20150131

ඩෙංගු මාරාන්තික නැහැ.. [ ඇත්තද? ]




Rohitha Pradeep
Facebook January 29 at 8:20pm ·
මං හැම සේවයකටම ගරුකරන වෘත්තිකයෙක්. වෛද්‍යවරයෙක් ලෙස රටපුරා මා සේවය කල ආයතන පහේ ලොකුකුඩා හැම සේවකයෙක්ම එය දන්න දෙයක්. අද තුලාවේ වෛද්‍යවරුන්ට ගරහන අගෞරව කරන අයුරු දැක්කාම හරිම කලකිරීමක් තමයි ඇතිඋනේ. රජයන්ගෙන් අවශ්‍යප්‍ර තිපාදන නැතිකල පවා මගේ මුදල් විය්දම් කරමින් එකදිගට තනිවම දුෂ්කර ග්‍රාමීය රෝහලක තනිවම දිවාරාත්‍රී සේවය කල අයුරු මේ අයගේ ප්‍රකාශ එක්ක මතක්වෙද්දි හරි දුකක් ඇතිවෙන්නෙ.ඔය ගොඩක් අය දන්නෙ නැහැ සෞඛ්‍ය සේවයට අඩුම වියදමක් දරල වැඩිම ප්‍රතිපල අත්කරගත් රටවල් වලින් එකක් ලංකාව කියල. තමන්ට වෛද්‍යවරයෙක්ගෙන් අසාධාරනයක් වී ඇත්නම් ප්‍රසිද්ධියේ නම සමග පලකරන්න. සමස්තයට අපහාස කරන්නැතිව. මන් දන්නව මගේ මේ පොස්ටුවට කුනුහරුපෙන් වෛද්‍යවරුන්ට බනින පෝස්ටුවකට තරම් ප්‍රතිචාර නොලැබෙන බව.


ස්තූතියි රෝහිත.

ඩෙංගු මාරාන්තිකයි කියල ප්‍රචාරය වෙද්දි
මුනිවත රකින බටහිර වෛද්‍යවරුන්
ආයුර්වේද වෛද්‍යවරියක් ඩෙංගු සුව කරනවා කිව්වාම
ඩෙංගු මාරාන්තික නැහැ..
ඩෙංගු කියන්නෙ බෙහෙත් නැතත්
සියයට 80%කට ඉබේම සුව වෙන ලෙඩක්.
.
කියල සත්‍යය හෙළි කරනවා.
ඩෙංගු කියල රැවටිලා
මරණ බයෙන් මුසපත් වෙන රෝගීන්ගෙන්
කී දහසක් වෛද්‍යවරු
කී ලක්ෂයක් මුදල්
සොරකම් කරගන්නට ඇත්ද?

බටහිර වෛද්‍යවරුන් බෙහෙත් කරන්නෙ
රෝග ලක්ෂණ වලටයි.
සීදුව හන්දියෙ ඉන්න ජනප්‍රිය වෛද්‍යවරයෙක්
2008 ජූලි නව වෙනිදා
උදර කැක්කුමට හේතුව
මුත්‍රාගල් බව නොදැන
බෙහෙත් ගන්න ගියාම
කියන කියන රෝග ලක්ෂණයට
බෙහෙත බැගින් ලියලා
බැලුවාට රු. 250.කුත් ගත්තා.
කිසිම සුවයක් ලැබුණේ නැහැ..
මෙවැනි රැවටිලි වලට කීලක්ෂයක් රෝගීන්
දිනපතා ලක්වෙනවා ඇත්ද?

ඊට පසුව මුත්‍රා ගලක් වියහැකියැයි මට සිතී
ඇලකන්දෙ වෛද්‍යවරයෙක් ළඟට ගියේ
X ray කරන්න ලිපියක් ගන්නයි.
ඔහු කිව්වා ඇපෙන්ඩිසයිටිස් වෙන්නත් පුලුවන් කියලා.
මම ඇහුවා ඇපෙන්ඩිසයිටිස් නම්
පරීක්ෂණයකින් හඳුනාගන්න පුලුවන්ද කියලා.
ඔහු කිව්වා කපන්නෙ නැතුව කියන්න බෑ කියලා.
අද කාලෙ
උපදින්න ඉන්න ළමයගෙ ස්ත්‍රී පුරුෂභාවයත් කියද්දි
ඔහු කියන්නේ සත්‍යයක්ද?
නැත්නම්
ඇපෙන්ඩිසයිටිස්ද නැද්ද කියල හොයන්නෙ නැතුව
මගේ බඩ කපලා උණ්ඩුක පුච්ඡය ඉවත් කළාම
යොමු කරන ඔහුට ලැබෙන කොමිස් මුදලට
ඔහු කෑදර වුණාද?

යක්කල ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙක්
මුත්‍රා ගල දියවෙන්න බෙහෙත් දුන්නා.
ගල කුඩා වුණාට පස්සෙ ස්වාභාවිකව ඉවත් වුණා.

ඔබ කාරුණික වෛද්‍යවරයෙක් විය හැකියි.
ඒත් ඔබේ සුදු පිරුවටයෙන්
සුදර්ශන මාලගේ සහ
තවත් එවැනි අපරාධකරුවන් ආවරණය කරලා
ඔබේ පිරුවටයෙත් ලේ තවරාගන්න එපා.
බහුතරයක් දූෂිත වුණාම
ඕනම ක්ෂේත්‍රයක් පිරිහෙනවා.
සුළුතරයක්වූ යහපත් මිනිසුන්
ජාවාරම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වී
තමන්ගේ නම කෙළෙසා ගැනීම
තමන්ට කරගන්නා හානියක්..
ඔවුන්ට සුදුසු දේ
ස්වභාව ධර්මයෙන් ලැබෙනතුරු
ජනතා විරෝධය ඔවුන්ට ලැබෙන්නට
අවකාශ දෙන්න.
නැත්නම් ඔබ ද්‍රෝහි වන්නේ
අසරණ රෝගීන්ටයි..

Dhamma Brothers - නූතන අංගුලිමාලලාගේ කථාව. (in English )




සිරගත කරන ලද අපරාධකරුවෙක් යනු
එක් අවස්ථාවක හෝ අවස්ථා කිහිපයක ඇතිවූ
ආවේගයන් මත ඉන් ප්‍රකම්පිතව
තමාටත් අනුන්ටත් ඉන් සිදුවන හානි ගැන
අවසිහියෙන් මෝහයෙන් කරන ලද
එක් නරුම ක්‍රියාවක් මත සිරගතවූ කෙනෙකි.

ඒ අහඹු ක්‍රියාව ඔහුගේ ජීවිතය නොවෙයි..

ඔහුගේ ජීවිතයේ එක් මොහොතක් පමණි.

ඒ අත්දැකීම හඳුනාගෙන එහි වගකීම භාරගෙන
නැවත එවැන්නක් නොකරන්නෙමැයි සපථ කරන,
ඒ බව හැසිරීමෙන්, ක්‍රියාවෙන් පෙන්නුම් කරන සිරකරුවෙක්
සිරගෙදර වසන්නට නීතියෙන් නියම වුවත්
තව දුරටත්
ඔහු සැබැවින්ම අපරාධ කරුවෙක්ද?

http://www.dhammabrothers.com

නූතන අංගුලිමාලලාගේ කථාව. 
(in English )

“Who would ever believe this Alabama hellhole would one day
foster one of the most progressive rehabilitation programs in the world? Strange, but true...It's a powerful journey...A truly inspirational piece of documentary filmmaking.”

– Ken Fox, TV Guide's Movie Guide

  ------------------------------------------------------------------------------------

"Having lived almost 23 ½ years in the Alabama prison system,
I've lived each day not wanting to die but aware that my behavior was in fact a death sentence.
The difference Vipassana made was life instead of death to a dying man."
  Willie Carroll, Dhamma Brother
-----------------------------------------------------------------------------------
.




Jenny Phillips 
is a cultural anthropologist, writer, and psychiatric nurse.
http://dhammabrothers.com/
For over fifteen years, Phillips has provided services in the mental health department of a large medical center in Concord, MA. Her specialties include crisis intervention, family therapy, behavioral medicine, and hypnotherapy. Over the past ten years, she has worked with men in both state and county prisons, teaching courses on emotional literacy skills. In 2008, Phillips released The Dhamma Brothers into movie theatres. While working on the film, she received more than 200 letters from the Alabama prisoners documenting their lives in prison and their quest for inner peace. These collected letters were published in 2008 by Pariyatti Press as Letters From the Dhamma Brothers.







.











==============================================================

සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා සහ ඔහුගේ සහායක ගුරුවරුන්
පවත්වන ලද විපස්සනා පාඨමාලාව පිළිබඳ
වාර්තා චිත්‍රපටය.



විපස්සනා

විපස්සනා, එනම් ඇති දෑ ඇතිසැටියෙන් දැකීම ඉන්දියාවෙහි ඉගැන්වෙන අති පැරණිම භාවනා ක්‍රමයකි. වසර දෙදහස් පන්සියයකට පෙර විශ්වීය රෝගයනට විශ්ව සාධාරණ ඔසුවක් ලෙස මේ ජීවත් වීමේ කලාව ඉගැන්විණ. මේ පිළිබඳව පෙර හුරුවක් නැති අය සඳහා විපස්සනා පිළිබඳව ගොයෙන්කා තුමාගේ හැඳින්වීමක් සහ ඒ හා සබැඳි වීඩියෝ දර්ශන සහ විපස්සනා පිළිබඳ ප්‍රශ්නෝත්තර විපස්සනා පිළිබඳ ප්‍රශ්නෝත්තරද පරිශීලනය සඳහා ලබාගත හැක.



දසදිනක නේවාසික පාඨමාලාවක් මගින් විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු එයට සහභාගිවන්නන්ට ඉගැන්වෙන අතර ඵලදායී ප්‍රතිඵල ප්‍රමාණවත් අයුරින් ලැබෙන පුහුණුවක්ද ලැබෙයි. 

පාඨමාලාව සඳහා කිසිදු අයකිරීමක්, එනම් ආහාර හා නවාතැන් සඳහාවත් අයකිරීමක් කරනු නොලැබේ. සියලුම වියහියදම් සැපයෙන්නේ පාඨමාලාවකට සහභාගිවීමෙන් යහපත් ප්‍රතිඵල ලැබූ අය විසින් අන් අයටත් එම ප්‍රතිඵලම හිමිකර ගැනීමට අවස්ථාව ලබාදෙන චේතනාවෙන් පුදන දානමය පරිත්‍යාගයෙනි..

භාවනා මධ්‍යස්ථාන විශාල සංඛ්යාවක සහ මධ්යස්ථාන නොවන, තාවකාලිකව කුලියට ගන්නා  ස්ථානවලද පාඨමාලා පැවැත්වේ. සැම ස්ථානයකටම ඊටම ආවේණික පාඨමාලා මාලාවක් ඇත.
මෙම පාඨමාලාවන් බොහොමයකට වෙබ් අඩවියෙහි ඇති පාඨමාලා ලැයිස්තුවෙන් තෝරාගත් පාඨ මාලාව දිනයක් ක්ලික් කිරීමෙන් ඉල්ලුම් කළ හැක.
  ඉන්දියාව හා  ආසියා පැසිෆික් කලාපය තුළ වෙනත් බොහෝ තැන්වල පාඨමාලා පැවැත්වෙයි. ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන තුනක් ඇත. උතුරු ඇමරිකාව තුළ මධ්‍යස්ථාන දහයකි.  ලතින් ඇමරිකාව තුළ මධ්‍යස්ථාන තුනක් ඇත. යුරෝපය  තුළ  මධ්‍යස්ථාන අටකි. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තුළ මධ්‍යස්ථාන හතකි. මැද පෙරදිග සහ අප්‍රිකාව  තුළ මධ්‍යස්තාන එක බැගින් ඇත.

මධ්යස්තානයෙන් බාහිරවද නිරන්තරයෙන්ම දසදින පාඨමාලා පැවැත්වෙන්නේ එම ප්‍රදේශයක වෙසෙන විපස්සනා සිසුන්ගේ සංවිධායකත්වයෙනි. ලොව පුරා පාඨමාලා පැවැත්වෙන ස්ථානවල අකාරාදී ලැයිස්තුව of worldwide course locations is available as well as a graphical interface of course locations ලොව පුරා මෙන්ම Iඉන්දියාවේ සහ නේපාලයේ  මධ්‍යස්ථාන වල සිතියම් සටහන්ද පළ කර ඇත.  

සිර කඳවුරු  වලද විපස්සනා භාවනා පාඨ මාලාවන් ඉගැන්වේ.

 ව්‍යාපාරික විධායක නිළධාරීන් සහ රජයේ නිලධාරීන් සඳහා විශේෂ දස දින පාඨ මාලාවක් පැවැත් වේ. අමතර විස්තර සඳහා ව්‍යාපාරික විධායක නිළධාරී වෙබ් අඩවියට පිවිසෙන්න. 

