20230930

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි" - "සියල්ල" යනු සියල්ල නොවේ.

 


 

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි"

තව දින කිහිපයකින්
විපස්සනා දස දින පුහුණුවකට
සැරසෙමින් සිටින විදේශගත මිතුරෙක්
මට මෙසේ පණිවිඩයක් එව්වා.
"සබ්බං අනිච්චං"

දහම් සංවාදයන්හි යෙදීමේදී
මට සමීපම කළණ මිතුරා වන ඔහුත්
මාත් සංවාද අරඹන්නේ මේ අයුරින්.
මේ සංවාදය තවමත් ගලා යනවා.
මා අපේ සංවාදය කැටි කරමින්
ඔහුගෙන් මෙසේ ඇසුවා.

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි"

සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි
කියන බුදුන් වහන්සේ විසින්
"සියල්ල" අර්ථ දැක්වීමේදී...
'සියල්ල' ලෙස
අප තුළ අප විඳින "සියල්ල" පමණක්...
'සියල්ල' ලෙස වෙන්කර දක්වමින්
අප වෙසෙන මේ සමස්ත විශ්වය සහ
එහි අඩංගු අනික් සියලුම දේ
නොසලකා හරින්නේ මන්ද?

"සියල්ල අනිත්‍යයි" කියා
අප වටා ඇති සියල්ල ගැන
කාට හෝ කිව හැකිද?
කාටවත් එසේ කිව නොහැක්කේ ඇයි?

සබ‍්බං භික‍්ඛවෙ, අනිච‍්චං.
කිඤ‍්ච භික‍්ඛවෙ සබ‍්බං අනිච‍්චං:
චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං,
රූපා අනිච‍්චා,
චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං,
චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චො.
යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා
උප‍්පජ‍්ජති වෙදයිතං
සුඛං වා දුක‍්ඛං වා
අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.

මහණෙනි, සියල්ල අනිත්‍ය ය.
මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්:
මහණෙනි, ඇස අනිත්‍ය ය.
රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය,
චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය,
චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ
නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක්
උපදී නම් එ ද අනිතය ය.

ඇස, රූපය, අක්ෂි විඤ්ඤාණය,
ඇසෙහි සිදුවෙන ස්පර්ශය,
ඒ හේතුවෙන් පහළ වෙන
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ යන
වේදනාවෝ අනිත්‍යය.
අන් ඉඳුරන්ට හා
මනසටද එසේමය.

බුදු දහමෙන් පිට දී
"සියල්ල" ලෙස අප දකින්නේ
අපත් ඇතුළුව මේ අප වටා
අප ඉන්ද්‍රිය සහ සිත ඇසුරෙන් විඳින
සමස්ත විශ්වයම නොවේද?
සමස්ත විශ්වයම අනිත්‍ය නැද්ද?

බුදුන් වහන්සේ "සියල්ල" පිළිබඳව
සත්‍යය දේශනා කිරීමේදී
අප වටා ඇති සමස්ත විශ්වයම
නොසලකා හැර ඇත්තේ ඇයි?

අප තුළ සිදුවෙන විපර්යාස පමණක්
සියල්ල ලෙස අර්ථ දක්වමින්
ඒ සියල්ල පමණක් අනිත්‍ය ලෙස
හඳුන්වන්නේ ඇයි.?

අප සියල්ල ලෙස දකින
සමස්ත විශ්වයම නොසලකා හැර
පසිඳුරන් හා මනස තුළ අප අත් විඳින
අප තුළ සිදු වෙන තාවකාලික විපර්යාස
"සියල්ල" ලෙස හැඳින්වීම
නිවැරදි වන්නේ ඇයි?

සමස්ත විශ්වයම නොසලකා හැර
අප තුළ සිදු වෙන තාවකාලික විපර්යාස
"සියල්ල" ලෙස හැඳින්වීම
බුදු දහමේදී
අපට වැදගත් වන්නේ ඇයි?

