20201224

විපස්සනා හැඳින්වීමක් -සරල අත්දැකීමක් ඇසුරෙන්.

Image may contain: text

මගේ ක්‍රමය සරලයි.

අපි පළමුවෙන් බලමු ඒ ක්‍රමය කරන්න
ඔබට ශක්තිය තියනවාද කියලා.

ඔබේ අතක්
උරහිස මට්ටමට ඔසවා ගන්න.
අත ඔසවාගෙනම ඉතුරු ටික කියවන්න.
නැත්නම් මේ කියවීමෙන් ප්‍රයෝජනයක් නෑ.

අත ඔසවාගෙනම කියවීම නිසා
මම කියන දේ ඔබට ඔබ තුළම
විඳ පසක් කරන්න ලැබෙනවා.

ඔබේ අත උරහිස මට්ටමට ඔසවා ගන්න.

ඔබට ඒ අත බරට දැනේවි.

සුලු වෙලාවක් ඇතුළත
ඒ අතේ ඔබට අප්‍රිය වේදනා ඇති වේවි.

ඒ වේදනා නිසා අත පහත දාන්නට
ඔබ තුළ තණ්හාවක් ඇති වේවි.

වේදනා පච්චයා තණ්හා.

ඊළඟට ඔබ තුළ ඇති වෙන්නෙ
තණ්හාව නිසා ඇති වෙන උපාදානය.

ඔබට අත පහත දාන්න එන
උවමනාව
නැවත නැවත අල්ලා ගන්න
ඔබ පෙළඹෙනවා.
මේ උපාදානය නිසා ඔබ දුක් විඳිනවා.

මේ අප්‍රිය වේදනාවෙන් - දුක්ඛ වේදනාවෙන්
ගැලවෙන්න විකල්ප තුනක් තියනවා.
1, අත පහත දැමීම.
2, වේදනා නාශකයක් ගැනීම.
3, වෙනත් අරමුණකට සිත යොමු කිරීම.

පළමු ක්‍රම දෙක භෞතිකයි. කායිකයි.
තුන් වැන්න මානසික ක්‍රමය.
සමථයෙදි භාවිතා වෙන්නෙ තුන්වැන්න.

විපස්සනා ක්‍රමය හතර වැන්නයි.
මම පුහුණු වෙන්නෙ ඒ ක්‍රමයයි.

මමත් කවදාක හෝ රහත් වෙන තුරුම
උපදින මතු භවයන්හිත් හමු වුණොත්
පුහුණු වෙමින් යන කෙනෙක්.
ඒ නිසා මටත් මේ විදියට
අත ඔසවා ගෙන ඉන්න හැකි වෙලාව සීමිතයි.

ඒ සීමාව සාමාන්‍ය කෙනෙකුට වඩා
බොහෝ වැඩි ඇති කියා මම හිතනවා.
සමහර විට පැය භාගයක්වත් හැකි වෙයි.
ඔබ ඉදිරිපත් වෙනවා නම් අපි සොයා බලමු.

විපස්සනා ක්‍රමය තුළදි
අප්‍රිය වේදනාවට ද්වේශ කිරීමක් හෝ
ප්‍රිය වේදනාවට ලෝභ කිරීමක් නෑ.
උපාදානයක් නෑ.
නච කිඤ්චි ලොකෙ උපාදියති.

ඒ වෙනුවට
වේදනාව ගැන
( යාව දේව ) නොකඩවා සිහියෙන් වෙසෙනවා.
( ඤාණමත්තාය ) දැනෙන ප්‍රමානයට
වේදනා ගැන සිහියෙන් වෙසෙනවා.
( පටි සතිමත්තාය ) සිහිය නැවත නැවත
පිහිටුවා ගත හැකි මාත්‍රයෙන්
වේදනා ඇති වෙන හැටි වෙනස් වෙන හැටි ගැන
අතේ අනිත්‍යය ගැන සිහියෙන් වෙසෙනවා.

