20200424

රජකම් කෙරුවත් කළ කම් පළදේ



වහාම හෝ ප්‍රමාද වී
සියලු කර්ම විපාක දෙනවා.

"ඡන්දය දැමීමේ මූලික මිනිස් අයිතිවාසිකම
සෞඛ්‍ය හේතු මත වළක්වන්න පුලුවන්" කියා
නීතිඥ හිටපු මන්ත්‍රීවරු
සිරස සටනෙ සංවාදයේ යෙදීම තුළ
ඔබ දකින රටේ අනාගතය කුමක්ද?

තමන්ට විරුද්ධ ඡන්ද තියන පැතිවල
ඡන්දෙ දාන්න එන අයට වෙඩිතියලා
මැතිවරණ ඉතිහාසයක් අපි දුටුවා.

පළමු ඡන්ද දායකයා වෙඩි කෑව
හක්මණ ආසනයෙ ඡන්ද වැටුණෙ 10%යි.

ඒ උපක්‍රමය කූඨ උපක්‍රමයක්.
සමහරවිට අපිටත් මෙවර
එය අත්දකින්න ලැබෙන්න පුලුවන්.

යම් පක්ෂයකට යම් ප්‍රදේශයක
ඡන්දය අඩු බව නිශ්චිත නම්
ඒ පළාතේ ඡන්ද වැළක්වීම මගින්
ඡන්දය වැඩි පැතිවල වැඩි ඡන්ද අනුව
ඒ දිස්ත්‍රික්කය දිනා ගන්නට
සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පුලුවන්.

බහුතර ජනතා මතය විකෘති කරලා
වැරදි මතයක් රටට සහ ලෝකයට පෙන්වා
ජවිපෙ භීෂණ රැල්ල මතින් ජයගෙන
බලය ලබා ගත් ඒ දුර්දාන්ත පාලකයා
වසර දෙකක් තුළ පිරිහීමට පත් වුණා.

ඔහු මහපාර මැද පුපුරා ගිය වෙලාවෙ
ජනතාව රතිඤ්ඤා පත්තු කළා.

ඔහුගෙ පාප කර්ම මෝරන්න
ගත වුනේ වසර දෙකයි.
වහාම හෝ ප්‍රමාද වී
සියලු කර්ම විපාක දෙනවා.

න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව
බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින කාලයේ
සුප්‍ර‍බුද්ධ ශාක්‍යයා අරභයා දේශනා කරනලදි.

යසෝධරාව සහ දෙව්දත්ගේ පියා වූ සුප්‍ර‍බුද්ධ වනාහි
මොහු මගේ දුව හැරදමා ගියේයයිද
මගේ පුතා පැවිදිකර වෛරියකුගේ තැන තැබීයයිද
මේ කරුණු දෙක නිසා බුදුන් කෙරෙහි ආඝාත බැඳ,
"මොහුට ආරාධනා ලබන තැනට ගොස් වළඳන්ට නොදෙන්නෙමි"යි
ගමන් මග අහුරා මත්පැන් බිබී වීථියෙහි නැවතී සිටියේය.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ
භික්‍ෂූන් පිරිවරා එතැනට වැඩමවූ පසු
බුදුන් වැඩිය බව දැන්වූහ.

"එහා පාරෙන් යන ලෙස ඔහුට කියව්.
ඔහු මහල්ලෙක් නොවේ.
ඔහුට මේ පාර ඉඩ නොදෙමි"යි කීවේය.

නැවත නැවතත් කීවේ නමුත් එසේම කියමන් හුන්නේය.
ශාස්තෘන්වහන්සේ මාමාගෙන් මාර්ගයෙන් ඉඩ නොලබා
එතැනම නැවතුණහ.
හෙතෙම බුදුරදුන් වෙත චරපුරුෂයන් යවමින්,
"යව, ගොස් කියන්නේ මොනවාදැයි දැනගෙන එව"යි කීය.

 බුදුරජාණන්වහන්සේත් සිනා පහළ කළ කල්හි
ආනන්‍ද තෙරණුවෝ
"ස්වාමීනි, සිනා පහළ කරනලද්දේ කුමක් නිසාදැ"යි ඇසූවිට,
"ආනන්ද සුප්පබුද්ධ ඔබට පෙනෙන්නේදැ'යි ඇසූහ.
''ස්වාමීනි, එසේය."
"ආනන්ද මා වැනි බුදුකෙනෙකුන්ට
මාර්ගය නොදී ඔහු කෙළේ බරපතළ ක්‍රියාවකි.
මෙයින් හත්වෙනි දිනයේ
යට ප්‍රාසාදයෙහි ඉණිමංමුලදී
ඔහු පොළොවෙහි ගිළීයන්නේය."

චරපුරුෂයෝ ගොස් තමන් ඇසූ කතාව සුප්‍ර‍බුද්ධට කීහ.

"ළඟට ගිය තොපට
මගේ බෑණා නැවැත්වීම ගැන
කුමක් කීයේදැ"යි ඇසූවිට
බුදුන් වදාළ හැටියෙන්ම ඒ කථාව කීහ.

හෙතෙම ඒ වචන අසා,
"මෙතනදී මගේ බෑණාගේ කථාවේ වරදක් නැත.
ඒකාන්තයෙන්ම ඔහු කියන දේ එසේම වෙයි.
එසේ වුවත් ඔහුට මුසාවාදයෙන් නිග්‍ර‍හ කරන්නෙමි.
 හෙතෙම මා මෙයින් හත්වෙනි දිනයේ
පෘථුවියෙහි ගිළී යන්නේ යයි අනියමින් නොකියා
යට ප්‍රාසාදයෙහි හිණිමංමුල පොළොවේ ගිළී යන්නේය"යි කීවේය.

"මෙතැන් පටන් මම එතැනට නොයන්නෙමි.
ඉන්පසු ඔහු කියන තැනින් පොළොවට ප්‍ර‍විෂ්ට නොවී
මුසාවාදයෙන් නිග්‍ර‍හ කරන්නෙමි"යි
හෙතෙම තමන්ගේ පරිහරණයට ගන්නා සියල්ල
සත්මහල් පහයේ ඉහළම මහළට ගෙන ගොස්
ඉණිමග ඉවත්කොට දොර වසා
අනිත් එක් එක් දොරටුවක රැකවලුන් දෙදෙනා බැගින් හිඳුවා,
ඉදින් මම ප්‍ර‍මාදයකින් හෝ යටට බසිනු කැමති වුවහොත්
එය වලක්වව්"යයි කියා
හත්වෙනි ප්‍රාසාදතලයෙහි ශ්‍රී යහන් ගබඩාවේ හුන්නේය.

ශාස්තෘන්වහන්සේ එපවත් අසා
"මහණෙනි,
සුප්‍ර‍බුද්ධ හුදෙක් ප්‍රාසාද තලයෙන්
අහසට නැගී හෝ සිටියත්
නැවකන් ගොස් මූදට පැන්නත්,
පර්වත මැදකට හෝ පැමිණියත්
බුදුවරුන්ගේ කතාවක දෙවිධියක් නැත.
මා කී තැනින්ම
ඔහු පොළොවට පිවිසෙන්නේමය"යි
වදාරා දහම් දෙසමින්
මේ ගාථාවද වදාළහ:

අහසෙහි උඩට හෝ
මුහුදෙහි පතුළටම හෝ
පරුවත මැදක ගොස් හෝ
පව්කර සිටින කෙනෙකුට
මේ කියූ තැන්වලට ගොස්
මරුගෙන් මිදෙනු නොහැකිය

එහි නප්පසහෙථ මච්චු යනු
යම් පෙදෙසක සිට මරණය නොඉවසා,
එයට යටත් නොවී සිටීමට පුළුවන්
කෙස් අගක් ප්‍ර‍මාණවූ පෘථිවි ප්‍රදේශයක් නැත.
සෙස්ස පෙරසේමය.
දේශනාවසානයේ බොහෝ දෙනා
සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

සත්වෙනි දිනයෙහි බුදුරදුන් භික්‍ෂාවෙහි හැසිර අවසන්වූ පසු
යට ප්‍රාසාදයෙහි සුප්‍ර‍බුද්ධගේ මංගල අශ්වයා මත්වී
උද්දාමයෙන් ඒ ඒ බිත්තිවලට ගසන්ට පටන් ගත්තේය.

