20160613

තණ්හා ඉච්ඡා කියන්නෙ දෙකක්.




තණ්හා-ඉච්ඡා
දෙකම එකක් කියා
සිරිධම්මගේ ගෝලයන් පිළිගන්නවා.
ඔවුන් ඒ දෙකම එකක් කියා වාද කරනවා.

තණ්හා ඉච්ඡා දෙකම එකක් නොවෙයි.
පැහදිළිවම දෙකක්.

ඉච්ඡාව තණ්හාවෙ දරුවෙක්.
මව මරා උපන් කුමරෙක්.

තණ්හා කියන්නෙ
වේදනාවක් ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ගැනීම නිසා
මේ මොහොතෙ ඇති වෙලා නැති වෙන දෙයක්..

ඉච්ඡා කියන්නෙ
තණ්හාවකින් හටගෙන
ප්‍රපඤ්ච නිසා ඇති වෙලා
අලුත් වෙවී ඉදිරියට යන අරමුණක්.


තණ්හාව ක්ෂණිකව ඇතිවෙන දෙයක්.

අව්වෙ ඉන්න කෙනෙකුට
හෙවනට යන්න තණ්හාවක් එනවා.
ඔහුට කුඩයක් ගන්න එන්නෙ ඉච්ඡාවක්.
කූල් ඩ්‍රින්ක් එකක් බොන්න එන්නෙ ඉච්ඡාවක්.
තණ්හාවක් නොවෙයි.

තණ්හාවට මුල් වෙන්නෙ අව්ව ස්පර්ශ වීමෙන්
කයෙහි උපදින දුක්ඛ වේදනාවයි.
ඒ වේදනාව අප්‍රිය වීමෙන්
හිතේ ද්වේශයක් හට ගන්නවා.
ඒ උත්තේජනය නිසා ඔහු ක්‍රියාත්මක වෙනවා.
ඉච්ඡා උපදිනවා.
ඔහු එක ඉච්ඡාවක් උපාදාන කරගන්නවා.

තණ්හාව වචනයෙන් විස්තර කරලා
තව කෙනෙකුට පැහැදිලි කරන්න අපහසුයි.
ඉච්ඡාව වචනයෙන් කියන්න පුලුවන්.
අනික් කෙනත් පහසුවෙන් තෙරුම් ගන්නවා.

තණ්හාව හැමවිටම වර්තමානයෙ ඇතිවෙලා
උපාදානය බවට හැරිලා නැති වෙනවා.

( කයට සම්බන්ධ දේ ඇති වෙලා නැති වෙනවා. )
ස්පර්ශය ඇති වෙලා නැති වෙනවා.
වේදනාව ඇති වෙලා නැති වෙනවා.

තණ්හාව ඇති වෙලා නැති වෙනවා,
( දැන් සිත සම්බන්දයි. )

තණ්හාව උපදින්නෙ සිතේ
උපාදානය ඇතිවෙන්නෙ සිතේ.
උපාදානය නිසා භවයක් ඇති වෙනවා.

තණ්හාව උපාදාන වෙද්දි
ඉච්ඡා උපදිනවා.

තණ්හාව ඇති වෙන්නෙ
වේදනාවක් ප්‍රිය වීම හෝ
අප්‍රියවීම නිසයි.

පහසුතා උපකරණ,
ගරු නම්බු, ලාභ සත්කාර,
මිල මුදල් ඉඩ කඩම් ආදිය
සඳහා ඉච්ඡාව පහළ වෙනවා.

සිතේ තණ්හාව ඇතිවෙද්දි කයේ වේදනාවක් තියනවා.

ඉච්ඡාවක් ඇතිවෙන්නෙ හිතේ.
ඉච්ඡාව පවතින්න චිත්ත රූප පාදක වෙනවා.

ඉච්ඡාවක් හිතේ ඇති වෙන්නෙ
දැන් අප සමීපයේ නැති, අපි කැමති
අනාගතයේ ලැබිය හැකි දෙයක් ගැනයි.

අව්වෙ ඉන්න කෙනාට ඇතිවෙන
තාපයෙන් මිදෙන්න  ඇතිවෙන තණ්හාව
මේ මොහොතෙ ප්‍රශ්නයක්.

අනාගතේ මේ දුක නොවිඳින්න
ඔහු කරන සැලසුම නිසා
කුඩයක් ගැන ඉච්ඡාවක් ඇති වෙනවා.

තණ්හාව පුද්ගලිකයි.
ඉච්ඡාව පොදු දෙයක් වෙන්න පුලුවන්.
ඔහුගෙ ඉච්ඡාව හඬ නගා කිව්වොත්
එතන ඉන්න අනික් අයත්
ඒ ඉච්ඡාවම ඇති කරගන්න පුලුවන්.

ඔවුන් එකම කණ්ඩායමක් නම්
ඒ පොදු ඉච්ඡා එකතු වෙලා
කූඩාරමකට ඉච්ඡාවක් ඇති වෙන්න පුලුවන්.

තණ්හාවට වේදනාවක් මුල් වෙන නිසා
ඒ තණ්හාවට ඒ වේදනාව අදාළයි,
ඒ තණ්හාව ඒ වේදනාවට සාපේක්ෂයි.

ඉච්ඡාව ඒ වේදනාවට අදාළ නොවෙන්න පුලුවන්.