මේ සත්‍යය අප විසින්ම
විඳ පසක් කරන තුරු
අපට සිදුවෙන හානිය කුමක්ද?

බුදුන් වහන්සේ මෙන් නිශ්චිතව
මේ සත්‍යය තවත් කෙනෙකුට
කියන්නට අපට නොහැකි ඇයි.?
අප එසේ කිව්වොත් අනෙකා අසන
පැනවලට විසඳුම් හෝ පිළිතුරු
අප සතුව පවතීද?

මේ වාක්‍ය කියවා, ඇදහීමෙන් පිළිගෙන
රාක්කයෙහි තැන්පත් කර නොතබා
මේ සත්‍යය විඳ පසක් කරන්නට
අපට කළ හැකි එකම දේ කුමක්ද?

මේ පැන වලට පිළිතුරු
අපට අප තුළින්ම හමු විය යුතුයි.
එසේ නැත්නම් ඒ සඳහා
සුදුසුම අවස්ථාව අපට ලැබෙන්නේ
විපස්සනා දස දින පුහුණුවේදීය.
#athulasiriwardhane

20230908

අපේ අධ්‍යාපන ක්‍රමයම වැරදියි.

 


 

නෑ... ඇත්තෙම නෑ.


මේ ක්රමය වෙනස්කරන්න
බලය තියන උනුත්
ඉගෙන ගත්තෙ
මේ ක්රමයටමයි.
ඔවුන් වෙන ක්රම දන්නෑ.

වෙනස් ක්රමය
විඳ පසක් කරන ක්රමය
බුදු දහමෙ තියනවා...
බුදු දහම උගන්වන්නෙත්
මේ පහත් ක්රමයටම වීම
මෙහි හානිකර බව
කොතරම්ද කියා
පෙන්වනවා.

ටියුෂන් පන්තිත් ඒ වගෙයි
දරුවෙක් පාසලට යැවීම
අවම කිරීම හැර
වෙන විසඳුමක් නෑ.
#athulasiriwardhane

20230813

සමථ ආනාපාන සතිය සහ විදර්ශනා ආනාපාන සතිය



අරමුණ තමා නම්
සිත එක අරමුණක තියාගෙන ඉන්න එක
බුදු දහමට එකඟයි.

තමා අරමුණු කරගෙන ඉන්න කෙනෙකුට
බාහිර ලෝකයම තමා තුළ
පැහැදිලිව දකින්න පුලුවන්.
ඔහුට කිසිවක් අත හැරෙන්නෙ නෑ.

වෙනත් එක අරමුණක ඉන්න කෙනෙක්
ඒ අරමුණ හැරෙන්න අනික් සියල්ල සමග
මෝහයෙන් ඉන්නයි පුරුදු වෙන්නෙ.
ඔහු සොයන නිවීම මෝහයයි.
ව්‍යාජ රහතුන් මුලා වෙලා ඉන්නෙ
ඒ මෝහය 'නිවන' කියන මායාවෙන්.

සිත එක අරමුණක තියාගෙන ඉන්න එක
බුදු දහමට එකඟ වෙන්නෙ
ඒ එක අරමුණ තමා නම් විතරයි.
තමාගෙ කය, ඒ කය වෙනස් වෙලා
කයෙහි ඇති වෙන වේදනා
තමන්ගේ සිත, ඒ සිත වෙනස් වෙලා
සිතෙහි ඇති වෙන ධර්මතා.
මේ තමයි බුදු දහමට එකඟ අරමුණු.

සිත එක අරමුණක තියාගෙන ඉන්න කෙනෙක්
ඇත්තටම ඉන්නෙ මෝහයෙන්..
ඔහුට සිහිය තියෙන්නෙ ඒ අරමුණ ගැන විතරයි.