තොරතුරු

ප්‍රවේශය
විපස්සනා යනු කුමක්ද?
ජීවත්වීමේ කලාව
ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන
විනය නීති සංග්‍රහය
පාඨමාලා දින සටහන
විපස්සනා ආචාර්ය පරපුර
සිපිරිගෙයින් විදසුනට
දස දින විපස්සනා පාඨමාලාවේ ධර්ම දේශනා -English
Mini Anapana Meditation - Practice for 10 Minutes









20150127

විඥාණය පිළි නොගැනීම විඥාණයෙහි ක්‍රියාවක්..





Shanilka Ariyarathne
[[[[පුද්ගලයෙක් කියන්නේ ක්‍රියවලි ගොඩක එකතුවක්...,
රූපය විතරක්ම නෙමේ කන බොන විදිය, අඳින පලඳින විදිය,
කතා බහ කරන විදිය වගේ මෙකී නොකී අනන්‍ය වුන සංරචක රාශියක එකතුවකට.....,
ආත්මයක් නෑ කියන්නේ ඔය ක්‍රියාවලි වෙන් වෙන්ව ගත්තට පස්සෙ
ආයෙ පුද්ගලයා කියලා එකෙක් ඉතුරු වෙන් නෑ....,
පාට්ස් ටික වෙන් කලාම තවදුරටත් වාහනයක් කියල එකක් නෑ වගේ....,
මෙහෙම කිව්වාම ශේප් නේද ??]]]]

Shanilka..
අවශ්‍ය කොටස් ටික එකතු කළාම
පරිගණකයක් හැදෙනවා.
ඒ පරිගණකයෙ දත්ත අරගෙන
වෙනත් අලුත් කොටස් එක් කරලා
නව පරිගණකයක් හදන්න පුලුවන්..

පළවෙනි පරිගණකය ක්‍රියා කරද්දි
සිදුවුණ සමහර දේවල්
අළුත් පරිගණකයට බලපානවා.

ඒ දත්ත සම්ප්‍රේෂණය කරන්න
මොබයිල් ෆෝන් එක, අන්තර්ජාලය
උපයෝගී කරගත්තොත්
ලෝකයේ සමහර අය
මුල් පරිගණකයට ඇති සම්බන්ධය
ප්‍රතික්ෂේප කරාවි..
ඒත් ඒක නැති වෙන්නෙ නැහැ..

අලුත් මොබයිල් ෆෝන් එකක් ගත්තාම
පරණ සිම් එක දාල වැඩ කරනවා.
ඒ දත්ත ටිකම නාලිකා රහිතව
අලුත් ෆෝන් එකට සම්ප්‍රේෂණය කරන විදියට
විඥාණය මේ ජීවිතයෙ දත්ත අරගෙන
වෙනත් කයකින් අලුත් ගමනක් අරඹනවා.
ඒ ෆෝන් එකට අනුව දත්ත හැසිරෙනවා.
නව දත්තත් එක් වෙනවා.
අලුත් ෆෝන් එක ඇතුළතින් වෙනස් වෙන්නෙ
අලුත් දත්ත නිසයි..

සත්වයාත් මේ විදියට පරණ දත්ත අනුව
අලුත් කයක් ලබාගෙන
ලැබෙන කය සහ පැරණි දත්ත අනුව
අලුත් දත්ත එකතු කරමින්
සසර සැරි සරනවා.

භවයෙන් භවයට වෙනස් වෙවී යනවා.



සසර සැරි සරන විඥාණයත්
නාලිකා රහිතව අලුත් ෆෝන් එකට
දත්ත සම්ප්‍රේෂණය කරන විදිය වැනි
පවතින දෙයක්.

අලුත් ෆෝන් එකට දත්ත සම්ප්‍රේෂණය කරන විදියත්
තේරුම් ගන්න බැරි අය ඉන්නවා.
ෆෝන් අතේ තියාගෙන බලන්න පුලුවන් නිසා
ඔවුන් බොහෝ දෙනෙක් පිළිගන්නවා.

සිහිය, උපේක්ෂාව, ප්‍රඥාව වැඩෙන විට
විඥාණයෙ ක්‍රියාකාරිත්වයත් වැටහෙනවා.

විඥාණය
කිසිවෙකුට වටහා දීමට අපහසු වීම
ඔහුගේම සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්..

මිනිස් සිත කරන කියන දේ
විඥාණයෙ තැන්පත් වෙන්නෙ
මතු ජීවිත අරබයා නෙමෙයි..
හෙට දවසේ ප්‍රයෝජනයටයි.

සියලු දත්ත වෙනස්වෙන සුලුයි.
දත්ත වැය වෙන සුලුයි.
ඒ දත්ත මතුවෙන වෙලාවට
ඒ දත්ත වෙනස් වෙන විදිය ගැන සිහියෙන්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් ඉන්න පුළුවනි නම්
පැරණි දත්ත ඉපදිලා මැකිලා යනවා.
අලුත් දත්ත එක් කිරීමකුත් නෑ.
සියලු ආගන්තුක දත්ත මැකී ගිය පසු
නැවත අලුත් ෆෝන් එකක් අවශ්‍ය නෑ.

පැරණි  දත්ත
විපස්සනා මගින් මකා දමන තුරු
ඒ දත්ත ටික කයකින් කයකට
සම්ප්‍රේෂණය වෙනවා...
කවුරු පිළිනොගත්තත්
ඒ දේ සිදු වෙනවා.

විඥාණය පිළි නොගැනීම පවා
විඥාණයෙහි ක්‍රියාවක්..

20150126

බුදු දහමෙ අරමුණ මෝහය නෙමෙයි.. සිහිය සහ උපේක්ෂාවයි..


Kus Fernando 
[[[[[භාවනාව හැමදාම නොකලත් සතියට දවස් 3ක්වත් පැය 3ක් 4ක් කරනවාමයි.
ඒක නොකලයි කියලා අවුලක් නෑ හැබැයි ඉඩක් ලැබිච්ච ගමන් ඒක කරනවා.
එකෙන් මට ලැඛෙන මානසික සුවයට මම ඒකට ඇබ්බැහිවෙලා]]]]
------------------------------------------------------------------
මානසික සුවයක් ලැබෙන්නට
ඒ සුවයට ඇබ්බැහි වෙන්නට හේතුවෙන
සමථ භාවනා වලින් කරන්නෙ
කෙනෙක් මෝහයට පත් කිරීමයි..
රාගයෙන් ද්වේශයෙන් පෙළෙන සිතකට
මෝහයත් සුවයක්.
බුදු දහමෙ අරමුණ මෝහය නෙමෙයි..
සිහිය සහ උපේක්ෂාවයි..

ඔබ රාගයෙන් සිටියත් ද්වෙශයෙන් සිටියත්
ඒ රාගය ගැන සිහියෙන්..
ඒ රාගයට උපේක්ෂාවෙන් ඉන්න
ඔබට හැකි නම් ඒ බොදු භාවනාවයි.

ඒ ද්වෙශය ගැන සිහියෙන්..
ඒ ද්වෙශයට උපේක්ෂාවෙන් ඉන්න
ඔබට හැකි නම් ඒ බොදු භාවනාවයි.

උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙක්
එයින් මිදිය යුතුයි කියල
බුදුන් වහන්සේ කියන්නෙ නැහැ..
මිදෙන්නට මාර්ගය කියනවා.

ද්වේශය ගැන සිහියෙන්...
උපේක්ෂාවෙන් ඉන්න...
එපමණයි..

බොදුනු භාවනාවෙන් ලබන සුවය
උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙකුටත්
ඒ මොහොතෙම තියනවා.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මේ තියෙන්නෙ උපරිම ද්වේශයෙන්
එනම් ක්‍රෝධයෙන් පසුවෙන කෙනෙක්
බුදුන් වහන්සේ එල්ල කරන අභියෝගය..

යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

ඉහත කොටසට අයත් නොවෙන
බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම
නිකම් තෝන් ලණුව  අල්ලන
සාමාන්‍ය රිය එළවන අන් ජනයාට අයිතියි.

බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම අතුරෙන්
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි
බුදුන් වහන්සේ කියනවා.


=============================================
වැඩි විස්තරයක්..

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී......


අපි දකින සත්‍යය ඉතා පටුයි.


සත්‍යය නම් 
මේ මොහොතෙ අප අවටත්
අප තුළත් සිදු වෙන සියලුදේ
අපට දැනෙන ආකාරයයි.

අප අවටත් අප තුළත්
මේ මොහොතෙ සිදු වෙන බොහෝ දේ
අපට දැනෙන්නෙ නැහැ..

සත්‍යය නම් එයයි..

අපට සිහිය තියනවා කියා අපි සිතුවාට
අපේ සිහිය පවතින්නෙ ඉතා පටු කොටසකයි.
අපි ලෝකය දකින්නෙ යතුරු සිදුරකින්..
අපෙ ඉන්ද්‍රියවලින් අපි සත්‍යය දකින්නෙ නැහැ.
අපි දකින සත්‍යය ඉතා පටුයි.
බොහෝ දේ ගැන අපට සිහිය නැහැ..
අපේ සිහියට අහුවෙන දේවල් වලට
එක්කො අපි කැමතියි... එක්කො අපි අකමැතියි.
මේ තුනම එකතු වුණාම
අපට දැනෙන දේ තමයි
අපට දැනෙන්න පුලුවන් සත්‍යය.

අපි දකින්නෙ මේ මොහොතෙ පවතින සත්‍යයෙන්
ඉතා සුළු ප්‍රමාණයක්..


ඔබෙ කයෙහි ඕනම කොටසකට හිත යොමු කරන්න.
ඔබට මෙතෙක් නොදැනුණු බොහෝ වේදනා තියනවා.

ඔබ අවට තියන ශබ්ද වලට
හිත යොමු කරන්න..
ඔබට නොඇසෙන බොහෝ ශබ්ද තියනවා.

ඔබේ ඇස් මේ වචන වලින් ඉවත් කර නොගෙන
ඔබේ තිරයෙත් ඒ අවටත් පෙනෙන දේට
හිත යොමු කරන්න.
ඔබට නොපෙනෙන බොහෝ දේ
ඔබ දකින රූප රාමුව තුළ තියනව..

              *
මේ තරු සලකුණ දිහා බලාගෙන
ඔබේ උඩු කය සෙමින් දෙපසට එහා මෙහා කරන්න..
ඒ සමගම අවට පරිසරය
කොතරම් වෙනස් වෙනවාද කියා
විමසිල්ලෙන් ඉන්න..
මේ අත්දැකීම ඔබ ඇවිදින විටත් තියනවා.
බුදුන් වහන්සේ භික්ෂූන්ට උපදෙස් දුන් පරිදි
විය දණ්ඩක දුර බලාගෙන
අවට ගැන සිහියෙන් ඇවිදින කෙනෙකුට
මේ වෙනස පෙනෙනවා.

පසිඳුරන්ගෙන් ලැබෙන සියලුම තොරතුරුත්,
ඒ තොරතුරුවලට
මනස දක්වන සියලු ප්‍රතිචාරත් ගැන
සිහියෙන් ඉන්න කෙනෙකු ලෝකය දකින ආකාරය
ඔහු මේ මොහොතෙහි අත් දකින සත්‍යයයි.
අපට ඒ සත්‍යය බොහෝ දුරයි.

අපි මේ ඉන්න පටු රාමුවෙන් මිදිලා
ඒ සම්පූර්ණ සත්‍යය දකින විට
අපි නිදහස් පුද්ගලයන්.

රහතන් වහන්සේ කෙනෙක් අත්දකින
නිවන එයයි..

නිවන අප තුළ දියුණු කරන්න නම්
සිහිය පිහිටුවා ගත යුතුයි.

විද්‍යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා.


විද්‍යාවෙ සිදුවෙන වෙනස්වීම වෙනස්...

අසම්පූර්ණ දේකට කෑලි ෆිට් කරද්දි
ගැලපෙන කෑලි සහ නොගැලපෙන කෑලි ෆිට් වෙද්දි
සිදුවෙන විදියෙ වෙනස්වීමක්...
.
විද්‍යාව කියන්නෙ
විවිධ පුද්ගලයන් විසින්
විශ්වයේ ධර්මතා පිළිබඳ කරන සොයා ගැනීම්
ෆිට් කරල හදන ප්‍රහෙළිකා විසඳුමක්..

එක් සොයා ගැනීමකින් පසුව
මුල් සොයා ගැනීමක් වැරදියි හෝ
නිවැරදියි කියල හෙළි වෙනවා.
විද්‍යාව කියල අපි මේ දකින රූපයෙ
නිශ්චිත, අකාලික ධර්මතා නැහැ..
මූලික හරය බලද්දි අකාලික ධර්මයක් වුණත්
විද්‍යාවෙන් මැනීමට වෑයම් කිරීම සහ අර්ථ දැක්වීම අනුව
බොහෝ විට සාපේක්ෂ සත්‍යයක් වෙනවා.

