20170610

VFM සංවාදය -සමන්ත භද්‍ර හිමි නොවිඳීම කියන්නෙ මෝහයට...




ආර්යශ්‍රාවකයා කියන්නෙ
රහත්වීමට කටයුතු ආරම්භ කල කෙනා,

ඒ කියන්නෙ පළවෙනි  වතාවට
සම්මා ව්‍යායාමය පටන් අරන්
සම්මා සතිය පිහිටුවාගෙන
සම්මා සමාධිය ලබාගත්ත කෙනා,
බිංදුවෙ ඉදල එකට අඩිය තියපු එක්කෙනා.

ඉතින් එයාගෙ ගමන කල්ප ගාණක්  වෙන්නත් පුලුවන්,
එක ජීවිතයක් වෙන්නත් පුලුවන්
ජීවිත කාල ගාණක් වෙන්නත් පුලුවන්


කොහොම උනත්
එයා අර ආර්යශ්‍රාවකයා කියන තැනට අඩිය තියලා
ඒක ඉතින් එයා කවදාහරි සසරෙ යනතුරු
ඒ ආර්යශ්‍රාවක කියන එක නැති වෙන්නෑ
ඒක හැබැයි වැලහෙන්න පුලුවන්,
යටවෙන්න පුලුවන්.

ඉතින් එතකොට
ඒ ඒ ආර්යශ්‍රාවකයට ප්‍රශ්න කරල
ඒ තමන්ගෙ අත්දැකීම, ....

ඒක හරියට මේ වගේ , ......
අපි නින්දෙන් අවදි වෙනව.
පළවෙනි වතාවට නින්දෙන් අවදි වෙනව කියමු
දැන් ඔක්කොම නිදාගෙන ඉන්න තැනක
එක්කෙනෙක් පළවෙනි වතාවට නින්දෙන් අවදි උනාම
එයා අවදි උනා කියන එක දන්නවා.

හැබැයි
ඊට පස්සෙ එයාට නින්ද යනවා,
ආයෙ අවදිවෙනවා,
ආයෙ නින්ද යනවා.

එයාට කවුරු හරි කිව්වොත්
මම අවදිවෙලා ඉන්න එක්කෙනෙක් කියල
එයාගෙ දැනුමත් එක්ක එයාට පරීක්ෂා කරන්න පුලුවන්.
ඒ පරීක්ෂාව සාර්ථක වෙන්න පුලුවන්,
අසාර්ථක වෙන්න පුලුවන්
ඒ ඒ සීමාවන් තුල.
හැබැයි එයාට ඒක කරන්න පුලුවන්,
කරන්න පුලුවන් කියන්නෙ
එයාගෙ ඒ අත්දැකීමත් එක්ක සසඳල බලන්න පුලුවන්.

ඊළඟට
දැන් කෙනෙක් රහත්වෙලා කියලා
කපටි කමට කෙනෙක් රවට්ටන්න පුලුවන්
ඒ කියන්නෙ
ලාභ සත්කාර බලාපොරොත්තුවෙන්,
ඒ වගේම කපටි කමට තව කෙනෙක් රවට්ටන්න
මම රහත් වෙලා කියල කියන්න පුලුවන්.
ඒ වගේම සමහරවිට කෙනෙක්
තමන් මුලාවෙලා "මම රහත් " කියන්න පුලුවන්.

ඒ කියන්නෙ
තමන්ට ලැබෙන අත්දැකීම් අනුව
ඒ ඒ අත්දැකීම හැටියට
තමන් රහත් වෙලා කියල හිතෙන්න පුලුවන්.
ඉතින් ඒ කපටි කමට වැඩියි,
අර මුලාවීම,

දැන් කපටි කෙනා මෙහෙමයි
කපටි කෙනා සුදානම් වෙනව
මම රහත් වෙලා නම් දැන් මට මේ මේ ප්‍රශ්න ඒවි
මෙන්න මේ මේ උත්තර දෙනව
කියලා සුදානම් වෙනවා.

