20140201

පනාපුත්‍රගේ මතක වස්තුව


 http://www.silumina.lk/punkalasa/20090802/_art.asp?fn=ar0908029


“එක හුස්මට කියවලා ඉවර කරපු පොතක්.”

ඇතමුන් සමහර පොත් ගැන එසේ කියනු අප අසා තිබෙනවා.
එක හුස්මට පොතක් කියවා හමාර කරන්ට නම් ඒ පොත රීඩබල් (READABLE) එකක් වෙන්න ඕනෑ. (මේ රීඩබල් යන ඉංගිරිසි වචනයට තේරුම දෙන තනි සිංහල වචනයක් අපේ සාහිත්‍යයේ නැහැ. කියැවීමට ප‍්‍රිය උපදවන, කියැවීමට රුචි උපදවන යන අර්ථය රීඩබල් කියන වචනයට දෙන්න පුළුවන්)
පසුගියදා මට කියවන්න ලැබුණු එක්තරා පොතක් මා එක හුස්මට කියෙව්වේ මේ රීඩබල් ගතිය නිසයි. ඒ පොත තමයි ජැක්සන් ඇන්තනිගේ ‘පනාපුත‍්‍රගේ මතක වස්තුව‘. ඒක තීරු ලිපි එකතුවක්. මීට අවුරුදු කීපයකට ඉහත මේ තීරු ලිපි එක්තරා ඉරිදා පුවත්පතක පළවුණු බවත් මා එය මහත් ආසාවෙන් කියැවූ බවත් මට මතකයි.
ජැක්සන් ඇන්තනී අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නළුවකු වශයෙන් වුණත් ඔහු කලාවේ විවිධ ක්ෂේත‍්‍රයන්හි නොමද ප‍්‍රතිභාව පාන කලාකරුවෙක්. ඔහු චිත‍්‍ර ශිල්පියෙක්; ගායකයෙක්, නිවේදකයෙක්, චිත‍්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, නළුවෙක්, විද්වත් විචාරකයෙක් විතරක් නෙමෙයි දක්ෂ ලේඛකයෙක්. ඒ අනුව මට හිතෙන විදියට මහගමසේකර ගෙන් පස්සේ බිහිවෙච්ච මෙසේ එකවිට කලා මාධ්‍ය ගණනාවක එකසේ ප‍්‍රතිභා නැණ මහිමය විදහා පාන එක ම කලාකරුවා ජැක්සන් වෙන්න ඕනෑ.
ජැක්සන් නිරත වන සන්නිවේදන මාධ්‍ය අතරින් වැඩියෙන් ම බැණුම් අහපු ක්ෂේත‍්‍රය තමයි නිවේදන කලාව. වරක් කොළඹ පැවැති එක්තරා ප‍්‍රබුද්ධ සම්මන්ත‍්‍රණයක නිවේදකයා වුණේ ජැක්සන්. ඊට ටික දිනකට පසු කෙනෙක් තවත් කෙනකුගෙන් යථෝක්ත සම්මන්ත‍්‍රණය ගැන මෙසේ අසා තිබෙනවා.
‘කොහොමද සෙමිනා එක?”
“වරදක් නැහැ”
“කවුද හොඳට කතා කළේ?”
“ජැක්සන්”
“මොනවා? ඒ කොහොමද? එයාගේ දේශනයක් තිබ්බෙ නැහැනේ. එයා ගෙන් එනවුන්ස.”
“ඒ වුණාට දේශකයන්ටත් වඩා වැඩිපුර කාලයක් මිඩංගු කරලා කතා කළේ ජැක්සන්. හැබැයි අර දේශකයන්ටත් වඩා විෂයය ගැන හොඳ දැනුමක් ජැක්සන්ට තිබුණා. ඒක නිසයි මිනිහා හොඳ ම කතාව කළයි කියලා මං කිව්වේ.”
ඉහත සංවාද පෙළෙහි ජැක්සන්ට කෙරුණු ප‍්‍රශංසාවකුත් තියෙනවා; ඒ වගේ ම කිසියම් ප‍්‍රමාණයකට නින්දාවකුත් තියෙනවායි කියලා මට හිතෙනවා.