වසර දහස් ගණන් මිනිසුන් ප්‍රයෝගිකව භාවිතා කළ
අකාලික ධර්මතාවයන්
විද්‍යාවේ පටු, අසම්පූර්ණ මානයන්ගෙන්
මනින්නට අර්ථ දක්වන්නට වැයම් කිරීමෙදි
අසාර්ථක්වෙන විද්‍යාව ඒ ධර්මතා
අහඹුවක් ලෙස හෝ මිථ්‍යාවක් ලෙස බැහැර කරනවා.
අන්ධයෙකුගෙ අර්ථ කථනය
තවත් අන්ධයෙකුට සත්‍යයක්.
ඔවුන් දෙදෙනාටම වැරදුණ බව
ඇස් ඇති කෙනෙකුට පෙණුනත්
තෝරා දෙන්නට හැකියාවක් නෑ.
කවුරු වුණත් වතුර රත් කෙරුවොත්
වතුරෙ උෂ්ණත්වය වැඩි වෙලා
වතුර නටනවා.
වතුර වාශ්ප වෙනවා

සරල පොදු සත්‍යයක්.
විද්‍යාවට මේ අවබෝධය මදි.
මේ සංසිද්ධිය මනින්න, ලේඛනගත කරන්න
විද්‍යාවට අවශ්‍යයි.
මුහුදු වෙරළෙ ඉන්න කෙනෙක් වතුර රත් කරලා
නිගමනය කරනවා වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි.

ඒ කොන්දේසි සහිත සත්‍යයක්.
කන්දක් මුදුනට ගියාම සත්‍යය වෙනස් වෙනවා.
ඊට පස්සෙ 
ඒ ගැන හොයන කෙනෙක්
පීඩනය අඩු නිසා කියල හොයා ගන්නවා.
විද්‍යාව පෝෂණය වෙන්නෙ එහෙමයි.

බුදු දහම සොයාගෙන අවසන්.
දුක් විඳින බව වැටහෙන පුහුදුන් කෙනෙක්
දුක නිවන මග - විදසුන් මගෙහි ගියොත්
අවස්ථා හතරකින් දුකෙන් මිදෙනවා.
මේ සත්‍යය කාට වුණත් නිශ්චිතයි.. අකාලිකයි.
වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. කියල
බුදු දහම කියන්නෙ නැහැ..
බුදු දහම කියන්නෙ
රත් කෙරුවොත් වතුර වාශ්ප වෙනවා
කියල විතරයි..
අදාළ පුද්ගලයාට
විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්.
ඔහුගෙ අංශකය ඔහු හොයා ගනීවි.
ඔහුගෙ දැනුම ඔහුම අත්දැකීමෙන් පසක් කළ
ඔහුටම අවේණික සත්‍යයක්. ඒත් අකාලික සත්‍යයක්.
රහතන් වහන්සේලා සියයක් ගත්තත්
උන් වහන්සේලා දුටු දේ එකයි.
ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නෙ නැහැ.

විද්‍යාඥයන්ට එහෙම අවස්ථාවක්
කවදාවත් අත්විඳින්න බැහැ..
ඔවුන් හැමවිටම ගත කරන්නෙ
විචිකිච්ඡාවෙන්. සැකයෙන්..
දැනුම හොයන අය විද්‍යාවට කැමතියි..
මුහුදු වෙරළෙදිවත්, කඳු මුදුනකවත්
කවදාවත් වතුර රත් නොකළ කෙනෙක්
පන්තිකාමරයක හෝ පුස්තකාලයකදි
වතුර වාශ්ප වීම ගැන
විශාල තොරතුරු ගොඩක් හොයාගෙන රැස් කරගෙන
උපාධි කිහිපයක් අරගෙන
ඒ දැනුම අනිත් අයටත් දෙමින්
ධනයක් මෙන් දැනුම භාවිතා කරමින්
ධනවත් ජීවිතයක් ගෙවන්න පුලුවන්.
දැනුමෙන් පෝෂණය වෙන බුද්ධිමතාට
ධනවතෙකුට ධනය මෙන් දැනුම බරක්..

බුදු දහම තුළින්
ඒ ධර්මතාවයම පසක් කරන කෙනෙක්
වතුර වාශ්පවීම විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
ඔහුට අංශක ගණන අවශ්‍ය නැහැ.
ඔහු අනවශ්‍ය වෙලාවට
ඒ ගැන හිතන්නෙ වත් නෑ.
මුහුදු වෙරළෙ වෙනස සහ
කඳු මුදුනෙ වෙනස ඔහු දකින්නෙ
වතුර නටන්න ගතවන කාලයෙහි
වෙනසක් විදියට විය හැකියි.
ඔහු දන්න දේ ඔහුට බරක් නොවෙයි.
ප්‍රඥාව බරක් නෙමෙයි..


20150123

විශ්වයෙහි ආරම්භය සහ එහි ඉරණම - ස්ටීවන් හෝකින්



  විශ්වයෙහි පැවැත්ම පිළිබඳව හැදෑරූ
ලොව පළමු පෙළේ විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින්  විසින්
The Theory  of Everything - සියලු දේ පිළිබඳ න්‍යාය යන මැයෙන්
පවත්වන ලද දේශන හතක් ඇසුරින් සකස් කරන ලද
ඔහුගේ The Theory  of Everything නමැති කෘතියෙන් 
මහින්ද ගුණවර්ධන විසින් කරන ලද පරිවර්තනයකි මේ.


පහත පළ වන්නේ 
පස්වැනි පරිච්ඡේදයේ මුල් කොටසයි.


1970 ගණන් පුරාවට ම මම ප‍්‍රධාන වශයෙන් වැඩ කරමින් සිටියේ කළු කුහර සම්බන්ධව ය. කෙසේ නමුත්, 1981 දී විශ්ව විද්‍යාව පිළිබඳව වතිකානුවේ පැවැති සම්මන්ත‍්‍රණයකට සහභාගි වූ අවස්ථාවේ දී විශ්වයේ ආරම්භය සම්බන්ධ ප‍්‍රශ්න පිළිබඳව මා තුළ වූ උනන්දුව නැවත ඉස්මතු විය. විද්‍යාවේ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ‘සූර්යයා පෘථිවිය වටා ගමන් කරනවා’ යනුවෙන් නීතියක් පැනවීම මගින් කතෝලික පල්ලිය වස වැරැුද්දක් කර තිබුණි. ශත වර්ෂ ගණනාවකට පසු, දැන්, විශේෂඥයන් ගණනාවක් ගෙන්වා ගෙන විශ්ව විද්‍යාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම වඩා හොඳ යැ යි එය තීරණය කර තිබුණි. සම්මන්ත‍්‍රණය අවසානයේ දී ඊට සහභාගීවූවන්ට, පාප් වහන්සේ සමග ප්‍රෙක්ෂකාගාරයක එක්වන්නට අවසර ලැබුණි. මහා පිපිරුමට පසු විශ්වයේ පරිනාමය ගැන අධ්‍යයනය කළාට කමක් නැත, එහෙත් මහා පිපිරුම යනු නිමැවුම් අවස්ථාව වන බැවින්, එය දෙවියන්ගේ කෘතියක් වන නිසා, එ් පිළිබඳ විමසීම නොකළ යුතු යැයි ඔහු අපට කීවේ ය.
සම්මන්ත‍්‍රණයේ දී එයට මොහොතකට පෙර මා ප‍්‍රකාශ විෂය පිළිබඳව ඔහු නොදැන සිටීම ගැන එ් අවස්ථාවේ දී මම සතුටට පත්වීමි. ගැලීලියෝට අයත් වූ ඉරණම සම්බන්ධව කතා කරන්නට මට උවමනාවක් නොතිබුණි. ගැලීලියෝ ගැන මට විශාල ශෝකයක් තිබේ, එක් අතකින් ඔහු මියගොස් හරියටම අවුරුදු 300කට පසු මා ඉපදුනු නිසා ය.
මහා පිපිරුම් මොඩලය
මගේ ලේඛනය කුමක් සම්බන්ධයෙන් ද යන්න පැහැදිලි කිරීම් වස්, මුලින්ම, ”ගිනියම් මහා පිපිරුම” අනුසාරයෙන් පොදුවේ පිලිගැනීමට ලක්ව ඇති විශ්වයේ ඉතිහාසය ගැන විස්තර කරන්නෙමි. මෙය උපකල්පනය කරන්නේ, මහා පිපිරුම දක්වා දිවෙන විශ්වය පිළිබඳව විස්තර කෙරෙන ෆ‍්‍රීඞ්මාන් මොඩලයකි. මෙවැනි මොඩලවලට අනුව විශ්වය ප‍්‍රසාරණය වීමේ දී එහි ඇති පදාර්ථවල උෂ්ණත්වය සහ එ්වායේ විකිරණශීලීත්වය පහළ බසී. සරලව සලකා බලන විට, උෂ්ණත්වය, අංශුවල සාමාන්‍ය ශක්තියේ මිනුමක් වන හෙයින්, මේ සිසිල්වීම පදාර්ථය කෙරෙහි වන ප‍්‍රධාන බලපෑමක් වෙයි. ඉතා ඉහළ උෂ්ණත්වවල දී අංශු ඉතා වේගයෙන් චලනය වෙමින් පවතිනු ඇති අතර, න්‍යෂ්ටික හෝ විද්‍යුත් චුම්බක බල හේතු කොට ගෙන එ්වා එකිනෙක අතර හටගන්නා ආකර්ෂණයෙන් බේරී යා හැකි ය. එහෙත් එ්වා සිසිලනය වන විට, අංශු අතර ඇතිවන ආකර්ෂණය නිසා එ්වා එකිනෙක ආකර්ෂණය වී කැටි ගැසෙනු ඇති බව බලාපොරොත්තු විය හැකි ය.
මහා පිපිරුමේ දී, විශ්වය ශුන්‍ය ප‍්‍රමාණයෙන් වූ අතර, අනන්ත ප‍්‍රමාණයෙන් ගිනියම්ව තිබිය යුතු වෙයි. එහෙත්, විශ්වය ප‍්‍රසාරණය වීමේ දී විකිරණයේ උෂ්ණත්වය පහත වැටෙන්නට ඇත. මහා පිපිරුමෙන් තත්පරයකට පසු අංශක මිලියන දස දහසක පමණ ප‍්‍රමාණයකට උෂ්ණත්වය අඩු වන්නට ඇත. මෙය සූර්යයාගේ මධ්‍යයේ ඇති උෂ්ණත්වය මෙන් දහස් ගුණයකි. එමෙන් ම හයිඩ‍්‍රජන් බෝම්බ පිපිරීමේ දී හට ගන්නා උෂ්ණත්වය තරමට ම ඉහළ අගයකි. මේ අවස්ථාවේ දී විශ්වයට විශාල වශයෙන් පොටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුටි‍්‍රන සහ එ්වායේ ප‍්‍රති අංශු ද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ප‍්‍රමාණයක් ද අයත් විය.
තවදුරටත් විශ්වය ප‍්‍රසාරණය වෙමින් ද උෂ්ණත්වය පහළ වැටෙමින් ද තිබිය දී විශාල ගැටුම්වලින් නිපදවෙන ඉලෙක්ට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන යුගල අනුපාතය එ්වා විකිරණයට හැරවීම මගින් සිදුවන විනාශ වීමේ අනුපාතයට වඩා අඩු තත්ත්වයකට වැටුණි. එ්නිසා ඉලෙක්ට්‍රෝන සුළු ප‍්‍රමාණයක් පමණක් ඉතිරි කර ඉතිරි ඉලෙක්ට්‍රෝන සහ ප‍්‍රති ඉලෙක්ට්‍රෝන විකිරණයට හැරී වඩ වඩා පොටෝන නිපදවිය.
මහා පිපිරුම සිදු වී තත්පර සියයකට පමණ පසු උෂ්ණත්වය අංශක මිලියන එක් දහසක් දක්වා පහත වැටුණි. මෙය උණුසුම් වැඩි ම තාරකාවල අභ්‍යන්තර උෂණත්වය යි. මේ උෂ්ණත්වයේ දී ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට බලගතු න්‍යෂ්ටික බලයේ ආකර්ෂණයෙන් මිදෙන්නට තවදුරටත් ප‍්‍රමාණවත් ශක්තියක් නොපවතී. එ්වා එකට එකතු වී එක් ප්‍රොටෝනයක් හා එක් න්‍යුට්‍රෝනයක් අයත් ඩියුටීරියම් හෝ බැර හයිඩ‍්‍රජන් හෝ න්‍යෂ්ටි නිෂ්පාදනය කරයි. ඉන්පසු ඩියුටීරියම් න්‍යෂ්ටිවලට තවත් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වී ප්‍රෝටෝන දෙකක් සහ න්‍යුට්‍රෝන දෙකක් සහිත හීලියම් න්‍යෂ්ටි නිපදවනු ලබයි. ඉතා කුඩා ප‍්‍රමාණවලින් ලිතියම් හා බෙරිලියම් වැනි බර ලෝහ ද තිබේ.
ගිනියම් මහා පිපිරුම් මොඩලයේ දී ප්‍රෝටොන් සහ නියුට්‍රෝන් ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ හීලියම් න්‍යෂ්ටි බවට පත් වූ බවට ගණනය කළ හැකි ය. ඉතා කුඩා ප‍්‍රමාණයක් බැර හයිඩ‍්‍රජන් බවටත් අනෙක් අංශු බවටත් පත් විය. ඉතිරි නියුට්‍රෝන සාමාන්‍ය හයිඩ‍්‍රජන් පරමාණුවල න්‍යෂ්ටි වශයෙන් ප්‍රොටෝන් බවට දිරා පත් විය. මේ අනාවැකි නිරීක්ෂණ සමග ඉතා හොඳින් එකඟ වෙයි.
ගිනියම් මහා පිපිරුම් මොඩලය ගිනියම් මුල් අවධිවල දී ඉතිරි වූ විකිරණය නිරීක්ෂණය කළ හැකි බවට අනාවැකි පළ කරයි. කෙසේ නමුත්, විශ්වයේ ප‍්‍රසාරණය නිසා උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යයට වඩා අංශක කිහිපයකට ඉහළ අගයක් දක්වා අඩු විය. මෙය 1965 දී පෙන්සියාස් සහ විල්සන් විසින් සොයා ගන්නා ලද විකිරණශීලීතාවේ මයික්‍රෝ තරංග පසුබිම මගින් පැහැදිලි කරන ලද තත්ත්වය යි. මේ නිසා යටත් පිරිසෙයින් මහා පිපිරුමෙන් පසු පළමුවන තත්පරයේ දී ඇති වූ තත්ත්වයේ පැහැදිලි චිත‍්‍රය පිළිබඳ අපට ඉමහත් ලෙස ස්ථිර විශ්වාසයක් තිබේ. මහා පිපිරුමෙන් පැය කිහිපයකට පසු හීලියම් සහ අනෙක් අංශු නිෂ්පාදනය නතර විය. ඉන්පසු, ඊළඟ අවුරුදු මිලියන දක්වා වැදගම්මකට ඇති විශේෂත්වයක් සිදු නොකරමින් විශ්වය ඔහේ ප‍්‍රසාරණය වෙමින් තිබුණි. අවසානයේ දී, උෂ්ණත්වය අංශක කිහිප දහසකට අඩු වූ විට, ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිවලට එ්වා අතර විද්‍යුත් චුම්බක ආකර්ෂණය මැඩ පැවැත්වීමට තරම් ප‍්‍රමාණවත් ශක්තිය නැති විය. එවිට, එ්වා එකිනෙක එ්කාබද්ධ වී පරමාණු බවට පත්වීම ආරම්භ විය.
විශ්වය සම්පූර්ණ එ්කකයක් ලෙස සැලකූ විට එය ප‍්‍රසාරණය වීමත් සිසිල් වීමත් දිගට ම සිදු විය. කෙසේ නමුත්, සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා යාන්තමින් වැඩි ඝනත්වයෙන් යුත් කලාපවල ප‍්‍රසාරණය, අමතර ගුරුත්වාකර්ෂණයේ බලපෑම හේතු කර ගෙන අඩු විය. අවසානයේ දී ඇතැම් කලාපවල ප‍්‍රසාරණය නැවතී එ්වා නැවත බිඳ වැටෙන්නට හේතු විය. එ්වා බිඳ වැටෙමින් තිබිය දී මේ කලාපවලින් පිටත වූ ද්‍රව්‍යවල ගුරුත්වාකර්ෂණ ඇදීම එ්වා ස්වල්ප වශයෙන් කරකවන්නට පටන් ගත්තේය. බිඳ වැටීම් සිදුවන කලාපය කුඩා වීමේ දී එ්වා වඩාත් වේගයෙන් බමන්නට පටන් ගනියි. මෙය හරියට ම ස්කේට් ක‍්‍රීඩකයන් ඔවුන්ගේ අත් ඇදීම මගින් අයිස් මත වඩා වේගයෙන් බමන පරිද්දෙනි. අවසානයේ දී, ප‍්‍රමාණවත් තරමට කලාප කුුඩා අවස්ථාවල දී එ්වා ගුරුත්වයේ ආකර්ෂණය සමබර කර ගැනීමට හැකි වන තරම් වේගයෙන් බමන්නට පටන් ගත්තේය. මේ ආකාරයට, භ‍්‍රමණය වන ගැලැක්සිවල උපත සිදු විය.
කාලය ගතවීමේ දී, ගැලැක්සි, ඊටත් වඩා කුඩා එමෙන් ම, තමන්ගේ ම ගුරුත්වය යටතේ වූ වලාකුළුවලට බිඳ වැටුණි. මේවා හැකිළීමේ දී, වායුවල උෂ්ණත්ව න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයා ආරම්භ කිරීමට හැකි තත්ත්වය දක්වා උණුසුම් විය. මේවා හයිඩ‍්‍රජන් වඩා වඩා හීලියම් බවට පත් කළේ ය. ඉවත් වූ තාපය පීඩනය වැඩි කරන ලද අතර, වළාකුළු තවදුරටත් හැකිළීම නතර කළේ ය. මේවා මේ තත්ත්වයෙන්, අපගේ සූර්යයා වැනි තාරකා ලෙසින් දීර්ඝ කාලයක් පැවති අතර, හයිඩ‍්‍රජන් හීලියම් දවාලීමේ දී නිකුත් වන ශක්තිය තාපය සහ ආලෝකය ලෙසට විකිරණය කළේ ය.
බෙහෙවින් විශාල දැවැන්ත තාරකාවලට එ්වායේ බලවත් ගුරුත්ව ආකර්ෂණය සමබර කර ගැනීම සඳහා වඩාත් ගිනියම් වීම අවශ්‍ය විය. මෙය න්‍යෂ්ටික විලයනය ප‍්‍රතිකි‍්‍රයා වඩා කඩිනමින් ව සැකසීම කෙරෙහි බල පෑ අතර, මේ හේතුව නිසා එ්වායේ හයිඩ‍්‍රජන් අවුරුදු මිලියන සියයක් තරම් අඩු ප‍්‍රමාණයකට ප‍්‍රමාණවත් විය. එවිට, එ්වා තරමක් සංකෝචනය වූ අතර, තවදුරටත් රත් වීමේ දී හීලියම්, කාබන් හා ඔක්සිජන් වැනි වඩා බර මූල ද්‍රව්‍ය බවට පරිවර්තනය ආරම්භ විය. කෙසේ නමුත්, මෙය, එතරම් විශාල ප‍්‍රමාණයක් ශක්ති ප‍්‍රමාණයක් මුදා හළේ නැත. කළු කුහර සම්බන්ධ මගේ දේශනයේ දී පැහැදිලි කළ පරිදි මේ නිසා ගැටලූවක් පැන නගියි. ඊළ`ගට ඇති වූ දෙය එතරම් පැහැදිලි නැති වුවත්, තාරකාවේ මධ්‍ය ප‍්‍රදේශ ඉතා ඝන තත්ත්වයෙන් යුත් නියුට්‍රෝන තරු හෝ කළු කුහර බවට බිඳ වැටෙයි. තාරකාවේ පිටත කලාප සුපර්නෝවා නමින් හඳුන්වනු ලබන අති දැවැන්ත පිපිරුමකට බඳුන් විය හැකි අතර, ඒ නිසා ගැලැක්සියේ අනෙක් තරු වඩාත් බැබලීමට ලක් වෙයි. තරුවේ ජීවිතයේ අවසාන කාලය ආසන්නයේ දී නිපදවෙන ඇතැම් බර මූලද්‍රව්‍ය ගැලැක්සියේ වායුව තුළට විසි වෙයි. මේවා ඊ ළ`ග තරු පරම්පරාවේ සමහර අමුද්‍රව්‍ය නිපදවයි.
අපගේ සූර්යයා දෙවන හෝ තුන්වන හෝ පරම්පරාවේ තාරකාවක් වන නිසා එහි මෙවැනි බර මූල ද්‍රව්‍යවලින් සියයට 2ක් පමණ අන්තර්ගත ය. කලින් තිබුණු සුපර්නෝවාවල ශේෂ අන්තර්ගත වූ භ‍්‍රමණය වන වායු වලාවකින් එය අවුරුදු මිලියන පන්දහසකට පමණ පෙර නිර්මාණය විය. එ් වලාකුළට අයත් වායුවලින් වැඩි ප‍්‍රමාණයක් සූර්යයා නිර්මාණය කිරීමට හෝ පුපුරා යන්නට හෝ ඇත.
කෙසේ නමුත්, සූර්යයා වටා කක්ෂ ගත වී ඇති පෘථිවිය වැනි ද්‍රව්‍ය සෑදීමට වඩා විශාල මූල ද්‍රව්‍යවල කුඩා ප‍්‍රමාණයක් එකට එකතු විය.