හැබැයි අර මුලාවෙලා ඉන්න කෙනා අහිංසකයි.
ඒ මුලා වෙලා ඉන්න  එක්කෙනා හිතනවා
තමන් රහත් වෙලා කියලා
ඒ තමන් රහත් වීම කියල දන්න අත්දැකීමත් එක්ක
තමන්ට තියෙන අත්දැකීම් සසඳලා
ඒ ඒ අත්දැකීම අනුව මම රහත් වෙලා කියලා හිතන්න පුලුවන්.

හැබැයි ඒක අර කපටි කමට වැඩිය භයානකයි
මොකද, ඒ දැඩි ආත්ම විශ්වාසයෙන්
තමන් ගැන කියනකොට
හැසිරීම රහතන් වහන්සේ කෙනෙකු වගේ නොවුනත්
සමහරු විශ්වාස කරනවා, කියන දේ පිළිගන්නවා.
හැබැයි ඒ මුලාව පොඩි දරුවෙකුගෙ මුලාවක් වගේ,

සමහර වෙලාවට
පොඩි දරුවෙක් ජීවත් වෙනකොට
අපිට හිතෙනව
එයා රහත් වෙලා වගේ ජීවත් වෙන්නෙ,
ගේ ගිනි ගත්තත්
පොඩි ළදරුවෙක්ට කිසි ප්‍රශ්නයක් නෑ.
ගේ නාය ගියත් එයාට ප්‍රශ්නයක් නෑ,
ගේ කඩාගෙන වැටුනත්
එයාට පුද්ගලිකව වැලි කැටයක් හරි ඇඟේ  වැද්දේ නැත්නම්
එයාට රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න පුලුවන්.
හැබැයි එයාට පොඩි බඩගින්නක් ආවහම
එයාගෙ රහත් භාවය බිදෙනවා.

ඉතින් ඒ වගේ
අපි දන්නැත්නම්
අපිට කෙනෙක්ව මනින්න බෑ.
ඉතින් හුඟක් වෙලාවට
රහත් වෙන්නැතුව කෙනෙක් මුලා වෙන්න තියෙන
ප්‍රධානම තැන තමයි
නිවන සැපක් කියල කියන එක.

බුදුන්වහන්සේත් කියනවනෙ
"නිබ්බානං පරමං සුඛං" කියල,
ඉතින් ඒක නිසා අපි හැමෝම හිතනව
මේ නිවන ලොකු සැපක් කියලා.

එක තැනක
සැරියුත් තෙරුන් වහන්සේගෙන් කෙනෙක් අහනව
" නිවන සැපයි සැපයි කියනව මොකද්ද මේ සැපය කියල"
ඉතින් එතකොට සැරියුත් තෙරුන් වහන්සේ  කියනව
"නොවිඳීමමයි  සැපය" කියල
ඔන්න ඔය නොවිදීම කියන එක තුල තමයි
ඔය ප්‍රශ්නය ඇති වෙන්න පුලුවන්,
ඔය මුලාව ඇති වෙන්න පුලුවන්.
ඒ නොවිඳීම කියන එක
අපි දකින්නෙ කොහොමද කියන එක මත.

සාමාන්‍ය අපේ පුහුදුන් ජීවිත තුලත්,......

මම පුහුදුන් කෙනෙක්
මම සෝවාන් වෙලාවත් නෑ, කිසිම ඵලයක් මට නෑ.
දැන් අපේ ජීවිත තුල අපි නොවිඳින තැනක් තියෙනවා.
නොවිඳින දෙයක් තියෙනව.
දවස තිස්සෙ අපි විඳින අත්දැකීම්වල
අපි සැප කියල කොටසක් විඳිනව
දුක කියල කොටසක් විඳිනව,
ඒ අතරෙ තියෙන්නෙ නොවිඳීම.

සැප කියන කොටසයි - දුක කියන කොටසයි
වෙන්කරාට පස්සෙ
ඉතුරු කාලය තුල තියෙන්නෙ නොවිඳීම.

ඊළඟට
අපි නිදාගන්නකොට තියෙන්නෙ නොවිඳීම.

හැබැයි සැරියුත් තෙරුන් වහන්සේ කියනවා
"නොවිඳීමමයි  සැපය" කියල.

අපේ ජීවිත තුල තියෙන නොවිඳීම
අපිට සැපක් නෙමෙයි.

මොකද
ඒ නොවිඳීම අපි දන්නෙ නෑ.

