍යා දෘෂ්ටියක් බව ඔබට නොසිතේද?
    සියලු ආගම් විසින් අපව මේ මොහොත තුල පවතින සත්‍යයය දැකීමෙන් ඈත් කර ඇතැයි ඔබට නොසිතේද?
    ආගමික වීම හෝ නිර් ආගමික වීම යනුවෙන් දෙකක් නැති බවත් ඇත්තේ යමෙක් වීම සහ කිසිවෙක් නොවීම යනුවෙන් දෙකක් බවත් ඔබට නොසිතේද?

    ReplyDelete
    Replies
    1. සියල්ල හොඳින් සිදු වේයැයි
      ඔබට හැඟෙන විට ආගම අවශ්‍ය නැතැයි
      ඔබ සිතයි.
      එහෙත්
      සියල්ල හොඳින් සිදුවන විටත්
      ඔබ ජීවත් වන්නේ
      ඔබ සතු ශක්තියෙන්,
      ඔබ සතු අවදි බවින්,
      ඔබට ලැබිය හැකි ප්‍රඥාවෙන්
      ඔබට ලැබිය හැකි සැනසිල්ලෙන්,
      ඉතාම සුලු ප්‍රමාණයක්
      උපයෝගී කර ගනිමිනි.

      කිසියම් හදිසි අවස්ථාවක
      දුකක්, තරහක්, බයක්.. ආදී
      ආවේගයක් මතු වූ විට
      ඔබට ඒ ශක්තිය,
      ඒ අවදි බව, ඒ ප්‍රඥාව
      කිසිසේත් ප්‍රමාණවත් නොවෙයි.

      ඔබ එවැන්නකට මුහුණ නොදුන්නත්..
      ඔබ තුළ ඇතිවන ආවේග පාලනය කරගත්තත්
      ඒ ආවේග පාලනයෙන් සිදු වන හානිය
      ලෙඩ රෝග ආතතීන් ආදී වෙනත් මාර්ග වලින්
      ඔබට ප්‍රශ්න ඇති කරනු ඇත.

      එවිට ඔබ සාමාන්‍යයෙන් යොදාගන්නා
      ක්‍රම වේද වලට වඩා දියුණු ක්‍රම වේද අවශ්‍ය වෙයි.

      මා එම ක්‍රම වේදය සොයා ගත්තේ බුදු දහමෙනි.
      ඒ ක්‍රම වේදය විපස්සනාවයි..

      Delete
  4. විපස්සනාවෙන් සැනසීම ලැබෙන බව ඇත්තක්. නමුත් විපස්සනාව කියන්නේ ආගමක් නෙවෙයි. ඒක ස්වාභාවික දෙයක්. ආගම විසින් ඒ ස්භාවික ක්‍රියාවලියෙන් ලැබිය හැකි සැනසීම සංකීර්ණ කර ඇතැයි මට සිතේ. ආගම විසින් විපස්සනාවට පෙර කලයුතු බොහෝ දේ ගැන මිනිසුන්ට උගන්වයි. බොහෝ අය අතර මග සිරවී සිටිනු මිස කෙදිනකවත් විපස්සනාව පුරුදු පුහුණු නොකරති.

    ආගමික වීම තුලින් සිදු වන්නේ ස්භාවිකව ඇති ධර්මය හඳුනා ගැනීම කල් දැමීම හා බොහෝ විට වැළැක්වීම නොවේද?

    මම සියල්ල නැති වී ගිය අවස්තාවක ආගමෙන් නොලද සැනසීම ස්භාවධර්මයේ ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන් සැනසීම ලැබුවෙක්මි. මම ආගමික හෝ නිරාගමික නොවෙමි.

    ReplyDelete
    Replies
    1. ආගමකින් කරන්නේ
      සොබා දහමේ නීති වලට අනුව
      හැසිරෙන්නට නොදන්නවුන්
      සොබා දහමට අනුවත්
      බාහිර සමාජයට අනුවත්
      හැසිරෙන්නට හැකි වෙන අයුරින්
      හැඩ ගැසෙන්නට රටාවක් සකසා දීමයි.
      ඊට අනුගත වන තැනැත්තා
      සිතන විදියෙහි අඩුපාඩු ඇතත්
      සමාජීය සත්වයෙක් ලෙස
      වඩාත් යහපත් ලෙස හැසිරෙයි..

