20221127

මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.

හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය

මේ සනාතන දහම පැහැදිලි වෙන
මගේ ප්‍රායෝගික අත්දැකීමක්.

Dhamma Khetta, Hyderabad - 500 070, Telangana, India
1990 දශකයේ මැදභාගයේදී
ඉන්දියාවෙ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර
ධම්ම ඛෙත්ත විපස්සනා මධ්‍යස්ථානයේදී
මේ රූපයෙ දැක්වෙන
යකඩ ගේට්ටුව අරිනකොට
ජීවන් මා එක්ක ඇවිත්
එතන නතර කරගෙන තිබුණ ස්කූටරය
පසු පසට ගැනීමට යාමෙදි අත්වැරදීමකින්
ඉදිරියට පැනලා ගේට්ටුව නැවත වැහුණා.
මගේ මහපටැඟිල්ල
ඒ ගේට්ටු පළු දෙකට අහුවුණා.

එක් වරම අත ගසා දැමුණා.

ඊළඟ මොහොතෙහි මම
අත දෙසත් වේදනාවත් බැලුවා.
මහපටැඟිල්ලෙ උඩ පුරුක
දෙපලකින් පැලී ලේ ආවා.
අදටත් නිය පොත්තේ ඒ වෙනස තියනවා.

මහපටැඟිල්ලත් දබරැඟිල්ලත්
දෙකේම දැඩි වේදනාවක් දැනුනා.
අනික් ඇඟිළි තුනේ වේදනාව අඩුයි.

මෑත දිනක මට හමු වූ වෛද්‍ය ශිෂ්‍යයෙකුට
මා මේ අත්දැකීම කිව්වාම
ඔහු කිව්වේ
මහපටැඟිල්ල සහ දබරැඟිල්ල එක් ස්නායුවකටත්
අනික් ඇඟිලි තුන වෙනත් ස්නායුවකටත්
සම්බන්ධ බවයි.

මම ඒ වෙනස හඳුනා ගත්තේ
මගේ සිතේ උපෙක්ෂාව තිබුණ නිසයි.
නැත්නම් මට මුළු අතම වේදනාවක්.

ඒ වේදනාවට උපෙක්ෂාවෙන්
මම ස්කූටරයට නැග්ගා.
ස්කූටරය පැදවූ ජීවන්
ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත්තා.
මම ඔහුට කිසිවක් කීවේ නෑ.

පසුදා දහය පමණ වනතුරු වේදනාව තිබුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.

කැටි ගැසුණ ලේ
නොතෙමා ආරක්ෂා කළා.

විශබීජ වලින් ආරක්ෂාව,
කැටි ගැසුණ ලේ ටික පමණයි.


කිසිදු කායික ඔසුවකින් තොරව,
මසකට පමණ පසු
මහපටැඟිල්ල සුව වුණා.

මේ මොහොතෙත්
සිහිය යොමු කරන විට
ඒ ඇඟිලි දෙකේ වේදනා මතු වෙනවා.
ඒ අත්දැකීමෙන් එකතු වූ ද්වේශ සංස්කාර
තවමත් තියනවා.


වේදනා ඇඟිලි වල දැණුනත්
මේ දැනෙන වේදනාවලට හේතුවෙන
ද්වේශ සංස්කාර තැන්පත්ව ඇත්තේ
ස්නායු පද්ධතියේ හෝ මොළයේ විය හැකියි.

අදටත් කලින් කලට
සිත හොඳින් තැන්පත්වූ අවස්ථාවන්හි
එදා මා සිහියෙන් නොදැක
විඥාණයෙහි තැන්පත්වූ ද්වේශ සංඛාර
ඇඟිල්ල කීරි ගැහෙන
සියුම් වේදනාවක් ලෙස මතු වී
නිරුද්ධ වෙනවා.

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

විපස්සනා
සැබෑ ජීවි
යෙ අත්දැකීම් වලදි
දුකෙන් මිදෙන්න උපකාර වෙන්නෙ 

ඒ ආකාරයටයි..

මම කායිකව දුක් වින්දා පමණයි.
මානසිකව දුක් වින්දේ නෑ.


වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,

පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි.
.

මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.


 =================================
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍ර

-----------------------------------


නිවන අත්විඳින
රහතන් වහන්සේලා ඇතුළු මාර්ගඵල ලාභීන්ද
පුහුදුන් වුවත් විදසුන් වඩන්නා
ඔහු විදසුන් වඩන මොහොත තුළද

ආර්ය ශ්‍රාවකයන්ය.

 
ඇසු පිරූ තැන් ඇති ඒ ආර්ය ශ්‍රාවකයන් සමග
ඇසු පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
ඉතාම සරලව
සංසන්දනය කරමින්
අප බුදුන් වහන්සේ
සල්ල සූත්‍රයේ මෙසේ ප්‍රකාශ කළහ.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .


මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..