රහතන් වහන්සේ කෙනෙක්ගෙ නොවිඳීම
අපේ නොවිඳීමට වඩා වෙනස්,
රහතන් වහන්සේ කෙනෙක් නොවිඳින්නෙ
රහතන් වහන්සේට දැනෙන සියල්ලම.

අපි සැප දුක කියල විදින දෙකත්,
නොවිඳීම කියල අපි විඳින කොටසත් තුනම...

රහතන් වහන්සේ කෙනෙක් ඒ තුනම ගැන සිහියෙන්
ඒ තුනම නොවිඳ ඉන්නව.

අන්න ඒ නොවිඳීම තමයි
රහතන් වහන්සේ කෙනෙක්
නොවිඳීම වශයෙන් හදුන්වන්නෙත්
සැපක් කියල හදුන්වන්නෙත්.

ඉතින් අපි සැපයි දුකයි අත ඇරල
නොවිඳීමට වැටෙනව කියන්නෙ
රහතන් වහන්සෙ ඉන්න තැනට
වැටීමක් නෙමෙයි.

අපි හැමදාම අපේ ජීවිතේ
අර නිදාගෙන වගේ .........
නිදාගන්න වෙලාවට
දවසෙ සැපත් නැති දුකත් නැති වෙලාවට හිටපු තැනට
දවස තිස්සේම ඉන්න වැටෙන අවස්ථාවට තමයි
අපි නොවිඳීම කියල වැටෙන්නෙ,

අපි සැප දුක අතඇරලා නිවන් දකිනවා කියලා
නොවිඳීමට වැටෙන කොට
ඒ නොවිඳීම
රහතන් වහන්සෙගෙ නොවිඳීමෙ අනිත් කෙළවර

රහතන් වහන්සෙ විඳීම සම්පූර්ණ කරල
රහතන් වහන්සෙ හැමදෙයක්ම......
( හැමදෙයක්ම කියල මම කියන්නෙ
රසවිඳිනව  කියන එක නෙමෙයි )
තමන්ට දැනෙන හැම අත්දැකීමක්ම 100% විදලා,
ඒ තමන්ගෙ ඒ  100%  අත්දැකීම නොවිඳ ඉන්නව.

'නිබ්බින්දතී' කියන වචනෙ කළකිරීම කියල
බොහෝ තැන්වල පරිවර්තනය කරාට,
මම නම් 'නිබ්බින්දතී' කියන්නෙ
මම නොවිඳිනවා කියන එක තමයි.

'අථ නිබ්බින්දතී දුක්ඛේ' කියන්නෙ
දැන් මේ දුක විඳින්නෙ නෑ.
බුදුන්වහන්සේ සොයාගත් මාර්ගය ඒක.

 මට තරහ ගිය වෙලාවට,
මට දුක හිතුන වෙලාවට,
මට බය හිතුන වෙලාවට,
මගේ හිතේ කාමයක් ඇතිවෙච්ච වෙලාවට,
මම ආවේගශීලී වෙච්ච වෙලාවට,
මගේ ඇඟම වෙව්ලද්දි තරහෙන්,
අන්න ඒ වෙලාවට ඒක නොවිඳ ඉන්නව නම්
ඒක නොවිඳ සිහියෙන් ඉන්නවනම්,
ඒක නොදැනි ඉන්න එක නෙමෙයි
අන්න එහෙම ඉන්නව නම්
මම නොවිඳීම කියල හදුන්වන්නෙ අන්න ඒක.

රහතන් වහන්සෙ නොවිඳීම කියල විඳින්නෙ අන්න ඒක,

ඒ කියන්නෙ රහතන් වහන්සෙ තුල .........,

අපිට දැනෙන්නේ බොහොම පොඩ්ඩයි
අපේ ජීවිතේ දැන් මේ වෙලාවෙ
මම මේ කතා කරන වචන වලින් එලියෙ
ඇහුන්කන් දුන්නොත්
ඕනම කෙනෙක්ට වටපිටාවෙ සද්ද ඇහෙනවා.
පොඩ්ඩක් නිශ්ශබ්ද උනොත් වටපිටාවෙ සද්ද තියෙනව.
අපි ඒව විඳින්නෑ.