විවෘත ප‍්‍රශ්න ආරම්භයේ දී බෙහෙවින් රත් ව තිබී ප‍්‍රසාරණය වන විට සිසිල් වූ විශ්වයක් ගැන වූ මේ චිත‍්‍රය අද දවසේ අපට තිබෙන සියලූම නිරීක්ෂිත සාක්ෂි හා එකඟ වෙයි.
එසේ වුවත්, එය පිළිතුරු නො සැපයූ ප‍්‍රශ්න ගණනාවක් ඉතිරි කර තිබේ. පළමු වැන්න: ආරම්භක විශ්වය එ් සා රත් වූයේ ඇයි? දෙවැන්න: විශ්වය විශාල පරිමාණයෙන් එ්කාකාරී වූයේ ඇයි - අවකාශය සෑම ලක්ෂ්‍යයක දී ම සහ සෑම දිශාවක දී ම එක ම ලෙසින් දිස් වන්නේ ඇයි?
තුන්වැන්න: නැවත ඝට්ටනය වීම යන්තම් වැළැක්වීම ප‍්‍රමාණවත් තරමේ තීරණාත්මක ප‍්‍රසාරණ අනුපාතයට ආසන්නයෙන් විශ්වය ආරම්භ වූයේ ඇයි? මහා පිපිරුමට තත්පරයකට පසුව ඇති වුණු ප‍්‍රසාරණ අනුපාතය මිලියන එක් දහස් මිලියන ප‍්‍රමාණයකින් පංගුවකින් වෙනස් වූයේ නම්, විශ්වය කිසි දිනෙක වර්තමාන ප‍්‍රමාණයට ළඟා නො වන තරමට නැවත බිඳී යන්නට ඉඩ තිබුණි. අනෙක් අතට, ප‍්‍රසාරණ අනුපාතය එක් තත්පරයක දී එ් ප‍්‍රමාණය මෙන් වැඩි වුණි නම්, විශ්වය බෙහෙවින් ප‍්‍රසාරණය වී මේ වන විට, මුළුමණින් ම හිස් විය හැකි ව තිබුණි.
හතරවැන්න: විශ්වය මහා පරිමාණයෙන් ඉතා ම එ්කාකාරී ද සමජාතීය ද වුව එහි ප‍්‍රාදේශීය තරු හා තාරකා මණ්ඩල වැනි ගැට අඩංගු ය. මුල් කාලීන විශ්වයේ එක් කලාපයක සිට අනෙක් කලාපයට ඝනත්වයෙහි කුඩා වෙනස්කම්වලින් සංවර්ධනය වන්නට ඇතැ යි කල්පනා කරනු ලැබේ. මේ ඝනත්ව උච්ඡාවචනවල ආරම්භය කුමක් ද?
සාමාන්‍ය සාපේක්ෂතාවාදයට, එයට ම පමණක් මේ තත්ත්ව ගැන පැහැදිලි කළ නො හැකි වන අතර, ඉහත ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට ද නො හැකි ය. මීට හේතුව වන්නේ එය, මහා පිපිරුම් එ්කත්වය අවස්ථාවේ දී විශ්වය අනන්ත ඝනත්වයකින් ආරම්භ වූ යේ යැ යි අනාවැකි පළ කරන නිසා ය. එ්කත්වයේ දී සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ අනෙක් භෞතික නියම සියල්ල ද බිඳ වැටෙයි. එ්කත්වයෙන් පැන නැගිය හැක්කේ කුමක් දැ යි අනාවැකි කීමට කිසිවෙකුට නො හැකි ය. මා, ඉහත දී පැහැදිලි කරන ලද පරිදි මෙහි අදහස වන්නේ න්‍යායේ මහා පිපිරුමට පෙර සිදු වී ඇතැයි සිතන ඉසව්වලින් අප නිරීක්ෂණය කරන දේවල් කෙරෙහි බලපෑම් කළ නො හැකි දේවල් කපා හැරිය යුතු බව ය. අවකාශ-කාලයට මහා පිපිරුමේ දී මායිමක් තිබිය යුතු ය. විශ්වය මහා පිපිරුම් අවස්ථාවේ දී අප අද නිරීක්ෂණය කරන තත්ත්වයට මග පෙන්වන ආකාරයේ ක‍්‍රමයකට අනුව ආරම්භ වූයේ ඇයි? විශ්වය එ්කාකාර වී නැවත බිඳ වැටීම වැළැක්විය හැකි තීරණාත්මක සීමාවේ නතර වූයේ ඇයි?
විශ්වය සඳහා තිබිය හැකි වූ මූලික වින්‍යාස සැලකිය යුතු සංඛ්‍යාවක් පරිනාමය වී අප නිරීක්ෂණය කරන විශ්වය ගොඩ නැගුනේ යැ යි පෙන්විය හැකි නම් වඩාත් සතුටට පත් විය හැකි ය.
එය එසේ නම්, යම් ආකාරයක අහඹු මූලික කොන්දේසි යටතේ සංවර්ධනය වූ විශ්වයෙහි අප නිරීක්ෂණය කරන කලාප වැනි එ්වා ගණනාවක් තිබිය යුතු ය.
බෙහෙවින් වෙනස් කලාප ද තිබිය හැකි ය. කෙසේ නමුත්, මේ කලාප ගැලැක්සි සහ තරු නිර්මාණය වීමට සුදුසු නො වීමට ද පුළුවන. යටත් පිරිසෙයින් අප දන්නා පරිදි බුද්ධිමත් ජීවය ආරම්භ වීම සඳහා අත්‍යවශ්‍ය මූලික කොන්දේසි තිබේ. මේ අනුව එවැනි කලාප වෙනස් නිසා, නිරීක්ෂණය කිරීමට එ්වායේ ජිවීන් අඩංගු නැත.
විශ්ව විද්‍යාව ගැන සැලකීමේ දී අප ජීවත් වන්නේ බුද්ධිමත් ජීවයට සුදුසු කලාපයක බවට වන තෝරා ගැනීමේ මූල ධර්මය සැලකිල්ලට ගත යුතු ය. මේ බෙහෙවින් ප‍්‍රත්‍යක්ෂ සහ මූලික සැලකිල්ලට භාජනය කිරීම ඇතැම් විට ඇන්ත්‍රොපික් මූල ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් අතට විශ්වයේ මුල් අවස්ථාව අප අවට නිරීක්ෂණය කරන දෙය ලෙස වන ලෙස ඉතා ම ප‍්‍රවේශමෙන් තෝරා ගැනීමට සිදු වූ යේ යැ යි සිතන්න. එවිට, විශ්වයේ ජීවය අඩංගු වන වෙනත් කලාපයක් තිබීමට ඉඩ නැති තරම් ය.
මා කලින් පැහැදිලි කළ රත් වූ මහා පිපිරුම් ආකෘතියේ දී එක් කලාපයක සිට තවත් කලාපයකට තාපය ගලා යන්නට තරම් ප‍්‍රමාණවත් කාලයක් විශ්වයට නො තිබුණි. මින් අදහස් කරන්නේ අප නිරීක්ෂණය කරන සෑම දිශාවකට ම අයත් ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි එක ම උෂ්ණත්වය තිබෙන පරිදි විශ්වයේ විවිධ කලාප හරියට ම එක ම උෂ්ණත්වයක් තුළ ආරම්භ විය යුතු ව තිබුණු බව ය.
මේ වන තෙක් නැවත බිඳී නො යන පරිදි විශ්වයේ මූලික ප‍්‍රසාරණ අනුපාතය ඉතා නිවැරදි ව තෝරා ගැනීම ද අවශ්‍ය විය. මින් අදහස් කෙරෙන්නේ රත් වූ මහා පිපිරුම් ආකෘතිය කාලයේ ආරම්භය දක්වා නිවැරදි නම්, විශ්වයේ මූලික අවස්ථාව, ඉතා ප‍්‍රවේශමෙන් තෝරා ගත යුතු ව තිබුණු බව ය. අප වැනි ජීවීන් මැවීමේ චේතනාවෙන් යුත් දෙවියන්ගේ කි‍්‍රයාවක් ලෙස විශ්වය මේ ආකාරයට ආරම්භ වූයේ ඇයි දැ යි පැහැදිලි කිරීම අතිශයින් ම දුෂ්කර ය.