උඩ සිටි සුප්‍ර‍බුද්ධ මේ අසා
"ඒ කිනම් ශබ්දයක්දැ"යි විමසීය.

මගුල් අසු මත්වී බිත්තිවලට ගසන ශබ්දය යයි දැනගත්තේය.
ඒ අශ්වයාත් සුප්‍ර‍බුද්ධ දැකම සන්සුන් වන්නෙකි.

ඉන්පසු ඔහු අසු නැවැත්වීම සඳහා හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ආවේය. දොරවල් තමන්ම විවෘත විය. හිණිමග සිය ස්ථානයේම පිහිටියේය. දොරටුවේ සිටි මල්ලවයන් ඔහු බෙල්ලෙන් අල්ලාගෙන යටට තල්ලුකර දැම්මේය. මේ ආකාරයෙන්ම මහල් සතේම දොරවල් ඉබේම විවෘත විය. හිණි මං තිබුණු තැන්වලම නැවත පිහිටියේය. ඒ ඒ මහල්වල සිටි රැකවල්ලු ඔහු බෙල්ලෙන් අල්ලා යට මහල්වලටම තල්ලුකර දැම්මේය. ඉන්පසු ඔහු යටම මහලේ හිණි මං මුලට පැමිණෙනවාත් සමග මහපොළොව පැලී විවරව ඔහු පිළිගත්තේය.

හෙතෙම ගොස් නිරයෙහි උපන්නේය.

දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පාපවර්ග වර්ණනාව නිමියේය.

ධම්ම පදයේ
නවවෙනි වර්ගයයි.


20200404

රණ විරුවා අද එනවා.



"අම්මෙ, නැගිටින්නකො...
අද නේද තාත්තා ගෙදර එන්නෙ.?"
අරුණළු නැගෙන්නටත් පෙර සහන් එළියෙන් අවදි වූ දෝණි
තවමත් අඩ නින්දේ සිටි මා සොලවමින් විමසුවාය.

"අම්මෙ, හෙට නේද තාත්තා ගෙදර එන්නෙ.?"

ඊයේ රාත්‍රියේ නින්දට යන්නට පෙර ඇගේ අවසාන පැනයයි. ඇය සිහිනෙනුත් ඔහු දකින්නට ඇත. මෙතෙක් ඔහු සියැසින් දැක නැති ඇය ඔහු සිහිනෙන් දකින්නේ කෙලෙසදැයි මා සිතුවේ නැත.

ඔව්,
මරණ දඬුවම නියම වී සිටි සුරත් විශේෂ ජනපති සමාවක් ලබා අප වෙතට පැමිණෙන්නේ අදයි. ඔහුගේ මව ජීවතුන් අතර නැති නිසා අප දෙදෙන පමණක් ඔහු කැන්දාගෙන එන්නට යා යුතුය. කලාතුරකින් සිනා පිපෙන ඔහුගේ මසුරු සිනා මුහුණ මට මැවී පෙනෙයි. අපේ ලොව එකලු කරන්නට ඒ මද සිනහව ප්‍රමාණවත්ය.
හද පිරුණු සතුට දරාගත නොහැකිව මම ඇය බදාගෙන වැළඳගතිමි. වසර ගණනාවක් අපෙන් වෙන්ව සිරගතව සිටින සිටි සුරත් නිදහස් වී පැමිණි පසු මෙතෙක් හරි අඩකටත් වඩා හිස්ව තිබුණ අපේ කුටුම්බය අද අංග සම්පූර්ණ වන්නේය. සුරත් සිදු කළ බවට අධිකරණයෙහි ඔප්පු වූ අපරාධ නොසලකා ඔහුට නිදහස ලබා දෙන්නට දායක වූ ජනපති තුමන්, අපේ පාක්ෂිකයෝ, පාක්ෂික ආගමික පූජක තුමන්, පාක්ෂික සිවිල් සංවිධාන, ඇතුළු අපට පාක්ෂික සියල්ලන් කෙරෙහි මා සිත තෙරපෙන අසීමිත කෘතඥතාවය මේ මොහොතේ කඳුලු බවට හැරෙන්නේ මා නොදැනුවත්වමය. සුරත්ට වඩා අඩු වැරදි කළ දහස් ගණනක් සිර ගතව සිටියදී අද ඔහු පමණක් මරණ දඬුවමෙන්ද නිදහස ලබා ගෙදර එනවා නොවේදැයි සිතන විට සමස්ත සමාජයටම දැනෙන්නට මහ හඬින් හඬා වැළපෙන්නට මට අවැසි විය.

අප ඔහුගේ නිදහස පතා කල කැප කිරීම් කොතෙක්ද? පේන බැලීම් වල සිට බෝධිපූජා, සෙත්කවි කීම්, බාර හාර වීම් ආදී කිසිවකින් ඵල නොලත් තැන සුරත්ගේ නිදහස පතා ඔහුගේ මවත් සමග අනුරපුර රුවන් වැලි සෑයේ සිට කතරගමට පා ගමන් ගිය අයුරු මට සිහි වෙයි. ඇසට නොපෙනෙන දෙවිවරු මෙන්ම පෙනෙන දෙවිවරුද ඇත. කඳුලෙන් තෙමුණ සුසුමෙන් වියළුණ අඳුරු මූසල අතීතය, එදෙව් පිහිටෙන් අද ඵල දරා ඇත.

"අම්මා ඇයි අඬන්නෙ...?

දෝණිගේ නිරාවරණ උරහිස මතට වැටුණු මගේ කඳුලු බිඳුව නිසා මා තුරුලෙන් මෑත් වී මුහුණට එබුණ දෝණි මහත් විමතියෙන් දෑස් දල්වා මදෙස බැලුවාය."සතුටට දෝණි, සතුටට" මම ඇය සෙනෙහසින් සිපගෙන යලිත් තදින් තුරුළු කරගෙන දෑස් පියා ගතිමි....

අනේ සුරත්ගේ අම්මාත් අද සිටියා නම්....

අප දෙදෙනා රැගත් ත්‍රී වීලරය දෙමටගොඩ පසු කරමින් බන්ධනාගාරය දෙසට ආසන්න වන විට මා උකුලේ සුවසේ නිදා සිටි දියණිය අවදි කලෙමි.


"ආහ්... බුදු අම්මෝ...මේ තාප්පෙ ලොකු"

ත්‍රී වීලරයෙන් පදික වේදිකාවට බසින දෝණි බන්ධනාගාරය දෙස බලා සිය විමතිය නිදැල්ලේ මුදා හැරියාය. අප ගෙන ආ සෝමවංශ මාමා ත්‍රී වීලරයෙන් බැස සිනා සෙමින් ඇගේ හිස අත ගෑවේය.

"ඔව්, පැටියෝ... තාප්පෙ මිටි වුණොත් ඇතුලෙ ඉන්න හිරකාරයෝ තාප්පෙට උඩින් පැනල යනවනෙ. දැන් ඕන වැරද්දක් කරලා  තාප්පෙට උඩින් පනින්න පුලුවන් ජනාධිපතිට විතරයි. කවුරු හරි පන්නන්නත් පුලුවන් එයාටම විතරයි" ඔහු මදෙසද බලා මා සමග අලුතෙන්ම සිනාසුණේ සිඟිත්තෙකුගේ බොලඳකමකට සිනාසෙන වැඩිහිටියෙකු මෙනි.