මේ විදියට ඉන්න හිත පුහුණු වුනාම
වැඩි වෙලාවක් ඉන්න පුලුවන්.
මේ පුහුණුව අපි අපි ගැන
මේ මොහොතෙ කරන පරීක්ෂණයක්.

දහම තේරුම් ගන්න තියන
එකම ක්‍රමය විඳ පසක් කිරීමයි.

ජීවිතේ හැම අප්‍රිය වේදනාවකදිම
ඒ වේදනාවට මුහුණ දීලා දුක් නොවිඳ ඉන්න
මා තුළ තියෙන්නෙ ඔය ශක්තිය තමයි.
ෆේස්බුක් එකේදිත් කැලඹෙන්නෙ නැතුව ඉන්නෙ
වේදනාවලින් කම්පා නොවීමට
මේ තුලින් ඇති කරගත් ශක්තියෙන්.
ඒ ශක්තිය වැඩි කරගන්නට
හැකි හැම දෙයක්ම ඉදිරියටත් කරනවා.

කාන්දම් කැබැල්ලකට ඔසවන්න හැකි
යකඩ ඇණ ප්‍රමාණයක් තියනවා.
ඔසවන යකඩ ඇණ ප්‍රමාණය
තව තවත් වැඩි කර ගන්න නම්
කාන්දමේ තියන චුම්භක ශක්තිය
තව වැඩි කරගන්න ඕන.

විපස්සනාවලින් කරන්නෙ
මේ වගේ ඇති වෙන දුක් "නොවිඳ ඉන්න"
සිත පුහුණු කර ගනීමයි.

දුකක් ඇති වුනාම රාගයෙන් ද්වේශයෙන්
අවුල් නොවී කම්පා නොවී ඉන්නට
සිත පුහුණු කර ගැනීමයි.

ඒ සඳහා පැමිණෙන හැම දුකක්ම
භාවිතා කරන්න පුලුවන්.
වේදනා පච්චයා පඤ්ඤා.

කායික වේදනා වලදි ඇති වෙන
මානසික වේදනාවයි දුකට හේතු වෙන්නෙ.

අත ඔසවාගෙන ඉන්න නිසා ඇති වෙන
අප්‍රිය වේදනාවට මානසිකව ඇති වෙන
ද්වේශය තමයි කාටත් තියන දුක.
ඒ දුක කායිකව වින්දොත් මානසිකව දුකක් නෑ.

එක උලයි.. උල් දෙකක් ඇනෙන්නෙ නෑ.
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

අපි උදේ ඉඳලා රෑ වෙන තුරුම
තණ්හාව ඇති කරගන්නෙ වේදනා නිසා.
වේදනා වලට රාග ද්වේශ ඇති වෙන නිසා.

වේදනා වලට රාගයෙන් හෝ ද්වේශයෙන්
ප්‍රතිචාර දැක්විය යුතු නෑ.

ඔබ තවම අත ඔසවාගෙනද ඉන්නෙ?

අත පහත දාලා නම්
නැවතත් ටික වෙලාවකට ඔසවා ගන්න.

තව වැදගත් කරුණු
කිහිපයක් කියන්න තියනවා.

අතේ දුක්ඛ වේදනාව නිසා ඔබ තුළ
මේ වෙලාවෙ උපදින්නෙ ද්වේශයක්.
අත පහළ දාන්නට රාගයකුත් තියනවා.

මෝහය තියෙන්නෙ කුමක් ගැනද?

මෝහය තියෙන්නෙ කයේ අනික් ප්‍රදේශ ගැනයි.

මේ ද්වේශය සහ රාගය නිසා
ඔබට කයේ අනික් ප්‍රදේශ දැනෙන්නෙ නෑ..
ඔබ කය පිලිබඳව සිටියෙ මෝහයෙන්.

මේ ඔසවාගෙන ඉන්න අත ගැන සිහියෙන්
ඒ අත සමග ඔබේ නිදහස් අත
සංසන්දනය කරල බලන්න.

නිදහස් අත ගැන ඔබට මෙතෙක් තිබුණෙ මෝහය.