ජැක්සන් හොඳ සංස්කෘතික මානවයෙක්. ඔහු උපතින්, හැදුණු වැඩුණු පරිසරය අනුව කතෝලිකයෙක්. නමුත් ඔහු ඇතැම් බෞද්ධයන්ටත් වඩා හොඳ බෞද්ධයෙක්.
“මගේ ආගම කතෝලික. ඒත් සංස්කෘතිය බෞද්ධ”
ඒ ජැක්සන් නිතර ම කියන කතාවක්. ජැක්සන් ළමා වියේ එක්තරා යුගයක් ගත කළේ බණ්ඩාරවෙල දෝව පන්සල ආශ‍්‍රයේ. ඔහු පන්සලේ පෙරහරවලට පවා සහභාගි වී තිබෙනවා. එසේ ම පන්සිල් අරගෙන තිබෙනවා. අපේ රටේ සමාධි පිළිමය ළඟ හඬපු එක ම කතෝලිකයා ජැක්සන් යැයි මා සිතනවා. ඔහු ඒ කතාව වරක් මා සමඟ කිව්වේ මෙහෙමයි.
“මහමෙවුනා උයනේදී මට හිතුණා තනිවෙන්න. මම සමාධි පිළිමය දිහා බලන් ඉද්දි මට ඇඬුණා. ඒ ඇයි කියලා කියන්න මං දන්නේ නැහැ.”
ජැක්සන්ට පෘථුල සාහිත්‍යමය දැනුමක් තියෙනවා. ඔහු සිංහල සම්භාව්‍ය සාහිත්‍යය ගැඹුරින් කියවා, හදාරා තිබෙනවා. ඒ සාහිත්‍යයෙත් සිනමාව තිබෙනවා ය කියලයි ජැක්සන් නිතර ම කියන්නේ. ඒ ගැන ඔහු දවසක් මාත් එක්ක මෙහෙම කිව්වා.
“කව් සිළුමිණේ එන රති කෙළී වැනුමේ තරම් භාව සම්පන්න රූප භාවිතයක් මට බර්ග්මාන් ගේ චිත‍්‍රපටයකවත් දැකලා නැහැ. ඒ වගේ ම ‘බුත්සරණේ’ එන යමාමහ පෙළහරේ තරම් ෆැන්ටසි එකක් මම කුරෝසාවාගේ චිත‍්‍රපටයකවත් දැකලා නැහැ.”
ඒ වගේ ම ‘බුත්සරණේ’ එන ‘නාලාගිරි දමනය’ චිත‍්‍රපට සංස්කරණය සිහිගන්වන බව ජැක්සන් විතරක් නෙමෙයි ඊට ඉහත ටයිටස් තොටවත්ත, තිස්ස අබේසේකර වැනි සිනමා කලාවේ ප‍්‍රාමාණිකයන් පවා පෙන්වා දී තිබෙනවා.
එසේ ම බටහිර රටවල රංග කලාව හා සම්බන්ධයෙන් උගන්වන යම් යම් සිද්ධාන්ත අපේ පැරැණි සාහිත්‍යයෙත් පාරම්පරික නැටුම් කලාවේත් පවතින බව ජැක්සන් නිතර ම පෙන්වා දී ඇති කරුණක්. මා නිවැරදි නම් බටහිර රටවල උගන්වන කටහඬ පුහුණුව අපේ ‘සිදත් සඟාවේ’ තිබෙන බවත් මුල් වරට පෙන්වලා දුන්නේ ජැක්සන්. ‘සකස්කඩේ’ කියවලා තියෙන කෙනකුට අමුතුවෙන් කටහඬ පුහුණුවන්න අවශ්‍ය නැහැ. එසේ ම බටහිර රංග කලාවේ එන ‘කාය ශීථිලනය’ (ඕර්‍ණච්ක අඡ්ඹ්ඒඔඒඊධ්ර්‍ණව්) පමණක් නොව ‘රූපණ ශෝභාව‘ (ඒඛ්ඊධ්ර්‍ණව් ඕඡ්ඒඋඊක) අපේ ගැමි නැටුම්වල පවත්නා බව ජැක්සන් පෙන්වා දී තිබෙනවා. ඔහු ඒ ගැන වරක් මා සමග මෙසේ කියා සිටියා.