උද්දමනකාරී ආකෘතිය
------------------------------------
රත් වූ මහා පිපිරුම් ආකෘතියේ මුල් අවස්ථාව පිළිබඳ මේ දුෂ්කරතාව මඟ හැරීම සඳහා, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඇලන් ගුත් නව ආකෘතියක් ඉදිරිපත් කළේ ය. ඊට අනුව, ආරම්භක වින්‍යාස රාශියක් වර්තමාන විශ්වය වැන්නක් නිර්මාණය කිරීම සඳහා පරිණාමය වන්නට පුළුවන. ආරම්භක විශ්වයට ඉතා ක්ෂණිකව හෝ දර්ශක ලෙස හෝ ප‍්‍රසාරණයක් තිබිය හැකි බවට ඔහු යෝජනා කළේ ය. මේ ප‍්‍රසාරණය උද්ධමනකාරී ය. (උද්ධමනය යනු සෑම රටක ම සිදුවන මිල ගණන් ඉහළ හෝ පහළ හෝ යාම විස්තර කෙරෙන පදයකි.* සමහරවිට, මිල උද්ධමනය සම්බන්ධ ලෝක වාර්තාව හිමි වන්නේ මාක් එකකට වඩා අඩු ව තිබූ පාන් ගෙඩියක මිල මාස කිහිපයකට පසු මාක් මිලියන ගණනකට ඉහළ නැගි පළමුවැනි ලෝක යුද්ධයෙන් සුළු කලකට පසු ජර්මනියට ය.) එහෙත් අප සිතන උද්ධමනය තත්පරයකින් මිලියන, මිලියන, මිලියන, මිලියන, මිලියනයක තරම් ඉතා සුළු වෙනසකට හෝ සිදුවන විශ්වයේ ප‍්‍රමාණයේ අති මහත් වෙනසකි. සත්‍ය වශයෙන් ම එ් වර්තමාන රජයට පෙර ය.
විශ්වය බෙහෙවින් රත් වූ මහා පිපිරුමෙන් ආරම්භ වූ බවට ගුත් යෝජනා කළේ ය. එවැනි අධික උෂ්ණත්වවල දී ප‍්‍රබල සහ දුර්වල න්‍යෂ්ටික බල හා විද්‍යුත් චුම්බක බලය යන සියල්ල තනි බලයකට එ්කාබද්ධ වන බව අපේක්ෂා කළ හැකි ය. විශ්වය ප‍්‍රසාරණය වීමේ දී, එය සිසිල් වූ අතර, අංශු ශක්තිය පහළ බසී.
අවසානයේ දී සංක‍්‍රාන්ති අවධිය උදා වූ අතර, බල අතර සමමිතිය බිඳ වැටුණි. ප‍්‍රබල බලය දුර්වල සහ විද්‍යුත් චුම්බක බලවලින් වෙනස් විය. එක් සරල නිදසුනක් වන්නේ ජලය සිසිල් කරන විට මිදෙන අවස්ථාවේ ඇති වන සංක‍්‍රාන්ති අවධිය යි. ද්‍රව ජලය සෑම ලක්ෂ්‍යයක දී සෑම දිශාවකට ම එක සේ සමමිතික ය. කෙසේ නමුත්, අයිස් ස්ඵටික නිර්මාණය වීමේ දී එ්වාට නිශ්චිත ස්ථාන අයත් වන අතර, එ්වා එක් දිශාවකට පෙළ ගැසෙයි. මෙය ජලයේ සමමිතිය බිඳ දමයි. ජලය සම්බන්ධ ප‍්‍රශ්නයේ දී, ප‍්‍රවේශමෙන් එය ”සුපිරි සිසිල්” තත්ත්වයට පත් කළ හැකි ය. එනම්, අයිස් ගොඩ නගන්නේ නැති ව මිදෙන උෂ්ණත්වයෙන් -සෙන්ටිගේ‍්‍රඞ් අංශක 0න්- පහළට අඩු කළ හැකි ය. විශ්වය මීට සමාන ආකාරයකට හැසිරෙන්නට ඇතැ යි ගුත් යෝජනා කළේ ය. බල අතර සමමිතිය බිඳෙන්නේ නැති ව උෂ්ණත්වය තීරණාත්මක අගයට වඩා අඩු වන්නට ඇත. මෙය සිදු වූ යේ නම්, සමමිතිය බිඳෙන අවස්ථාවට වඩා ශක්තිය වැඩි වී විශ්වය අස්ථායී තත්ත්වයකට පත් විය යුතු ය.
මේ සුවිශේෂ අමතර ශක්තියට ගුරුත්වාකර්ෂණ විරෝධී බලපෑමක් තිබෙන බව පෙන්විය හැකි ය. එය සාමාන්‍ය විශ්ව විද්‍යාත්මක නියතයක් පරිදි හැසිරෙයි.
විශ්වයේ ස්ථිතික ආකෘතියක් ගොඩ නැගීමට උත්සාහ දැරීමේ දී අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවාදයට විශ්ව විද්‍යාත්මක නියතයක් හඳුන්වා දුන්නේ ය. කෙසේ නමුත්, මේ ප‍්‍රශ්නයේ දී විශ්වය දැනටමත් ප‍්‍රසාරණය වෙමින් තිබුණි. මේ නිසා මේ නියතයේ විකර්ෂණ ප‍්‍රතිඵලය විශ්වය සදාකාලික වර්ධන අනුපාතයකින් ප‍්‍රසාරණය වීමට සලස්වන ලදී. සාමාන්‍ය පදාර්ථ අංශු ප‍්‍රමාණයට වඩා වැඩියෙන් තිබුණු කලාපවල පවා කි‍්‍රයාත්මක විශ්ව විද්‍යාත්මක නියතයේ විකර්ෂණය හේතු කර ගෙන පදාර්ථයේ ගුරුත්වාකර්ෂණය අධි ප‍්‍රමාණ විය. මෙසේ, මෙවැනි කලාප ද ත්වරණ උද්ධමනකාරී ස්වරූපයකට අනුව ප‍්‍රසාරණය විය.
විශ්වය ප‍්‍රසාරණය වීමේ දී, පදාර්ථ අංශු තව තවත් ඈත් විය. ප‍්‍රසාරණය වන විශ්වයේ කිසිදු අංශුවක් අයත් නැති එ්වා ඉතිරි වෙයි. එය තවමත් බල අතර සමමිතිය නො බිඳුණු සුපිරි සිසිල් අවස්ථාවේ පැවතුනි. බැලූනයක් පුම්බන විට එහි රැුලි ඉවත් වී සුමට වන පරිද්දෙන්, ප‍්‍රසාරණයේ දී විශ්වයේ ඕනෑ ම අසමාකාර තත්ත්වයක් සුමට වෙයි. මේ අනුව, විශ්වයේ වර්තමාන සුමට ද එ්කාකාරී ද තත්ත්වය, එකිනෙකට වෙනස් එ්කාකාර නො වූ මුල් අවස්ථා ගණනාවකින් පරිණාමය විය.
ප‍්‍රසාරණ අනුපාතය ද නැවත බිඳ වැටීමේ තීරණාත්මක අගය ආසන්නය දෙසට නැඹුරු විය.
තවද, උද්ධමන අදහසට අනුව, විශ්වයේ මෙතරම් විශාල පදාර්ථ ප‍්‍රමාණයක් තිබෙන්නේ මන්දැ යි යන්න ද පැහැදිලි කළ හැකි ය. අප නිරීක්ෂණය කරන විශ්වයේ කලාපය තුළ 1,080ක් පමණ අංශු තිබේ. එ්වා පැමිණියේ කොහි සිට ද? ක්වොන්ටම් වාදයට අනුව, ඊට පිළිතුර වන්නේ අංශු හා ප‍්‍රතිඅංශු යුගල වශයෙන් ශක්තියට එ්වා නිෂ්පාදනය කළ හැකි බව ය. එහෙත් ශක්තිය පැමිණෙන්නේ කොහි සිට දැ යි ප‍්‍රශ්නයක් පැන නගී. පිළිතුර වන්නේ විශ්වයේ ශක්තියේ මුළු එකතුව හරියට ම ශූන්‍යය වන බව ය.
විශ්වයේ පදාර්ථය ධන ශක්තියෙන් ගොඩ නැගේ. කෙසේ නමුත්, පදාර්ථ සියල්ල ගුරුත්වය මගින් ඇද ගන්නා බව ය. ළඟ තිබෙන පදාර්ථ කොටස් දෙකක ශක්තිය එකිනෙකට බොහෝ දුරින් තිබෙන පදාර්ථ දෙකක ශක්තියට වඩා අඩු ය. මීට හේතුව වන්නේ එ්වා වෙන් කිරීම සඳහා ශක්තිය වැය කිරීමට සිදු වන නිසා ය. එ්වා ආකර්ෂණය කරන ගුරුත්ව බලයට විරුද්ධ ව එ්වා ඇදිය යුතු ය. මේ අනුව, ගුරුත්ව ක්ෂේත‍්‍රයට ඍණ ශක්තියක් තිබෙන බව දැනේ. විශ්වය සම්පූර්ණයෙන් ම සැලකිල්ලට භාජනය කළ විට, ඍණ ශක්තිය මගින් ධන ශක්තිය සම්පූර්ණයෙන් ම අවලංගු කරන බව පෙන්වා දිය හැකි ය. මේ අනුව, විශ්වයේ සම්පූර්ණ ශක්ති ප‍්‍රමාණය ශූන්‍යය වේ.
දෙවරක් ශූන්‍යය යනු ශූන්‍යය යි. මේ අනුව, සංස්ථිති නියමය උල්ලංඝණය නො කර විශ්වයට ධන ශක්ති ප‍්‍රමාණය ද ඍණ ශක්ති ප‍්‍රමාණය ද දෙගුණ කළ හැකි ය. ප‍්‍රසාරණයේ දී පදාර්ථ ශක්ති ඝනත්වය පහළ යන විශ්වයේ සාමාන්‍ය ප‍්‍රසාරණයේ දී මෙය සිදු නො වේ. කෙසේ නමුත්, ප‍්‍රසාරණය සිදුවන විට, සුපිරි සිසිලන තත්ත්වයේ දී ශක්ති ඝනත්වය නියත ව පවතින නිසා උද්ධමනකාරී ප‍්‍රසාරණයේ දී එය සිදු වෙයි. විශ්වය ප‍්‍රමාණයෙන් දෙගුණ වන විට, ධන පදාර්ථ ශක්තිය සහ ඍණ ගුරුත්ව ශක්තිය යන දෙක ම දෙගුණ වෙයි. මේ නිසා මුළු ශක්ති එකතු ව ශූන්‍යය ලෙස ම පවතී. උද්ධමනකාරී අවධියේ දී විශ්වයේ ප‍්‍රමාණය අති විශාල ලෙස ඉහළ යයි. මේ නිසා අංශු නිර්මාණය සඳහා තිබෙන ශක්තිය බෙහෙවින් වැඩි වෙයි. ගුත් සඳහන් කළ පරිදි ”නොමිලේ ලැබෙන කෑම වේල තරම් දෙයක් නැතැ යි කියමනක් තිබේ. එහෙත් නොමිලේ ලැබෙන ඉහළ ම කෑම වේල විශ්වය යි.”
 
