20140304

3 වසරෙ පුතාට කෙල්ලෙක් ලයින්....



මගේ පුතා ඉන්නෙ 3 වසරෙ...
මේ දවස්වල කෙල්ලෙක් පුතාට ලයින්.
මලක් ඇඳල පුතා හොඳයි කියල ලියල
කොළයක් දීල තිබුණා.

ඉතින්
පුතාට ප්‍රේමය විවිධ කෝණ වලින්
හඳුන්වා දීම වරින් වර කළා..

පුතා කොල්ලෙක් නිසා බය වෙන්න දෙයක් නෑ..
යාලුවෙක් විදියට ඇසුරු කළාට
පුතාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
ඒත් ඕනවට වඩා හිතට අරන්
මතක් කර කර රස විඳින්න ගත්තොත්
ප්‍රශ්නයක් වෙයි කියල
මම පුතාට කිව්වා..

පුතාට වඩා හොඳ
වෙන කොල්ලෙක් හමුවුණොත්
එයාට ඔයාව මතක නැති වෙනවා.
ඊට පස්සෙ
විරහ ගී ගයන්න තමයි වෙන්නෙ...
කියල කිව්වම 
කොල්ලා අහනවා ඒ මොනවද කියලා.

මට මතක් වුණේ,
මුලු හදින් මම ඇයට පෙම්කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි..
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වෙන හැටි බලා දුක්වෙමි..
ටිකක් අතිශයෝක්තියෙන් රඟපාල පෙන්නුවා.

හිනාවෙවී අහගෙන ඉඳල
බිම බලාගෙන ඉවත්වෙලා ගියා.
ගේ පිටිපස්සට ගිහින්
බිම ඇණතියාගෙන වාඩි වෙලා
බිම ඉරි ඇඳ ඇඳ හිටියලු..

මම ගෙන්නල ඇහුවා..
මොනවද ඉගෙන ගත්තෙ කියල..
කෙල්ලො පැත්තෙ නොයන්න.. කිව්වා.
ඇයි කියල ඇහුවාම
තාත්ත දඬුවම් කරාවි කිව්වා.
මම කිව්වා මම දඬුවම් කරන්නෙ නෑ..
හැබැයි ඒ කෙල්ලගෙ තාත්ත ඇවිල්ල
ඔයාට ගැහුවොත් මම බේරගන්නෙ නෑ..
මම වචනයක්වත් කියන්නෙත් නෑ, කියල.

එයාල මාව තියා ගනීවිද කියල ඇහුවා.

මම කිව්වා ඒක වෙන්නත් පුලුවන් කියලා.
මම දැනුවත්ව එහෙම දෙයක් වෙලා තියනවා..
හොඳ කෙල්ලෙක් හිටිය කෙනෙක්
කෙල්ලෙක් ආයතනය ඇතුළෙ
කලන්තෙ දාල වැටිලා
වාහනේට උස්සගෙන ගියා.
ඔහුගෙ ඒ කෙල්ල එක්ක
සම්බන්ධයක් ඇති වුණා.
ඇගේ මාමලා ඔහුට ඇයව
බලෙන් බන්දලා දුන්නා.
මම ඒ අව්ස්ථා දෙකම දැක්කා.
මම ඒ කතාවත් පුතාට කිව්වා.

අලුත් කතාවත් කිව්වා.
බැරි වෙලාවත් ඒ කෙල්ල දිවිනසාගත්තොත්
කට්ටිය ඇවිල්ලා ඔයාව මරන්න හදාවි කියලා.
ප්‍රින්සිපල් බැනලා දිවිනසා ගත්තා කියලා
කට්ටිය එයාව කන්න හදපු විදියට
ඔයා නිසා කෙල්ලෙක් දිවි නසා ගත්තොත්
ඔයාව මරන්න ඒවි.. කියලා.

පුතා ඇහුවා ඇයි එහෙම කරන්නෙ කියලා.