ඒ සමාධිය මිථ්‍යා සමාධියක්.
එක මොහොතකින් බිඳෙන්න පුලුවන්.
රහත් වෙලා කියන ව්‍යාජ රහතුන්
පාරටවත් බහින්නෙ නැත්තෙ ඒ නිසයි.
සාමාන්‍ය මිනිස්සු අතරට ආවොත්
ව්‍යාජ රහත් බව බිඳ වැටෙනවා.
ගිහියන් වගේමයි කියා පෙනෙනවා.
ආශ්‍රමයක් හදාගෙන හැංගිලා ඉන්නවා.
ඒ තමයි මිථ්‍යා සමාධියෙ ස්වභාවය.

බුදු දහමෙන් ඇති කරන්නෙ සම්මා සමාධිය.
ඒ රහතුන් වහන්සේලා මහමග බැහැලා ගියා.
දිනපතා තනි තනියෙන් පිඬු සිඟා වැඩියා.
මුගලන් රහතන් වහන්සේට ඇට කුඩු වෙන්න ගැහුවා.
පිරිනිවන් පාන්න අවශ්‍ය තරමට අසාධ්‍ය වුනා.
ඒත් සම්මා සමාධිය බිඳුණෙ නෑ.
ඒ තමයි සම්මා සමාධියෙ ස්වභාවය.

සම්මා සමාධිය තියන කෙනා
සියල්ලෙහිම අනිත්‍යය දකිනවා.
වෙනස් වීම ඔහුට බරක්, බාධාවක් නොවෙයි.
බුදු දහමට අනුව
සිහිය පිහිටුවා ගන්න කෙනෙකුට
මුල්ම අරමුණ ඔහුගේම කයයි.
උජුං කාය පණිධාය.

ඔහු කය ඍජුව තබා ගන්නවා.
ඉන් පසුව මුලින්ම දකින්නෙ අනිත්යය.
කය ඍජුව තබාගෙන ඉන්න ඔහුට
කය වෙනස් වෙන හැටි දැනෙනවා.
කය වෙනස් වෙන්නෙ ආශ්වාස ප්‍රශ්වාසය නිසා.
ඔහු ඒ පිලිබඳව සිහියෙන් පසු වෙනවා.
ඔහු ආශ්වාසය වෙනමත් ප්‍රශ්වාසය වෙනමත්
දකින්නට සිහිය පිහිටුවා ගන්නවා.

බුදු දහමෙ ආනාපාන සතියෙදි
ආශ්වාසය එකක්.
ප්‍රශ්වාසය ඊට වඩා වෙනස් එකක්.
ආශ්වාස කරද්දි හොඳින්ම දැන ගන්න ඕන
"මම ආශ්වාස කරමි" කියලා.
බුදු දහමෙ විදියට ප්‍රශ්වාසය වෙනස් එකක්.
ආශ්වාස කරද්දි හොඳින්ම දැන ගන්න ඕන
"මම ප්‍රශ්වාස කරමි" කියලා.
මේ දකින්නෙ අනිත්‍යය.

සම්මා සමාධිය පිහිටන්නෙ
අනිත්‍ය සංඥාවත් සමගමයි.
ඒ නිසා බාහිර හෝ අභ්‍යන්තර
කිසිදු වෙනස් වීමකින්

සම්මා සමාධිය බිඳෙන්නෙ නෑ.

අනිත්‍යය සොයන කෙනෙකුට
හැම දේකම, හැම මොහොතකම
අනිත්‍යය පෙනෙනවා.

එක අරමුණක සිත තියාගෙන ඉඳලා
ඇති කරගන්න මිථ්‍යා සමාධිය තාවකාලිකයි.
තමන්ගේම කැමැත්තෙන්
වෙන අරමුණකට ගියත් සමාධිය තියේවි.
තමන් අප්‍රිය කරන
බාහිර අරමුණක් ආවොත්
මිථ්‍යා සමාධිය බිඳෙනවා.

මෙතන වරද්ද ගන්න අය
මට කාමච්ඡන්ද නෑ, මට ව්‍යාපාද නෑ
හිත ශූන්‍ය වෙලා...
"මම රහත් වෙලා" කියා මුලා වෙනවා.
ළඟ පන්සලක ඝණ්ටා හඬෙනුත්
මිථ්‍යා සමාධිය බිඳිලා
දුකට පත් වෙනවා.