මතු සබැඳේ
---------------------------
පරිවර්තනය - මහින්ද ගුණවර්ධන
================================================================

ඉංග්‍රීසියෙන් කියවන අයට The Theory  of Everything

පරිවර්තනයේ දෝෂ තිබේ නම් එ්වා ගැන සඳහන් කරන්න.
ස්තුති පූර්වකව ඒවා නිවැරැදි කර ගැනීමට කැමැතියි
- මහින්ද ගුණවර්ධන


20150121

මියුසික් කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන හැඟීම. - එච්.එම්. ජයවර්ධන

 සටහන : විමලනාත් වීරරත්න

ජීවිතය සහ සංගීතය අතර ඔබ දකින්නේ කවර විදියේ සම්බන්ධයක්ද,  එච්.එම්.?
මට හොඳ ගීත රචනා හම්බ වෙනවා. රත්න ශ‍්‍රී, ලූෂන්, සපුතන්ත‍්‍රී, නානායක්කාරවසම් වගේ අයගේ. ඔවුන් මට කියන්නේ නැහැ මේ රචනාවට මෙහෙම දෙයක් කරලා දෙන්න කියලා. ඔවුන් ගීත රචනා දීලා ගායනා කරන්නේ අහවලා කියලා කියනවා විතරයි. ඒකට සෙට් වෙන මෙලඩියක් තමයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ගීතයක තනුවක් නිර්මාණය කරද්දී මම යම් රාගයක් ගැන හිතන්නේ නැහැ. මේ ගීත රචනාවේ තිබෙන අන්තර්ගතය මොකක්ද, ඒක අර්ථ ගැන්වෙන තනුවක් තමයි මම හදන්නේ. එම ක‍්‍රියාවලිය මතුවෙන්නේ ජීවිත අත්දැකීම්වලිනුයි.
නිදර්ශනයක් කිව හැකිද?
දවසක් සනත් අයියා මාව එක්කරගෙන ගියා පී.වී. නන්දසිරි මහත්මයාගෙ ගෙදරට. ඔහු ළඟ තිබුණා සුනිල් ආරියරත්න ලියූ පද රචනාවක්. ‘එක යායක මල් පීදුණු බිම් තීරේ.’ ජයේ මේකට මොකුත් එන්නෙ නැහැනෙ ජයේ. පී.වී. නන්දසිරි මට ඒක පෙන්වලා කියනවා. මම ටිකක් වෙලා බලන් ඉඳලා පදරචනය කියවන ගමන් දැන් ඒකට තියන තනුවට අනුව ගායනා කළා. පී.වී. කිව්වා ඔය තියෙන්නෙ තනුව කියලා. පදරචනය ඔළුවට වැදුණ ගමන් තනුව එනවා.
සංගීතය ගැන හැඟීමක් ඇතිවෙන්නේ කොහොමද?
මම සියඹලාණ්ඩුව ඉස්කෝලෙ ඉඳලා ශිෂ්‍යත්වයක් ලැබිලා පස්සර මහා විද්‍යාලයට යනවා. මගේ සංගීත ගුරුතුමා ඞී.ඒ. සුබසිංහ. ඔහු පස්සර ඉස්කෝලෙ සංගීත මාස්ටර්. මගේ යාළුවෙක් හිටියා බටනලා හා ජපන් මැන්ඩලිනය වාදනය කරන. මට බටනලාව ගැන ලොකු හැඟීමක් ඇතිවෙලා යාළුවාගෙන් එකක් ඉල්ලගෙන වාදනය කරන්න පටන් ගත්තා. මට ඒක හරියට බැරි නිසා මම නේවාසිකාගාරයේ නාන කාමරයට ගිහින් නලාව පිඹිනවා. අපේ සංගීත මාස්ටර් හිටියේ අල්ලපු කාමරේ. ඔහු මගේ වැඬේ දැනගෙන නාන කාමරේ ඇතුළෙ නළා පිඹ පිඹ ඉන්නෙ නැතුව මගේ සංගීත පන්තියට ඇවිත් ඉගෙන ගන්නවා කියලා දවසක් කිව්වා. ඔහු ඉගැන්නුවේ නොමිලේ. අපේ සර්ගෙ කාමරේ රේඩියෝ එකක් තිබුණා. රන්මුතු¥ව චිත‍්‍රපටයට නන්දා අක්කා කියන ගලන ගඟකි ජීවිතේ ඒකෙ යනවා. එතකොට පිපී පිපී රේණු නටන. මං මගේ කාමරේ ඉඳන් ඒවා අහගෙන ඉන්න කොට මට සංගීතය ගැන ලොකු ආසාවක් ඇතිවුණා. බටනලාව අල්ලගෙන පිඹින්න පටන් ගත්තෙත් ඒ ආසාව පණ ගහලා ආ නිසයි. මම ඉතිං සුබසිංහ මාස්ටර්ගෙන් තමයි සරිගම පදනිස අල්ලන්න ඉගෙන ගත්තේ.

ඔබට අනුව මියුසික් කියන්නේ මොකක්ද?
මියුසික් කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන හැඟීම. ඒක තරම් බලවත් දෙයක් තවත් තියෙන්න පුළුවන්ද? කිසියම් ගීත රචනයක් අතට ගත්තාට පස්සේ එහි අන්තර්ගතය හැරුණු විට මම බලන මූලික දේ නම් ඒක ගායනා කරන්නට නියමිත තැනැත්තාගේ ගායන පරාසය. රචකයායි ගායකයායි මමයි තුන් කට්ටුවම බේරෙන විදියට කොහොමද මේක කරන්නේ කියන එකයි මම ගැඹුරින් හිතා බලන කාරණය.
එච්.එම්.ගේ අතීත විත්තිය කොහොමද?
මම උපන්නේ සියඹලාණ්ඩුවේ. ඒ 1955දී. තාත්තා ගොවියෙක්. තාත්තා මාව කර උඩ තියාගෙන හැතැප්්ම දෙකක් ඉස්කෝලෙට අරන් යනවා හැමදාම. යන පාරෙ ගොයම් ගස් වැවිලා තියනවා. ඒවා මගේ ඇඳුම්වලයි ඇෙඟයි ගෑවෙන නිසයි කර උඩ තියාගෙන යන්නේ. තාත්තා හුඟක් දවස්වලට ඉස්කෝලෙ ඇරෙනකම් පාසල ඉදිරිපිට කඩපිලේ පත්තර බල බලා ඉන්නවා. එනකොට මං පයින් එනවා. මගදි දොළක් ළඟදි මම කියනවා නාගන්න ඕනෑ කියලා. තාත්තා ගලක් උඩට වෙලා බලන් ඉන්නවා. මං ඇඳුම් ටික ගලවලා හෙළුකොට්ටෙන්ම නාගන්නවා. අපි හේන් කොටන කාලෙට තාත්තායි අම්මායි අපි සේරමයි ඉන්නෙ හේනෙ පැලක් හදාගෙන.
පස්සර ඉස්කෝලෙට ගියාම මොකද වුණේ?
මට හරි නුහුරුයි. නුපුරුදුයි. තාත්තා ගියාම මාව තනිවුණා වගේ වුණා. තාත්තා යන බස් එක දිහා බලාගෙන මම හිටියේ හරිම දුකෙන්. ටික දවසකින් මම තාත්තාට ලියුමක් ලිව්වා ඒ හුදෙකලාව දරාගන්න බැරිම තැන. තාත්තේ මට මේ කරුමෙ තව ගෙවන්න බැහැ. මං ඉස්කෝලේ ඉස්සරහ තියන පොකුණට පැනලා මැරෙනවා කියලා. ඒ පාර තාත්තා ඇවිත් ප‍්‍රින්සිපල්ට කිව්වා. එතුමා කිව්වා තව ඔයා වගේ ළමයි ඉන්නවනේ. ඒගොල්ලො එක්ක සෙට්වෙලා ඉන්න. එතකොට පාළුව හරියයි කියලා. ඊට පස්සෙ තමයි බටනලා පිඹිල්ලට යොමුවුණේ.
පාඩම් වැඩ හොඳට කළාද?
මට ඉංග‍්‍රීසි සහ භූගෝලය අප්සෙට්. ඉන්ටර්වල් එකේදි මම පොත් ටික අරගෙන හොස්ටල් එකට පනිනවා. ආපහු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙට පැනලා ළමයි එක්ක එළියට එනවා. මං හැබැයි සංගීතය උපරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. හැබැයි සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා දහයෙ පන්තිය වෙනකොට මට ශිෂ්‍යත්වය අහිමි වුණා. හැබැයි ශිෂ්‍ය වාදක මණ්ඩලයේ මම හරි දක්ෂයෙක්. හැබැයි ඉස්කෝලෙන් පස්සෙ සංගීත ක්ෂේත‍්‍රයට වෙන කවුරුවත් ආවෙ නැහැ. වසන්ත ඔබේසේකර තමයි මගේ ඉතිහාස ගුරුතුමා.
ශිෂ්‍යත්වය කැන්සල් වුණාම මොකද කළේ?
ගමට ගියා. බාප්පා කෙනෙක්ගේ උදව්වෙන් ලී ඉරුවා. බණ්ඩා කියලා යාළුවෙකුත් සෙට්වුණා. දෙන්නා එක්ක පලංචි දාලා බුරුත අඩියක් ඉරුවාම ශත 60ක් ලැබුණා. තේ ටිකත් හදාගෙන බොනවා. ගංජා සුරුට්ටුවක් ගහනවා. හේන් වගාවත් ඒ අස්සෙ කෙරුවා.
ගුවන්විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?
ලී ඉරන කාලෙ ගුවන්විදුලියේ බටනලා වාදකයකුට වේකන්සි එකක් පත්තරේ දාලා තිබුණා. මං ඒකට ඇප්ලයි කළා. කොළඹ ආවා. කෙළින්ම ගියේ මරදානට. එදා ? පොඩි ගාණක් දීලා ඔය ෂාලිමාර් එක ඉස්සරහ තැනක නැවතුණා. වඬේ දෙකක් කෑවා. පසුවදා උදේම ගුවන්විදුලියට ගියා. ඉන්ටර්වීව් බෝඞ් එකේ හිටියේ ඞී.ආර්. පීරිස්, සෝමදාස ඇල්විටිගල සහ තව දීපාල් නාත් කියලා ඉන්දීය සංගීතඥවරියකුත් හිටියා. කොහොම වුණත් මාව ඔඩිෂන් එකෙන් කැපුවා. මං දවසක් අමරදේව මාස්ටර් හම්බවෙලත් කිව්වා. ඔහු කිව්වා ප්ලේ කරන්න කියලා. මම බටනලාවෙන් සිහිල් සුළං රැුල්ලේ ප්ලේ කළා. අමරදේව කිව්වා හරි ඉතිං ඔයාට ප‍්‍රශ්නයක් නැහැනේ කියලා. මට ඒ වනවිට ස්වර කියවන්න බැරිකමක් තිබුණේ. ඉයර් එකට ප්ලේ කරන්න පුළුවන්. අමරදේව මට නොටේෂන්වලට ප්ලේ කරන හැටි කියලා දුන්නා. පස්සේ මට වසන්ත ඔබේසේකර ඞී.ආර්. පිරිස්ට ලියුමක් දුන්නා. මම ටික දවසක් ශ‍්‍රාවස්තියෙ නැවතිලා හිටියා. ඒ පස්සර මන්ත‍්‍රීවරයගෙ ඇඳුනුම්කමට. ඔහු සෝමපාල සෙනෙවිරත්න. රෑට එතන බූරුවා ගහනවා. බොනවා. මටත් බොන්න දෙනවා. මම බටනලා ගහනවා. පස්සර මන්ත‍්‍රීයි තව මන්ත‍්‍රීවරු දහදෙනකුයි අත්සන් කරලා මට තව ලියුමක් දුන්නා ගුවන්විදුලියට.
ඒ පාර රස්සාව හම්බවුණාද?
නැහැ. ඇල්විටිගල කිව්වනේ මන්ත‍්‍රීවරුන්ගෙ ලියුම් ගෙනාවට මට රස්සාවල් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සෙ තමයි මම අමරදේව මාස්ටර් හම්බ වෙන්න ගියේ. ඔබේසේකර හම්බවුණේත් එදා. ඔන්න ඊට පස්සේ අනියම් බටනලා වාදක කියන තනතුර ලැබුණා. මට ආවෙ කැපිල්ලක්. ඔබේසේකරගේ ලියුම තමයි වැඩ කළේ. ඔය කාලෙ මම සිංදුවකුත් කිව්වා ගංගාව මමයි ගීතය. ලිව්වේ ආනන්ද පද්මසිරි. දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඬේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඬේ කියලා.
මුලින්ම නිර්මාණය කළ තනුව මොකක්ද? ඒ කාටද?
මාලිනී බුලත්සිංහලට. රජ මැදුරක ඉපදී සිටියා නම් තමයි ගීතය. ඊට පස්සෙ නන්දා මාලිනීට, කපුගේ, සුනිල්, ටීඑම් වගේ කාටත් තනු නිර්මාණය කළා.
මාලිනී හම්බවෙන්නේ කොහොමද?
ගුවන්විදුලියෙදි තමයි. සංගීත ක්ෂේත‍්‍රයට සම්බන්ධ රැුලම හම්බවෙන්නේ. වික්ටර්, දිවුල්ගනේ, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, මාලනී ඔය කට්ටියම. මේ සමහරු ඒ කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඒත් ඉගෙන ගන්න නෙමේ මාලනී හම්බවෙන්න.
බිරිඳක් හැටියට මාලනී ගැන හිතුණේ කොහොමද?
එයා මගේ වැඩවලට හුඟාක් උදව් කළා. ඇයට ඉතාම ඉහළ ගායන කුසලතාවක් තිබුණා. මං ඇයට හුඟක් සිංදු කළේ හරිම කැමැත්තකින්.
මාලිනී නැති අඩුව දැනුණෙ කොහොමද?
කරන්න දෙයක් නැහැ ඉතිං. රටටත් මටත් හොඳ ගෑනියක් නැතිවුණා. සමහර දේවල් අපිට වළක්වන්න බැහැ.
අපි සංගීතය කියන්නෙ සරල ගීයට. මියුසික් රසවිඳින සමාජයක් ගොඩනොනැගුණේ ඇයි?
පදගත අර්ථය මිසක් තනිකර සංගීතය රස විඳින්න අපේ රසිකයන්ට දැනීමක් නැහැ කියලයි මම හිතන්නේ. සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕනෑ. සරල ගීයට එහෙම එකක් නැහැ. හැබැයි මියුසික් අහන සුළු පිරිසක් රටේ ඉන්නවා.
කේමදාස මාස්ටර් ගැන එච්එම් හිතන්නේ කොහොමද?
කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සිංදුවකට තනුවක් හදාගෙන එන්නේ නැහැ. වැඬේට ඇවිත් අනිත් අය එක්ක කතා කර කර පියානෝ එක අතපත ගගා ඉන්නවා. එහෙම ඉන්න ගමන් කතා කරන්නේ දේශපාලනය. හැබැයි ඒ අතරේ කීබෝඞ් එක මත ඇ`ගිලි ටික වැඩ කරනවා. එයා කතා කරන්නේ දේශපාලනය හෝ වෙන මොකක් හරි විෂයක් ගැන වුණාට මනස තියෙන්නේ සිංන්දුවේ. හිටිය ගමන් ජයේ ඊයේ මොකද වුණේ කියලත් අහනවා. හිතට අරන් වැඩක් කරන මිනිහෙක් එහෙම ප‍්‍රශ්න අහන්නත් විදියක් නැහැනේ. නමුත් මෙයා එහෙමයි. මම කේමදාස වාදියෙක් නම් නොවෙයි. මම මට හම්බ මෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප‍්‍රතික්ෂේප කළා. චිත‍්‍රපටය මුහුදු ලිහිණි. හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකක්ද මේ කරපු වැඬේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දී ඒ කියන්නේ ඔයාගේ තුන්වැනි යාමයේ මියුසික් තියෙද්දී මම මේකට සම්මාන ගන්නේ නැහැ. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා.
ඔබේ විවේකය ගතවෙන්නේ කොහොමද?
නිවාඩු දවස්වල ගෙදරට වෙලා ඉන්නවා. රේඩියෝ එක අහනවා. ටීවී එක පොඞ්ඩක් බලනවා. කවුරුහරි ගෙදර ඇවිත් සිංන්දුවක් හදලා දෙන්න කිව්වොත් මම ඒකට පොඞ්ඩක් ඔළුව යොමු කරනවා.
අඩියක් ගහන එකෙන් මත්වීමට අතිරේකව එච්එම් බලාපොරොත්තු වන දේ මොකක්ද?
ඕක ගැන සමහරු වරදවා හිතනවානේ. අද නම් ඩි‍්‍රන්ක් එකක් ගන්නම ඕනෑ කියල මගේ නීති රීති පද්ධතියක් නැහැ. හිතුණොත් යාළුවෙක් හමුවුණොත් පොඩි එකක් ගන්නවා. නැත්නම් නැහැම තමයි. නොබී මට තනුවක් දාන්නත් පුළුවන්. යාළුවොත් එක්ක කතා කරන්නත් පුළුවන්. හැබැයි ඩි‍්‍රන්ක් එකකින් මම වින්දනයක් ලබනවා. මගේ මිතුරු දොස්තර මහත්තුරුත් ඉන්නවා. සියල්ලෝ මට ඩි‍්‍රන්ක්ස් ගෙනත් දෙනවා. දීලා උපදෙසුත් දීලා යනවා. ඇවිල්ලා පොඞ්ඩක් චෙක් කර ගන්නත් කියනවා. මම ඉතින් කොහොමටත් වැටෙන්න ගහන්නේ නැහැ. මගේ නරකම පුරුද්ද තමයි සිගරැුට්. ඒක මම දැන දැන කරන වරදක්. එහෙත් මට මේකෙන් මාර ටේස්ට් එකක් දැනෙනවා. මෙලඩියක් හදන කොට හරි සිංදුවක් අහනකොට හරි මට සිගරැුට් එකක් බොන්න හිතෙනවා.
එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?
මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ.
------------------------------------------
http://ravaya.lk/?p=3857