නිදහස් අතේ තියෙන්නෙ අදුක්ඛමාසුඛ වේදනා.

මේ අප්‍රිය වේදනාවට සාපේක්ෂව
ඒ අදුක්ඛමාසුඛ වේදනාවත්
ඔබට සුඛ වේදනාවක්.

අත් දෙකම එකට දකින්න පුලුවනි නම්
ඔබේ අප්‍රිය වේදනාවට තියන
ද්වේශය දැනට වඩා ටිකක් අඩුයි.
සබ්බ කාය පටි සංවේදී...

ඔසවාගෙන ඉන්න අතේ අප්‍රිය වේදනා සමග
ඔබට මුලු කයමත් සිහියෙන් දකින්න හැකි නම්
ඔසවා ගත් අත ගැන ද්වේශය තවත් අඩු වෙයි.

ඔසවාගෙන ඉන්න අතත්, මුළු කයත් සමග
ඔබේ ආශ්වාසය ආශ්වාසය විදියටත්
ප්‍රශ්වාසය ප්‍රශ්වාසය විදියටත්
වෙන වෙනම දකින්න ඔබට පුලුවනි නම්
ඔසවාගත් අතේ අප්‍රිය වේදනාවට
ඔබ තුල පහල වෙන ද්වේශය ඉතා අවමයි.

මේ ක්‍රමය මම මේ කිව්වෙ ඉතාම සරලව.

මෙතන තර්ක මොකුත් නෑ.

කැමති කෙනෙකුට අත උරහිස මට්ටමට
ඔසවාගෙන ඉන්න ගමන් කියෙව්වොත්
එවෙලෙම විඳ පසක් කරන්න පුලුවන්.

මේ අත්දැකීමට ඒ විදියට මුහුණ දෙන්න
මගේ කුඩා දරුවන්ට පවා පුලුවන්.
වැඩිහිටියන්ට ටිකක් අපහසු වෙයි.
=============================================
අත ඔසවාගෙන ඉන්න වෙලාවට
ඔබට තියෙන්නෙ
කායික වේදනාව පමණ නම්
මානසික වේදනා නැත්නම්
සල්ල සූත්‍රයට අනුව
ඔබ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්.

වේදනා පච්චයා තණ්හා.
තණ්හා පච්චයා උපාදාන.

මේ රටාවෙන් මිදෙන්න තියන
ආසන්නම පහසුම විසඳුම
සතර සතිපට්ඨානයයි...

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා නිසා
මානසික වේදනා ඇති වෙන්නෙ නෑ...

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය
මහණෙනි,
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.

හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

20201218

අපේ රටේ විද්‍යාවත් ආගමක්.

 

පොතකින් ගන්න දේ විද්‍යාත්මක වුණත්
කියවන දේ අදහනවා ඇරෙන්න
වෙන කරන්න දෙයක් නෑ.

පාසල් ගුරුවරු කතා කරන්නෙ
ආගමික පූජකයො වගේ.
ඔවුන් දරුවන්ට උගන්වන්නෙ
"විද්‍යාව අදහන්න" කියලා.

මග්ව දරුවා
පාසලෙන් ඉගෙන ගන්නෙත් ඒ විදියට.
ඔවුන් ගුරුවරු ප්‍රශ්න කරන්නෙ නෑ.
දරුවෝ ගුරුවරු අදහනවා.
දැල්වෙන ඉටිපන්දමක්
වීදුරුවකින් වැහුවාම නිවෙන බව
ඇස් දෙකෙන් නොදැකපු ළමයි
ලක්ෂගණනක් මේ රටේ ඇති.
ඔවුන් දහනයට ඔක්සිජන් අවශ්‍යයි කියා
අදහන පිරිසක්.

පාසල් අධ්‍යාපනයෙන්
ආගම තියන තැනට විද්‍යාව දැම්මාට
ආගමික ඇදහිලි රටාව වෙනස් වෙලා නෑ.
විද්‍යාව අදහන පිරිස
ලෝකෙටත් අදහන්න බල කරනවා.
ආගමික රටාවම තමයි.