“පිටරට නාට්‍ය ඇදුරෝ මෙහෙ ඇවිල්ලා පවත්වන වැඩමුළුවලදි අපිට උගන්වන බොඩි රිලැක්සේෂන් - ඇක්ටිං බියුටි කියන දේවල් අපේ පාරම්පරික රංග සම්ප‍්‍රදායේ තියෙනවා. නටන කොට ඇඟ හෑල්ලු කරපන් කියලා ගුරුන්නාන්සේලා කියන්නේ ඔය බොඩි රිලැක්සේෂන් එකට තමයි. හුරතල් පාපන් කියලා කියන්නේ ඇක්ටින් බියුටි එකට. (රංග ප‍්‍රසන්නතාව කියලා ඒකට සිංහලෙන් කියන්න පුළුවන්) අපේ සළුපාලියේ - ගරා යක් නැටුමේ ඔය ඇක්ටිං බියුටි එක තියෙනවා. සළුපාලියේ යකා මොනතරම් හුරතල් ද?”
ජැක්සන් මට මුලින් ම හමුවූ දවස මේ මොහොතේ මට සිහිපත් වෙනවා. එය 1983 වසරේ එක්තරා දවසක්. කොළඹ විශ්ව විද්‍යාලයයේ ‘විකෘති’ වේදිකා නාට්‍යය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා. ගාමිණි සුමනසේකර හා මා ඊට සහභාගි වුණේ දේශකයන් වශයෙන්. ජැක්සන් ඒ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු දේශන අවසානයේ ඉතා ම මුඛරි විදියට කතා කරමින් අපෙන් නොයෙක් ප‍්‍රශ්න ඇසු ආකාරය අදටත් මට මතකයි.
ජැක්සන් ඊට පස්සේ මම දැක්කේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේ. ඉනික්බිති ව ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා වැනි ප‍්‍රවීණ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට පවා රංගනයෙන් දායක වුණා. ඔහුගේ වේදිකා නාට්‍ය රංග කලා ජීවිතයේ කූටප‍්‍රාප්තිය ‘මරසාද්’ නාට්‍යය කියලයි මම හිතන්නේ. ඔහු මේ නාට්‍යයේ මරණය නිරූපණය කළ ආකාරය ඉතාම විශිෂ්ටයි. ඒ සඳහා ජැක්සන්ට ඊට පෙර දිනෙක මංකොල්ලකරුවන් ඉදිරියේ මුහුණ පෑ ගොරබිරම් අත්දැකීමක් ප‍්‍රයෝජනවත් වූ බව ‘පනාපුත‍්‍රගේ මතක වස්තුවේ’ එන තීරු ලිපියක සඳහන් ව තිබෙනවා.
කෙසේ වෙතත් ජැක්සන් පොදු ජන රසිකයන් අතරට ගියේ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ‘පළිඟු මැණිකේ’, ‘තාරා දේවි’ වැනි ටෙලි නාට්‍යවලින්. ඊට පස්සේ ඔහු ටෙලි නාට්‍ය රංගනයේත් උපරීමයට ගියා. ඒ ‘කඩුල්ල’, ‘පිටගම්කාරයෝ’ වැනි ටෙලි නාට්‍ය හරහා.