ආනාපාන සතියෙදි
ආශ්වාස අරමුණ වෙනස් වීම ගැන
සිහියෙන් ඉන්න එකයි බුදු දහමෙ ක්‍රමය.
ආනාපාන සතියෙන් කරන්නෙ
කායානුපස්සනා ආරම්භ කිරීමයි.

පිරිපුන් ආනාපාන සතිය කුමක්ද කියා
බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව
අරිට්ඨ තෙරුන් වහන්සේට දේශනා කළා..

"අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි. "

ආශ්වාස ප්‍රශ්වාසයෙන් ආරම්භ කරන සතිය
"සබ්බකාය පටිසංවේදී" කියන තැනට
විස්තාරණයෙන් පිරිපුන් වෙන්න ඕන.

ඒ විස්තාරණය නිසා කායානුපස්සනාවෙ
දෙවෙනි පියවර වෙන ඉරියව්ව සිහියෙන් දකින්නට
විපස්සනා වඩන කෙනාට හැකි වෙනවා.

ආශ්වාස-ප්‍රශ්වාසය දෙකක් විදියට නැතුව
එකක් විදියට බලාගෙන ඉන්නවා නම්
හුස්ම පොදු එකම අරමුණ විදියට ගත්තොත්
ඒ ආනාපාන සතිය බුදු දහමට අනුව
සමථය වඩන ආනාපාන සතියක්.

"ආනාපාන සතිය කායානුපස්සනාවට
විස්තාරණය විය යුතුයි."

පිරිපුන් ආනාපාන සතිය කුමක්ද කියා
බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව
අරිට්ඨ තෙරුන් වහන්සේට දේශනා කළා..

සමස්ත කයට සංවේදීව
ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
සමස්ත කයට සංවේදීව
ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආදී වශයෙන්....

සතිපට්ඨානයේ ආනාපාන සතියත්
සබ්බ කාය පටිසංවේදී වෙනතුරු
විස්තාරණය වෙනවා.

සමථය නිවැරදි නම්
ඒ සමථය වැඩීම තුළින්
කාය වේදනා දකින්න
ඔහුට පුහුණු විය යුතුයි.

"කාය වේදනා නැති ඔබට
මොන චිත්ත භාවනාද,
අග්ගිවෙස්සනය" කියලා
සච්චක සූත්‍රයේ
බුදුන් වහන්සේ අහනවා.

විදසුන් වඩන කෙනෙක් නම්
සමථය විපස්සනා පූර්වාංගම නම්
කාය වේදනා ගැන සිහිය
අනිවාර්යයි...

සිතේ කයේ වෙනස්වීම්
සියල්ල දැකිය හැක්කේ
කාය වේදනා මට්ටමෙයි..

අරිට්‌ඨ සූත්‍රය

මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ
භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි
මෙය සැලකළහ.
අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි.

වහන්ස,
ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය.
මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය.
අභ්‍යන්තර බාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද
සහමුලින් සිඳින ලද්දී ය.
ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි.
සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස,
මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත.
මෙය නැතැයි නො කියමි.

අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි. .

මහණෙනි,
කෙසේ වඩන ලද
කෙසේ බහුල කරන ලද ආනාපානසතිය
මහත් ඵල මහානිසංස වේ ද යත්:
මහණෙනි,
මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ
රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ
පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා
සිහිය පරි මුඛයෙහි එළවා හිඳියි.
සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි.
සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි.
දිගු කොට හෝ ආශ්වාස කරනුයේ
දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ
කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
කෙටි කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
සමස්ත සිරුරට සංවේදීව
ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
සමස්ත සිරුරට සංවේදීව
ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආදී වශයෙන්....