විද්‍යාව ඉගෙන ගත්තා කියලා
මිනිස්සු විද්‍යාත්මකව හිතන්නෙ නෑ.
විද්‍යා අධ්‍යාපනයත් ආගමක් වගේ තමයි
දරුවන්ට ලබා දෙන්නෙ.

විද්‍යා ගුරුවරයා විද්‍යාඥයා අදහනවා.
දරුවා ගුරුවරයා අදහනවා.
ආගම තමයි විද්‍යාව.
ගුරුවරයා තමයි පූජකයා.

අපි පුංචි කාලෙ පාසලේ
ගෙදර ඇවිත් පරීක්ෂණවත් කෙරුවා.
අපි කූඩලු පැල දිගේ තීන්ත යනවා දැක්කා.
හිරු එළිය වැටෙන්නෙ නැතුව
පැලෑටි සුදුපාට වෙනවා දැක්කා.
විඳලා ප්‍රත්‍යක්ෂ කළා.
එතන අදහන්න දෙයක් නෑ.
අපි ආගම දිහා බලන්නෙත් ඒ විදියට.
ආනාපාන සති කරල බලනවා.
විපස්සනා වඩලා බලනවා.
පොතේ තිබුණටවත්,
හාමුදුරුවො කිව්වටවත්
විශ්වාස කරන්නෙ නෑ.

සෝ තැවුල් දුක් දොම්නස් ආවම
විපස්සනා ක්‍රමය යොදල බලනවා.
සෝ තැවුල් දුක් දොම්නස් නැති වෙනවා
විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
අදහන්න අවශ්‍ය නෑ...

දරුවා විද්‍යාත්මකව හිතනවා නම්
"මිනිසා වදුරාගෙන් පර්ණාමය වුණා" කියලා
ඩාවින් ඔහුට කියන කොට
"මිනිස්සු වඳුරන්ගෙන් පරිණාමය වෙනව නං
තාම වඳුරො ඉන්නෙ ඇයි? කියල අහන්න ඕන.
ඒක වැදගත් ප්‍රශ්නයක්..

ඩාවින් අදහන අය
ආගමික ක්‍රමයකට ඩාවින්ව අදහනවා.
දෙවියො ඉන්නවා කියා අදහන අයට
ඒ බව ඔප්පු කරන්න තර්ක තියනවා.
ඩාවින්ව අදහන අයටත් එහෙම තමයි.

දහම සහ විද්‍යාව
විඳ පසක් කලයුතු දේවල්.
තර්කයෙන් ඔප්පු කල යුතු නෑ...

 

20201211

දුක සැප කියල දෙකක් නෑ.


දුක සැප කියල දෙකක් නෑ.
තියෙන්නෙ එකම දෙයක් විතරයි.

එකම දේ
එක වෙලාවකට සැපයි.
එක වෙලාවකට දුකයි.
දෙවිදියකට එකම දේ දකීමින්
දුක සැප විඳීමයි
සාමාන්‍ය මිනිස් ස්වභාවය.

දුක කියන්නෙත් වේදනා.
සැප කියන්නෙත් වේදනා.
දුක කියන්නෙ අප්‍රිය වේදනා.
සැප කියන්නෙ ප්‍රිය වේදනා.

අපි දුක කියන්නෙ
ජීවිතේ අපි විඳින වේදනාවලින්
අපට අප්‍රිය වේදනාවලට.
සැප කියන්නෙ අපට ප්‍රිය වේදනා.

සැප කියන්නෙ
ජීවිතේ අපට ප්‍රිය පරාසය.

කායික වේදනාව
කයෙහි ජෛව රසායනික වෙනසක්.
මානසික වේදනාවත්
කයෙහි ජෛව රසායනික වෙනසක්.
මේ ජෛව රසායනික වෙනස් කම්වලින්
අපි අකමැති ජෛව රසායනික වෙනස
අපි දුක විදියට බැහැර කරනවා.