      පියාසර කළ නොහැකි මිනිසා
      අහස්යානයෙන් යන ආකාරයට
      ආගමිකයා තම කාරිය
      හැකි අයුරින් ඉටු කරගනී.
      පියාසර කළ නොහැකි කෙනෙක්
      පයින් යාමට තීරණය කිරීම
      වරදක් නොවේ.
      එහෙත්
      ඔහු අහස්යානය හෙළා දකිනවා නම්
      එය බොළඳ ක්‍රියාවකි.

      Delete
    2. විපස්සනාවෙහි අරමුණ
      සැනසීමක් ලැබීම නොවේ.
      දුකෙන් මිදීමයි.

      විපස්සනාවට යොමුවන්නේ
      ලොව ජනගහණයෙන් අංශු මාත්‍රයකි.
      ඉනුත්
      නිසි ප්‍රයෝජන ලබන්නේ
      ඉතාම අල්පවූ පිරිසකි.

      විපස්සනා වඩන කෙනෙඋට
      ප්‍රඥාව පහළ වන්නට නම්
      ඔහුගේ ප්‍රබලම ඇබ්බැහි කම
      මොහොතින් මොහොතට ජයගන්නට සිදු වෙයි.

      එනම්
      තමාට සිදුවෙන සියලු දේත්
      තමා අත්දකින සියලුදේත් අතුරෙන්
      1, අත්දකින දෙයින්
      ප්‍රිය අප්‍රිය ලෙස ගන්නා කොටස හැර
      අන් සියල්ල නොසලකා හැරීමත් ( මෝහ )
      2, සලකා බලන සියලු දේ
      ප්‍රිය අප්‍රිය ලෙස වර්ග කිරීමත් ( රාග, ද්වේශ )
      නිසා නොයෙක් දුක් විඳීමට හේතු වෙන
      අන්ත තුනෙන්ම මිදී
      ඇත්ත ඇති සැටියෙන් දැකීමට
      මොහොතින් මොහොතට පුහුණු වීමයි.

      විපස්සනා වඩන්නෙකු
      1, අත්දකින දෙයින්
      ප්‍රිය අප්‍රිය ලෙස ගන්නා කොටස හැර
      අන් සියල්ල නොසලකා හැරීම
      සිහිය පිහිටන විට දුරු වෙයි.
      2, සලකා බලන සියලු දේ
      ප්‍රිය අප්‍රිය ලෙස වර්ග කරමින්
      නොයෙක් දුක් විඳීම
      උපේක්ෂාව දියුණු වීමෙන් මග හැරෙයි.

      මෙසේ සමාහිත වෙන සංවර සිතින්
      ජීවිතය ගත කරන විට
      විඳ ප්‍රත්‍යක්ෂ කරන ජීවිතයෙන්
      ප්‍රඥාව පහළ වෙයි.

      විපස්සනා වැඩීම අරඹන මොහොතේ පටන්ම
      පුද්ගලයෙකුගේ සිහිය හා උපේක්ෂාව වැඩුණත්
      සිහිය හා උපේක්ෂාව පිහිටුවා ගැනීම
      අතිශයින්ම අභියෝගාත්මක නිසා
      විපස්සනා වැඩීමට යොමුවෙන අය
      ඉතාම විරලය.

      Delete
    3. සමාජීයව ගත් කල ආගමකින් යම් සේවයක් සිදු වුවත් ඒක පුද්ගල විමුක්තිය ලබා ගැනීමේදී ආගමක් තුල හිර වීමෙන් සිදුවන්නේ තමන් සිහියට පත් වීම කල් යෑමක් බවයි මගේ හැඟීම. මෙය ප්‍රාථමික මට්ටමෙන් එහා ගිය, නිරන්තරයෙන් යහපතෙහි හැසිරෙන, සැබෑ අවශ්‍යතාවයකින් විමුක්තිය සොයා යන්නන්ට අදාළව පමණි.

      සමස්ථයක් ලෙස මිනිසුන් ආගමක් නිසා යහපත් වුවද. එය හුදෙක් තාවකාලික දෘෂ්ටියක් තුල හිරවීමක් ලෙස මට හිතෙයි.

      විමුක්තිය යනු ගමනාතයක් බව දකින විට මිනිසුන් විවිධ ක්‍රම මගින් එහි ළඟා වීමට උත්සාහ දරති නමුත් සැබෑ විමුක්තිය ගමනාන්තයක් නොව මේ මොහොත තුල පවතින බව දුටු පුද්ගලයා නොයෙක් ක්‍රම මගින් ළඟා වීමට උත්සහ දැරීම අත්හරියි. එහි හෙලාදැකීමක් නැත. හුදෙක් ගමනාත්තයක් වෙනුවෙන් උපක්‍රම භාවිතයෙන් වැලකි සිටීමක් පමණක් ඇත.