#athulasiriwardhane

20230708

භික්ෂුවක් ස්ත්‍රිය සමග සංවාසයෙන් පාරාජිකා වන අයුරු

 


ලාභ සත්කාරවලින් මත්ව
දුසිල් භික්ෂුව සිවුරට ගැලී සිටියද
සිවුරෙන් ඉවත්වන්නට අවශ්‍ය නම්
එක වාක්‍යයක් කියා ඉවත්විය හැකිය.
ඒ වාක්‍යය කියන්නට තරම්වත්
ඔහු තුළ සිහිය තිබිය යුතුය.
ඒ සිහියවත් නැතිව
මෙවුන්දම් සොයන භික්ෂුව
පාරාජිකා ආපත්තියට පත්වෙයි.
#athulasiriwardhane


"රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. "

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය.
පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය.

යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට උපසම්පදාවෙන් නො මිදී උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමඟ වුව ද මෛථුන සේවනයේ යෙදුණේ නම් ඒ මහණ පාරාජිකා වේ. සිල්වත් භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වේ.

“යො පන භික්ඛූ භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො.”

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය. පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය. ඔහු කලක් ගිහිව සිට නැවත පැවිදි වී උපසම්පදා වුව ද ඔහුට ‘උපසම්පදාව නො පිහිටයි. ඔහු අනුපසම්පන්නයෙක් ම ය. ආනන්තර්‍ය්‍යකර්මවලින් හැර මෛථුන සේවනාදි වරදවලින් පාරාජිකාවූවන්ට එය ස්වර්ගමෝක්ෂයන්ට බාධාවක් නො වේ. ඔවුනට සාමණේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත් පුරා ස්වර්ගසම්පත්තිය ලැබිය හැකි ය. මඟපල ලබා නිවන් දැකිය හැකිය. පාරාජිකාවීමෙන් පසු භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත් වරදෙකි. එසේ කරන්නවුන්ට මඟපල නො ලැබිය හැකිය.

උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කොට අනුසම්පන්න වීමේ ක්‍ර‍ම රාශියක් විනයයෙහි දක්වා ඇත. අනුපසම්පන්න වීම ඉතා පහසුය. එය, ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුදු සිදු කර ගත හැකිය. රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. එසේ කොට මෙවුන්දම් සෙවුනා මහණ පාරාජිකා නො වේ. වුවමනා නම් නැවත ඔහුට උපසම්පදාව ලැබිය හැකි ය.

මනුෂ්‍ය ස්ත්‍රිය, අමනුෂ්‍ය ස්ත්‍රිය, තිරශ්චීන ස්ත්‍රිය යි ස්ත්‍රීහු තිදෙනෙකි. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකය අමනුෂ්‍ය උබතෝබ්‍යඤ්ජනකය, තිරශ්චීන උභතෝබ්‍යඤ්ජනකය යි උභතෝබ්‍යඤ්ජනකයෝ තිදෙනෙකි. මනුෂ්‍යපණ්ඩකය, අමනුෂ්‍යපණ්ඩකය, තිරශ්චීනපණ්ඩකය යි පණ්ඩකයෝ තිදෙනෙකි. මනුෂ්‍ය පුරුෂය, අමනුෂ්‍ය පුරුෂය, තිරශ්චීන පුරුෂය යි පුරුෂයෝ තිදෙනෙකි. මේ පුද්ගලයෝ දොළොස් දෙන මෛථුන පාරාජිකාවට වස්තු වෙති. වර්චස්මාර්ගය, මුත්‍ර‍මාර්ගය, මුඛමාර්ගය යි මෛථුනයට මාර්ග තුනෙකි. භික්ෂුවක් මෛථුන සේවනය කිරීමේ අදහසින් කියන ලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නො වදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂ නිමිත්ත තලැටක් පමණ වුව ද ඇතුළු කෙළේ නම් පාරාජිකා වේ. සේවනය කරන සිතය, මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සික පදයේ අංග දෙකකි.
- උපසම්පදා ශීලය
රේරුකානේ චන්දවිමල හිමිපාණෝ