ඒ සරල වාක්‍ය දෙක තුනෙහි ගැබ්වුණ සත්‍යය නොදරුවෙකුට තේරුම් ගත නොහෙන නමුදු ඔහු කියන්නේ ඇත්තයි. ජනපති පදවිය ලද පසු උසාවි කිහිපයක ජනපතිතුමාට එරෙහිව තිබුණ සියලු නඩු මුක්තිය භාවිතා කර අහෝසි කර දමන්නට එතුමා සමත් විය. එතුමාට විරුද්ධ එක බල්ලෙක් හෝ නකුටවත් වැනුවේ නැත. කිසිවෙක් එහි වරදක් දකින්නේ නැත. කවර අන්දමේ වරදක් කළ කෙනෙකු වුවත් අවස්ථාව ලද සැණින් කරගන්නේ තමන් නිදහස් වීම සහ නෑ සියන් මිතුරන් නිදහස් කිරීම බැව් මාද ඇතුළුව සමස්ත රට වැසියෝම දනිති. මට එවන් සුපිරි බලයක් ලැබුණා නම් මා දෙන පලමු නියෝගය සුරත් නිදහස් කරන්නටයි. අද මා වෙනුවෙන් අපේ ජනපති තුමා එය ඉටු කර ඇත. එතුමා එතැනට පත් වීම මෙන්ම හිටපු හමුදා නිලධාරියෙකු වීම අපේ පෙර වාසනාවකි. නිරෝධායනයේ පිහිටෙන් හමුදාව ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහි පසුවෙන මේ අවධියෙහි ඉන් ප්‍රයෝජන ගෙන එතුමා පාක්ෂිකයන්ට දුන් පොරොන්දුව ඉටු කළේය. එතුමා මේ කළේ පිනක්දැයි නිශ්චිතව කියන්නට මම නොදනිමි. පිනක් නම්, ඒ පිනෙහි මහිමයෙන් තවත් බොහෝ අංගුලිමාලලා සසරෙන් නිදහස් කරන්නට හැකි වන සේ එතුමාට බුදු බව අත් වේවායි මම පතමි.

පැරණි සමාජවාදියෙකු වන සෝමවංශ මාමා ජනපති මුක්තිය ගැන දැරූ ආකල්පය සමග මට කෙසේවත් වාද කළ නොහැකිය. සදාචාරය අතින් සෝමවංශ මාමා නිවැරදිය. එසේ වුවද මේ අවස්ථාවේ අපට පිහිට වූ ජනපති තුමා මට දෙවියෙකි. එතුමා තමන් වෙනුවෙන් එසවූ නීතියේ හස්තයම අප වෙනුවෙන්ද දිගු කිරීම සාධාරණයි කියා ආත්මාර්ථකාමී ලෙස හිතන්නට සිදුවී ඇති මට එතුමා අසාධාරණයයි කිව හැකිද?.

අප සියල්ලෝම නීතිය හා සදාචාරය දකින්නේ අප සිටින තැන සිට අපට ආවේණික අයුරින් අපේ ආත්මාර්ථකාමී ලෝකයට සාපේක්ෂවය. අපේ ලෝකයෙහි නීතියත් අවනීතියත් අපේය. එහි සදාචාරයත් අපචාරයත් අපේය. අපේ ලෝකයෙහි සියල්ල ඇත්තේ අප සඳහාය. මේ අවස්ථාවෙහි අපත් ජනපතිඳුත් නීතියෙන් එකම පැත්තක සිටීම අපේ පෙර වාසනාවකි. කවුරු කෙසේ කීවත් සුරත් නිදහස් කිරීම පවතින නීති යටතේ නීත්‍යානුකූලය. ඔහුට දඬුවම් දුන් අය පරාජය වී ඇත.
දෝණි නැවත වරක් තාප්පයෙහි මුදුන දෙස බැලුවාය. මේ සුවිසල් තාප්පය දකින විට ඇයට සාපේක්ෂව දැන් දැනෙන උස අපට දැනෙනවාට වඩා බොහෝ වැඩි බව මට හැඟෙන්නේ මා කුඩා කල දුටු උස තාප්ප අද කුඩා වී ඇති නිසාය. සමහර විට ඇය වයසින් වැඩුන පසු ඇය කර ඇති වැරදි වලට සාපේක්ෂව තාත්තා කර ඇති වැරදිත් ඒ අයුරින්ම අදට වඩා කුඩා වී පෙනෙනු ඇත. එහෙත් කුඩා පිවිතුරු දැරියක වන ඇය අද ඊට මුහුණ දෙන්නේ වැඩිහිටියෙකුට නැති ආකාරයේ නිකෙළෙස් සිතකිනි. ඇය මත පතිත වී ඇති ඔහුගේ වරදෙහි සෙවනැල්ල කොතරම් විශාලද. ජනපති සමාව ලැබීම නිසා ඔහු කල වැරදි නොකළා යැයි පිළිගැනීමක් නොවන බව රටම දනී. ඔහු කළ වරද ගොනු පසුපස යන රිය සක මෙන් අප තිදෙනා පසුපස හෙටත් එනු ඇත.මේ උස තාප්පයෙන් කොටු වී සිරගත වන්නට සහ මරණ දඬුවම ලබන්නට සිය පියා කළ වරද කුමක්දැයි ඇයට කියන්නට අද අපට සිදු වුවහොත් ඇය ඒ වරද දකින්නේ කවර ස්වරූපයකින් විය හැකිද? ඔහු "රට වෙනුවෙන් සටන් වැදුන රණවිරුවෙකිය. ඒ නිසා ඔහු කරන අපරාධ පවා නොසැලකිය යුතුය" යන තර්කය සාර්ථකව ඇයට කා වැද්දීමට ඔහු නීතියේ රැහැණින් මුදා ගත් වැඩිහිටි පිරිසවත් සමත් වෙයිද?

"යුධ අපරාධ කරුවෙකු ජනපතිඳු විසින් නිදහස් කිරීම වැරදියි" කියා සිතන නීතිගරුක සමාජය සමග ඇයත් එක් වෙයිද? දකින දේ විමසා බලන ඒ විද්වත් සමාජයෙහි ගැහැණු හිඟය. ගැහැණියට තර්ක බුද්ධිය ආගන්තුකය. හැඟීම් බර අප තර්ක කරන්නේ අප උදෙසාමය. අද මට අසාධාරණ ලෙස ලැබෙන සතුට මා මෙසේ කෑදරකමෙන් වැළඳ ගන්නේ ඒ තර්ක නිසා නොවේද? සාධාරණත්වය ඉදිරියෙහි දෝණි මට වඩා වෙනස් විය හැකිද? අපට කුමක් වුවද ඇය අපට වඩා වෙනස් වන්නේ නම් මා ඊට සැබැවින්ම අකමැතිද?

 ඇය මට වඩා වෙනස් වුවද කෙසේ හෝ මා සිටින තැනට මා දෝණිද කැඳවා ගත යුතුයයි මගේ ආත්මාර්ථකාමී සිත මට කියයි. සාධාරණත්වයට කවර අසාධාරණයක් සිදු වුවද අපේ පවුල එකක් ලෙස පැවතිය යුතුය. අපේ පැවැත්ම ඇත්තේ පවුලෙහි ඒකමිතිය තුළය.

