20170204

දේශපාලනික විරුද්ධකරුවන් සොයාගෙන වැනසීමට...


1815 රට අල්ලාගත් ඉංග්‍රීසින්ට විරුද්ධව
1818 ඇතිවුණ කැරැල්ල ඔවුන්ගේම සැලැස්මක්ද?


ඉංග්‍රීසින්ගේ පාලනයට එරෙහි විය හැකි අය
එක තැනකට එකතු කර විනාශ කිරීමට
ඔවුන්ට භාවිතා කළ හැකි හොඳම උපක්‍රමය
ඔවුන්ගේම කෙනෙක් කැඳවුම් කරු ලෙස යොදා
කැරැල්ලක් සංවිධානය කිරීමයි.

කැරැල්ලෙන් හෙළිවුණ විරුද්ධවාදීන්
විශාල පිරිසක් ඝාතනය කිරීම සහ
තවත් පිරිසක් හඳුනා ගැනීම
ඉංග්‍රීසි රජයට ප්‍රයෝජනවත් විය.

"එදා හෙළදිව" පොතෙහි සඳහන්
අඹන්වෙල රාළ මෙහෙයවූ කැරැල්ලටත්
මූලිකම සාධකය විය හැක්කේ
රාජසිංහ රජුට තම පුතා ගැන තිබුණ
සැකයෙන් ඔහු තුළ ඇතිවූ භීතිය විය යුතුය.

කැරැල්ල වෙන අවස්ථාවේ
මාළිගය තුළ කාමරයක සිරවී
අනාරක්ෂිතව අසරණව උන් රජුට
ඉතා පහසුවෙන් පළා යන්නට
කැරලි කරුවන් ඉඩ හැරියේ ඇයි.
පසුව බලන දුර්ගයේදීත් ඔහු බේරිණ.

කැරැල්ලෙන් පසුව කැරලිකරුවන් රජ කුමරු හමුවී
රජකම ගන්නට කැමැත්ත විමසූ අවස්ථාවේ
ඔහු නිහඬව සිටියේය.
ඔහුගේ මුනිවත තුළ වූ ඉඟිය
"ලැබුණොත් භාර ගන්නෙමි"යි යන අදහස ලෙස
සැක පහළ කළ රජු සිය පුත්‍රයා මැරුවේය.

දඬුවම් සඳහායි කියා
අඹන්වෙල රාල ලන්දේසි කොටුවට යැවූ නමුත්
ඔහු එහි යහතින් ජීවත් විය.

2010 දී දැනුවත්ව හෝ නොදැනුවත්ව
සරත් ෆොන්සේකා මහින්දගේ රජයට කළ සේවාව
නැසිය යුතු වල්පැල මතු කිරීමද?.
පසුකාලීනව හමුදාව තුළත්
දේශපාලන ක්ෂේත්‍රය තුළත්
යම් යම් සංශෝධන සිදු වූයේ
ඒ දත්ත භාවිතයෙන්ද?

2015දී එවැන්නක් සඳහා ඉත්තා වුණ මෛත්‍රී
දාම්පෙත කරකවා බලය අල්ලාගත්තේ යැයි
අපට සැක කළ හැක.
මේ බල පරිවර්තනයට ප්‍රබල සාධකයක් වූ
මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ දායකත්වයට
ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා විය හැක.

අදත් අප දකින
නොයෙක් දේශපාලන නාඩගම් තුළ
අපට මතුපිටින කුමක් පෙණුනත්
ඇතුළතින් සිදුවෙන පරිවර්තන
අප නොදන්නෙමු.

සිරිමාවෝ බණ්ඩාරනායක නම්
තමාට එරෙහි ප්‍රධානම බල වේගය
ප්‍රජා අයිතිවාසිඅම් අහෝසි කොට ඉවත් කරගෙන
"ජනපති මිය ගියොත් අගමැති ජනපති" වෙන
මාරාන්තික ව්‍යවස්ථාව නිර්මාණය කරගෙන
තමන්ගේ තැනට එන්නට මහත් සේ කෑදර
ප්‍රේමදාස අගමැති තනතුරේ තබාගෙන
වසර එකොළහක් බලය පවත්වාගන්නට
ජේ ආර් ජයවර්ධන සමත්විය.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ
ජේ ආර්ගේ සැලැස්ම ජවිපෙ සහායෙන් අක්‍රිය කොට
ප්‍රේමදාස පක්ෂයේ බලය අල්ලාගත් නමුත්
ඔහු සිය බලය පතුරවන්නට සිහින මැවූ
හයෙන් පහක බලය ඇති පාර්ලිමේන්තුව
ප්‍රේමදාස ජනපති වෙන රාත්‍රියේම
විසුරුවා හරින්නට ජේ ආර් ගත් තීරණය
ජේ ආර්ගේ පුද්ගලික පළිගැනීමක් වුවද
රටට සිදු වූ විශාල සෙතකි.

ඔහුගේ රජයට විරුද්ධ විය හැකිව තිබුණ
ජවිපෙ ක්‍රියාකාරීන් සියල්ලෝම ඉවත් කිරීමට
ප්‍රේමදාස ඉතා ඉක්මණින් ක්‍රියා කළේ
ඔහු භාවිතා කළ බළල් අත
ඔහුට විරුද්ධ වෙනෙකෙකුට
යළි භාවිතා කරන්නට ඉඩ නොතබමිනි.

තෙවන වරටත් බලය ගන්නට කැස කැවූ ජේ ආර්
තමා ප්‍රතික්ෂේප කළ එජාපයටත්
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තිදෙනාටත්
එකම හැන්දෙන් බෙදා පළිගැනීමේ අරමුණෙන්
ඔවුන් තිදෙනම අතුගා දමා
චන්ද්‍රිකාට බලය ලබා දෙන්නට
තිරය පිටුපස සිට දායක වන්නට ඇතැයි
ඔහුගෙ ස්වභවය අනුව සැක සිතිය හැක.

ජේ ආර්ට තෙවන වර බලය නොදීමෙන්
එජාපය බැරෑරුම් ලෙස විනාශවී යන්නට
ප්‍රේමදාස, ලලිත්, ගාමිණී තුන්කොන් බල අරගලය හේතු වී
ඔවුන් ඝාතනය නොවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වනු ඇත.
ඔවුන් තිදෙනා සිටින දේශපාලන බිමක
මහින්ද රනිල් දෙදෙනාත් බැසිල් ගෝටා ආදීනුත්
දුබල ඉත්තන් ලෙස කොන් වෙන්නට ඉඩ තිබිණ.

ඉතා සැලකිල්ලෙන් ඉතිහාසය දෙස බැලුවොත්
මතුවී පෙනෙන විරුද්ධවාදීන් සහ
නොපෙනෙන විරුද්ධවාදීන් මතුකරගෙන නැසීම සඳහා
කලින් කල නොයෙක් කැරළි කෝලාහල
විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ ඇති වෙයි.
වඩාත් නිවැරදිව කිව හොත් ඇති කරනු ලබයි.

මේ දාදු කෙළි වල කැපෙන ඉත්තන් අතරට
නොදැනුවත් කම නිසා එක්වී කැපී යන
අවසනාවන්තයන් බොහෝය.

No comments:

Post a Comment