      Delete
    4. පැතුම්,
      ඔබේ ප්‍රකාශය
      ප්‍රාථමික මට්ටමෙන් එහා ගිය,
      නිරන්තරයෙන් යහපතෙහි හැසිරෙන,
      සැබෑ අවශ්‍යතාවයකින්
      විමුක්තිය සොයායන්නන්ට අදාළව පමණක් නම්
      ඔබේ පළමු වැනි වැකියම
      බුදුන් වහන්සේගේ ඉගැන්වීමට
      ඉඳුරාම පටහැණිය.
      බුදුන් වහන්සේ කිසිසේත්ම
      සමාජ යහපත උදෙසා
      ක්‍රියා කළ කෙනෙකු නොවේ.
      උන් වහන්සේ ක්‍රියා කළේ
      සියලු සත්වයාගේ
      පුද්ගල විමුක්තිය උදෙසායි.

      මේ බුදුන් වහන්සේගේ වචනයි.

      තමා දීපයක් කොට වෙසෙන්න.
      තමා සරණයි, අන් සරණක් නැත.
      ධර්මය දීපයයි, ධර්මය සරණයි.
      අන් සරණක් නැත.

      කෙසේද මහණෙනි
      තමා දීපයක් කොට වෙසෙන්නේ?
      තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
      ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

      මහණෙනි, යම් මහණෙක්,
      1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
      වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
      2, වේදනා වල වේදනා අනුව දකිමින්,
      වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
      3, සිතෙහි සිත අනුව දකිමින්,
      වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
      4, දහම්හි දහම් අනුව දකිමින්
      වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

      මේ සියල්ලම මේ මොහොත තුළ
      සිදෙවෙන දේයි..

      මේ ඔබේ වචනයි.
      [[[ විමුක්තිය යනු ගමනාන්තයක් බව දකින විට
      මිනිසුන් විවිධ ක්‍රම මගින් එහි ළඟා වීමට උත්සාහ දරති
      නමුත් සැබෑ විමුක්තිය ගමනාන්තයක් නොව
      මේ මොහොත තුල පවතින බව දුටු පුද්ගලයා
      නොයෙක් ක්‍රම මගින් ළඟා වීමට උත්සහ දැරීම අත්හරියි. ]]]

      ගමනාන්තය නිවන වුවද
      ගමනාන්තයෙහි අරමුණත්
      මේ මොහොතෙහි අරමුණත් දෙකම එකකි.
      ගමනාන්තයට ලඟා වන්නට නම්
      මේ මොහොතෙහි පටන්ම
      මොහොතින් මොහොතට
      දුක නිවා ගත යුතුය.

      නිවන යනු දුකෙන් මිදීම නොවේ.
      සියලු දුකෙන් මිදීමය.
      මේ මොහොතෙහි
      දුකෙන් මිදෙන මග විපස්සනාවයි.
      නිවන කොතෙක් ඈත වුවත්
      මේ මොහොත සිහියෙන් පසුවීමත්
      එසේ සිහියෙන් පසුවෙන අතරම
      දුකෙන් මිදීමත්
      හැම කෙනෙකුටම වැදගත් වෙයි.

      ඔබට නිවන අවශ්‍ය වුවත් නැතත්
      දුකෙන් මිදෙන්නට නම් ඇත්තේ
      විපස්සනා මාර්ගය පමණි.
      අන් සියලුම මාර්ගවලින් කරන්නේ
      ඔබ නොදකින ලෙස දුක සැඟවීම හෝ
      දුක නොපෙනෙන ලෙස ඔබ රැවටීමයි.

      මිනිසෙකුගෙ සැබෑ වටිනාකම තීරණය වෙන
      ප්‍රධානම සාධකය මේ මොහොතෙ ඔබ ගැනම පවතින සිහියයි.

      [[[ සමස්ථයක් ලෙස මිනිසුන් ආගමක් නිසා යහපත් වුවද.
      එය හුදෙක් තාවකාලික දෘෂ්ටියක් තුල හිරවීමක් ලෙස මට හිතෙයි. ]]]

      දෘෂ්ඨියක් යනු දැක්මකි.
      අත්දැකීමක් නොවේ.
      සෑම මිනිසෙක්ම ජීවත්වන්නේ දෘෂ්ඨිකයි.
      මේ මොහොතේ ඔබට ඔබ අත්දැකිය හැකිද?
      ඔබට ඔබ ගැන පවා ඇත්තේ දෘෂ්ඨියකි.

