20160525

ඔබේ සිහිය පරීක්ෂා කර බලන්න.



විදසුන කියන්නෙ තර්කයක් හෝ
තර්කයෙන් අවබෝධ කරන දෙයක් නෙවෙයි.

විදසුන කියන්නෙ
වතුරට බැහැලා පීනනවා වගේ
ඇඟට දැනෙන අත්දැකීමක්..
විදසුන් වඩනා තමන්ගෙ අත්දැකීම
විග්‍රහ කරන්නෙ නෑ.
ඔහුට ප්‍රඥාව පහළ වෙන්නෙ සිහිය නිසයි.

ගිනි අව්වට පිළිස්සෙන කෙනෙකුට
අව්වෙ සත්‍ය ස්වභාවය දකින්න 
තමන්ගේ කයෙත් සිතෙත් සිදුවෙන
වෙනස ගැන සිහියෙන් විසීම සහ
ඒ සිදු වෙන වෙනස්කම් වලට
උපේක්ෂාව තිබීම ප්‍රමාණවත්.

හැම මොහොතකම
තමන්ගෙ කය ගැනත් සිත ගැනත් සිහියෙන්
ඒ සිදු වෙන වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන කෙනෙකුට
ප්‍රඥාව පහළ වෙන්නෙ
චින්තනය භාවිතාවෙන් තොරවයි.
ඔහු තුළ පහළ වෙන ප්‍රඥාවට වචන නෑ,
ඒ ප්‍රඥාව
ඔහුගෙ සිතත් කයත් පිළිබඳව අත්දැකීමක්.

ඒ සඳහා සිහිය අවශ්යයි.

ඔබ හිතන්නෙ
ඔබට සිහිය තියනවා කියලයි.
මත්පැන් පානය කරන අයත්
එහෙම හිතනවා.
උන්මත්තකයන් පවා එහෙම හිතනවා.

අද උදේ ඔබ අවදි වෙන වෙලාවෙ
ඔබ සිටියෙ මොන ඉරියව්වෙන්ද?
ඔබ නැගිටලා ආවෙ කොහොමද.?
එතෙක් මෙතෙක් වාර මිලියන් ගාණක්
ඔබ  ඉරියව් වෙනස් කරන්න ඇති.
ඔබ සිහියෙන් වෙනස් කළ
එක ඉරියව්වක්වත් මතකද?

දැන් ඉන්න ඉරියව්ව බලන්න.
ඉරියව්ව බලන වෙලාවට
ඔබට ඔබේ අත්පා, හිස ආදිය
තියන විදිය ගැන සිහිය තියනවා.
තව මොහොතකින්
ඔබට නැවත සිහිය නැති වෙනවා.
ඉන් පස්සෙ ඔබ ඉන්නෙ
මෙතෙක් හිටියා වගේම අවසිහියෙන්.

මේ අත්දැකීම වෙනස්.

ඔබ රහත් වුණොත්
ඔබ මුලු දවසම ඉන්නෙ මේ විදියට සිහියෙන්..
ඔබට දැන් නොදැනෙන දැන් නොපෙනෙන
බොහෝ දේ රහත් වුණ කෙනෙකුට පෙනෙනවා.
ඔහුට ඔහුගෙ හුස්ම දැනෙනවා.
හෘදස්පන්දනය දැනෙනවා.
 කයෙහි වේදනා දැනෙනවා.
සංඥා දන්නවා.
ඒ අනුව ඇතිවෙන විතර්ක දන්නවා.
ඔහු සංවරයි.
ඔහුගෙ කය, වචනය, සිත සංවරයි.


අසංවර අශීලාචාර ව්‍යාජ රහතුන් අනුව
සැබෑ රහත් බව මනින්න එපා.

ඔබේ සිහිය මදක් දියුණු කරගෙන
ඒ සිහිය 100%ක් දක්වා වැඩුණාම
ඒ සිහිය දවසෙ පැය විසි හතර පුරාම
නොකඩවා පවතින විට
ඔබ පත්විය හැකි තත්වය
මේ කුඩා උදාහරණ මගින්
ඔබම පරීක්ෂා කර බලන්න.

