20160522

තෙළෙස් ධුතාංග - සිල්වත් භික්ෂූන් වහන්සේ වඩන ආර්යවංශ ධර්ම



අප්පිච්ඡතා, 
සන්තුට්ඨිතා ගුණ දෙක නොමැති 
පැවිද්දාට හෝ ගිහියාට සැපතක් 
අත් විඳීමට නොහැක. 
මෙම ගුණ දෙක නැති පුද්ගලයාට 
ජීවිතය සිරගෙයක් මෙන් හැඟෙයි. 
මෙම ගුණ දෙකෙන් යුතු පුද්ගලයාට 
මුළු ජීවිතයම සැපයක් මෙන් වැටහෙයි.


‘අප්පිච්ඡතා’ යන්නෙන් අදහස් කරන්නේ බොහෝ දෙයට ආශා නොකරන බවය. ‘සන්තුට්ඨිතා’ යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමන්ට තිබෙන ප්‍රමාණයෙන් සතුටු වීමයි. මෙම ගුණ දෙකම එකට බැඳී පවතියි. මෙම ගුණ දෙකෙහි පිහිටි පුද්ගලයාට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන දුර්ගුණයන් ඇති නොවේ.

‘අත්‍රිච්ඡතා’ යනු, 
ලද දෙයින් සතුටු නොවී 
වඩා හොඳ දේවල් පැතීමයි. 
කෙතෙක් ලැබුණත් සෑහීමට පත් නොවී 
තව තවත් බලාපොරොත්තු වීම 
‘මහිච්ඡතාවයයි’. 
තමන් තුළ නැති ගුණ ප්‍රදර්ශනය කිරීම 
‘පාපිච්ඡතා’ පුද්ගලයාගේ ලක්‍ෂණයයි. 

ඉහත සඳහන් කළ 
අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ගුණයන් නිසා 
සීලයෙහි ගුණාත්මක බව වඩාත් වර්ධනය වෙයි.


සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි. 

එම පිළිවෙත් හතර නම්,
1. ඉතරීතර චීවර සන්තුඨිතාව (ලැබුන සිව්රකින් සතුටුවීම)

2. ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතාව (ලද ආහාරයකින් සතුටු වීම)


3. ඉතරීතර සේනාසන සන්තුට්ඨිතාව (ලද සේනාසනයකින් සතුටු වීම)


4. භාවනාරාමතාව (භාවනාවෙහි ඇලී වාසය කිරීම)


ධුතාංග දහතුන 
ඉහත දැක් වූ ආර්යවංස ධර්ම හතර අනුව 
බෙදී යන්නේ මේ ආකාරයටය.
1. ඉතරීතර චීවර සන්තුට්ඨිතාව - තේචීචරිතාංගය, පාංසුකූලිකාංගය

2. ඉතරීතර පිණ්ඩපාතය – පිණ්ඩපාතිකාංගය, ඛලුපච්ඡාහත්තිකාංගය, සපදානචාරිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය


3. ඉතරීතර සේනාසන – ආරඤ්ඤකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාඝත්ථතිකාංගය,


4. භාවනාරාමතාවය - නේසජ්ජිකාංගය


මෙම ධුතාංග දහතුන සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී නම් උන්වහන්සේ වෙතින් හෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින් හෝ රහතන් වහන්සේලා වෙතින් හෝ අනාගාමී, සකෘදගාමී, සෝවාන්, යන ආර්යයන් වහන්සේලා වෙතින් හෝ ත්‍රිපිටකධාරී, ද්වීපිටකධාරී ඒකපිටකධාරී, ඒක සඟිධාරී, අට්ඨකතාධාරී, ධූතාංගධාරී වැනි උතුමන් වෙතින් සමාදන් විය යුතු ය. 
එවැනි උතුමන් නොමැති විට තමන් විසින් සමාදන් වීම සුදුසු ය. 

එහෙත් තමන් ධුතාංග සපුරන බවක් කිසිවෙකුට නොපැවසිය යුතු ය. නොඇඟවිය යුතු ය. 
මෙම එක් එක් ධුතාංගය 
1. සමාදානය, 
2. විධානය, 
3. ප්‍රබේධය, 
4. භේදය, 
5. ආනිශසය යනු පස් ආකාරයකට විග්‍රහ කළ හැකි ය. 
කෙලෙස් ධුතාංග පිළිබඳව කෙටි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දරමු.