      මේ මොහොතේ
      ඔබේ ඉරියව්ව ඔබ දන්නේ නැති බව ඇත්ත නේද?
      ඔබේ වම් අත, දකුණු අත..
      ඔබේ වම් පය දකුණු පය..
      මෙතෙක් වේලා තිබුණේ කොහොමද?

      ඔබට ඔබ දැනෙන්නේ නැත.
      පරිසරයේ හො ඇතුළත සිදු වෙන
      විශාල වෙනස්කම් හැර
      මොහොතින් මොහොතට ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
      ඔබට දැනෙන්නේ නැත.
      ඔබට ඔබේ කය ගැන සිහිය නැත.

      මේ මොහොතේ
      ඔබට ඔබේ හුස්ම නොදැනෙන්නේත්
      ඔබට ඔබේ කය ගැන සිහිය නැති නිසාය.

      හුස්මක් හුස්මක් පාසා ඔබෙ කය වෙනස්වෙයි.
      ඔබට ඒ වෙනස නොදැනෙන්නේ ඇයි.?

      සැබෑ සිහියෙන් පසුවෙන කෙනෙක් කුමක් කළත්
      හුස්ම නිසා සිදුවෙන වෙනස දකින්නට හැකි තලයකට
      මිනිසාට ළඟා විය හැක..
      ඒ දිසාවට තබන පියවරක් පියවරක් පාසා
      මිනිස්ස්ගේ වටිනාකම වැඩි වෙයි.

      මිනිසෙකුට ප්‍රත්‍යක්ෂයෙන් දකින්න පුලුවන්
      මේ මොහොතෙ තමන් තුළ සිදු වෙන
      වෙනස් වීම් විතරයි.
      අනික් සියල්ලම එක්කො වාර්තාවක්... මතකයක්...
      හිතලුවක්... තර්කයක්... විවරණයක්..
      මොනවා වුණත් ප්‍රත්‍යක්ෂය නොවෙයි..

      මිනිසෙකුගෙ සැබෑ වටිනා කම..
      මේ මොහොත පිළිබඳව ඇති සිහිය සහ
      ඒ සිහියෙ පුළුල් බවයි.

      වටිනාකමක් ඇති කෙනෙක්
      මත්පැන් පානය කරල ඉන්න වෙලාවට
      අපිට ඔහුගෙ වටිනාකම අඩුයි.
      ඔහු වැදගත් දේක නිරත වුණත් එහි වටිනාකම අඩුයි.
      ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
      ඔහුගෙ මත්බව නැතිවීමෙන් පසුවයි...

      මත්පැන් බිව්වාම වටිනාකම අඩුවෙන්නෙ
      සිහිය දුර්වල වෙන නිසයි.
      ආවේගශීලී වුණාම වටිනාකම අඩුවෙන්නෙ
      සිහිය දුර්වල වෙන නිසයි.
      වයසට යද්දි වටිනාකම අඩුවෙන්නෙ
      සිහිය දුර්වල වෙන නිසයි.

      සිහිය හොඳටම දුර්වල මිනිහා උන්මත්තකයෙක්..
      ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
      ඔහු නැවත සිහිය ලබා ගැනීමෙන් පසුවයි...

      සිහිය දුර්වල කරන
      හැම දේම හානිකරයි..
      දියුණු කරන හැම දේම
      ආශීර්වාදයක්..

      බුදු දහමට අනුව හෝ නැතුව
      සිහිය දියුණු කරන්න තියන එකම මග
      තමන්ගෙ හිතත් කයත්
      වෙනස්වෙන ආකාරය පිළිබඳව
      සිහිය පිහිටුවා ගැනීමයි.
      ඒ සඳහා
      හිතත් කයත් වෙනස්වෙන ආකාරය පිළිබඳව
      උපේක්ෂාව අත්‍යාවශ්‍යයි.


      Delete
    5. ඔබේ මේ වදන් සියල්ල සත්‍යයයි.

      [තමා දීපයක් කොට වෙසෙන්න.
      තමා සරණයි, අන් සරණක් නැත.
      ධර්මය දීපයයි, ධර්මය සරණයි.
      අන් සරණක් නැත.]