ඡායා – තුසිත කුමාර

20150120

මෛත්‍රී සහ මහින්ද අනුව වෙනස් වෙන අපේ විඥාණය...


බුදු දහමට අනුව විඥාණයෙ අවස්ථා දෙකක් තියනවා.

බොහෝ දෙනෙක් කතා කරන්නෙ
ස්පර්ශ අවස්ථාවෙ ඇති වෙන
පළමු විඥාණය ගැනයි.
පංචස්කන්ධයෙ එන
සංස්කාර වලින් ඇති වෙන
දෙවන විඥාණය වෙනස්.
1, 
ස්පර්ශ අවස්ථාවෙදි ඉන්ද්‍රිය වල පවතින විඥාණය
2,
සංස්කාර වලින් පහළ වෙන විඥාණය
කියන්නෙ දෙකක්.

ඉන්ද්‍රිය වල පවතින විඥාණය සරලයි..
අපක්ෂපාතීයි.


ඉන්ද්‍රිය වල පවතින විඥාණය ස්වාභාවික දෙයක්..

දෑස නිරෝගී දෙන්නෙක්
එකම දෙයක් දකින කොට
ඇසේ පවතින චක්ඛු විඥාණය
ලබා දෙන තොරතුරු වෙනසක් නෑ.

රවුම්, රළු, රතුපාට දෙයක්...
ආදී වශයෙන්...
චක්ඛු විඥාණයෙන් දෙන තොරතුරු
අපේ මනසට, වචන වලට,
ක්‍රියාවට ඍජුව බලපාන්නෙ නැහැ.
කැමරාවකින් ඡායාරූපයක් ගත්තා වගෙයි.
කැමරාව ඒ ගැන හිතන්නෙ නැහැ.
කැමරාවට හැඟීම් පහළ වෙන්නෙ නැහැ.

ඒත්
මේ රවුම්, රළු, රතුපාට දේ
සකස්වෙලා තියන රවුම් බව,
රළු බව, රතුපාට බව
ස්පර්ශ වීම නිසා
අපට පහළ වෙන වේදනා හඳුනා ගනිද්දී
අපිට ඒ ගුණ නිසා ඇතිවෙන වේදනාවට
අපි ප්‍රිය කරනවා.
නැත්නම් අප්‍රිය කරනවා.
නැත්නම් නොසලකා හරිනවා.

සරලව කිව්වොත්
රාග, ද්වේශ හෝ මෝහ ඇතිවෙනවා.

ඒ රාග ද්වේශ හා මෝහ විසින්
මුලින් කිවූ දෙදෙනා හෝ
එවැනි සිය ගණනක් මිනිසුන් තුළ ඇති වෙන
විඥාණය එකිනෙකට වෙනස්.
රාග ද්වේශ හා මෝහ  සංස්කාර වලින් පහළ වෙන විඥාණය 
සංකීර්ණයි.. පක්ෂපාතීයි.
එකිනෙකාට ආවේණිකයි..
එක් එක් මොහොතට ආවේණිකයි.

1,
රවුම් වුණත් එකයි, හතරැස් වුණත් එකයි.
2,
ෂා රවුම් නම් නියමයි..
3,
රවුම් වුණාට වරදක් නෑ.
4,
මට රවුම් නම් පේන්න බෑ.
5,
රවුම් නම් පට්ට.
6,
රවුම් නම් කුජීතයි..
7,
..............
මේ ආදී වශයෙන්
අනන්ත ආකාරවලට
ඔවුන්ගෙ විඥාණය සකස් වෙනවා.
ඊළඟ වතාවෙ
ඔහු රවුම් දෙයක් දකින කොට
චක්ඛු විඥාණයට
මේ සකස්වුණ විඥාණයත් බලපානවා.

දකින කොටම හිත පිනා යන්නෙ..
නැත්නම් තුඃ කියල කෙළ ගහන්නෙ,
මේ විඥාණය නිසා..

ක්ෂණිකව කැමති වෙද්දි හෝ
ක්ෂණිකව අකමැති වෙද්දි
හැඟීම් පහළ වෙනවා...
සිතුවිලි, බලාපොරොත්තු ඇතිවෙනවා.
ඒ අනුව වචන කතා කරනවා.
ක්‍රියා කරනවා.

චක්ඛු විඥාණය තොරතුරු අරන්
වේදනා මාර්ගයෙන් අපට ලබා දෙනවා.
සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ
අදුක්ඛමාසුඛ වේදනා අනුව...
ඒ වේදනාවල ප්‍රිය අප්‍රිය බව අනුව
අපි ඒ වේදනාවල ප්‍රිය අප්‍රිය බව මත පදනම්ව
අපිට ආවේණික ආකාරයට
විඥාණය සකස් කරගන්නවා.

එවිට අප සතුව තියෙන්නෙ
චක්ඛු විඥාණයෙන් ලැබුණ
පිරිසිදු වාර්තාවට අනුව
අපට සාපේක්ෂව, අපට අනන්‍යව...
අපි හදාගත්ත සීමා බන්ධන සහිත..
පාක්ෂික, වාර්තාව වන
අපේම විඥාණයයි.

රළු බව හා රතු වර්ණයත්
මේ සකස්කරන විඥාණයට පාදක වෙනවා.
අපි දේවල් තෝරාගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ
අපේ විඥාණය සකස්වෙන විදිය අනුවයි.
එක සාධකයකට අකමැති නම්
ඒ සාධකයට ඇති අකැමැත්ත නිසා
සමස්තයම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්.

අප ගන්නා තීරණ අපට ආවේණික නිසා
සමාජය තුළ හැසිරෙද්දි ඒ අනුව
අපි දක්වන ප්‍රතිචාරත්,
අපට ලැබෙන ප්‍රතිචාරත් වෙනස් වෙනවා.

අපි අර තොරතුරු තව කෙනෙකුට දෙන විට
අපේ පුද්ගලික ආකල්පයත්
විශේෂණ මගින් එකතු වෙනවා..

1,
පට්ට රවුම් එකක් ඕයි
2,
ඒ රවුම් එක නම් කුජීතයි බං.
3,
ඒ රවුම් එක මෙලෝ රහක් නෑ.

රවුම් දේ ගැන අහන කෙනා
රවුම් දේ හිතන විදිය
කියන කෙනාට වඩා වෙනස් නම්
එතන වාදයක් පටන් ගන්නවා.
රවුම් දේ ගැන දෙන්නම එකඟ නම්
ඔවුන්ගෙ සිතුවිලි වල සමානතා අනුව
සංවාදයක් ඇති වෙනවා..
දෙන්නටම රවුම් දේ මෙලෝ රහක් නැත්නම්
මාතෘකාව වෙනස් වෙනවා.

මෛත්‍රී සහ මහින්ද ගැන
පසුගිය ජනපතිවරණ කාලෙ
නොයෙක් වාද විවාද ඇති වුණා.
තමන්ට ලැබෙන සත්‍ය අසත්‍ය තොරතුරු වලට
තමන් කැමති අකමැති වෙන ආකාරය අනුව
ඔවුන්ගෙ ස්වභාවය මනින විට
බොහෝ විට හැම දෙනාටම
වැරදුණ අවස්ථා ගණන වැඩි ඇති..