අප සාධාරණයි කියා දෝණිට ඔප්පු කරන්නට අප කරුණු කියන්නේ කවර නීතියක් යටතේද?
"සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නෑ..
කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා"
ජනපති

අප සිටින්නේ නීතිය පැත්තෙහි නොව අවනීතිය පැත්තෙහිය. ලොව කොතැනක වුවත් නිදහසට කරුණු කියන්නට කිසිදු අවස්ථාවක් නොදී සතුරා ඝාතනය කිරීම ත්‍රස්තවාදීන්ගේ අවනීතියයි. ඒ අවනීතියට අනුව ක්‍රියා කරමින් අපේ රණ විරුවෙකු විසින් වසර පහක දරුවෙක් සිය සතුරෙකු ලෙස සලකා ගෙල සිඳ ඝාතනය කිරීම වුවද තර්කානුකූලව සාධාරණයයි දෝණිට පිලිගන්වන්නට තර්කධාරී වැඩිහිටි අප සමත් වෙයිද? ඇත්ත වසන් කර තර්කයෙන් ඇය මුළා කරන්නට නම් වැඩිහිටි අපේ මානසික මට්ටමට ඇයත් සංවේදී බවින් පහළ වැටිය යුතු නොවේද?

ඇත්ත ඇති සැටියෙන් දකින සංවේදී පරාසය ඇය අද පසු කරමින් සිටින්නීය. අපට එතැන අහිමි වී බොහෝ කල් ගතවී ඇත. පැහැදිලි සත්‍යය වංචනික ලෙස තර්කයෙන් විකෘති කොට ඇසට පෙනෙන බොරුව ඇත්ත කරන අපි, ඒ බොරුව තවදුරටත් තර්කයෙන්ම තහවුරු කරන්නෙමු. ඒ සඳහා සියලු පහසුකම් නොමසුරුව සලසන්නේ අපේ කිළිටි සිත සහ කලක් තිස්සේ බොරු කීමෙන් බොරු කිරීමෙන් ලද පලපුරුද්ද සහ ඇබ්බැහියයි. එවන් පසුබිමක් නැති දරුවන් හා අප අතර පරතරය අප පියවා ගන්නේ නිකෙළෙස් ලෝකය අප හා සමපාත වන ලෙස කිළිටිවන්නට අවස්ථා සැපයීමෙනි. කාලය එවන් අවස්ථා ඕන තරම් සපයනු ඇත.

සිත් පිරිසිදු කුඩා දරුවන්ට කරුණාව මෛත්‍රිය අප හුරු කළ යුතු නැත. ඔවුන්ට ඒ යහ ගුණ සොබා දහමෙන්ම දායාද කොට ඇත. අනෙක් දරුවන්ට මෙන්ම දෝණිටද අපේ කිලිටි සිත්වල  සෙවණැල්ල තවමත් පතිත වී නැත. සුරත්ගේ සිත ඇගේ සිත මෙන් පිරිසිදු සිතක් විණි නම් අද අපට මේ අයුරින් ගිණි පාගන්නට සිදු නොවනු ඇත.

දෝණිගේ ලෝකයේ සතුරන් නැත.
ලේ බොන්නට එන මදුරුවා පවා ඇයට ආදරේට ළඟට එන බව ඇගේ විශ්වාසයයි.

"අම්මෙ.. බලන්නකො මේ මදුරුවා.
මා ළඟට ඇවිල්ලා,.... ආදරේට.
මම ඌට මගේ ලේ බොන්න දෙනවා,ඕන තරම්"
මදුරුවාගේ කුස ඇගේ ලෙයින් පිරෙනු දැක ඈ මදෙස බලා දෑසින් සිනාසෙන්නීය.

"පිස්සුද දරුවෝ.
ඩෙංගු හදා ගන්නද ඔයා හදන්නෙ?"
මා ඇයට එසේ බැණ වැදුණේ නැත.

සිය දරුවාට කිරි දෙන මවකට වඩා තමාට රිදවූ සතුරෙකුට ලේ බිඳක් දෙන මගේ දියණිය උතුම් නොවේදැයි තුටු කඳුලු පිරි නෙතින් එදා ඒ මොහොතෙහි මම මගෙන්ම විමසූ අයුරු මට මතක් වෙයි. මෛත්‍රියෙන් පිරි සිතක් ඇති කෙනෙකුට වස විසෙන් හානි නොවෙන බව මම අදහමි. සිංහබාහුගේ විස පිරි ඊ සැරය සිංහයාට වදින්නේ ඔහු සිතෙන් මෛත්‍රිය පහ වී ද්වේශය පහල වූ මොහොතේය.

බන්ධනාගාර තාප්පයේ උස් මුදුන දෙස බැලූ දැරිය යළිත් කල්පනාවට වැටෙනු මම දුටිමි.

තාත්තා සිරකරුවෙක්ය යන අදහස තවමත් ඇය තුල නැතත් සිරකරුවාට සමාජයෙහි පවතින භීතිය පිළිබඳව බිහිසුණු රූපයක් මේ සුවිසල් ගල් පවුර ඇයට මේ වනවිට කියා දෙන්නට ඇතැයි මට සිතෙයි.. පියාට සාපේක්ෂ නොවන තුරු ඇයට බන්ධනාගාරය අමුතු තැනක් නොවේ. මෙතෙක් නොදුටු නමුත් අලුත් තැනකුත් නොවේ. ඇය සිර ගෙවල් ගැන කතා අසා ඇත.

කවදා හෝ සත්‍යයට මුහුණ දෙන දිනක ඒ හමුවීම ඇයට පහසු කරන අටියෙන් අපරාධකරුවන් පිළිබඳව, ඔවුන්ට රජයෙන් දෙන දඬුවම් පිළිබඳව, ඒ දඬුවම් වල සාධාරණත්වය පිලිබඳ හැකි උපරිමයෙන් ඇය දැනුවත් කරන්නට මා වක්‍රව ක්‍රියා කළ නිසා අද ඇය මගෙන් නොවිමසාම බන්ධනාගාරය හඳුනා ගන්නට ඇත. එහෙත් සිය පියා එහි සිරකරුවෙක් බව ඇයට තවමත් රහසකි. මේ රහස රකින්නට මට අවැසි නැත. හැකි තරම් කුඩා වියේදී ඇය මෙහි රැගෙන එන්නට මට අවැසි විය.

දෝණි බන්ධනාගාරය දකින පළමු දිනය අද දිනය නොවිය යුතුව තිබුනි. ඇය කුඩා කල සිටම සත්‍යයට නිරාවරණය කළා නම් අද මේ අත්දැකීම මෙතරම් බැරෑරුම් නොවන්නට ඉඩ තිබිණි. කෙසේ වුවද විය යුතු සියල්ලම අපේ ඉරණමට අනුව සිදු වී හමාරය. අද ඒ සියල්ලෙහි වගකීම මේ මොහොතෙහි සතුව ඇත්තේ සිය ජීවිතයේ පළමුවරට අද ඇයට මුහුණ දෙන සුරත්ටය. ඒ වගකීම තනිවම සිය උරහිස මතට ගත්තේ ඔහුය. මම ඒ පිළිබඳව කුහුලින් මෙන්ම භීතිය මෙන්ම සතුට මුසු අනුමානයකින් කල් බලන අසරණියක පමණි.
අප තවම බන්ධනාගාරය දෙසට හැරී නැත. අප එදෙසට හැරෙන විට ඇය ඒ යොමුව කවර අයුරින් භාර ගනු ඇතිද?

"මගේ තාත්තා මෙහි සිරකරුවෙක්" කියා ඇයට සිතෙනු ඇතිද?