ලස්සණ කෙල්ලෙක් නිසා
මිනිස්සුන්ට කාමච්ඡන්දය ඇතිවෙන විදිය.....
ඔවුන්ගේ කාමච්ඡන්දය ඇතිකළ කෙනාට
හානියක් වුණාම
ඔවුන්ට ව්‍යාපාදය ඇතිවෙන විදිය...
ඒ ව්‍යාපාදය නිසා
ඔවුන් ළඟම ඉන්න කෙනා පිටින්
ඒ ව්‍යාපාදය නිදහස් කරන විදිය, පළිගන්න විදිය
මම එයාට තෝරලා දුන්නා...

ඉතින් දවසක ඔයා පස්සෙනුත්
ඒ වගේ පිරිසක් එන්න පුලුවන්..

මේ කාලෙ හැටියට වෙන්න පුලුවන්...

ස්වීප් ගන්න හැමකෙනාටම ඇදෙන්නෙ නෑ.
ඒත් ඇදෙන කෙනා පුතා වෙන්නත් පුලුවන්...

මම අන්තිමට කිව්වා
ඒ හින්දා හොදට වැඩ කරලා
වටිනාකම වැඩි කරගෙන
පිටරටකට ගිහින් හොඳට ජීවත් වෙන්න...
මම උදව් කරන්නම් කියලා.
පුතා මාව බදාගෙන ඇඬුවා..

හොඳට හිටියොත්
ඔයාට වරදක් වෙන්නෙ නෑ.
වරදක් වුණත් දුක් විඳින්න වෙන්න නෑ.

හිතෙන හැම දෙයක්ම නොකර...
හොඳ දේවල් තෝරගෙන කරන්න....
කියල ඉවර කළා.

11 comments:

  1. ඔහු ජීවිතය ලොජිකල් විදියට දකින්න පටන් ගනියි කියල හිතෙන්නේ නැද්ද.. ලොජිකල් වුනාම රස දැනෙනවා අඩුයි නේද... :)

    ReplyDelete
  2. රස කොහොමත් දැනෙනවා.
    ලොජිකල් වුණාම අඩුවෙන්නෙ
    අපි හිතින් මවා ගන්න රස විතරයි.

    රස අහිමි වුණොත් දුක් විඳින්නෙත්
    අපි හිතින් මවා ගන්න රස නිසයි.

    බුදු දහමෙ ලොජික් වලින් කරන්නෙ
    සිහිය දියුණු කිරීමයි..

    ඔහු නොරැවටෙන්නෙ ලොගික් නිසා නෙමෙයි..
    සිහිය තියන නිසයි..
    ඔහුට රස නිරස දෙකම පෙනෙනවා.
    අවසිහියෙන් ඉන්න කෙනෙක් වගේ උමතුවකට
    ඔහු පත්වෙන්නෙ නැහැ.
    ඔහු විඳින රසය සියුම්...
    කල් පවතිනවා.
    ඔහුගෙ කෘතවේදී බවක් තියනවා.

    අවසිහියෙන් විඳින අය ආත්මාර්ථකාමීයි..
    කෑදරයි... නිතරම ඉන්නෙ කුසගින්නෙන්..

    කුසගින්නෙ ඉන්න කෙනෙකුට
    අයිස්ක්‍රීම් එකක් ලැබුණත්
    රස විඳින්න හිතට නිවණක් නැහැ.
    ඔහු කරන්නෙ අයිස්ක්‍රීම් එක දූෂණය කිරීමයි.

    ReplyDelete
  3. ඔහුට රසය මායාවක් කියල තේරුම් යන්න ඒක විඳින්න ඉඩ හරින්න ඕනේ නැද්ද?
    එතකොට නේද තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ රසය මානසිකයි කියන දේ. සිහියෙන් රසය විඳින්න උගන්නවන එක හරියටම හරි. නමුත් රස විඳින්න බාදා කරන එක හරි නෑ කියලයි මම හිතන්නේ.. පසු කාලෙකදී ඔහු පසු තැවෙයි ඔහුට විඳින්න නොලැබුණු ඒ විවිද රස ගැන.. එතකොට පසුතැවිලි වෙන්න දේවල් ඉතිරි වෙයි..

    ReplyDelete
  4. Pathum, Thanks...
    සිහියෙන් රස විඳින කෙනෙකුට තරම් හොඳින්
    රසයක් හඳුන ගන්න වෙනත් කෙනෙකුට බැහැ.