ටෝනි රණසිංහ, සිරිල් වික‍්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි නළුවන් දෙතුන් දෙනකු හැරුණුකොට වේදිකාවෙන් ආපු නළුවන්ට සිනමාවේ ප‍්‍රබල ස්ථානයක රැඳෙන්න පුළුවන් වුණේ නැහැ. සිරිල් වුණත් මුලින් ම රඟපෑවේ ‘හඳපාන’ චිත‍්‍රපටයේ ඉතා ම සුළු චරිතයක්. ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාට රඟපෑ මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු වැනි මහා නළුවෙකුට සිනමාවේ ඉඩක් තිබුණේ ම නැහැ. ඔහු ‘වැලිකතර’ චිත‍්‍රපටයේ සුළු චරිතයක් රඟපෑවත් ඒ චිත‍්‍රපටයේ ඔහු හිටියේ කොතැනද කියලා මටවත් හරියට මතක නැහැ. එබඳු පසුබිමක ජැක්සන් වැනි වේදිකාවෙන් ආ නළුවෙක් මෙතරම් හෝ දුරක් සිනමාවේ පැමිණීම ඉතා වැදගත්. ඔහුගේ සිනමා රංග කලා ජීවිතයේ උපරීම අවස්ථාවක් තමයි ‘බවදුක’ චිත‍්‍රපටයේ පේදුරුගේ චරිතය. වේදිකා නාට්‍ය කලාවේත් ටෙලි නාට්‍ය කලාවේත් සිනමාවේත් හොඳ නළුවා සඳහා වන සම්මානය දිනාගත් අපේ රටේ එක ම නළුවා ජැක්සන් වෙන්න ඕනෑ.
1998 දී විතර ප‍්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරි එක්තරා පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවැකියක් පළ කළා. ඒ මේ විදියට.
“ඔහු සම්බන්ධයෙන් අනාවැකියක් කියන්න මට ඉඩ දෙන්න. තව දශකයක් ඉක්ම යෑමට පෙර ඔහු (ජැක්සන්) දකුණු ආසියාවේ සිටින විශිෂ්ටතම නළුවා වෙනවා.”
එහෙත් දැන් ඒ දශකය ඉක්ම ගිහිල්ලා ඉවරයි. ජයන්තගේ අනාවැකිය ඉටු වුණාද? එසේත් නැත්නම් එය ඉටු වුණේ නැද්ද? ඉටු නොවුණා නම් ඊට හේතුව මොකද්ද? මට නම් හිතෙන්නේ පසුගිය දශකය තුළ ජැක්සන් වෙනත් මාධ්‍යවල සිල්ලර වැඩවලට කාලය නාස්ති නොකර අඛණ්ඩව රංග කලාවේ ම ව්‍යවෘත වුණා නම් ජයන්තගේ අනාවැකිය සඵල වන්න ඉඩ තිබුණු බවයි.
ජැක්සන්ගේ මේ තීරු ලිපි පොත නළුවකු විදියට පසුගිය අවුරුදු ගණනාවේ ලැබු අනේකවිධ අත්දැකීම් ගොනුකර දැක්වුණු මාහැඟි සැමරුම් සංග‍්‍රහයක් ලෙස නම් කරන්න පුළුවන්.
ජැක්සන්ගේ පොතේ මා සිත් ගත් ඉතා වැදගත් ම ලක්ෂණය තමයි උපහාස රසය. එහි එක් තීරු ලිපියක ගුණදාස කපුගේ කුණුහරුපයක් කීවා යැයි ජැක්සන් කියන්නේ ‘උන්මාද සිතුවම්’ ගීතය ගැයු කටහ¾ඩින් කපුගේ ඒ කුණුහරුපය කී බවයි. ජැක්සන් මේ ලිපි සරණියෙන් අනුන්ට විතරක් නෙමෙයි තමන්ටත් හිනාවෙලා තිබෙනවා. ජුඩ් ශී‍්‍රමාල් ගේ මඟුල් ගෙදරදි ඔහු ලත් අත්දැකීම් ගැන කියැවුණු තීරු ලිපිය ඊට හොඳ උදාහරණයක්.
ජැක්සන්ගේ මේ තීරු ලිපි සංග‍්‍රහය ජැක්සන් ඇන්තනි නමැති නිර්මාණ ලේඛකයා කලා අවකාශය තුළ තහවුරු කරන්න ලියැවුණු මාහැඟි ග‍්‍රන්ථයක් බව නොකියා බැහැ.