      මේ ධර්මය දැකීම ආගමෙන් වලක්වා ඇති බව මගේ හැඟීමයි. මක්නිසාද යත් යම් කෙනෙකු තමා දෙස බලා සිහියට පත්වීම මිස වෙන සරණක් නැති බව පැහැදිලිව දෙසා ඇති මේ බුදු වදන බොහෝ මිනිසුන් තේරුම් ගන්නේ නැත. ඔවුන්ගේ සරණ වී ඇත්තේ බුදුන් දෙසු වදනින් නිර්මාණය කර ගත ආගමයි. බුදුන් දෙසු වදන් තේරුම් ගැනීමට හැකි පුද්ගලයෙකුට බුද්ධාගමෙන් කිසි ඵලයක් ඇතැයි මම නොසිතමි. එවන් අයට ආගමික වීමක් අවශ්‍ය නැත.

      [
      බුදු දහමට අනුව හෝ නැතුව
      සිහිය දියුණු කරන්න තියන එකම මග
      තමන්ගෙ හිතත් කයත්
      වෙනස්වෙන ආකාරය පිළිබඳව
      සිහිය පිහිටුවා ගැනීමයි.
      ඒ සඳහා
      හිතත් කයත් වෙනස්වෙන ආකාරය පිළිබඳව
      උපේක්ෂාව අත්‍යාවශ්‍යයි]

      මේ වදන පිලිබදව සිතා බලා තම සිහිය දියුණු කර ගත යුතු යැයි සිතන කෙනෙකුට ඔහු අදහන ආගමෙන් ස්වායක්තව මෙය තේරුම් ගත හැකි යයි මම සිතමි. මෙය ධර්මය මිස ආගම නෙවෙයි නේද?

      Delete

    6. [[[[ මේ ධර්මය දැකීම ආගමෙන් වලක්වා ඇති බව මගේ හැඟීමයි. මක්නිසාද යත් යම් කෙනෙකු තමා දෙස බලා සිහියට පත්වීම මිස වෙන සරණක් නැති බව පැහැදිලිව දෙසා ඇති මේ බුදු වදන බොහෝ මිනිසුන් තේරුම් ගන්නේ නැත.]]]]

      මේ ස්වභාවය
      ඔබ දහම ප්‍රතික්ෂේප කරන්නට
      හේතුවක් වන්නේ කොහොමද.
      මුලු ලොවම නොමග ගියත්
      හරි මග යන්නට එය ගැටලුවක් නොවෙයි නේද?

      Delete
    7. [[[බුදුන් දෙසු වදන් තේරුම් ගැනීමට හැකි පුද්ගලයෙකුට බුද්ධාගමෙන් කිසි ඵලයක් ඇතැයි මම නොසිතමි. එවන් අයට ආගමික වීමක් අවශ්‍ය නැත.]]]

      සතර සතිපට්ඨානය යනු
      තේරුම් ගන්නට දෙසූ දහමක් නොවෙයි.
      දිවි ඇති තුරා..
      නිවන් දකින තුරා පුහුණු වන්නට,
      වඩන්නට දෙසූ ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකි.

      කිසිදාක විපස්සනා නොවැඩූ කෙනෙකුට
      වචන මාත්‍රයෙන් ගත හැකි
      කිසිවක් මහා සතිපට්ඨාන සූත්‍රයෙහි නැත..

      Delete
    8. ව්පස්සනා වඩමින් සතර සතර සතිපට්ඨානය නිරන්තරයෙන් පුරුදු පුහුණ කරන කෙනෙකුට තව දුරටත් ආගමක අවශ්‍යතාවයක් ඇති වේද ?

      එසේම නිවන් දැකීම යන්න ඔබ වටහාගෙන ඇති අයුරින් පැහැදිලි කරන්න පුළුවන් ද ?

      Delete
    9. 1, ආගමක අවශ්‍යතාවය යන්නෙන්
      ඔබ අදහස් කරන්නේ
      කිසියම් බාහිර බලයක පිහිට සෙවීම නම්
      විපස්සනා වඩන තැනට
      ප්‍රඥාව මේරූ කෙනෙකුට
      එවැන්නක් අවශ්‍ය නැත.
      සමස්තයක් ලෙස
      තමා ගැන සිහියෙන්..
      තමා තුළ ඇතිවෙන
      වෙනස්කම් දකිමින්
      ඒ වෙනස්කම් වලට
      උපේක්ෂාවෙන් වෙසෙන්නෙකුට
      බාහිර බලවේග මත යැපෙන්නට
      අවශ්‍යතාවයක් පැන නොනගී.