ඔබ ඔබේ ඉරියව්ව ගැන සිහියෙන්
ඉතා සෙමින් වෙනස් වෙලා බලන්න.
ඒ මොහොතට ඔබ සංවර වෙනවා.
ඔබ ඉන්නෙ සිහියෙන් නම් ඔබ සංවරයි.

සංවරව අසිහියෙන් අවසිහියෙනුත් ඉන්න පුලුවන්.
ඉතා සෙමින් කටයුතු කරන කෙනෙක්
එකාකාරීව එකම දේ හැමදාම කරන කෙනෙක්
සංවරව හැසිරෙනවා.
ඒ සංවර බව රඟපෑමක්.

ඒත් සිහියෙන් ඉන්න කෙනෙක් අසංවර වෙන්න බැහැ.
ඉක්මණින් ක්‍රියා කරන්න පුලුවන්.
ඒ සංවර බව පිටට පෙනෙනවා.

තමන් රහත් කියා ගන්න කෙනෙක්
අසංවරව හැසිරෙනවා නම්,
ඔහුගෙ වචනය අසංවර නම්
ඔහු දෙස හොඳින් බලන්න.
ඔහු කරන දේ ඔහු සිහියෙන් කරනවාද?
ඔහු සිහියෙන් ඉන්නවා නම්
ඔහු ඒ දේ කරාවිද?

ඔබ අසංවර නම් ඔබ ඉන්නෙ අවසිහියෙන්..
ගඳ ගහන කාණුවක වැටිලා
අවසිහියෙන් ඉන්න පුලුවන්.
සිහියෙන් ඒ කාණුවෙ වැතිරිලා ඉන්න
ප්‍රබල හේතුවක් අවශ්‍යයි.
ඔහු ඒ හේතුව මත
පරිත්‍යාග ශීලීව වරක් දෙකක්
ඒ කානුවවට බහින්න පුලුවන්.
ඔහු ඒ කාණුවට
දිනපතාම බහිනවා නම්
ඔහු ඉන්නෙ මෝහයෙන්. 

අවසිහියෙන්.

සිහියෙන් අසංවරව ඉන්න බැහැ.


ඔබ ඉන්නෙ සිහියෙන් නම්
ඔබ ඉරියව් වෙනස් කරද්දි
ඔබට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන බව
ඔබට පෙනෙනවා.

ඔබ වෙනස් වෙද්දි
පරිසරය ස්ථාවරව තියෙනවා කියා
ඔබට හැඟෙනවා නම්
ඔබට ඔබ ගැන සිහිය නැහැ.
සිහිය පිහිටුවා ගන්න.

සිහිය නැති කෙනෙකුගෙ ජීවිතේ
ඔහු කරන හැම දේකටම
ඒ අවසිහිය බලපානවා.


මත්පැන් පානය කළ කෙනෙකුගෙ
කල්ක්‍රියාව විමසන්න.
ඔබට සාපේක්ෂව ඔහුට සිහිය නැහැ.
ඔහුට ඔහු කරන කියන දේ දැනෙන්නෙ
ප්‍රමාද වෙලා.
මත්පැන ප්‍රමාදයට හේතු වෙනවා.
ඔබටත් එහෙමයි.

ඔබටත් ඔබ කරන දේ
හරියට පෙනෙන්නෙ නෑ.

ඔබ මේ ලිපිය කියවද්දි
ඔබේ ඉරියව්ව ගැන ඔබට සිහිය නැහැ.

ඔබේ සිහිය පිහිටුවා ගැනීමෙ හැකියාවෙ තරමට
ඔබට අවශ්‍ය නම් ක්ෂණිකව සිහිය පිහිටුවා ගන්න පුලුවන්.
මත්පැන් පානය කළ කෙනෙකුට එහෙම බැහැ.
මත් බව දුරුවෙන තුරු සිටිය යුතුයි.

