20170103

පහ වසර ශිෂ්‍යත්වලාභීන්ගේ මැතිවරණ ක්‍රමය.


"පහ වසර ශිෂ්‍යත්වලාභීන්ට
පාසල් ලබාගැනීමේදී ක්‍රියාත්මක වන
දැනට පවතින ක්‍රමවේදය අනුව
වැඩි ලකුණු අවශ්‍ය වන පාසල්
ගුණාත්මක බවින් ඉහළ පාසල්ය"
යන්න මිථ්‍යා මතයකි.

පහ වසර ශිෂ්‍යත්වලාභීන්ට
පාසල් ලබා දෙන අද පවතින ක්‍රමය
අපේ දේශපාලන අඥයන් තෝරන්නක් වැනි
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි.

ලංකාවේ ජනපති ලෙස පත් වන්නේද
ඒ සඳහා හොඳම පුරවැසියා නොව
රටේ සිටින පුරවැසියන්ගේ බුද්ධි මට්ටම සහ
ඔහුට සිය පක්ෂයෙහි ඇති බලය අනුව
බහුතරයක් තෝරා පත්කරගන්නා
කිසියම් පුද්ගලයෙකි.

ජනපතිගෙ ජනප්‍රියත්වය අනුව
ඔහුට යටත් රජයක්ද ලැබෙයි.

ජනපති එවකට රටෙහි සිටින ජනප්‍රියම පුරවැසියා විනා
රට පාලනයට සුදුසුම පුරවැසියා නොවේ.
රටේ ජනපතිකමට වඩාත්ම සුදුසු පුරවැසියා
විදේශ රටක විදේශිකයන්ට සේවය කරමින් සිට
එහිම මියයන්නටද ඉඩ ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්
ඔබේ දරුවාට පාසල් ලබා දෙන්නේද
දේශපාලන අඥයන් විසින් තනන ලද
ඉහත සඳහන් ක්‍රම වේදය මතය.
අද පාර්ලිමේන්තුවේ සිටින අයගෙන්
සියයට අනූ ගණනක්ම
සාමාන්‍ය පෙළ සමත් නැතැයි
පුවතක් මෑතක පළ වී තිබිණ.
( සාමාන්‍ය පෙළ සමත්වීමද
කෙනෙකුගේ ගුණාත්මක බව මනින
ප්‍රබල සාධකයක් නොවේ. )

පාසල් තෝරන දෙමාපියන්ට
එක් දරුවෙක් සඳහා පාසල් දහයක් ඉල්ලා සිටීමට
පවතින ක්‍රම වේදය අවස්ථාව ලබා දෙයි.
තමන්ට ඇති තොරතුරු භාවිතා කරමින්
ඔවුන් ඒ සංඛ්‍යාව ලබා දෙති.
ඔවුන් නොදැනුවත්වම
පැරණි කඩඉම් ලකුණු මත
ඔවුහු නව කඩඉම් ලකුණ සොයන්නට
අමාත්‍යාංශයට සහය වෙයි.

ඔවුන් තෝරාගැනීමක් කරන නමුදු
ඒ පාසල්වල ඇති පහසුකම්,
පාසලේ සිසු සංඛ්‍යාව සහ
ඔවුන් සඳහා සිටින ගුරුවරු සංඛ්‍යාව,
එක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව,
පාසලේ විදුහල්පතිවරයාගේ
සහ ගුරුවරුන්ගේ අධ්‍යාපනික මට්ටම,
මෙතෙක් පැවති විභාග ප්‍රතිඵල ආදී
ගුණාත්මක බවට බලපාන
කිසිදු තොරතුරක් ඔවුන්ට නොලැබෙයි.
තනිකරම දෙමාපියන්ගේ ඡන්දය මත
පාසල්වලට ඇති ඉල්ලුම සලකා බැලීමෙන්
පාසල්වල කඩඉම් ලකුණු සකස් වෙයි.

රාජකීය, විශාඛා, ආනන්ද, නාලන්ද වැනි
කඩඉම් ලැයිස්තුවේ ඉහළින්ම ඇති පාසල් වන්නේ
ලංකාවේ ඉහළ ගුණාත්මක පාසල් නොව
පැරණි කඩඉම් ලකුණු ලැයිස්තු භාවිතයෙන්
වඩාත් ජනප්‍රිය පාසල් ලෙස ලබා ඇති
පැරණි ඡන්ද ප්‍රතිඵල අනුව
පාසල් ඉල්ලන දෙමාපියන්ගේ ඡන්දයෙනි.
පාසල් වල කඩඉම් ලකුණු ඉහළ යන්නේ
දෙමව්පියන්ගේ ඡන්ද ප්‍රමාණය මතයි.