1. පංසුකුලිකංගය - මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. ධුතාංග වලට ගැළපෙන චීවර වර්ග විසි තුනක් ඇත. 
එනම්,
1. සෝසානික - සොහොනෙහි දැමූ වස්ත්‍ර, 2. පාපනික - වෙළෙඳපලෙන් ඉවත දැමූ වස්ත්‍ර, 3. රථියචෝල – වීදියෙහි ඉවත දැමූ වස්ත්‍ර, 4. සංඛාරචෝල – කසළගොඩෙහි දැමූ වස්ත්‍ර, 5. සොත්ථිය – ගැබ් – මල පිස දැමූ වස්ත්‍ර, 6. නහානචෝල – යක්ෂාවේශ වූවන් පෙරවූ වස්ත්‍ර, 7. තීත්ථචෝල – නාන තොටෙහි හැරදැමූ වස්ත්‍ර, 8. ගතපච්චාගත - සොහොනට ගියවුන් හැර දැමූ වස්ත්‍ර, 9. අග්ගිදඩ්ඩ – අඩක් දැවුනු වස්ත්‍රය, 10. ගෝඛායිත – හරකුන් කෑ වස්ත්‍රය, 11. උපව්කාඛායිත - වේයන් කෑ වස්ත්‍රය, 12. උන්දුරඛායිත – මීයන් කෑ වස්ත්‍ර, 13. අන්තච්ඡින්නය – අග කඩා ගිය වස්ත්‍ර, 14. දසාච්ජින්නය – දාවලු කැඩී ගිය වස්ත්‍ර, 15. ධජාහටය – නැවෙහි හෝ යුද බිමෙහි හැර දැමූ වස්ත්‍ර, 16. ථූපචීවරය – තුඹස්වල බැඳී වස්ත්‍ර, 17. සමණචීවරය – භික්‍ෂූන් සතු වස්ත්‍රය, 18. ආභිසේතිකය – රාජාභිෂේක කළ තැන දැමූ වස්ත්‍ර, 19. ඉද්ධීමය – ඒහිභික්ෂු චීවරය, 20 - දේවදත්තිය - දෙවියන් දුන් වස්ත්‍රය, 21. වාතාහටය - සුළඟට පැමිණි වස්ත්‍රය, 22. පන්ථිකය – මහමඟ වැටී තිබුණ වස්ත්‍රය, 23. සාමුද්දිය – මුහුදු රළින් පැමිණි වස්ත්‍රය යන මෙම විසිතුන් ආකාර වස්ත්‍ර වලින් එකක් පාංසකූල චීවර වශයෙන් ගත හැකි ය. මෙම ධූතාංගය සමාදන් වූ පසු, ගිහියන් විසින් පිදූ වස්ත්‍රයක් පිළිගතහොත් ධූතාංගය බිඳී යනු ඇත.
 
2. තෙචීචරිතංගය – ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකංගං සමාදියාමි’ මෙම වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. යම් හෙයකින් වෙනත් චීවරයක් පිළිගත හොත් ධූතාංගය බිඳී යනු ඇත.

3. පිණ්ඩපාතිකංගය – ‘අතිරේක ලාභං පටික්ඛිපාම්. පිණ්ඩපාතිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. පිඬුසිඟා වැඩි පසු යමෙක් ‘අපගේ නිවසෙහි භික්‍ෂූන් පිණ්ඩපාතය වළඳයි. ඔබ වහන්සේද පැමිණ වැළඳුව මැනව යනුවෙන් ඇරයුම් කළහොත් පිළිගැනීම සුදුසුයි. යම් දිනක අතිරේක පිණ්ඩපාතයක් පිළිගතහොත් එම ධුතාංගය බිඳී යයි.

4. සපදානචාරිකංගය – ‘ලෝලුප්පචාරං පටික්ඛිපාමි. සපදානචාරිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. ගෙලිපිවෙල ඉක්මැවූ විටෙක ධුතාංගය බිඳී යයි.

5. ඒකාසනිකංගය – ‘නානාසන භෝජනං පටික්ඛිපාමි. ඒකාසනිතංගං සමාදියාමි’ යනුවෙන් සමාදන් විය යුතු ය. වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. අන් ආසනයක හිඳ වැළදුවහොත් ධුතාංගය බිඳී යයි.

6. පත්තපිණ්ඩිකංගය – ‘දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ මෙයින් කැමති වාක්‍යයක් කියා සමාදන් විය යුතු යි. ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. දෙවන භාජනයක් පිළිගත් මොහොතේම මෙම ධුතාංගය බිඳී යයි.

7.ඛලු පච්ඡාභත්තිකාංගය – ‘අතිරේක භෝජනං පටික්ඛිපාමි. ඛලු පච්ඡාහත්තිකාංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. එසේ වැළඳුවහොත් මෙම ධුතාංගය බිඳී යයි.