    සිහියෙන් රස විඳින කෙනා තුළ
    රසය වාරණයක් වෙන්නෙ නැහැ.
    වෙන්නෙ ඔහු රසයෙ සැබෑ ස්වභාවය දැකීමයි..

    ආහාරයක් ගනිද්දි
    ඔහු ඒ ආහාරය ගන්නෙ
    රසය නිසාම තමයි කියලා
    ඔහු දන්නවා...

    යුවතියකට බැඳෙන කොට
    ඇය විසින් තමාගෙ සිතත් කයත් තුළ
    ඇතිවෙන ප්‍රිය සංවෙදනා මාලාව නිසා
    ඇයට බැඳෙන බවත්
    ඔහු දන්නවා.
    ඇයත් සමග ගත කරන කාලය තුළ
    ඔහු තමා තුළ සිදුවෙන වෙනස් කම් ගැනත්
    සිහියෙන් ඉන්නවා.
    උපේක්ෂාව නිසා
    ඔහු පමණ ඉක්මවා යන්නෙ නැහැ.
    ලෝකය පූර්ණ ලෙස විඳින්නයි
    ඔහු ඉගෙන ගන්නෙ.
    ඒ නිසාම
    ලෝකයෙන් පැනල යන්නත් අවශ්‍ය නැහැ.
    ඔහු දුකක් වෙන තැනට රස විඳින්නෙ නැහැ.
    ඔහු දුක් විඳින්නෙ නැහැ.

    ReplyDelete
  5. ඔබ කියන දේ හරි. පුර්ණ ලෙස ජිවත් වීමට ඇති නොහැකියාව අපිට බොහෝ රස අහිමි කරවනවා... අපි බොහෝ විට විඳින්නේ බාගෙට... ඉතින් හැමදාම අනාගතයේ විඳින්න දේවල් ඉතිරි කර ගන්නවා. මේ මොහොත තුල ඇති නිවනේ රසය අපි දකින්නේ නෑ..

    පොඩි අයට හරි ලේසියි මේක තේරුම් ගන්න. ඔවුන් තවමත් නිර්මලයි. ඉතින් පරම නිර්මලතාවය තේරුම් ගැනීම ඔවුන්ට අපහසු දෙයක් නෙවෙයි හරි විදිය කියා දෙන කෙනෙක් ඉන්නවනම්..

    පුතා කවද හරි විශ්ව ප්‍රේමය අත්දකියි. එදාට ඔහු සතුටු වෙයි ඔහු ඉගෙන ගත් දේ ගැන..

    ReplyDelete
  6. පුහුදුන් මිනිසාට දැනෙන, ඔහු විඳින ආකාර හතර
    http://vidasuna.blogspot.com/2012/11/blog-post_29.html

    ReplyDelete
  7. වෙනස් විදියට ලෝකය දකින්නට වෙර දරන ඔබ ගැන සතුටුයි.

    ReplyDelete
  8. අපුරුයි සහෝ!!!! ම මෙය බිරිදට පෙන්නු විට,

    "කොල්ලන්ට ලයින් දන්න කෙල්ලන්ට වෙන වැඩ නැනේ කිවුව........."

    කෙල්ලෝ තරම් බිසී ජාතියක්....!

    ReplyDelete
  9. :D
    ඒ තමයි,
    ස්ත්‍රීන් පුරුෂයන්ට පෙන්වන රූපය.
    ඔවුන්ව ගණන් නොගෙන
    වරුවක් ඉඳල බලන්න ඕන..
    සැබෑ රූපය... :)

    ReplyDelete
  10. "මම අන්තිමට කිව්වා
    ඒ හින්දා හොදට වැඩ කරලා
    වටිනාකම වැඩි කරගෙන
    පිටරටකට ගිහින් හොඳට ජීවත් වෙන්න..."

    මේ ටික කිවුවේ දශක කියක අද්දැකීම් මතද....
    අන්තිමට දෙමාපියන්ට දරුවන්ට කියන්න ඉතුරු වෙන්නේ මෙච්චරද .......
    පිටරටක යන්න....
    හොදින් ජිවත් වෙන්න .....

    ReplyDelete
  11. පිටරටකට ගිහින් හොඳට ජීවත් වෙන්න.. yes Sri Lanka is a shit tribal county

    ReplyDelete