20180616

පුතා වැවක් හදන්න ඉගෙනගන්නවා.



 අපේ ගේ ඉස්සරහ ඉඩමක
ගෙයක් හදන්න ඉඩම සූදානම් කරනවා.
වැස්සාම ඒ ඉඩම උඩින් වතුර ගලනවා.
පුතා එක තැනක වැහි වතුර පිරෙන්න
වලක් හදාගෙන ඒ වලට වැවක් කියමින්
අපිට පෙන්නුවා.

මේ ව්‍යායාමය කරගෙන යද්දි
මම ඔහුට කීප වතාවක්ම
"වැවක කොටස් ඔහු දැනගත යුතුයි" කිව්වා.
ඔහු ගණන් ගත්තෙ නෑ..

දෝණිගෙ ශිෂ්‍යත්ව පුහුණුව නිසා
වැවක කොටස් පිළිබඳව කතා කරන දේ
වරින්වර අවට පරිසරයෙ මතුවුණා.
පුතාත් ශිෂ්‍යත්ව විභාගයටත්
ඔහු ඒ කොටස් ගැන ඉගෙන ගත්තා.
ඒ දවස්වල ඔහුටත් ඒ කොටස් මතක තිබුණා.
දැන් ඒ දැනුම ගිලිහිලා ගිහින්.

අපේ අධ්‍යාපන ක්‍රමයෙ
ජන්ම අංග විකල බව නිසා
ලකුණු 169ක ශිෂ්‍යත්ව සහතිකය
අද හිස් කොළයක් බවට පත් වෙලා.
දැන් ඔහු පන්තියෙ 23වෙනියා.

ඔහු චිත්‍ර මූර්ති ආදියට
අධ්‍යාපනයට වඩා උනන්දුයි.
විද්‍යාත්මක නිර්මාණ හදන්න කැමතියි.
හිස් දැනුමෙන් හිස පුරවාගන්න
මම වගේම ඔහුත් කැමති නෑ.

ඔහු කායිකව මානසිකව පෝෂණය වෙන්නෙ
මම තනිවම ලබා ගත් දැනුමෙන්.
ඔහු පාසලෙන් දැනුම ගත්තාවෙ.
විෂයකට ලකුණු හැටකට ඉහළින් ගත්තාම
ජීවිතයට හොඳටම ප්‍රමාණවත්.
අවශ්‍ය දේ ඉතුරු වෙයි.

චිත්‍ර මූර්ති මූලිකව උගන්වා
මූලික ගණිතය, විද්‍යාව ආදිය
දෙවෙනි තැනට දාන විද්‍යාලයක්
ලංකාවෙ කොහේ හෝ තිබුණා නම්
මම මේ දෙන්නාත් අරගෙන ගිහින්
ඒ නගරයෙ පදිංචි වෙනවා.
ලංකාවෙ චිත්‍ර ඇකඩමි කරන
කවුරු හෝ ඉදිරිපත් වෙලා
එවැනි විද්‍යාලයක් බිහිකරන්න
යොමුවේවා කියා මම පතනවා.

අපේ අධ්‍යාපන ක්‍රමය අංග විකලයි.
මේ අධ්‍යාපන ක්‍රමයට අතපය නෑ..
උස්සාගෙන ඉන්න බැරි ඔලුවක් තියනවා.

අපි අධ්‍යාපනය කියල ලබන්නෙ
අපේ ගුරුවරු එහෙන් මෙහෙන් අහුලාගෙන එන
ගොසිප්, නැත්නම් ඕපාදූප නේද?
අපි ජීවත්වෙන්නෙ ඒ චිත්ත රූප සමගයි.
ඇත්ත සමග නොවෙයි.