      Delete
  5. [සමස්තයක් ලෙස
    තමා ගැන සිහියෙන්..
    තමා තුළ ඇතිවෙන
    වෙනස්කම් දකිමින්
    ඒ වෙනස්කම් වලට
    උපේක්ෂාවෙන් වෙසෙන්නෙකුට
    බාහිර බලවේග මත යැපෙන්නට
    අවශ්‍යතාවයක් පැන නොනගී.]

    ආගමෙන් කෙරෙන්නේ මේ තත්වය ඉතා සංකීර්ණ කාර්යයක් බවත් ඊට පෙර කල යුතු බොහෝ දෑ උගන්වමින් මේ සත්‍යයය තේරුම් ගැනීම කල් දැමීමක් නොවේද? වෙදා ට සහ බෙහෙත් වලට වැඳ වැටීමට උගන්නනවාට වඩා බෙහෙත් ගැනීමට පෙළඹවීම නොවටින්නේ ද? ඉතාමත් සුළු පිරිසක් පමණක් තේරුම් ගන්නා මේ දහම බොහෝ දෙනෙකුට මග හැරී ඇත්තේ ආගමෙහි ඇති සංවිධානාත්මක බව නිසා නොවේද?

    ReplyDelete
    Replies

    1. විපස්සනා කියන්නෙ දැනුමක් නොවෙයි.
      අත්දැකීමක්.

      අත්දැකීමක් නැති අය
      අත්දැකීමක් උගන්වනවිට
      මගහැරීම පුදුමයක් නොවේ..

      මට විපස්සනා ආචාර්ය
      එස් එන් ගොයෙන්කා තුමා හමු වීම
      මගේ භාග්‍යයක්.
      එතුමා වෙතට කෙනෙක් යොමු කිරීම හැර
      ඉගැන්වීම අපට කළ නොහැකියි..
      තනිවම ඉගෙනීම සිහිනයක්..

      Delete
    2. එතුමා විසින් ඔබට ඉගැන්වූ සත්‍යය අසුරන වලින් තොර හරය ම නිසා ඔබ එය නිවැරදිව අවබෝධ කරගෙන ඇත. මට ද එවැනි ගුරුවරයෙකුගේ ඇසුර ලැබීමේ භාග්‍යයය ලැබුණු නිසා ඔබ පවසන කරුණු වල ඇති සත්‍යයතාව මම ප්‍රත්‍යක්ෂයෙන් දනිමි. නමුත් බහුතර ජනතාව ට එය එසේ නොවී ඇත්තේ ආගම විසින් පැවැත්ම උදෙසා බොහෝ අසුරන වල දවටා එය අපිට ලබා දෙන බැවින් යැයි මට සිතේ. බුද්ධිමත් මිනිසුන් දවටන වලින් තොර හරය සෙවීම සඳහා නිරාගමික වීම වරදක් ලෙස මම නොදකිමි. කල යුතු වන්නේ එවැනි බුද්ධිමත් නිරාගමිකයන් නැවත ආගම වෙත පෙළඹවීමට වඩා ඔබගේ ගුරුවරයා වැනි අය වෙත යොමු කිරීම යැයි මම සිතමි.

      මම තවමත් තරුණ වියේ ජිවන අත්දැකීමේ මදි කම නිසා මේ කරුණු ගැන තවමත් ඉගෙන ගනිමින් සිටිමි. ඔබත් සමග සංවාදයෙන් මම බොහෝ දේ ඉගෙන ගතිමි..

      Delete
    3. [[[ බුද්ධිමත් මිනිසුන් දවටන වලින් තොර හරය සෙවීම සඳහා නිරාගමික වීම වරදක් ලෙස මම නොදකිමි.]]]

      විමර්ශන ශීලීව ජීවත් වෙන
      සැබෑ නිරාගමිකයෙකු
      නිසි ලෙස වර්ධනය වුවහොත්
      ඔහු ආගමිකයා ඉක්මවා
      ආගම ගැන දැනුවත් විය යුතුය.
      ඔහු දිනෙන් දින වර්ධනය විය යුතුය.

      සැබෑ නිරාගමිකත්වය
      සටන අත හැරීමක් නොව
      තාවකාලික පසුබැසීමකි.
      ආගමිකයා නොලබන ජයක්
      ඔහු ලැබිය යුතුය..
      ආගමිකයාටද මගපෙන්වීමට
      ඔහුට හැකි විය යුතුය..

      Delete