අප අනවශ්‍ය ලෙස කල් දමා බරපතල කර ගත් මේ සුවිශේෂී මොහොතට අප තිදෙනාම මනාව සූදානම් විය යුතුයැයි මම ඔහුට නිතර කීවෙමි. මේ මොහොත ඔහුට මෙන්ම දියණියට වඩාත් පහසු කරනු පිණිස ඔහු වෙසෙන බන්ධනාගාරය තුළදීම දෝණිට සුරත් පෙන්වන්නට මට කොතෙක් අවැසි වුවද ඇය බන්ධනාගාරය වෙත ගෙන එනු දකින්නට ඔහු කිසිසේත්ම කැමති නොවීය. ඇය ප්‍රශ්න නොකර ජීවිතය භාරගන්නා කුඩා කලදීම මේ කඩුල්ල ඇයත් සමග පනින්නට මට දැඩි උවමනාවක් තිබුණද මාත් අම්මාත් හැර වෙනත් කිසිවෙකු ඔහු දකින්නට පැමිණෙනවාට ඔහු අකමැති විය. සමාජයේ අතළොස්සක් ඔහු සාධාරණීකරණය කළද ඒ සාධාරණීකරණය කොතරම් සාධාරණදැයි අපට වඩා හොඳින් දන්නේ ඔහුය. බහුතර සමාජය ඔහු පිළිකුල් කළ බව ඔහුට රහසක් නොවීය. සිය එකම දරුවාත් ඔවුන්ට එකතු වේයැයි ඔහු බිය වන්නට ඇත. ඒ බිය මා තුළද වරින් වර මතු වෙයි.

"අම්මෙ, පොඩ්ඩක් ඉන්නකො"
දෝණි එක වරම මා අතින් ඇද නතර කර ගත්තාය.
මම නවතිමි.
තවමත් වේලාසන වැඩිය.

"ස.. ස.. සි...සි....ර..ක...ක....ර...රු....."
දෝණි අකුරෙන් අකුර කියවන්නට තතනයි.

"සිර කරුවෝද මනුෂ්‍යයෝය."
බන්ධනාගාරය ඉදිරිපස පොල් අකුරෙන් ලියා ඇත.

මේ වාක්‍යයෙහි අප නැත. සිරකරුවන් වෙනුවෙන් විඳවන අපද ඇතුළත් කොට මේ වාක්‍යය සම්පූර්ණ කළ යුතුය.
"සිර කරුවෝ මනුෂ්‍යයෝය. සිරකරුවන්ගේ අඹුදරුවෝද නෑසියෝද මනුෂ්‍යයෝය."

" සිරකරුවා ඝාතනය කළේද මනුෂ්‍යයෝය"
මගේ හෘද සාක්ෂිය කුරිරු ලෙස මට මතක් කරදෙයි.

හෘද සාක්ෂිය විටෙක මළ වදයකි.

මා සිතන දේට පක්ෂපාතී නොවන හෘද සාක්ෂියෙන් මට ඇති පලය කිම. මේ හෘද සාක්ෂිය මගේ නොවෙයි. මට අපක්ෂපාතී හෘද සාක්ෂියක් මා තුළ ඇති කොට මට වද දීමෙන් සොබා දහම බලාපොරොත්තුවන්නේ මොනවාද? මගේ හෘද සාක්ෂිය කුමන අවස්ථාවකදී වුවද මට පක්ෂපාතී විය යුතුය.

මට මගේ හෘද සාක්ෂිය වද දෙන අයුරින් සුරත්ගේ හෘද සාක්ෂිය ඔහුට වද නොදෙන්නේ ඇයිදැයි මට සිතාගත නොහැක. ඔහු චෝදනා ලද අපරාධය කරද්දී ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට බරක් නොවන්නට ඇත. ඔහු ඒ ම්ලේච්ඡ ඝාතන මාලාව ක්‍රියාත්මක කරන වියරු මොහොතෙහි ඔහුගේ හෘද සාක්ෂිය සොබා දහමට ද්‍රෝහි වී ඔහුට පක්ෂපාතී වූයේ කෙසේද? මගේ හෘද සාක්ෂිය ඔහුට පක්ෂපාතී නොවන්නේ ඇයි?

" මම රණ විරුවෙක්මි. මේ මාගේ සතුරාය. ඔහු වැනසිය යුතුය"
සමාජය ඔහුට පොවා ඇති අයුරින් සත්‍යයට දෑස වසාගෙන ඔහු සිතන්නට ඇත.

ත්‍රස්තවාදියා සටන් කරන්නේ මිනිස් සංහතියට විරුද්ධවයි. ඔහුට නීති නැත. එහෙත් රාජ්‍ය හමුදාවක සෙබලෙකුට එසේ සිතිය හැකිද? ඔහු ත්‍රස්තවාදියා දමනය කළ යුත්තේ නීත්‍යානුකූල ලෙසයි. සිය ජාතිය මෙන්ම ත්‍රස්තවාදියාගේ ජාතියේ පුරවැසියන් පමක් නොව සදාචාරාත්මකව නොමග ගිය ත්‍රස්තවාදියාද ඔහු ආරක්ෂා කළයුතුය. දුර්වල මනසක් ඇති සෙබලුන් යුද අපරාධකරුවන් වන්නේ මේ උතුම් වගකීම හඳුනා ගන්නට නොහැකි වීමෙන් නොවේද? ඔවුන් නිල ඇඳුම් ලා ගත් ත්‍රස්තවාදීන් වීම ඔවුන්ගේ වෘත්තියට මෙන්ම රටටද නින්දාවක් බව ඔවුන්ට කියා දෙන්නට ඔවුන්ගේ හෘද සාක්ෂිය අපොහොසත්ය. සුරත් හෘද සාක්ෂියේ සීමාව ඉක්මවන විටක නීතියට කොටු වූ හෙයින් ඔහුත් මාත් දරුවාත් අද වන තෙක්ම නොයෙක් අයුරින් වන්දි ගෙවා ඇත. අප ගෙවන වන්දිය ඔහුගේ නිදහස් වීමෙන් අවසන් වේයැයි අපට කිව හැකිද? මේ වන්දිය තව කොතෙක් කලක් ගෙවිය යුතුද?

මා ඔහු දැකීමට අවසාන වරට පැමිනෙන විට සුරත්ට ජනපති සමාව ලැබෙන බවට රාවයක් සමාජ ජාල පුරා පැතිර ගොස් තිබිණ. එහෙත් ඔහු එපුවත දෙස බැලුවේ දෙගිඩියාවකින්දෝයි අනුමානයක් මා තුල විය. ඔහු ලබන්නට යන නිදහස දෝතින් බදා වැළඳ ගත යුතු වුවද ඔහු මා හමුවන්නට පැමිණියේ අමුතු සතුටකින් නොවේ. මා ඔහු පිළිගන්නට බලා සිටි සතුට ඔහු දැකීමෙන් බාල විය. ඒ පිළිබඳව විමතියට පත් වූ වූ මදෙස ඔහු ඉතා අසරණ අයුරින් බැලූ අයුරු මට මතක් වෙයි.

"මට මුලු ලෝකෙටම මුහුණ දෙන්න පුලුවන් මැණිකෙ. අර පැංචිගෙ මුහුණ බලන්න මට බෑ. මේ නිදහස තව කල් ගියා නම් කොච්චර එකක්ද"

ඔහුත් මාත් වෙන් කල යකඩ දැලට හිස ගසාගෙන සුරත් කොඳුරන අයුරු මට මැවී පෙනෙයි. ඔහුත් දියණියත් මාත් තිදෙනා පිළිබඳවම සිත පුරා දෝර ගලන අනුකම්පාවෙන් මම හඬා වැටුණෙමි.

"අඬන්න එපා මැණිකෙ. දෝණි මට සාප කරන එකක් නෑ"
ඔහු යකඩ දැල දෝතින් මිරිකාගෙන පැවසීය.

