20160718

බුදු දහමත් ඔබත් අතර පරතරය මැනිය හැකියි.



බුදු දහමත් ඔබත් අතර පරතරය මැනීම සඳහා
ඉතා සරල
එමෙන්ම ඉතාම වැදගත්
ක්‍රියාකාරකමක් කරන්න වෙනවා.

වතුර කරාමය ළඟට සිහියෙන් යන්න.

ඔබ ඉන්න ඉරියව්ව සිහියෙන් දකින්න.

වම් අතින් කරාමය අරින අතර
අතට දැනෙන දැනීම සිහියෙන් දකින්න.

ස්පර්ශය, තද ගතියක් දැනේවි.

දකුණු අත සිහියෙන් කරාමය දෙසට ගෙනෙන්න.

වතුරට අත අල්ලන්න.

අතට දැනෙන දැනීම් ගැන සිහියෙන් ඉන්න.

ජලයෙ ස්පර්ශය, සීතල, ගලායන ස්වභාවය.
දැන් කරාමය වහන්න.

අත ඉවතට ගන්න.

දැන් දකුණු අතත් වම් අතත් එකට සිහියෙන් දකින්න.

අත් දෙකෙහි දැනීම් අතර වෙනස සසඳන්න.

ඔබත් බුදු දහමත් අතර පරතරය ගැන
ඡායා මාත්‍ර අදහසක් ඔබට හැඟේවි.

මේ දැනෙන වෙනස
ඔබ කවදාවත්ම සිහියෙන් විඳ නැති බව
සහතිකයි.

මෙවන් වෙනසක් දවස පුරාම ඔබ අත් දෙකෙහි තියනවා.


සමස්ත කය පුරාම විවිධ වේදනා තියනවා.
ඔබ ඔබේ කයත් වේදනාත් සිහියෙන් දකින්නෙ නැහැ.
ඔබත් බුදු දහමත් අතර සැබෑ පරතරය එයයි.

ඔබත් බුදු දහමත් අතර තිබුණ පරතරය
අත් දෙකෙහි දැනීම් අතර වෙනස සසඳන මොහොතෙ
ඒ මොහොතට නැති වුණා.
ඊළඟ මොහොතෙ නැවතත් ඒ පරතරය ඇති වෙන්න ඇති.

ඔබ ඔබේ කය ගැන සිහියෙන් වේදනා ගැන සිහියෙන්
අත් දෙකෙහි දැනීම් අතර වෙනස සසඳන මොහොත
බුදු දහමට අනුකූලව ගත කළා.

මේ ආකාරයට කයත් වේදනාත් නොදැනෙන කෙනෙක්
සමස්ත ත්‍රිපිටකයම කටපාඩම් කළත්
තාරාවා පිටේ වතුර වත් කළා වගෙයි.
ඔහුගෙ වචනත් තර්කත් හිස් බොල් ශබ්ද පමණයි.
සාරයක් නෑ. ජීවයක් නෑ.
සිතත් කයත් පිළිබඳ සිහිය වැඩෙන කොට
ඔහුගෙ ත්‍රිපිටක දැනුමට ජීවය ලැබෙනවා.

ඔබත් බුදු දහමත් අතර පරතරය
ඔබේ දහම් දැනුමත් ත්‍රිපිටකයත් අතර
ඔබ ඇතැයි සිතන පරතරය නොවෙයි.
ඔබ්ට ඔබේ කයත් වේදනාත් දැනෙන ප්‍රමාණය සහ
නොදැනෙන ප්‍රමාණය අතර පරතරයයි.

ඔබ ත්‍රිපිටකයට අනුව
ද්වේශය කුමක්ද කියා දන්නවාද?
දන්නා කෙනෙකු කිව්වොත්
ද්වේශය කුමක්ද කියා ඔබ වටහාගන්නවාද?

ඔබට කෝපයක් ඇති වූ විට
ඔබ තුළ සිදු වෙන වෙනස
අද අත් දෙකෙහි දැනීම් අතර වෙනස සසඳන මොහොත මෙන්
සිහියෙන් දැක තියෙනවාද?

මීළඟට ඔබ යමකින් කුපිත වූ විට
ඒ අත්දැකීම නිසා ඔබේ කයෙහි දැනෙන දැනීම්
සිහියෙන් දකින්න.
ද්වේශය නිසා වෙනස් වී ඇති තැන් සිහියෙන් දකින්න.
ඒ සමගම ඔබේ සිත ක්‍රියා කරන අයුරු දකින්න.
මේ මොහොතේ
ඔබේ සිතත් කයත් දෙකම
ඔබේ ද්වේශයෙන් වර්ණවත් වී ඇත් අයුරු
සිහියෙන් දකින්න.
සමස්ත කයත් සිතත් ආක්‍රමණය කළ ද්වේශය
ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත්
සිහියෙන් දකින්න.

ඔබට එකවර ද්වේශය නැති කරන්න බෑ.
ද්වේශයෙන් වියරු නොවැටී කටයුතුකරන්න පුලුවන්.
ද්වේශය කාය වේදනා මට්ටමෙන් විඳගෙන
සිහියෙන් සිත සැනසිල්ලෙන් කටයුතු කරන්න පුලුවන්.

අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

''සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.''


මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

ක්‍රෝධය පවතිද්දී
ඔබේ දුක පවතින්නෙ කයෙහි වේදනාවක් විදියටයි.
කයත් වේදනාත් ගැන සිහියෙන් ඒ දැනීම් වලට
උපේක්ෂාවෙන් වෙසේන කෙනෙකුට
සිත සැනසිල්ලෙන් කළ යුතු දේ කරන්න පුළුවන්.

ඔබ කරා එන ආගන්තුක ද්වේශයට කළ හැකි
හොඳම සංග්‍රහය එයයි.

මේ අයුරින් ඔබට
බුදු දහමත් ඔබත් අතර ඇති පරතරය
කෙමෙන් කෙමෙන් අඩු කරගන්න පුලුවන්.

මේ අත්දැකීම හොඳින් දැනෙනවා නම්
ඔබත් ඔබට සමීප සියල්ලෝමත් වෙනුවෙන්
දස දිනක් වෙන් කරගෙන
විපස්සනා පුහුණු පාඨමාලාවක් හදාරන්න.
------------------------------------------------
විපස්සනා පුහුණුව
 

No comments:

Post a Comment