20211021

පැබ්ලෝ නෙරුදා, කායික වේදනා පමණයි. මානසික වේදනා නෑ.

 


Asoka Handagama Facebook post
“.. එක උදෑසනක මම ඕන කෙහෙල්මලක් වෙන්න කියලා තීරණයක් ගත්තා. ඇගේ අතේ මැණික් කටුව ලඟින් තදින් අල්ලාගන ඇගේ දෑස් දිහා බලාගන හිටියා. ඇය හා කතාකරන්න පුළුවන් භාෂාවක් තිබුනේ නැහැ. මුවේ සිනහවක් වත් නොතිබුණු ඇය මට ඇගේ අතින් අල්ලා කැඳවාගන යන්නට ඉඩදී සිටියා. ටිකකින් ඇය නිරුවතින් මගේ ඇඳ මත ! ඇගේ සිහින් ඉඟ, පුළුල් උකුල, පුන් පියයුරු නිසා ඇය මට දිස්වුනේ වසර දහස් ගණන් පැරණි දකුණු ඉන්දියානු පිළිරුවක් වගේ. අපේ සම්භෝගය සමාන වුනේ මිනිසෙකු හා පිළිමයක එකතුවකට. ඇය මුළු කාලය තුලම සිටියේ ඇගේ දෑස් මුළුමනින්ම ඇරගන. කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව. මාව හෙලා දකින ඇය නිවැරදියි. ඒ සිදුවීම යලි කවදාවත්ම සිදු වුනේ නැහැ.”
විසි වෙනි සියවසේ පහල වූ ශ්‍රේෂ්ටම කවියා ලෙස ගාෂියා මාකෙෂ් ගේ පැසසුමට ලක් වූ පැබ්ලෝ නෙරුදා නම් මේ ශ්‍රේෂ්ඨ කවියා දැන් ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් ගේ සියුම් පරීක්ෂාවට ලක්වෙලා. ඔහු ගේ නිර්මාණ වල සහ ක්‍රියාකාරීත්වය තුල පිළිබිඹු වන මානුෂීයත්වයේ අවංක කමයි දැන් අභියෝගයට ලක්වන්නේ.
“ඇය මට ඇගේ අතින් අල්ලා කැඳවාගන යන්නට ඉඩදී සිටියා. ටිකකින් ඇය නිරුවතින් මගේ ඇඳ මත!” යන වාක්‍ය ඛණ්ඩය විවේචනය ට ලක් වන්නේ අමූලික බොරුවක් ලෙසයි. මේ විස්තරය අලලා ස්ලෝවේනියානු දාර්ශනික ස්ලාවෝ ජිජැක් කියන්නේ “ආගන්තුක අනෙකා උදාසීන දේවත්වයකට ඔසවා තැබීමෙන් කෙරෙන්නේ, එය ‘තූ නොදකින්’ කියා හෙලා දැකීමක් " කියලයි.
ඇල්බොරාදා සිනමා පටයේ පැබ්ලෝ ගේ භූමිකාවට පන පොවන්නේ ලුවී ජේ රොමේරෝ. ස්පාඥ්ඥ ජාතික රංගධරයෙක් සහ කවියෙක්. නෙරුදා ගේ කවි සමඟ සරාගී ලෙස පෙමින් බැඳුනු අයෙක්. නෙරුදා ගේ බොහොමයක් කවි කට පාඩමින් රසවත් ව කියවිය හැකි කෙනෙක්.

My Reply
ජිජැක් දකින විදිය නිවැරදියි.
අර්ථ කථනය වැරදියි.

මේ අවස්ථාවේ
ඇයට සිටිය හැකි අවස්ථා
හතරක් තියනවා.
තුනක් සාමාන්‍යයි.
එකක් විශේෂයි.
විශේෂ අවස්ථාව පසුවට තබනවා.

සාමාන්‍ය ගැහැණියක් ලෙස
ඇයට ඇති අවස්ථා තුන
නෙරූදා විසින් උපදවන
කායික වේදනා ප්‍රිය නම් රාගයෙන්,
කායික වේදනා අප්‍රිය නම් ද්වේශයෙන්,
කායික වේදනා නොදැනෙනවා නම් මෝහයෙන්,

ජිජැක් බලාපොරොත්තු වෙන්නෙ
ඇය රාගයෙන් ඇවිලෙමින්
කම් සුව විඳීමක්.
ඇය ද්වේශයෙන් ප්‍රතිකේෂ්ප කිරීමත්
කෙනෙකුට පිළිගන්න පුළුවන්.
මේ සිදුවීම සාමාන්‍ය නම්
ඇය සාමාන්‍ය ගැහැණියක් නම්
ඇය පසුවී ඇත්තේ මෝහයෙන්.
එසේ නම් ඇයට ඉපදියයුතු රාගය හෝ ද්වේශය
ඈ තුළ ඇති නොවෙන්න නම්
ඇගේ කායික වේදනා
ඇයට නොදැනිය යුතුයි.
එහෙම හිතන්න පුලුවන්ද?

රාගයත් නැත්නම්, ද්වේශයත් නැත්නම්,
මෝහයත් නැත්නම්....
අපට ඉතිරිවෙන්නෙ
හතරවෙනි අවස්ථාවයි.

ඒ අවස්ථාවේ
ඇයට ඇති වෙන කායික වේදනා ගැන
ඇය සිහියෙන් පසු වෙනවා.
ඒ වේදනා ප්‍රිය නිසා රාගය හෝ
ඒ වේදනා අප්‍රිය නිසා ද්වේශය හෝ
ඇතිවෙන්නේ නෑ.
වේදනා පිළිබඳව සිහියෙන් නිසා
මෝහයත් නෑ.
ඇගේ සිත පිරිසිදුයි.
ඇය පසුවුණේ
ඒ අවස්ථාවෙ කියලයි
නෙරූදාගෙ විස්තරයට අනුව
මම හිතන්නෙ.
එවැනි චරිතයක් සමග
කායිකව බැඳෙන්න අවශ්‍ය නෑ.
ඔවුන් ඉතාම සංවේදීයි.

රහත් වුණ කෙනෙකුගෙ
හැම ක්ෂණයක්ම ගත වෙන්නෙ
හතරවෙනි අවස්ථාවෙ.
සතර සතිපට්ඨානය වඩන කෙනෙක්
වේදනා ගැන සිහියෙන්
වේදනා ප්‍රිය හෝ අප්‍රිය ලෙස
නොවිඳින ක්ෂණයක් තුළත්
ඔහු පසුවෙන්නෙ මේ අවස්ථාවේ ...

ඉතින්
ඇගේ සිත
කය හා වේදනා ගැන සිහියෙන් හා
ඒ වේදනා වලට උපේක්ෂාවෙන් පසුවුණා නම්
ඒ මොහොතේ ඇය
ආර්‍ය ශ්‍රාවකයෙක්.

ආර්‍ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ.

නෙරූදා විසින්
දේවත්වයට ඔසවා තැබීමට
ඇය සුදුසුයි.

No comments:

Post a Comment