වේදනාව තියෙන තුරු තණ්හාවත් තියනවා.
වේදනාව පහවෙලා ගියත්
ඉච්ඡා දිගටම තියෙන්න පුලුවන්.
කූල් ඩ්‍රින්ක්ස් ගෙනෙන විට අව්ව නැති වුණත්
ඉන්න අය ආශාවෙන් බොනවා.

අපි අව්වට ඉහලන්න කුඩයක් ගන්නෙ
පස්සෙ දවසක නිසා
අපි අව්වෙ දුක් වින්ද මොහොතට
ඉච්චාව ඍජුව සම්බන්ධ නෑ.
තණ්හාව ඍජුව සම්බන්ධයි.
ඒ නිසාම
ඉර වළාකුළකට වැහුණොත්
තණ්හාව ක්ෂය වෙනවා.
ඒත් ඉච්ඡාව පවතිනවා.
කාලයත් සමග
ඉච්ඡාව මෝරනවා.

තණ්හාව ක්ෂණිකයි..
තණ්හාවෙ මුල කායිකයි.

වේදනාව මගින් සිතට සම්බන්ධ වෙනතුරු
තණ්හාවට ශක්තිය වේදනාවයි.

තණ්හාව ඇතිවුණාට පස්සෙ
මනස ඉච්ඡාව අතට ගන්නවා.
තණ්හාවෙන් උපදින ඉච්ඡාව
අතු ඉති වැඩිලා පෝෂණය වෙන්නෙ
රාගයෙන් ද්වේශයෙන් සහ
නීවරණ වලින්.

තණ්හාවෙ කාලය සීමිතයි.
පවතින පරාසය සීමිතයි.

තණ්හාවකට දෙවෙනි මොහොතක් න.
තණ්හාව එක මොහොතයි.
ඉච්ඡාවට කාලයක් හෝ වෙනත් සීමාවන් නෑ.

රැජිනක් අයිති කරගන්න
එක හිතක ඇතිවුණ ඉච්ඡාව නිසා
රටවල් යුද වැදී තියනවා.


තණහාව නිසා ඉච්ඡාව ඇති වුණාට
ඉච්ඡාව තණ්හාවෙන් මිදෙනවා.
ඉච්ඡාව අයිති වෙන්නෙ උපාදානයටයි.
ඉච්ඡාව අරමුණ කරා මෙහෙයවන්නෙ
උපාදානයයි.

කුඩය ලබාගන්නා තෙක්
උපාදානයේ ගමන
භවය ලෙස හඳුන්වන්න පුලුවන්.

අව්වෙන් දුක් විඳින කෙනෙක්
කුඩයක් ගන්න ඇතිකරගන්න ඉච්ඡාව
උපාදාන වීමෙන්
ඔහු කුඩයක් ඉහළාගෙන යන්න හිතන
භවයක් සකස්වෙනවා.

ඒ භවය නිසා
ඔහු කුඩයක් ඉහළාගෙන යන
ජාතියක් ලබනවා.

ඒ කුඩය කැඩුණාම ලෙඩක්.
ඔහු දුක් විඳිනවා.
කලක් ගිහින් පරණ වෙනකොට
ජරාවට යන කුඩය දුකක්.
කැඩිලා අයින් කරන කොට
ඔහු අලුත් කුඩයක් ගන්නවා.
කුඩය රකින්න ඔහු දුක් විඳිනවා.

රහත් වුණාට පස්සෙ තණ්හා නෑ...
ඉච්ඡා තියනවා. අල්ප වශයෙන්.
වේදනාවට උපේක්ෂාව තියන නිසා
තණ්හාව නෑ.. අල්ප ඉච්ඡා තියනවා.

පිරිනිවන් පාන තුරු
සමාජයේ පැවතිය යුතු නිසා,
ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දේට
ඉච්ඡාව තියනවා.
ඉච්ඡා තියෙන්නෙ අල්ප වශයෙන්.

බුදුන් වහන්සෙත් කැමති අකැමති දේ තිබුණා.
ඒ දේවල් ඉතාම අල්පයි.
වේදනාවන්ට උපේක්ෂාව තියන නිසා
තණ්හාව උපදින්නෙ නෑ.
ප්‍රඥාවෙන් දකින අවශ්‍යතා ඉටු කරගන්න
අල්ප ඉච්ඡා තියනවා.

රහතන් වහන්සෙට කුසගින්න ඇති වෙනවා.
වේදනා සිහියෙන් දකිනවා.
වේදනාවට උපේක්ෂාව තියනවා.
කුසගින්නත් නිවා ගන්නා ක්‍රමයත්
ප්‍රඥාවෙන් දකිනවා.

ඔහුට ඇති වෙන ඉච්ඡාව
කයට අවශ්‍ය ප්‍රමාණය පමණයි.
ඔහු වාහනයට නැගී මැක්ඩොනල්ඩ්ස් යන්නෙ නැහැ.
පාත්‍රයත් අරන් ගෙවල් දෙකතුනකට වඩිනවා.
ඔහු කුසගින්න නිවා ගන්නා තුරු
කුසගින්න උපාදාන කරගෙන
එයින් දුක් විඳින්නෙ නෑ.

විදසුන් වඩද්දි
වේදනාවට උපෙක්ෂාව හුරු වෙන නිසා
ආර්ය ශ්‍රාවකයාගෙ
තණ්හාවෙ ප්‍රබල බව අඩු වෙනවා.
තණ්හාව අල්ප වෙනවා.
ඉච්ඡාවත් අල්ප වෙනවා.
-------------------------------------------------
තණ්හා ඉච්ඡා කියන්නෙ දෙකක්.

No comments:

Post a Comment