කයෙහි සිදුවෙන ජිව රසායනික වෙනස
අයිස් කැටයක් ස්පර්ශ වීම නම්
අපි දුකක් විදියට බැහැර කරනවා.
ඒ කායික ජෛව රසායනික වෙනසම
අයිස්ක්‍රීම් එකකින් ලැබෙද්දි "අහා සැපයි"
කියමින් අපි ආශාවෙන් රස විඳිනවා.
සීතල අඩු වුණාම ඒ අයිස්ක්‍රීම් එකම
දුකක් විදියට බැහැර කරනවා.

අසනීපයක් හැදිලා නැත්නම්
උණු වතුර බොන්න කැමති කවුද?

උණු තේ එකකින් දැනෙන
දුක් වේදනාව අපට ප්‍රියයි. සැපයි.
උණු තේ එක නිවුණාම දුකයි.
"අපොයි, මේක නිවිලනෙ"
අපි ආශාවෙන් සොයන
ඒ දුක් වේදනාව දෙන්න
නිවුණ තේ එකට බැහැ.

කයෙහි සිදු වෙන වේදනා...

උෂ්ණත්වය නිසා කයෙහි සිදු වෙන
ජෛව රසායනික වෙනස අපට ප්‍රිය නම්
අපේ මනස සැපක් කියා රස විඳිනවා.
වෙනස අප්‍රිය නම් දුකක්.

බුදුන් වහන්සේ සොයා ගත්
ජීවිතයෙහි මහා අභිරහස මෙයයි.
වේදනා පච්චයා තණ්හා.
දුක/සැප ඇති වෙන්නෙ වේදනා නිසයි.

තණ්හා පච්චයා උපාදාන

දුකට හේතු වෙන තණ්හාව නිසා
අපි දුක සැප සමග පැටලෙනවා.
දුක වගේම සැප කියන්නෙත්
කයෙහිජෛව රසායනික වෙනස්කම්.

දුකත් සැපත් වේදනා විදියට
කයෙහි වේදනා විදියට බලන්න
බුදුන් වහන්සේ කියා දුන්නා.

ඒ විදියට දකින්න නොදන්නා
ඇසූ පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
කායික වේදනා මානසික වේදනා
දෙකෙන්ම දුක් විඳිනවා.

මේ වෙනස ඉක්මවා වේදනා දකින
ඇසූ පිරූ ආර්ය ශ්‍රාවකයාට
මානසික වේදනා නෑ.
දුක සැප දෙකෙන්ම ඔහු සැලෙන්නේ නෑ.

අට ලෝ දහම ඔහු දකින්නෙ
එකම විදියට කයෙහි සිදු වෙන
ජෛව රසායනික වෙනස් කම් විදියටයි...
ඒ වෙනසෙන් ඔහු අකම්පිතයි.

වසර දෙදහස් පන්සියයක් තිස්සෙ
බුදු දහම ලොව පුරා පවතින්නෙ
කයෙහි සිදු වෙන ජෛව රසායනික වෙනස නිසා
මානසික ජෛව රසායනික වෙනස් කම් ඇති කරගෙන
දුක් නොවිඳින්න සිහිය දියුනු කරගත්
ආර්ය ශ්‍රාවකයන් නිසයි.

දුක සැප කියල දෙකක් නෑ.
තියෙන්නෙ එකම දෙයක් විතරයි.
එකම දේ එක වෙලාවකට සැපයි.
එක වෙලාවකට දුකයි.
දෙවිදියකට එකම දේ දකීමින්
දුක සැප විඳීමයි
සාමාන්‍ය මිනිස් ස්වභාවය.

දුක කියන්නෙත් වේදනා.
සැප කියන්නෙත් වේදනා.
දුක කියන්නෙ අප්‍රිය වේදනා.
සැප කියන්නෙ ප්‍රිය වේදනා.

අපි දුක කියන්නෙ
ජීවිතේ අපි විඳින වේදනාවලින්
අපට අප්‍රිය වේදනාවලට.
සැප කියන්නෙ අපට ප්‍රිය වේදනා.

සැප කියන්නෙ
දුකෙහි අපට ප්‍රිය පරාසය.