පාසල් දහයක් ලකුණු කළ යුත්තේ
ඡන්ද ලැයිස්තුව පුළුල් කිරීමටය.

පාසලක ගුණාත්මකභාවය
කඩඉම් ලකුණුවලින් තීරණය නොවන බව
නොදන්නා හෝ නොසිතන දෙමාපියන්
ඒ ලැයිස්තුවල ඉහළින්ම පවතින පාසලක්
කෙසේ හෝ තම දරුවාට ලබා දෙන්නෙමැයි
වසරගණනක් පුරා සිහින මවති.

පහ වසර කඩඉම් හැරෙන්නට
බහුතරයක් සොයන එකම තොරතුර වන්නේ
සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ ප්‍රතිඵලයි.

අධ්‍යාපන ප්‍රතිඵල අනුව
ඉහළ තලයක පවතින ජනප්‍රිය පාසලක
විදුහල්පති පදවිය දරන කාන්තාව
මොබයිල් ෆෝන් භාවිතයට සහ
විදුහල තුළ පෙම්සබඳතා වලට
අවසර ලැබෙන අයුරින් ක්‍රියා කරමින්
" පෙම් සබඳතා තියෙන්න ඕන.
අපේ ළමයින්ගෙ විනය මොකක් වුණත්
අපි ප්‍රතිඵල පෙන්වනවා"යි
වහසි බස් බෙණෙන බව
ඒ පාසලේ සිසු සිසුවියන් පවසති.

එවැනි පාසලක බහුතරයක් සිසු සිසුවියන්
මත්පැනට, මත්කුඩු වලට ගොදුරුවෙමින්
පෙම් සබඳතා මත ඉගෙනුම දුර්වල වෙමින්
සිසුවියන් අයථා සබඳතා මත ගැබ් ගනිමින්
සමස්ත විදුහලේම විනය පිරිහී යද්දී
ඉහළ ප්‍රතිඵල ලබන අතළොස්ස පෙන්වා
ඒ ප්‍රතිඵල වලින් පිරිහීම වසා ගන්නට
යම් විදුහල්පති කෙනෙකුට හැකිවන පරිදි
ඒ ශක්තිය ඔහුට/ඇයට ලබා දෙන්නේ
පාසලෙහි විනය නොසලකන
තම දරුවාගේ විනය නොසලකන
ඒ පාසලෙහි දරුවන්ගේම දෙමාපියන්ය.

දරුවාගේ විනය කුමක් වුවත්
අධ්‍යාපන මට්ටම ඉහළ නම්
දරුවාගේ වටිනාකම ඉහළ යන්නේ
දෙමාපියන්ද එසේම විනය පිරිහුණ
නොයෙක් දුර්වලතා ඇත්තන් නිසාය.
ගුරුවරුන් සහ විදුහල්පතිද
දෙමාපියන් මෙන්ම
විනයෙන් පිරිහුණ අය වන විට
ඔවුන්ගේ පාපය ආවරණය වන්නේ
පාසලේ අධ්‍යාපන සහතික වලිනි.

දරුවන්ගේ විනය වැනි සාධක ගැන
මෙවැනි තොරතුරු දෙමාපියන්ට ලැබුණත්
පාසල්වල ගුණාත්මක භාවය පිළිබඳ
ඔවුන්ට ලැබෙන තොරතුරු නොසලකා හැර
ඔවුන් යම් පාසල් දහයක් ඉල්ලුම් කරන්නේ
ඒ පාසල් ලබා ඇති ඡන්ද ප්‍රමාණය
අනෙක් පාසල්වලට වඩා වැඩි නිසාය.

පැරණි කඩඉම් ලකුණු සහ
පහ වසර ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව අනුව
එක වසරට ළමයින් ඇතුළත් කිරීමට
දෙමාපියෝ අවි අමෝරාගෙන යුදවදිති.
කූට විදුහල්පති වරු හෙන්චයියන් මගින්
මුදල් ගසාකති, ඉඳහිට අසුවී හිරේ යති.

සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන් සඳහා
වෙනත් පාසලක් තෝරාගැනීමට සිදුවූ විටද
මේ කඩඉම් ලකුණ මත තීරණ ගැනීමට
ක්‍රියා කරන දෙමාපියන් සිටිය හැක.

මේ ක්‍රමය බැහැරකොට
පාසල්වල ගුණාත්මකභාවය අනුව
පාසල් පෙළ ගැස්වීමට සිදුවුවහොත්
අධ්‍යාපන අමාත්‍යංශය මුහුණ දෙන
ගැටළු අසීමිත වනු ඇත.
අද දෙමාපියන් දරුවන්ද ඇදගෙන දුවන
මේ අශ්ව රේස් පිටියේ එදාට දුවන්නේ
ප්‍රාදේශීය දේශපාලනඥයන්, විදුහල්පති වරුන්,
ගුරුවරුන් සහ ඔවුන්ට සහයෝගය දෙන
මාන්නාධික දෙමාපියන් පිරිසකි.

මේ ක්‍රමය වෙනස් වෙනවා නම්
වඩාත් හොඳ නව ක්‍රමය ලෙස
අපට යෝජනා කළ හැක්කේ
අධ්‍යාපන අමාත්‍යාංශය හෝ
වෙනත් බලධාරී කමිටුවක් විසින්
පාසල් වල කඩඉම් ලකුණු තේරීම නොව
පාසල්වල ගුණාත්මක භාවය මැනීමට
බුද්ධිමත් දෙමාපියන්ට භාවිතා කළ හැකි
ගුණාත්මක භාවයට බලපාන තොරතුරු
පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි
විස්තර අඩංගු වෙබ් අඩවි සහ
පොත්පත් සකස් කිරීමය.

ඒ අනුව ලබා දිය හැකි
සාධක බොහෝය.
පාසල්වල ඇති පහසුකම්,
සිසුන් සහ ගුරුවරු සංඛ්‍යාව,
එක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව,
පාසලේ විදුහල්පතිවරයාගේ
සහ ගුරුවරුන්ගේ අධ්‍යාපනික මට්ටම,
මෙතෙක් පැවති විභාග ප්‍රතිඵල,
දුම්බීම, මත්පැන් බීම, අඬදබර වැනි
විනය හේතු මත ඉවත් කළ ප්‍රමාණය,
පෙම් සබඳතා මත පැනගිය ප්‍රමාණය,
පාසල් වියේදී ගැබ්ගත් ප්‍රමාණය ආදී
මෙකී නොකී සාධක අනුව
තොරතුරු ලබා දිය හැක.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්
මේ තොරතුරු ලබා නොදුන්නත්
අද වුවත් මේ තොරතුරු සොයා ගෙන
ඒ තොරතුරු සහිත වෙබ් අඩවි තනන්නට
කිසියම් මාධ්‍ය වේදියෙක් ක්‍රියා කළහොත්
ඒ වෙබ් අඩවි ඉතා ජනප්‍රිය වනු ඇත.
දෙමාපියන් ඒ අනුව ක්‍රියා කළහොත්
කඩඉම් ලැයිස්තුද ඒ අනුව වෙනස් වෙනු ඇත.

ඒ තොරතුරු භාවිතා කිරීමෙන්
පාසල් තෝරන දෙමාපියන් අතළොස්ස අනුව
පාසල්වල කඩඉම් ලකුණු සකස්වෙද්දී
තොරතුරු විශ්ලේෂණය කළ නොහැකි මාපියන්
ඔවුන් අනුව යනු ඇත.

මෙහි සැකෙවින් යෝජනා කරන
නව ක්‍රමය හොඳම ක්‍රමය නොවේ.
ගුණාත්මක භාවය සොයනවා නම්
භාවිතා කළ හැකි එක් ක්‍රමයකි.

පවතින ක්‍රමය අනුව රටවැසියා විසින්
රටේ පාලනයට ජනප්‍රිය මිනිසුන් තෝරන
ජනපති වරු සහ පාර්ලිමේන්තු මගින්
රට සහ ජනතාව ගෙනයන දිසාවටම
පාසල් දරුවන්ද ගෙනයන්නට අවශ්‍ය නම්
පවතින ක්‍රමය ඉතා සුදුසුය.

https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post_3.html&src=sdkpreparse