20140804

සිදු වෙන සියලුම දේවල් නිශ්චිතයි..



එක් නිශ්චිත මොහොතක
නිශ්චිත ඝණ්ටාවකට
නිශ්චිත පහරක් වැදුණොත්
සිදු වෙන සියලුම දේවල් නිශ්චිතයි..
අහඹු සිදුවීම් නැහැ.
එක පරමාණුවක් ගත්තත්
මුළු විශ්වයම ගත්තත්
සියලු වෙනස්වීම් නිශ්චිතයි..

දිය පහරක් මිටිම, පහසුම තැනට
ගලා බසිමින් මුහුදට යන්නාක් මෙන්ම
ලෝකයත් එක මොහොතක සිට
අනෙක් මොහොතට වෙනස් වන්නේ
වෙනස් විය හැකි අවම අවස්ථාවටය.
මිනිස් සිතිවිලි පවා
බාහිර හා අභ්‍යන්තරික ක්‍රියාවලියක
ප්‍රතිඵල වෙයි..
ස්වාධීන නැත.

පරමාණු වල සිට සක්වලවල් දක්වා
සියලුම දේ ජාලයක් ලෙස නිශ්චිත මගක
චලනය වෙනවා.
මිනිස් සිතිවිලි පවා ඊට යටත්..
ඔබ කරනවා කියා ඔබ සිතන දේත්
ඔබ කියනවා කියා ඔබ සිතන දේත්
ඔබ සිතනවා කියා ඔබ සිතන දේත්
ඔබට ඉබේම ඇතිවෙන රාග ද්වේශ මෝහ..
නීවරණ වල නිපදවීම් අනුව
ඉබේටම පහළ වෙන
වචන හා ක්‍රියා නොවේද?

ඔබ තුළ ඉබේට සිදුවෙන ක්‍රියාවලිය
ඔබට නතර කළ හැකිද?

හුස්ම නිශ්චිතව
ඇතුල්වන්නේ පිටවන්නේ කෙසේද?
හුස්ම ගන්නේ ඔබද?
සිතිවිලි ඇති කරගන්නේ ඔබද?
දවස පුරා ඉරියව් වෙනස් කරන්නේ ඔබද...
ඒ සියල්ලම ඉබේට සිදු වෙනවා නොවේද?

අප සාක්ෂිකරුවන් බව
අපට අමතකයි.
ඉබේට සිදුවෙන දේවල්
මමත්වයෙන් අල්ලාගෙන
අපි කරනවා කියා සිතනවා.
තත්පර කිහිපයකට
ඔබ කරන සියල්ල නතරකොට
ඉබේට සිදුවෙන දේවල් දෙස
සමස්තයක් ලෙස බලා ඉන්න..

ඉන් පසුව
ඉතා සෙමින්
ඔබේ කයට ඉබේට හැසිරෙන්නට දී
ඔබට ඉබේට සිතිවිලි ඇතිවෙන හැටි..
ඔබ ඉබේට ඒ සිතුවිලි ක්‍රියාවට නගන විදිය
ඉබේටම සන්සුන්ව බලා ඉන්න.

3 comments:

  1. //ඔබ ඉබේට ඒ සිතුවිලි ක්‍රියාවට නගන විදිය
    ඉබේටම සන්සුන්ව බලා ඉන්න.//

    මට තේරුම් ගියේ නෑ. කවුද බලන් ඉන්නේ, ඔබේ කියන්නේ මගේ සිතුවුලි දෙස මටම බලන්න කියලද? එතකොට අර ක්වොන්ටම් භෘතික විද්‍යාවේ වගේ 'බලන් ඉන්න කොට වෙනත් නිරික්ෂනයක්'නේ දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්
      දැන් ඔබ දකින ලෝකය අසම්පූර්ණයි.
      ඔබේ නිරීක්ෂණය අසම්පූර්ණයි.

      ඔබ දැන් දකින්නෙ
      ඔබේ සැබෑ ලෝකයෙන්
      ඔබ "තෝරාගන්නා" කොටස පමණයි.
      ඔබට ප්‍රිය හෝ අප්‍රිය කොටස පමණයි.
      ඒ තෝරාගත් කොටස අනුව
      දැන් ඔබ ගන්නා තීරණ
      සමස්තයක් ලෙස ඔබට බලපානවා.

      දැන් ඔබ සිත පිනවද්දි කය පිරිහෙනවා.
      කය දුක් විඳිනවා.

      දැන් ඔබ කය පිනවද්දි සිත පිරිහෙනවා.
      සිත දුක් විඳිනවා.

      දැන් විටින් විට ඔබ ලබන වින්දනය නිසා
      සමස්තයක් ලෙස ඔබ පිරිහෙනවා.
      ඔබ දුක් විඳිනවා.

      ඔබ වයසට යද්දි එන ගැටළු වලින්
      කය වයසට යෑමෙන් ඇති වෙන ගැටළු
      ඉතාම සීමිතයි.
      වයසට යද්දි එන ගැටළු වලින්
      විශාල ප්‍රමාණයකට හේතු වන්නේ
      ඔබ සිතත් කයත් වැරදි ලෙස
      පරිහරණය කිරීමෙන් ඇතිවුණ
      අක්‍රමිකතා නිසා උපන් ගැටළුයි.

      මේ ගැටළු වලින් මිදීමට සහ
      අනාගතයෙ ඇතිවෙන ගැටළු වලින්
      කල් තියා අත් මිදීමට
      ඔබ තවම ප්‍රමාද වැඩි නැහැ.

      ඔබේ සිතත් කයත් හැසිරෙන විදිය
      ඔබට පෙනෙන විට, ඔබට දැනෙන විට
      හානිකර පරිහරණ රටාවන්
      ඔබටම පෙනෙයි, දැනෙයි.
      තමන්ට සිදුවෙන දේ දකින්න තරම්
      සිහිය ඇති කිසිම සතෙක්
      දැන දැනම
      තමන්ට හානි කරගන්නෙ නැහැ.
      ඔබත් එහෙමයි.

      Delete
    2. බොහොම ස්තුතියි ලබා දුන් පිළිතුරට!, නමුත් පිලිතුරෙත් ගැටළු ඇති හැඩයි. :-). මා නැවත වරක් තේරුම් ගැනීමට උන්සහ කරන්නම්. ගැටළු ඇතොත් ඔබට ලියන්නම් ( කොමෙන්ට් තිරයේ)

      Delete