20140830

ඉතාම පහසුවෙන් බුද්ධිය රවටන්න පුළුවන්.


බුද්ධිය අන්ධයි.
බුද්ධිය කියන්නෙ මෝඩ උපකරණයක්.
ඉතාම පහසුවෙන් බුද්ධිය රවටන්න පුළුවන්.

ඔබටත් ඔබේ බුද්ධිය රවටන්න පුළුවන්.
ඔබ හරහා වෙනත් කෙනෙකුටත්
ඔබේ බුද්ධිය රවටන්න පුලුවන්.

බුද්ධියට තනියම හිතන්න බෑ.
ඔබ හිතන දේට වෙනස් දෙයක්
ඔබේ බුද්ධියට හිතන්න බෑ.
බුද්ධිය ස්වයංක්‍රීය උපකරණයක්..
තමන් කරන්නෙ මොකක්ද කියලා
බුද්ධියට දකින්න බැහැ.
බුද්ධිය ඇත්ත නැත්ත හොයන්නෙ නෑ.
ඔබට ප්‍රිය හා අප්‍රිය දේට පිටින්
වෙනත් සත්‍යයක් බුද්ධිය දන්නෙ නෑ.
ඔබ නොදකින සත්‍යයක් දකින්න බුද්ධියට බෑ.

බුද්ධිය දන්න එකම දේ
ඔබට ප්‍රිය අප්‍රිය දේ පමණයි.
ඔබට ප්‍රිය ඕනම බොරුවකට බුද්ධියත් කැමතියි.
ඔබට අප්‍රිය ඕනම ඇත්තකට  වුණත් බුද්ධිය අකමැතියි.
ඇත්ත බොරුව මොකක් වුණත් බුද්ධියට ප්‍රශ්නයක් නෑ.

බුද්ධිය කියන්නෙ අන්ධ භක්තිකයෙක්.
ඔබ කියන ඕනම බොරුවක් බුද්ධිය අදහනවා.
බුද්ධියට යන පණිවිඩය
ඔබ මගදි විකෘති කරනවා.
ඒ විකෘති පණිවිඩය තමයි
බුද්ධිය අදහන්නෙ.

මේසෙ උඩ තියන ආහාරයක
රස බුද්ධියට දැනෙන්නෙ නෑ.
දිවට දැනෙන්නෙත් නෑ.
ආහාරය දිවේ ස්පර්ශ වුණත්
දිවට රස දැනෙන්නෙ නෑ.

ආහාරයක රස
ආහාරයට අයිති ගුණයක්
කියලා ඔබ හිතුවට
රස කියල කියන්නෙ
ආහාරය ස්පර්ශ වෙද්දි
දිවේ දැනෙන උත්තේජනයයි..

යම් ආහාරයක ස්පර්ශයෙන්
දිව උත්තේජනය වෙලා
ජෛව රසායනික තරංගයකින්
බුද්ධියට පණිවිඩයක් යනවා.

ඒ තරංගය ඔබට ප්‍රිය නම්
ඔබට ඒ පණිවිඩය ලැබුණ ගමන්
ෂා රසයි කියලා ලේබල් එක ඇලෙව්වොත්
බුද්ධිය වෙන මොකුත් නොසිතා ඒක පිළිගන්නවා.
ඒ රස පස්සෙ යන්න සැලසුම් හදනවා.
ඒ රස නැවත නැවත විඳින්න හීන මවනවා.

රස නිසා ඔබ කන කෑම
කන තරමක් කන්නෙ
ඒ පණිවිඩ රස විඳින්නයි..
ඒ පණිවිඩ රස විඳින ඔබත්
බුද්ධිය ට බොරු පණිවිඩ යවමින්
බුද්ධිය රවටමින් බොරු පණිවිඩ රසවිඳිනවා.

ඔබ දොඩම් යුෂවලට කැමති නම්
දොඩම් යුෂ රසැති සින්තටික් රස කාරකයකින්
ඒ පණිවිඩය දුන්නත් මෝඩ බුද්ධිය පිළිගන්නවා.
බුද්ධිය රැවටෙනවා.. ඔබ සතුටුවෙනවා.

ආහාරයෙන් වෙන්නෙ
දිව උත්තේජනය කිරීමයි.
අමු අඹ වගේ දෙයක් දකින්නවත් ඕන නැහැ.
මතක් කළත් බුද්ධිය වැඩ කරන්න පටන් ගන්නවා.
කටට කෙළ පවා උනනවා.

බුද්ධිය කියන්නෙ මෝඩ උපකරණයක්.
ඉතාම ලෙහෙසියෙන් රවටන්න පුළුවන්.