සුරත්ගේ ඇත්ත කතාව දැන ගත් දිනක දෝණිගේ ආකල්පය කුමක් විය හැකිදැයි ඒ මොහොතේත් මා අනුමාන කළ නමුදු ඔහුට එය පවසන්නට තරම් ශක්තියක් හෝ එඩිතර බවක් මා තුළ නොවීය. ඇය සිය තාත්තා ගැන විමසූ හැම විටම මා ඇයට පැවසුවේ තාත්තා පැමිනි දිනක ඔහුගෙන්ම අසා ගන්නා ලෙසයි. ය ඉතා සාර්ථක උපක්‍රමයක් විය.
ටික කලකට පෙර පසුගිය රජය සමයේ සිය පෙම්වතිය මරා දැමීම නිසා මරණ දඬුවම නියම වූ මිනීමරු තරුණයෙක් සමාව දී නිදහස් කිරීමට හිටපු ජනපති ක්‍රියා කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටි හිටපු ජනපති ඒ තීන්දුව නිසා ශීලාචාර සමාජයේ බරපතල දෝෂ දර්ශනයට ලක් විය. අප අවට නිතර සිදු වූ වැඩිහිටියන්ගේ සංවාද බහුල වූ නිසා එහි පසුබිම සවිස්තරව දෝණිට කියා දෙන්නට මට සිදු විය. සියල්ල අසා සිටි ඇය අවසානයේ පැවසූ එකම වාක්‍යය මගින් වෙනත් කිසිවෙකු මතු නොකළ තර්කයක් ඇගේ කුඩා සිත මා හමුවේ තැබුවේ මා නිරුත්තර කරමිනි.

"දැන් ඉතින් අම්මෙ, එයා ආවම ආයෙත් මිනී මරන්න පුලුවනි නෙ?"
ඒ පැනය අදටත්, ඇගේ පියාටත් වලංගු නොවේද?

සැබැවින්ම සිරෙන් නිදහස් වන මිනීමරුවෙකු යලිත් එවැන්නක් නොකරාවියැයි අපට කිසිවෙකු ලබා දෙන සහතිකයක් නැත.ඒ මිනීමරු පෙම්වතා නිදහස් කළ හිටපු ජනපති තුළත් එවැනි විශ්වාසයක් තිබුණා යැයි අපට සිතිය නොහැක.

මිනීමරුවෙකු සමාජයෙන් ඉවත් කොට සිරකොට තබන්නේ දඬුවමක් ලෙසද, නැත්නම් සමාජය ඔහුගෙන් ආරක්ෂා කිරීමටද කියා නඩු තීන්දුව දෙන විනිසුරුවන් පැහැදිලිව කිව යුතුයයි මට එවේලෙහි සිතිණ. දෝණි  තුල ඇතිවුන "සමාජය අපරාධකරුවන්ගෙන් රැකගත යුතුය" යන හැඟීම නීතිය අතට ගෙන සිටින අයට නැද්ද? නැත්නම් සමාජයට වඩා තමන්ගේ මිනිහා ඔවුන්ට වටිනවාද? එයද මානුෂික හැඟීමකි. දෝනි කරන ඕනෑම වරදකින් ඇය නිදහස් කරන්නට කුමක් හෝ සාධාරණ හේතුවක් මට හැම විටම සොයා ගත හැක. ඇය දිනක මිනී මැරුවොත් එදාටද මා එසේම ඇය බේරා ගන්නට අද සුරත් වෙනුවෙන් ඉදිරිපත්වන අයුරින් ඉදිරිපත්වනු ඇත.

"සුරත් සාපරාධී මිනී මරුවෙක්"යැයි ඔහුගේ මව කිසි දිනක නොසිතුවාය. ඇය දොස් නැගුවේ ඔහුට චෝදනා කොට වසර දහතුනක් නඩු අසා ඔහුට මරණ දඬුවම දුන් රටේ අධිකරණය ඇතුළු නීති පද්ධතියටය. ඇය ඔවුන් දුටුවේ රට ජාතිය ආගම ගැන නොසිතූ ද්‍රෝහීන් රැළක් ලෙසය. "තම සතුරා කැමති තැනකදී අමු අමුවේ මරන්නට ත්‍රස්තවාදියාට ඇති අයිතියම නීත්‍යානුකූල රාජ්‍ය හමුදා සෙබලාටද ඇතැ"යි යන මිථ්‍යා විශ්වාසය මාස කිහිපයකට පෙර හදිසි අනතුරකින් මිය යන තුරුම ඇය තුළ විය. ඇය සමග කිසි විටෙකත් වාද නොකළ මම එවන් අවස්ථාවන්හිදී ඇය අනුමත නොකර නිහඬ වීමි. මගේ මෙම චේතනා පූර්වක නිහඬ බව ඇය බෙහෙවින් නොරිස්සුවාය. මා උවමනාවෙන්ම නිහඬ වන්නේ ඇයට විරුද්ධ වන නිසා බව ඇය හොඳින්ම දැන සිටියාය.

රටේ පොදු නීතිය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් වැටුප් ලබන රාජකාරියක් විදියට සටන් වදින රණ විරුවා, ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකු වැනි පහත් පුද්ගලයෙකු නොවිය යුතු බව මගේ හැඟීමයි. සැබෑ රණ විරුවා විසින් නිරායුධ ත්‍රස්තවාදියා සහ යටත් වූ ත්‍රස්තවාදියා  අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම දිය යුතුයැයි මා කියද්දී ඇය ඒ අදහස ප්‍රතික්ෂේප කළේ "කොටියා කොටියාමයි දුවේ. ඉවරම කරන්න ඕන. බයානක කොටියා අත නාරු මෝඩයා කියන්නෙ ඒකයි..." බැරෑරුම් ලෙස පවසමිනි. වයසින්  වැඩුණු පසු කොටියෙකු විය හැකි බැවින් වසර පහක දරුවෙකු වුවද ඝාතනය කළ යුතු බවට ඈ පළ කළ තර්ක වලට සවන් දෙමින් මම මගේ වසර පහක දියණිය තදින් තුරුලු කරගෙන නිරුත්තරව පසු වුණෙමි.

මේ දරුවාත් සමග මා ප්‍රති විරුද්ධ පිළෙහි ඉපිද සිටියා නම් මගේ දරුවා ඝාතනය කරන්නට ඇගේ දරුවා නොපැකිළෙන්නේද කියා සැකයක් මා තුළ ඇති නොවූයේ ඔහුගේ අම්මාගේ චින්තනය ඒ මොහොතේ විඳ පසක් කරමින් සිටි නිසාය. ඔහුට අප හමුවන විට ඔහුට ඔහුගේ අම්මා ආරූඪ වුණා නම් මට මාත් මගේ දරුවාත් අහිමි වනු නියතය. අම්මාගේ වියරු දෑස මා භීතියට පත්කළේය. සුරත්ගේ කයත් සිතත් වෛරයෙන් පෝෂණය කරන ලද්දේ මේ සිතත් මේ කයත් විසින් නොවේදැයි ඒ මොහොතෙහි මට සිතිණ. මගේ දරුවාගේ ජීවිතයෙහි හොඳම කාලයෙහි ඔහු දියණියගෙන් වෙන් කර තබන්නට සොබා දහම කාරුණික වීයැයි මම ඒ මොහොතේ සිතන්නට වීමි. නැත්නම් ඒ ළඳ බොළඳ දැරිය තුලද මේ පාරම්පරික සාහසික බව මෝදු වන්නට අවකාශ තිබිණ. ඔහු අප වෙතට එන බැවින් හෙට පිළිබඳව මම නොදනිමි.