Source
http://www.silumina.lk/punkalasa/20090802/_art.asp?fn=ar0908029

=============================================================

ජැක්සන්ගේ ජුගුප්සාජනක, නොගැලපෙන
දේශපාලනික රංගනය නිසා
මා තුළ පිරිහී තිබුණ රසික සහෘදභාවය
තිබුණාටත් වඩා ඉහළ නැංවීමට
'මතක වස්තුව' හේතුවුණා.

ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ජැක්සන් කුඩා කල සිට ලද
විවිධ ජීවන අත්දැකීම් අළලා
ඔහුම ලියන ලද ඉතාම රසවත්
"පනාපුත්‍රගේ මතක වස්තුව" කියවීමෙන්
ඔහු නාට්‍යකලාවට දැක්වූ ආදරය
සහ ඊට දැක්වූ ලැදියාව
පළමුව ඔහුගේ රංගනයෙන්
අපිට පසක් වෙනවා.

ඒත් ඒ පසුබිම සවිස්තරව දැනගත හැක්කේ 

පනාපුත්‍රගේ මතක වස්තුවෙන්.
------------------------------------------------------------
"කරදර කම්කටොලු රාශියක් මධ්‍යයේ චිත්‍රපටයේ රූ ගැන්වීම් ආරම්භ විය. ධර්මසිරි චිත්‍රපටය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටී. ඔහුගේ වෙහෙසට සීමාවක් නැත. එලෙස වෙහෙසෙන අධ්‍යක්ෂක වරයෙකු මා මීට පෙර දැක නැත.

ධර්මසිරි නිතර මා මුණ ගැසීමට හඳපාංගොඩ එයි. දිනෙන් දින පාරම්පරික ගැමි නැට්ටුවෙකු බවට පත්වන පනාපුත්‍ර දෙස හේ සෙනෙහසින් බලා සිටියි. පුහුණුකාලය නිම කරන්නට වූයේ චිතරපටයේ රූ ගැන්වීම් යෙදී තිබුණ නිසාය. නො.එසේ නම් මා තවදුරටත් හඳපාංගොඩ වැසියෙකු වන්නට ඉඩ තිබුණි. සේදරමන් ගුරුන්නාන්සේ ධර්මසිරි අමතන්නේ "අපේ මහත්තයා"යනුවෙනි. පුහුණුව අවසාන කළදිනයේ සුදු මාමා අපේ මහත්තයාට ගෝලයා පිළිබඳ සහතිකයක් දුන්නේය.
"අපේ මහත්තයා බය නැතිව එක්ක යන්න. මයෙ පුතා දැන් මළකටුවා ගාණට ඉන්නවා."
මළකටුවා යනු මීට දශක කිහිපයකට පෙර පහත රට මඩු නැටුම් ආශ්‍රිතව සිටි ශ්‍රේෂ්ඨ නැට්ටුවෙකි."
------"පනාපුත්‍රගේ මතක වස්තුව"------

"පනාපුත්‍රගේ මතක වස්තුව"
නවක නළු නිළියන්ට හොඳ පාඩමක්.
ඔවුන් දැන් කරන දේත්
සැබැවින්ම කළයුතු දේත් අතර
වෙනස වටහා ගන්නට
හොඳ පාඩමක්.
--------------------------------------
"පනාපුත්‍රගේ මතක වස්තුව"
ප්‍රකාශක 0777363633
සුපිරි වෙළඳ සංකීර්ණය
බොරැල්ල.







No comments:

Post a Comment