ඔබ රවටන හැම කෙනෙක්ම කරන්නෙ
ඔබ ප්‍රිය කරන බොරු පණිවිඩ ටිකක් බුද්ධියට යවලා
ඔබේ මෝඩ බුද්ධිය උත්තේජනය කරලා
ඔබ ඔවුන්ට රිසි පාරක අරන් යන්නයි.
කෙනෙක් ඔබ මෝහනය කරලා
මෙන්න කේක් කෑල්ලක් කියලා ඔබට දුන්නොත්
සබන් කෑල්ලත් හපනවා.
කේක් රසත් දැනෙනවා ඇති.
පොත්පත් කියවලා, දේශන අහලා
ඔබේ කැමැත්තෙන් ඔබම මෝහනය වුණත්
ප්‍රතිඵලය ඒ විදියමයි.
පොතේ කේක් කියලා සබන් තිබුණත්
ඔබ කේක් කියලා පිළිගන්නවා.
ඇත්තටම කේක් ලැබුණත්
සබන් වගේ නෙවෙයි නිසා වීසි කරනවා.

ඔබ නිදා ගනිද්දි ඇඳෙන් වැටුණොත්
බුද්ධිය දන්නෙ නෑ ඔබ වැටුණෙ ඇඳෙන් කියලා.
බුද්ධිය බොරු කතාවක් හදලා දෙනවා.
ඔබ දකින්නෙ වෙන වෙලාවක වෙන තැනක
වැටෙන රූපයක්.
අවදි නොවුණොත් ඔබ දන්නෙ නෑ.
අවදියෙන් ඉන්නකොටත් ඔබ වැටෙනවා.
බුද්ධිය කතන්දර හදනවා.
ඔබ වැටුණෙ නෑ.. වැටෙන විදිය ඉගෙන ගත්තා.
ඔබ සතුටු වෙනවා.

අනිත් වෙලාවට
වෙන කෙනෙක් කතන්දර හදනවා.
ඔබ ඔහුට කැමති නම්
ඔහු හදන කතන්දර බුද්ධියටත් සුන්දරයි.
ඔබ අකමැති නම්.... කතන්දරත් වෙනස් වෙනවා.
බුද්ධිය වැඩ කරන්නෙ ද්වේශයෙන්.

ඔබේ කැමැත්ත අකමැත්ත මත
කතන්දර හදන කතාවට ශූරයන්ටත්
ඔබ තුළ කැමැත්ත අකමැත්ත ඇති කරන්න පුළුවන්..
ඔබේ අන්ධ බුද්ධිය අතපත ගාගෙන
යන්තම් ක්‍රමයක් හොයාගෙන
ඒ කතන්දර වල විදියට හැසිරෙනවා.

ඔබ ඔබේ ජාතියට ආදරෙයි.. ආගමට ආදරෙයි..
ඔබ වැඩ කරන ආයතනයට ආදරෙයි කියල
කවුරු හරි දක්ෂ කථිකයෙක්
ඔබ තුළ විශ්වාසය ඇති කළොත්
අන්ධ බුද්ධිය ඒ බව ලෝකෙට ඔප්පු කරන්න
අවශ්‍ය සියලු දේ කරනවා.

ඔබේ ප්‍රියතම භාණ්ඩ විකුණන වෙළඳ ව්‍යාපාරිකයාත්
ඔබ දිවි හිමියෙන් හුළං ගහන ඔබේ ප්‍රියතම දේශපාලනඥයාත්
දේශනවලට සවන් දී ඔබ රස විඳින පූජකයාත්
ඔබේ රෝග ගැන ටමන් දන්න දේ අනුව
ඔබ කැමති හිතලු ඔබට මවා දෙන වෛද්‍යවරයාත්
ඔබේ කැමැත්තෙන්ම ඔබේ කරපිට යන ඔබේ මිතුරාත්
ඔබට ප්‍රිය දේ හඳුනන ඔබ පෙම් බැඳි තැනැත්තාත්
ඔබේ ස්වයංක්‍රීය බුද්ධිය
ඔබට අවශ්‍ය විදියට  උත්තේජනය කරලා
ඔවුන්ට අවශ්‍ය විදියට ඔබ මෙහෙයවනවා.

ඔබට සිදුවෙන සියල්ලටම වරදකරු
තමන් කරන්නෙ මොකක්ද නොදන්නා
ඔබේම අන්ධ බුද්ධියයි.

මේ අදහස පිළිබඳව
ඔබ ඔබේ අන්ධ බුද්ධියට කියන්නේ කුමක්ද?

3 comments:

  1. චිත්‍ර සිල්පියෙක් මේ කාරිය කරන හැටි / වෙන හැටි අනෙක් හැමකෙනෙකුට වඩා ඉක්මනින් දැනගන්නව නේද?

    ReplyDelete
    Replies
    1. මේ කාර්යය හොඳින්ම සහ දැනුවත්වම කරන්නෙ
      කූට වෙළඳ ප්‍රචාරණ ශිල්පියා සහ කූට දෙශපාලනඥයායි..

      Delete
  2. වෙනස් විදිහට හිතන්න නිමිත්තක් දිලා.
    ලියවිල්ල එල ද බ්‍රා.

    ReplyDelete