8. ආරඤ්ඤකංගය – ‘ගාමන්ත සේනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි.අරුණ නැගෙන තුරු ගමෙහි විසුවේ නම් මෙම ධුතාංගය බිඳී යයි.

9. රුක්ඛමූලිකංගය – ‘ඡන්නං පටික්ඛිපාමී. රුක්ඛමූලිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු වෙයි. රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්‍ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්‍ෂ, වවුලන් වසන වෘක්‍ෂ, සිදුරු ඇති වෘක්‍ෂ, විහාර මැද පිහිටි වෘක්‍ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්‍ෂයක් වාසයට ගත යුතු යි. ;ගයක විසූ විට ධූතාංගය බිඳී යයි.

10. අබ්හෝකාසිකංගය – ඡන්නංච රුක්ඛමූලංච පටික්ඛිපාමි. අබ්හෝකාසිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු යි. ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ.

11. සෝසානිකංගය – ‘න සුසානං පටික්ක්‍ඛිපාමි. සෝසානිකංගං සමාදියාමි’යන වාක්‍ය වලින් සමාදන් වීමට හැකි ය. රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. සොහොනට නොගොස් ගෙයක විසුවහොත් ධූතාංගය බිඳෙයි.

12. යථාසන්ථිතිකංගය - සේනාසන ලෝලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථිතකංගං සමාදියාමි’ යන වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. වෙනත් ආරාමයක් ඉල්ලූ විටෙක ධුතාංගය බිඳී යයි.

13. නේසජ්ජිකංගය – ‘සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් වී නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය. නිදා ගතහොත් ධූතාංගය බිඳී යයි.
 ____________________________________________________


අප දන්නා ඉතිහාසය තුළ
රහතන් වහන්සේ ලෙස ලෝකයා සැලකූ
රහත් වූ කෙනෙකු ලෙස පිළිගත හැකි
වෙබු සායාඩෝ නමැති
මේ බුරුම ස්වාමීන් වහන්සේ
දහතුනක් වූ ධුතාංග අතුරෙන් දුෂ්කරම ධුතාංගය වන
සයනයෙන් වැළකී ඉතිරි ඉරියව් තුනෙන් පමණක් දිවි ගෙවන
නේසජ්ජික ධුතාංගය සමාදන්වී
මුළු ජීවිතයම සයනයෙන් තොරව ගත කළහ.

බුදු දහමෙන් ප්‍රයෝජනයක් ලැබීම පිණිස
විදර්ශනා වැඩීම අනිවාර්ය ලෙස සැළකූ
මේ ස්වාමීන් වහන්සේ
පතපොත හැදෑරීම අත්වැලක් වුවද
අනිවාර්ය නොවන ලෙස සැළකූහ.

බුදුන් වහන්සේ වදාළ භාවනා ක්‍රම අතුරෙන්
ආනාපාන සතිය තෝරා ගත් උන්වහන්සේ
ආශ්වාසය ප්‍රශ්වාසය ස්පර්ශ වන ස්ථානය
අරමුණු කොට කය සමග සම්බන්ධව
ආනාපාන සතිය වැඩීම ඉගැන්වූහ.
කවර කාර්යයක යෙදුණද
ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව සිහියෙන් විසීම
උන් වහන්සේගේ ඉගැන්වීම විය.

_________අතුරු සටහන - අතුල සිරිවර්ධන_________


තෙළෙස්  ධූතාංග අතුරෙන් ‘තෙචීචරිතංගය’ හැර අනෙක් දොළොස සාමණේරයන්ට රැකිය හැක. සික්ඛමානාවන්ට සහ සාමණේරීන්ට තෙචීචරිකංගයද, භික්‍ෂුණීන්ට තහනම් කැර තිබෙන ධූතංග පහ හැර අනෙක් ඒවාද, උපාසක උපාසිකාවන්ට ඒකාසනිකංගය සහ පත්තිපිණ්ඩිතංගය යන දෙකද ආරක්‍ෂා කළ හැකි ය. කෙළෙස් ධූතාංග ‘උත්තෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් තුන් ආකාරයකට රැකීමට පිළිවෙන. එසේම මෙම ධූතාංග රැකීමෙන් ලැබිය හැකි ආනිසංසද වෙන වෙනම දැක්විය හැකි ය. ද්වේෂ චරිතයක් ඇති අයට ආරඤ්ඤකංගයත්, රුක්ඛමූලිකංගයත් යන දෙක ද, අනෙක් ධූතංගයෝ රාග චරිතයක් ඇති අයටත්, මෝහ චරිතයක් ඇති අයටත් ගැළපේ.

No comments:

Post a Comment