රහතන් වහන්සෙ කෙනෙක්
මම විශ්වාස කරනව.....
මට තියෙන අත්දැකීම් අනුව
රහතන් වහන්සෙ .........
මගේ අත්දැකිම අනුවයි මම දන්න දේ අනුවයි
රහතන් වහන්සෙ කෙනෙක්
ඇතුලෙයි එළියෙයි තියන හැමදේම විඳගෙන තමයි
ඒ නොවිඳින තැන ඉන්නෙ.

පුහුදුන් පුද්ගලය වරෙක විඳිනව,
වරෙක නොවිඳ ඉන්නව
සැපත් දුකත් අත ඇරලා,
අතීතයත් අනාගතයත් අත්ඇරලා
වර්තමානයට වෙලා ඉන්න පුහුදුන් තැනැත්තගෙ
හිත ශූන්‍ය වෙන්න පුලුවන්,
හැබැයි ඒ හිත ශූන්‍ය වෙලා විඳීම
බිංදුවෙ තියෙන නිසා තමයි
එතන නොවිඳීම තියෙන්නෙ.

 රහතන් වහන්සේගෙ විඳීම
ඒ කියන්නෙ දැනීම 100 තියෙද්දි
නොවිඳීම තියෙනව.

ඉතින් සිරිධම්ම ස්වාමීන් වහන්සේ උගන්වන ක්‍රමය,...
මම දේශනා ගණනාවක් ඇහුවා
මෑතක මම එක දවසක් උදේ පහ වෙනකම්
රාත්‍රිය පුරාම දේශනා ඇහුවා
ඒ දේශනාවල,
මට හමුවුන දේශනාවල තියෙන්නෙ
අර මම කියන දෙවෙනි ක්‍රමය.

අර පුහුදුන් තැනැත්තා
සැපයි දුකයි අතඇරලා
අර අපි නොවිඳින
අපි මෝහය කියල හඳුන්වන තැනට පත්වෙලා
එතන සුවයෙන් ඉන්න අත්දැකීමක් තමයි
මට හමුවෙච්ච දේශනාවලින්  මම දැක්කෙ.

ඉතින් ඒක නිසා ඒ  බිංදුවට එන ක්‍රමය
බුදුදහමට ප්‍රතිවාදී කියල තමයි මම දකින්නෙ.

ඉතින් උන්වහන්සේ රහත් නැහැයි කියලා
මම කියන ප්‍රධානම හේතුව
අන්න ඒ දහම බුදුදහමට පටහැනිවීම.

ඉතින් අපි විපස්සනා වලින් කරන්නේ
අර 30,40,50,60,80 ඉන්න අය
100 ට ගෙනියන්න උත්සාහ කරන එක.
100 ට ගෙනිහිල්ල නොවිඳ ඉන්න සලස්සන එක.

ඉදිරියෙදි  අවස්ථා එනකොට
මම තව විස්තර කරන්නම්.

සිරිධම්ම ස්වාමීන් වහන්සේ කරන්න හදන්නෙ
අර ඒ 30,40,50,60,80 ඉන්න අය බිංදුවට ගේන්න.

ඉතින් අර බටහිර කතාවක් තියෙනව
"Ignorance is bliss"  කියලා"
ඒ කියන්නෙ "Ignorance" කියල කියන්නෙ
ලංකාවේ නම්
ඒ කියන්නෙ අපේ බුදුදහමට සම්බන්ධව
ඒගොල්ලො කියන්නෙ අවිද්‍යාවට,
එහෙම ගත්තත් වැරැද්දක් නෑ.

සාමාන්‍යයෙන් Ignorance කියන්නෙ නොසළකා හැරීම.
ඒ "නොසළකා හැරීම ආනන්දයක්" කියල තමයි
බටහිර ඒ කතාවෙ තියෙන්නේ.

ඉතින් මට හිතෙන්නෙ
මෙතන ඇත්තටම උගන්වන්නෙ ඒක තමයි ,
"නොසළකා හැරීම තුල සුවයෙන් ඉඳීම".

හැබැයි දුක්, .....
අර කුරුසෙ ඇණ ගහල වගේ තියෙන වෙලාවක
නොවිඳ ඉන්න පුලුවන් නම්
අන්න ඒ නොවිඳීම තමයි,
ඒ කියන්නෙ
සිහියෙන්
තමන්ට දැනෙන සියලුම දේවල් ගැන සිහියෙන්
ඒ සියලුම දේ නොවිඳ ඉන්න පුලුවන් නම්
අන්න ඒක තමයි නියම නොවිඳීම,
නියම සැපය.  