ඔබත් බොහෝ දෙයින් මත් වෙලා ඉන්නවා.
සිහිය පිහිටුවා ගත් කෙනෙකුට
ඔබව පෙනෙන්නෙත්
මත්පැන් ගත් කෙනෙක් වගෙයි.
ඔබේ සිහිය නැති වෙන්නෙ ආවේග නිසා.
ඔබ සිතින් අල්ලා ගන්න දේවල් නිසා.

ඔබ සිත හිස් කරගත්තොත්
ඔබට ඔබව පෙනෙනවා.
සිත හිස් වෙලා ඔබට ඔබ පෙනෙන්නෙ නැත්නම්
ඔබ ඉන්නෙ මෝහයෙන්.
ඔබට සිහිය අත්‍යාවශ්‍යයි.

ඔබ ගැන සිහිය තියනවා නම්
ඔබේ එක බැල්මක් වෙනස් කළත්
ඔබට ලෝකය වෙනස් වෙන බව පෙනේවි.
අඩි කීපයක් ඉදිරියට යද්දි
ලෝකය පසු පසට යන ආකාරය
ඔබට පෙනේවි.
දැන් ඔබ දකින්නෙ
ලෝකය ස්ථාවරව තියෙද්දි
ඔබ ඉදිරියට යනවා වගෙයි.
නැහැ.
මුලු ලොවම
ඔබට සාපේක්ෂව වෙනස් වෙනවා.
ඔබ දන්නෙ නැහැ.
ඔබට පෙනෙන්නෙ නැහැ.

ඔබ ගැන සිහියෙන්
ඔබ අවට තියන
හැම දෙයක් ගැනම සිහියෙන්
මදක් සෙලවී බලන්න.
සියල්ලම සෙලවෙනවා.
සියල්ලම අලුතෙන් සැකසෙනවා.

සිහියෙන් ඉන්න කෙනෙක් සිල්වත්.
ඔහුගෙ හිත සමාහිතයි.
ඔහු තුළ හැම මොහොතකම
ප්‍රඥාව පහළ වෙනවා.

ඔබට ඔබේ කය ගැන සිහිය තියනවාද?

පරීක්ෂා කර බලන්න.

තමන්ගෙ අතක් උස්සගෙන
විනාඩි කිහිපයක් ඉන්න කෙනෙකුට
තමන්ගෙ අත කයේ අනික් කොටස් වලට වඩා
දැනෙන්න පටන් ගන්නවා.

දැන් මේ මොහොතෙ කරල බලන්න..
කියවන ගමන් කරල බලන්න.

ඔබේ කය ගැන ඔබට සිහිය නෑ.
ඔබේ කය ඇත්තටම
ඔබ උස්සගෙන ඉන්න අත වගේ
ඔබට දැනෙන්නෙ නෑ.
ඔබට කය කියන්නෙ හිස් කෝම්බයක්..

ඔබ විදසුන් වැඩුවොත්
ඔබ ඔය උස්සගෙන ඉන්න අත වගේ
ඔබට ඔබේ කය දැනෙන්න පටන් ගන්නවා.
ඔබට ඔය අත දැනෙන විදියට
මුළු කය දකින්න බැරි
ඔබට ඔබේ කය ගැන සිහිය නැති නිසයි.

සතිපට්ඨානය කියන්නෙ
සිහිය පිහිටුවා ගැනීමයි.

බුදුන් වහන්සේ
ලෝකයට දායාද කළ
සියල්ලම ඔබට ලැබෙන්නෙ
සතර සතිපට්ඨානය මගින්මයි..
වෙනත් මගක් නැහැ.
-------------------------------------------------

1
සත්වයාගේ විශුද්ධියට,
2
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3
දුක් දොම්නස් අස්තංගත වීමට
4
සිතට කයට දැනෙන බව ඉහළ යාමට
5
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

No comments:

Post a Comment