ඒ නිසා වෙන්නැති අපේ රටේ සොයන්නෙ
ප්‍රවෘත්ති නොවෙයි.... ගොසිප්.
.
අපේ අධ්‍යාපන ක්‍රමයෙ
ප්‍රායෝගික අවයව උපතින්ම අහිමියි.
මානසිකව මිනිසා නොමග යවන
අපේ දුප්පත් අධ්‍යාපන ක්‍රමයෙන් අපිට දෙන්නෙ
අත පිහිදාල ඉවත ලන කඩදාසි මිසක්
සෝදා භාවිතා කළ ලේන්සු නොවෙයි.
ඉතින් ඔහු ඒ උවමනාවෙන් ඉගෙන ගත් දේ
ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රතිඵල එද්දිම
හිතෙන් ඉවත් වෙලා ඉවරයි.

ඔහු පාසලෙත් මේ වැව් ව්‍යාපෘතිය
මිතුරනුත් එක්ක කරගෙන ගියා.
පසුව එකතු වුණ කිහිප දෙනෙක්
ඒ වැව කඩා දාල තිබුණා.
පුතා "මම තනියම හදනවා"
කියල තවම ඒ සඳහා යොමු වෙනවා.
ඔහු ආනන්දයෙන් ප්‍රඥාවට ගන්න
සුදුසු තරමට ඔහු ඒ කාර්යය
උපාදාන කරගෙනයි ඉන්නෙ.

අදත් වහින වෙලාවෙ පුතා ඇවිත්
"තාත්තෙ, මම වැව හදන්න යන්නද?"
කියලා මගෙන් ඇහුවා.

"වැවක කොටස් මොනවාද කියල
දැන ගත්තාට පස්සෙ හදන්න"
මම ඔහුට කිව්වා.

"වැවක් කියන්නෙ වතුර වලක් නොවෙයි"

ඔහුගෙ ලැජ්ජාව මුසු හිනාවෙන්...
මගේ දවස එළිය වුණා.
දැන් ඔහු සැබෑ අධ්‍යාපනය ලබන්න සූදානම්.
කඩදාසිවලින් එහා ප්‍රායෝගික ලෝකයෙ
අංග සම්පූර්ණ වැවක් කියන්නෙ මොකක්ද කියා
ඇත්තටම දැනගන්න ඔහුට සිදු වෙනවා.

නොදන්න කෙනෙක් වැවක් හදලා ලබන විනෝදය
දේශපාලනඥනයෙක් වැවක් හදලා
අපෙන් ගසා කන කොමිස් මුදල වගෙයි.
දන්න කෙනෙක් වැවක් හදලා ලබන තෘප්තිය
මාසික වැටුපට ක්‍රියා කරන ඉංජිනේරුවන්
කම්කරුවන් ආදී දායක ජනතාව
සමාජයට වෙන සේවය ගැන සිතා
මුලු කාලය තුලම විඳින තෘප්තිය වගෙයි.

දරුවන්ට ආදරේ දෙමාපියන් වශයෙන්
දේශපාලනඥනයාගෙ දූෂිත ජීවිතයෙන්
සැබෑ මහජන සේවකයන්ගෙ මට්ටමට
දරුවන් ඔසවා තැබීම අපේ වගකීමයි.

දැන් මේ වෙලාවෙ පුතා මා ළඟ ඉන්නෙ...
ඔහු වැව ගැන පොතක් හොයන් ඇවිත්
මගෙන් ප්‍රශ්න කරනවා.
මමත් වැවක් දන්නෙ ඉතාම සීමිතවයි..
මට මෙතෙක් වැවක කොටස් වැඩක් නැහැ...
පොතේ තියන දේ සංවාදයට ගන්න
ඔහු මගෙන් බිසෝ කොටුව ප්‍රශ්න කරනවා...
මම දන්න ටික කියලා ඉවර වුණා...
අපි දෙන්නාම එතන හිරවුණාට පස්සෙ
මම ඔහු අන්තර්ජාලයට යොමු කළා.