========================================
පුහුදුන් තැනැත්තා
සැපයි දුකයි අතඇරලා
අපි මෝහය කියල හඳුන්වන තැනට පත්වෙලා
එතන සුවයෙන් ඉන්න අත්දැකීමක් තමයි
සමන්ත භද්‍ර දේශනාවලින්  මම දැක්කෙ.

සමන්ත භද්‍ර හිමි දේශනා කරන හිතේ ශූන්‍ය ස්වභාවය
මේ ඡායාරූපය තුළ දකින්න පුලුවන්.


මේ හිස් මානසික ස්වභාවය
බුදු දහම තුළ සඳහන් වෙන්නෙ
නිවන ලෙස නොවෙයි.
මේ මනසෙහි තියෙන්නේ මෝහයයි.

තමාත් සමග සියල්ල අත්හළ ස්වභාවයක්
මෝහය තුළ පවතිනවා.
සියලු අරමුණු, සාපේක්ෂක බැහැර කොට
එක අරමුණකට සිත එකඟ කරගෙන
වඩා ගන්නා ලෞකික ධ්‍යාන ලැබූ
මෙවැනි කෙනෙකු තුළ ඇත්තේ මෝහයයි.

රහතන් වහන්සෙ කෙනෙක්
ඇතුලෙයි එළියෙයි තියන හැමදේම විඳගෙන තමයි
ඒ නොවිඳින තැන ඉන්නෙ.

සමන්ත භද්‍ර හිමි
මෝහයෙන් පසු වන්නේ මොනවාටද?
ඔහු මෝහයෙන් පසු වන්නේ
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්කවලටයි.

සැබෑ රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.

රහතන් වහන්සේ තුළ මෝහය නැහැ.
රහතන් වහන්සේගේ සිත ශූන්‍ය නැහැ.

රහතන් වහන්සේ තමා අල්ලාගන්නේත් නෑ.
අත්හරින්නේත් නෑ.
තමා ගැන සිහියෙන් පසු වෙනවා.

රහතන් වහන්සේ පසු වෙන්නෙ
සම්පජානෝ සතියෙන්.

රහතන් වහන්සේ හඳුනා ගැනීම
බාහිර චර්යාවන්ගෙන් කළ නොහැකි බව
බුදුන් වහන්සේ ප්‍රකාශ කොට තියනවා.
තමන් ගැන සිහියෙන් පසුවෙන කෙනෙක්
සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන්කොට
හඳුනාගන්න ක්‍රමයක් නෑ.

රහත් වූ කෙනෙක් කියා
ලෞකික ධ්‍යාන වැඩූවන්ට රැවටීම
බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම
පැවතුණ මුලාවක්.

මෝහයෙන් පසුවෙන කෙනෙකුට සාපේක්ෂක නැහැ.
ඔහුගෙ සිත අරමුණු ස්පර්ශ කරන්නෙ නැහැ.
හිත ශූන්‍ය නිසා හැඟීම්, සිතිවිලි නෑ.

රහතන් වහන්සේ කියන්නෙ
උපරිමයෙන් සිහිය පිහිටුවා ගත් කෙනෙක්.
උත්සාහයකින්, වෑයමකින් තොරව
තමන් පිළිබඳව සියයට සියයක්ම
සිහියෙන් පසු වෙන කෙනෙක්.
ඔහුගේ වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
ඇතිවීම, පැවතීම, නැතිවීම යන
අවස්ථා තුනම ගැන සිහියෙන් පසුවෙනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රහතන් වහන්සේගේ සිහිය පිළිබඳව
ආනන්ද තෙරුන් වහන්සේට පවසන
බුදුන් වහන්සේගේ වදන් මේ.

ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

රහත් සිත ශූන්‍ය නැත.
සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.
කයත් වේදනා දැනෙන කෙනෙකුගේ
සිත ශූන්‍ය විය නොහැක.

හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.

නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.

විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.

නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.

සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.

නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.



No comments:

Post a Comment