දරුවෙක් මරණ දඬුවමෙන් නිදහස් කරන මවකට තරම් පහසුවෙන් නොවුණද  "තම සැමියා සාපරාදී මිනීමරුවෙකි"ය යන්න සිතින් පහ කිරීම බිරිඳකට වුව කළ හැකි බව දැන් මම මගේම අත්දැකීමෙන් දනිමි. අනාරක්ෂිත බව තුළ අනාථ වූ විට සරණ වන්නේ මිනීමරුවෙකු වුවද ඔහු දෙස සර්ව ශුභවාදීව බලන්නට පොලඹවන අසරණ භාවය, තර්ක ශක්තියෙන් හීන පෙරදිග ගැහැණු සිත තුල නිසගයෙන්ම පැලපදියම්ව ඇත.

මාත් ආරක්ෂාව පතා සිය සැමියා මත යැපෙන තවත් එක් අසරණ ගැහැණියක් පමණකි. මටත් මගේ සැමියා අවශ්‍යයි. මගේ දරුවාට පියෙක් අවශ්‍යයි. තවත් අප වැනි පවුල් රැසකට ඔහු  නිකරුණේ අහිමි කල ජීවිත වෙනුවෙන් අප නිරපරාදේ වන්දි ගෙවිය යුතුද?

සුරත් මගේ සැමියා වුවද ඔහු කළ අපරාධ සාධාරණයි කියා මොහොතකට හෝ නොසිතන ඔහු කිසි සේත් අනුමත නොකරන මා මේ ගෙවන වන්දියට හේතුව කුමක්ද?දෝණි බහ තෝරන වියේ සිටම සිහිනෙන් බිය වීමත් යහනෙහි මුත්‍රා පහවීමත් නිසා ඇගේ හඳහන බැලූ ජ්‍යොතිෂවේදියෙකු පැවසුවේ පියා නිසා ඇයට අපල ඇති බවයි. ඔහු සුරත් පිලිබඳව දැන නොසිටියායැයි අපට කිව නොහැක.

දෝණි කුඩා කල සුරත්ගේ ඡායාරූප වලට බියක් දැක්වූවාය. ඇය හමුදා නිල ඇඳුමට තුවක්කුවට බිය වීම නිසා අපි සුරත්ගේ ඡායාරූප ඇගෙන් සඟවා තැබීමු. විටෙක සිහිනෙන් බිය වන ඇය නින්දෙන් අවදිවී මා තුරුලු කරගෙන බියෙන් වෙවුලමින් පැවසුවේ ඇය මරන්නට පිහියක් අතින් ගත් කිසිවෙකු ඇය හඹා එන බවකි. ඇගේ පෙර ජන්මයක තොරතුරු ඇය හෙලි කරන බව සුරත්ගේ මවගේ විශ්වාසය විය. මව සිතුවේ දෝණි ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලද සිංහල දැරියක් විය හැකි බවයි . මා සිතුවේ සුරත් විසින් කළ කර්ම නිසා ඇයට මෙසේ විඳවන්නට සිදුවී ඇති බවයි. කෙසේ වුවද අපි දෙදෙන මේ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නට සම්මුතියකට එළඹුණෙමු.

මිනීමරුවා සමාජයට මුදා හැරීම සමාජයට අවදානමක් ලෙස සිතන මගේ කුඩා දියණිය ඇගේ කුඩා වයසට මේ ගෙවන වන්දිය කුමක්ද? අද වන විට  ජනපති සමාවෙන් නිදහස ලබා සිටින සුරත් තව ස්වල්ප වේලාවකින් ඔහු මෙන් සිතන ඔහුගේ සේවය අගය කරන පිරිසකට ජාතික වීරයෙක් වී අප සොයා පැමිණෙන්නේ නිකරුණේ අප ගෙවිය යුතු වූ වන්දිය අප විසින් ගෙවා හමාර වී ඇති නිසාද?

බන්ධනාගාරයේ දොරටුවට ඉහළින් ඇති විශාල හෝරා යන්ත්‍රයට අනුව සුරත් නිදහස් කරන වෙලාව ඉතාම ආසන්න වී ඇත.

මම දියණියත් අතින් අල්ලාගෙන පදික වේදිකාව දිගේ ඉදිරියට ගොස් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දෙසට හැරුනෙමි.

"කොහේද අම්මෙ අපි මේ යන්නෙ?" ඇය අසයි.

"හිර ගෙදරට දෝණී."

මට හැකි උපරිමයෙන් ඒ වචන වල ස්වරය සාමාන්‍ය දෙයක් මෙන් පවත්වා ගන්නට උත්සාහ දැරුවෙමි.

"තාත්තා වැඩ කරන්නෙ හිර ගෙදරද අම්මෙ"?
අතොරක් නැති ප්‍රශ්න වැල ආරම්භ වන්නේ දැන්ය...
ඔහු එළියට එන තුරුම මට නිවනක් නොවන බව ප්‍රශ්න අසන්නට ඇයට පුරුදු කළ මම අත්දකීමෙන්ම දනිමි.

"ඔව්, තාත්තා වැඩත් කරන්න ඇති, දෝණි"
ඇයට කිසි දා බොරු නොකියන මම හැකි අයුරින් ඇත්ත කීවෙමි.

"ඉතින් අපිත් එක්ක ගෙදර ගියාට පස්සෙ තාත්තා ආයෙ මෙහේ එන්නෙ නැද්ද, අම්මෙ?"
රැකියාවට යන තාත්තලා කැන්දාගෙන යන්නට ඔවුන්ගේ බිරින්දෑවරු දරුවන්ද කැටුව නො එන බව ඇගේ කුඩා එහෙත් පැහැදිලි හිත ඇයට පැවසුවාද? නො එසේ නම් ඔහු මෙහි රැඳී සිටි දීර්ඝ කාලය ඇය තුළ එම අදහස ඇති කළාද?

වේලාව ඉක්ම යමින් පවතියි. මා සිත අපේක්ෂාපූර්ණ චකිතයෙන් ගැහෙයි. මෙතෙක් කිසිදා දැක නුපුරුදු අලුත් සත්වයෙක් මෙන් මේ විසල් දොරටුව විවර වී අපේ නිදහස් ලොවට ඔහු පිවිසෙනු දකින්නට මගේ සිත නොඉවසිල්ලෙන් පසු වෙයි.

"අන්න අන්න අම්මෙ දොර අරිනවා" දෝණි එකවරම කීවාය.
මහා දොර විවෘත විය.
සිල් ගත් උපාසකයෙක් මෙන් තනි සුදු ඇඳගත් ඔහු කලු ටියුලිප් ශොපින් බෑග් එකත් එල්ලාගෙන දොරටුවෙන් පිටතට විත් වට පිට බැලුවේ මා දකින්නට විය යුතුය. දියණිය දකින්නට නම් නොවේ. දියණිය කැටුව එන්නදැයි ඔහුගෙන් විමසන්නටවත් අවශ්‍ය නැති තරමට ඔහු ඊට විරුද්දය. මා මෙසේ ඇය කැටුව ඒම ඔහු කවර ආකාරයෙන් භාර ගනු ඇත්දැයි යන්න මේ මොහොතෙහි අන් සියලු හැඟීම් අභිබවා මසිත කලබයි. මගේ තොල කට වේළිණ.

"අන්න එනවා... අපි යමු ඉස්සරහට"
සිත දැඩි කරගත් මම දෝණිත් සමග ඔහු ඉදිරියට ගමන් කළෙමි. දෝණි මගේ අත මුදාගෙන ඔහු එන මගට දිව්වාය... දෝණි දුටු සුරත් පළමුව විමතියට පත් වී දෙවනුව වික්ෂිප්ත වනු දුටිමි. මා හද ගැස්ම පිටතටත් ඇසෙන තරම් වැඩිවෙනු මට දැණින. ඊලඟ මොහොතේ තියුණු බැල්මකින් මා දෙස බැලූ නමුත් කුපිත වන්නට අවසරයක් දෝණිගෙන් ඔහුට නොලැබිණ..