පුතා අන්තර්ජාලයෙ ගිහින්
වැවක කොටස් හොයාගෙන යද්දි
බිසෝ කොටුව හරස් කඩක් හමුවුණා.
බිසෝකොටුවෙ හරස්කඩ දැකලා
මමත් විශ්මයට පත් වුණා.
මගේ හිතේ තිබුණ බිසෝ කොටුව
සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.

ඇත්තටම බිසෝ කොටුව
වසර දෙදහස් එක සීයක් පැරණි
විශ්මයජනක නිර්මාණයක්.

ඒ ආකාරයෙන් ජලයෙ වේගය
පාලනය කරන උපක්‍රම පවතින්නෙ
"පිට සක්වල ජීවීන්ගෙන් ලැබිලා"
කියා හිතල සැනසෙන තරමට
අද අපේ ජාතිය මානසිකව වැටිලා.

අපේ ආදි මුතුන් මිත්තො
අදට වඩා ප්‍රඥාවන්ත ජාතියක් බව
විශ්වාස කරගන්න බැරි තරමට
මේ අධ්‍යාපන ක්‍රමය මගින්
අපේ ජාතියෙ කොන්ද බිඳලා.

බිසෝකොටුව ජාත්‍යන්තර වශයෙන්
ලොකයම පිළිගන්න උපක්‍රමයක් කියල
සත්‍යවශයෙන්ම තේරුම් ගත්තෙ අදයි.
දැන් අපි බලා ඉන්නෙ ඇත්තටම
බිසෝ කොටුවක් බලන්නයි.

සමහර විට රජ්ජුරුවන්ගෙ ආවේගය
පාලනය කරන්න බිසව දායක වෙන නිසා
බිසෝ කොටුව කියන්න ඇති කියා මට හිතෙනවා.
මම එහෙම කිව්වාම පුතා කියන්නෙ
"අපිට ගහන වෙලාවට අම්මා ඇවිත්
බේරගන්නවා වගේ" කියල.
ඒ කතාව හරි.
දරුවෙකුගෙ හොරකමක් බොරුවක් අහු වුණාම
දෙන්න පුළුවන් දඬුවමට සීමා නෑ.
කොයි තරම් ලොකු දඬුවමක් දුන්නත්
ඔහුගෙ වරද එයින් හැදෙන්නෙ නෑ.
දඬුවමකින් කරන්නෙ ඒ අවස්ථාව
මතක තියන සිදුවීමක් කිරීම විතරයි.
ඔහු හැදෙන්නෙ ඒ මතකය නිසයි.

බිසෝ කොටුවෙන් වතුරෙ වේගය බිඳින
අපූරු සංසිද්ධිය කාටත් බලාගන්න
එක පැත්තකට වීදුරුවක් යොදා ගෙන
ඔහුගෙ වැවේ බිසෝ කොටුව
සිමෙන්තියෙන් හදන්න මම යෝජනා කළා.
එස්ලොන් බටවලට T සම්බන්ධකයක් යොදා
සරල බිසෝ කොටුවක් හදා ගන්න
මම ඔහුට යෝජනා කළා.

මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වෙන
දෝණිත් බිසෝ කොටුව දැක්කෙ අදයි.
ශිෂ්‍යත්වයට 169ක් ගත් පුතාත්
බිසෝ කොටුව දැක්කෙ අදයි.
අපේ කාලෙ ශිෂ්‍යත්වය සමත්වුණ
මමත් බිරිඳත්  බිසෝ කොටුව දැක්කෙ අදයි.

අපි අධ්‍යාපනය කියල ලබන්නෙ
අපේ ගුරුවරු එහෙන් මෙහෙන් අහුලාගෙන එන
ගොසිප්, නැත්නම් ඕපාදූප නේද?
අපි ජීවත්වෙන්නෙ ව චිත්ත රූප සමගයි.
ඇත්ත සමග නොවෙයි.

ඒ නිසා වෙන්නැති,
අපේ රටේ සොයන්නෙ
ප්‍රවෘත්තිවලට වැඩිය ගොසිප්.

No comments:

Post a Comment