"තාත්තේ"

ඔහුට සමීප වෙමින් සිටි දියණියගේ උතුරා යන සතුට විසින් ඔහුගේ සිත වෙනස් වෙන අයුරු මම ඔහුගේ මුහුණෙහි දුටිමි. මසිත සැණින් නිවී ගියේය. මේ මොහොත අඳුරු නොවෙයි නම් පසුව කවර දඬුවමක් ලදුවත් මට කම් නැත. මම මගේ දියණියට වංචා කරන තැනට පත්වන්නට මට අවශ්‍ය නොවීය. මම මගේ වගකීම ඉටු කලෙමි. ඇය සත්‍යයේ පළමු අදියර විඳ පසක් කරමින් සිටින්නීය.

සුරත් සිනාසෙමින් දියණිය දෙස බලාගෙන ඉක්මන් ගමණින් ඇය වෙතට පැමිණෙද්දී ඇය එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් නතරවූවාය. ඇය තදින් අත් මිට මොලවා ගත් අතර ඔහු විමතියට පත් වෙනුද මට පෙණින. මා කලේ වරදක්දැයි පළමු වරට මට සිතිණ. අඩියක් දෙකක් පස්සට තැබූ දෝණි වහා හැරී මා දෙසට දිව ආවාය.  මම දෝත දිගු කළෙමි. දෝණිගේ ඇස්ගෙඩි දෙක වෙස් මුහුණක දෑසක් මෙන් ඉලිප්පී ඇත.. මුව අයාගෙන මා වෙතට දිව එන ඇය භයින් ත්‍රස්ත වී ඇත...අවසිහියෙන් මෙන් සුරත්ද ඇය පසුපසින් දිව එනු මට පෙනුනේ අහම්බෙනි.

"ප්‍රසාදිනී?" ඔහු ඇය නමින්ම ඇමතුවේය..

"දෝණි? ඇයි මේ?" මම ඇය අල්ලා තුරුළු කරගන්නා අටියෙන් වහා ඇය ඉදිරියට ගියෙමි.

"අනේ අම්මේ මාව බේරගන්න. එයා තමයි...

"එ...එයා තමයි, පේර කඩනකොට මාව අල්ල ගත්තෙ., මාව වල ගාවට ඇදගෙන ගියේ....මගේ..මගේ බ්..බ්,,බෙ..."
ඇය මහ හඬින් කෑ ගසමින් මා දෙසට දිව ආවාය.

"නෑ දෝණි... ඒ ඔයාගෙ තාත්තා...."

මම ඇය අස්වසන්නට තැත් කළෙමි.
ඇය ඉන් තිගැස්සුණාය.


"ඒ ඔයාගෙ තාත්තා...."

මෙතෙක් ඇගේ මුහුණෙහි ඇඳී තිබුන ආධාර පතන හැඟීම සැනෙකින් වෙනස් විය... ඇය වෙට්ටුවක් දමා මා මග හැරියාය. මා ඇය අල්ලා ගන්නට තැත් කරද්දී මා පසු කරගෙන කෙලින්ම මහ මග දෙසට දිව්වාය. මගේ සියොළඟ රත් විය. මහමග වාහන අඩු වුවද දෙපසටම යන වාහන ඉතා වේගයෙන් යනු පෙනෙයි.. මම ඇය පසුපස දුවන්නට වීමි. මට සුරත් ඇතුළු මුලු ලොවම අමතක විය.

දකුනුපස මහ මග බන්ධනාගාර තාප්පයෙන් වැසී ඇත...පාරෙහි අනෙක් පස බොරැල්ල දෙසින් වෑන් රථයක් සහ මෝටර් සයිකලයක් ඇය දෙසට එන අයුරු මට පෙනෙයි. සියොළඟ ඩහදියෙන් තෙත් වෙයි. උගුර කට වේලී ගියේය. "දෝණී" කියා කෑගැසූ නමුත් හඬක් පිට නොවීය. හැකි උපරිම වේගයෙන් දිව ගිය මගේ පාවහනක් ගැලවී වීසි වී ගියේය. මම අනිකද ගලවා දමා ගිනිගත් පොළව මත වේගයෙන් ඇය පසුපස දිව ගියෙමි.
හැඳ සිටි සුදු සරම එක අතකින් ඔසවා ගත් සුරත් විදුලි වේගයෙන් මා පසු කරන විටත් දෝණි මහමගට පිවිස සිටියාය. සුරත් පදික වේදිකාව අසලට එන විට දෝණි මාර්ගයෙන් අඩක් ඉක්මවා දුවමින් සිටියාය. මහ හඬින් තිරිංග තදකල වෑන් රථය දෝණිගේ ඇඟේ ගෑවී නොගෑවී නතර විය. දෝණි එක මොහොතකට නතර වී වෑන් රථය ඉදිරියෙන් දුව යන්නට හැරුණාය. වෑන් රථය හදිසියේ නතර වීම නිසා එය පසු පසින් තරමක් දුරින් පැමිණි මෝටර් සයිකල් කරුට මෝටර් සයිකලය පාලනය කරගත නොහැකි වූයෙන් වෑන් රථයත් පදික වේදිකාවත් අතරෙන් යන්නට හරවනු මම දුටිමි. මට වඩා හොඳින් සුරත් මෝටර් සයිකල් කරුවා දකින්නට ඇත. දැන් ඇය මෝටර් සයිකලයෙහි ගැටීම නිසැකය.

"ප්‍රසාදිනී"
මහ හඬින් කෑ ගැසූ සුරත් පාරට පැන්නේය..

ඒ ක්ෂණයෙහිම වෑන් රිය පසු කරමින් සිටි දෝණි වෑන් රිය පසු කරන මෝටර් සයිකලයෙහි හැපෙන ආකාරය මට මෙන්ම සුරත්ටද ඉතා පැහැදිලිව මැවී පෙනෙන්නට ඇත.

වාසනාවකට මෙන් මෝටර් සයිකල් කරු වෑන් රථය පසු කලේ නැත. ඔහු වෑන් රථය එහා පැත්තෙහි සයිකලය නතර කරගන්නට ඇත. පිම්මේ දිව ගිය දෝණි කිසිවක් නොවූ අයුරින් මහමග අනික් පැත්තේ පදික වේදිකාවට ගොඩවී වම් පසට දිව යද්දී වෑන් රථයට මුවාවීමෙන් මට නොපෙනී ගියාය . නවතා තිබුණ වෑන් රථය ගමන් ඇරඹූ නිසා සුරත් මහ මග මැද නතර විය.  සුරත්ට දකුණු පසින් පැමිණි රතු පැහැ විශාල බස්‍ රියක්  ඔහුට සමීප වෙනු මා දුටුවේ එම මොහොතේමය.. ඔහු බසය නතර කරන්නට මෙන් දෑත් ඔසවනු මම දුටිමි. මරණ බියෙන් සන්ත්‍රාසයට පත්ව අසරණ වූ ඒ මුහුණ දුටු මගේ හදවත කඩා වැටිණ. බස් රියෙහි තිරිංග තද වෙනු මට ඇසිණ. මිනිසුන් රැසක් මහ හඬින් කෑගසන හඬ මර ලතෝනියක් මෙන් දෙසවන් කීරි ගැසිණ.

"පමාදෝ මච්චුනෝ පදං"

මම මගේ මුහුණ දෝතින්ම වසා ගතිමි.
මට මතක එපමණය.

ක්ෂණයකින් සියල්ල අඳුරු විය.

_____________________________________________________අතුල සිරිවර්ධන







.