මෛත්‍රී සහ මහින්ද මොන විදිය වුණත්
අපිට අහන්න දකින්න ලැබෙන දෙයින්
අපි හදා ගන්න මෛත්‍රී සහ මහින්ද
සැබෑ මෛත්‍රීවත්, සැබෑ මහින්දවත් නොවෙයි..

අපේ හිත්වල ඔවුන් ගැන සකස්වූ විඥාණය
නිරන්තරයෙන් වෙනස් වෙනවා.
ඔවුන්ගේ විඥාණයත් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා
ඔවුන්ගෙ සැබෑ රූපත් නිරන්තරයෙන් වෙනස් වෙනවා.
ඔවුන්ගෙ සැබෑ රූපත්
අපි ඔවුන් ගැන මවන මිථ්‍යා රූපත්
නිරන්තරයෙන් වෙනස් වෙනවා.

ඉන්ද්‍රිය වල පවතින සරල විඥාණයෙන් දෙන
තොරතුරු වලින් පහළවෙන වේදනා හඳුනාගනිද්දි
අප තුළ පහලවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින් සකස් වුණ
දෙවැනි විඥාණය හැම විටම අසත්‍යයි.

අත්දැකීමක් සත්‍ය ලෙස දකින්නට
පුහුදුන් පුද්ගලයෙකුට ඇති එකම මග
වර්තමාන මොහොත තුළ
තම සිත සහ කය තුළ සිදුවෙන
සියලුම වෙනස්කම් ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
තමන්ට දැනෙන මාත්‍රය පිළිබඳව
මොහොතින් මොහොතට සිහිය පිහිටුවා ගනිමින්
අනිශ්‍රිතව විසීමයි

ප්‍රායෝගිකව විදසුන් නොවඩන,
මනසින් බුදු දහම විමසන කෙනෙකුට වුවත්
මිථ්‍යා දෘෂ්ඨිවල නොපැටලී වසන්නට
මේ දෙක වෙන් වෙන්ව හඳුනාගැනීම ප්‍රයෝජනවත්.

නිරාගමිකයා උනන්දු වෙන්නෙත්
කතාබහ කරන්නෙත්
ස්පර්ශයෙදි ඇති වෙන
ඉන්ද්‍රිය වල පවතින සරල විඥාණය ගැනයි..

ඒ වගේම
සරලව ගත් කල
දුක ලෙස බුදුන් වහන්සේ හැඳින්වූ
පංච උපාදානයට හේතුවෙන
පංචස්කන්ධය ගැන විමසද්දි අදාළ වෙන්නෙ
සංස්කාර වලින් සකස් වුණ විඥාණය බව
සිත්හි තබාගත යුතුයි.
 =================================================
 තවත් සටහන්

බුදු දහමෙ විඥාණය මම දකින ආකාරය


අවිද්‍යා, සංඛාර හා විඤ්ඤාණ -පටිච්ච සමුප්පාදය

20150113

රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධාගමානුකූල විමසීමක්‌ - විජයදාස රාජපක්‍ෂ

නව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
අදින් වසර එකහමාරකට පමණ පෙර 2013 06 22 දිවයිනට ලියූ
පහත දැක්වෙන ලිපිය කියවන විට
මෛත්‍රී විසින් කළ පත්වීම ඉතා නිවැරදි බවක් හැඟෙයි..


මිනිස්‌ ශිෂ්ටාචාරය ආරම්භයත් සමඟ ම ලෝකයට පහළ වූ විෂය, දේශපාලන විද්‍යාවයි.
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි ජන සමාජයක ජීවත් වන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන්
මහ ජනතාවගේ සම්මුතියෙන් රජ කෙනකු පත් කර ගැනීම අවශ්‍ය විය. ඔහු මහා සම්මත රජ ලෙස හැඳින්වීය. ජනතාවගේ ජීවිත සහ දේපළ පිළිබඳ ඉරණම තීන්දු වන්නේ ඔවුන් ජීවත්වන රට තුළ පවතින දේශපාලන ක්‍රමවේදය මතය. ප්‍රජාතන්ත්‍රවාදය තරමක්‌ හෝ ක්‍රියාත්මක වන රටක ජනතාව දේශපාලනයෙන් බැහැර ව ජීවත් වනවා යෑයි කිවහොත් එය මුසාවකි. ජනතාවගේ මානව හිමිකම් පමණක්‌ නොව ඔවුන් ජීවත් වීම සඳහා ආහාර පාන ගැනීම, වස්‌ත්‍රාභරණයෙන් සැරසීම, විනෝදාංශවල යෙදීම යනාදී සෑම අංශයක්‌ කෙරෙහිම දේශපාලනය ඉතා දැඩි සේ බලපා ඇත. රටක රාජ්‍ය නායකයන් ධාර්මිකව සහ අවංක ව ජනතාව ආදරයෙන් රැක බලා ගැනීම රාජ්‍ය පාලකයාගේ මූලික අංගයකි.

එකල පූජකයන් වශයෙන් කොටසක්‌ නොසිටි නමුත් ලෝකෝත්තර සුවය අරමුණු කරගෙන දැහැන් වඩමින් සිටි පුද්ගලයන් ජායකයන් ලෙස හැඳින්වීය. ජනතාව හෙවත් පාලිතයන් ශ්‍රද්ධාවෙන් ඡායකයන්ට දෙනු ලබන දැ පාලකයන් අනුභව කළහොත් හෝ බදු වශයෙන් රජයට දෙනු ලබන දැ ඡායකයන් අනුභව කළහොත් ස්‌වභාව ධර්මයා පවා අනුකම්පා විරහිත ව විරසක වී අව්ව වැස්‌ස සුළඟ යනාදිය නිසි කලට ලබා නොදී මුළු මහත් රාජ්‍යයම ව්‍යසනකාරී තත්ත්වයකට පත් කරනු ලැබේය යන්න ආදි කාලයේ පටන් පිළිගත් සම්මුතියයි.

බෞද්ධ රටක ආගමික දර්ශනය නිසි ලෙස පවත්වාගෙන යැම සඳහා රාජ්‍ය පාලනයද ධාර්මිකව ගෙන යැම අත්‍යවශ්‍ය වේ. චක්‌කවත්ති සීහනාද සූත්‍රය හා කූටදත්ත සූත්‍රය ඊට හොඳම උදාහරණ වේ. එමෙන්ම කොසොල් රජු දුටු සිහින 16 සම්බන්ධව වදාළ මහා සුපින ජාතකයද එය සනාථ කිරීම පිණිස උපහැරණ ලෙස ගත හැකිය. රටක රාජ්‍ය නායකයා අධාර්මික වුවහොත් ඔහුගේ මැති ඇමැතිවරුන් ද අධාර්මික වන බවත්, මැති ඇමැතිවරු අධාර්මික වන විට රටේ ජනතාවද අධාර්මික වන බවත්, රටක ජනතාවද එසේ අධාර්මික වන විට එරට පවතින පැවිදි සමාජයද දුසිල්වත් වන බවත් බුද්ධ දේශනාවලින් පැහැදිලිය. අධාර්මිකත්වයෙන් පිරුණු රටක ගස්‌වැල්වල හට ගන්නා පලදාවේ රස ගුණ පවා හීන වන බව "රාජෝවාද" ජාතකයෙන් පැහැදිලි කර ඇත.

රටක දේශපාලනය සමාජයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම විහිදී ඇති බවත්, අධාර්මික පාලනයක්‌ පවතින රටක ජනතාවගේ සියලු දුක්‌ඛ දොaමනස්‌සයන්ට රාජ්‍ය පාලනය බලපාන බවත්, ගණ්‌ඩ තීන්දු ජාතකය මඟින් තහවුරු කොට ඇත. එහි සඳහන් කම්පිල්ල නම් රටේ පංචාල නම් රජු අයුක්‌තියෙන් සහ අධර්මයෙන් රට පාලනය කළ නිසා බෙහෝ ජනයා දැඩි පීඩාවට සහ කම්පාවට පත්ව සිටියහ. රජු විසින් ජනතාවට ඉසිලිය නොහැකි බදු බර ජනතාව වෙත පැටවීම සහ රාජ්‍ය බලය භාවිත කර රාජ්‍ය නිලධාරීන් ද රජු අනුගමනය කරමින් සියලු දූෂණයන්හි යෙදීම නිසා රට තුළ දුර්වල මෙන්ම අරාජික තත්ත්වයක්‌ නිර්මාණය වී පැවතිණි. එකල ගැටතිඹිරි ගසක රුක්‌ දෙවියෙක්‌ ලෙස අරක්‌ගෙන ඉපිද සිට මහ බෝසතාණෝ රජතුමාගේ අධාර්මික පාලනය නිසා ජනතාවට විඳීමට සිදුව ඇති ආදීනව පෙන්වීම පිණිස දිනක්‌ රාත්‍රියේ පංචාල රජු ඉදිරියේ පෙනී සිට මෙසේ පවසා අතුරුදන් වූහ. එනම් "මහරජ මේ රටේ ජනතාව ඔබ ගැන කෙබඳු ආකල්පයක්‌ දරන්නේදැයි පරීක්‍ෂා කිරීම පිණිස අප්‍රසිද්ධ වේශයෙන් ගම් දනව් වෙත ගොස්‌ ජනතාවගේ අදහස්‌ විමසා සිටීම ඉතාමත් යෝග්‍ය වන්නේය.

එම උපදේශය දැඩි සේ සිතට ගත් පංචාල රජු සිය පුරෝහිත සමඟ අප්‍රසිද්ධ වේශයෙන් පසල් දනව්වකට යමින් සිටිය දී වළක වැටී අත පය වීසි කරමින් මැහැල්ලක්‌ රජුට ශාප කරමින් විලාප නඟමින් සිටියා ය. එම මැහැල්ල සිය නොසැලකිල්ල නිසා වළක වැටී තුවාල වීම මත අසාධාරණ ලෙස රජුට ශාප කරන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට ඇය පුරෝහිතයාට පිළිතුරු දෙන ලද්දේ පහත සඳහන් පරිදිය.

මට දීග දෙන වයසේ දියණියන් දෙදෙනකු සිටියත් ඔවුන් දීග ගෙනියන්න කිසි පිරිමියෙක්‌ එන්නේ නැහැ. ඔවුන් නිසි කලට දීග දුන්නේ නම් මට සහ දියණියන්ට සුවසේ ජීවිත ගත කිරීමට ඉඩ තිබුණත් දැන් ඒ සියල්ල අහිමි වී දූවරු දෙදෙනා ද නඩත්තු කරන්නේ කැලයට ගොස්‌ දර ටිකක්‌ කපාගෙන විකිණීම මඟිනි. දැන් දියණියන් දෙදෙනාද ගෙදරට නාකි වී ඇත. මේ රටේ පාලකයා අධාර්මික නිසා අපට මෙහෙම දුක්‌ත ඉරණමක්‌ අත් වී ඇතැයි කියමින් මැහැල්ල කෙඳිරිගාමින් පැහැදිලි කළාය. මැහැල්ලගේ ශාපය ඉතා සාධාරණ හේතුවක්‌ ඇති ව කරනු ලබන්නක්‌ බව පංචාල රජුට වැටහිණි.

මෙරට වර්තමාන තත්ත්වය සලකා බැලූ කල මෙහි යථාර්ථය මැනවින් තේරුම් ගත හැකිය. පාලකයන් දැහැමින් තොරව ජනතාවට අකාරුණිකව කටයුතු කිරීම නිසාම සමාජයට වරින් වර ලේ වැගිරීම් සහිත ව්‍යසනවලට මුහුණ දෙන්නට සිදු ව ඇත. රට ගොඩ නඟන ආර්ථික සැලැස්‌මක්‌ නැති නිසාම පුංචි පවුල රත්තරන් දේශපාලන තේමාව කරපින්නාගත් ආණ්‌ඩු මෙරට අනාගතය භාර ගැනීම පිණිස ඉපදීමට නියමිතව සිටි දූ දරුවන් තිඹිරි ගෙයිදී ම හුස්‌ම හිර කොට මරා දමන ලදී.

ඉහත පරිදි පංචාල රජු එම සිද්ධිය දැකීමෙන් පසු තවදුරටත් ඉදිරියට යන විට දක්‌නට ලැබුණේ කකුලේ කටුවක්‌ ඇනීම නිසා වේදනාවෙන් කෑ ගසන මහලු මිනිසෙකි.

"මගේ කකුලේ ඇනුණුq කටුව නිසා මට දැනෙනවා වගේ සිය ගුණයක වේදනාවක්‌ දුෂ්ට රජාගේ පපුවේ හීයක්‌ ඇනී ඌටත් දැනීයන්" යනුවෙන් කෑ මොර දෙමින් ඔහු රජුට ශාප කළේය. එවිට වෙස්‌වලාගත් පුරෝහිතයා එම මහල්ලාගෙන් "ඇයි නාකියෝ උඹ අහිංසක රජුට බණින්නේ, මේ පාරට කටු ගෙනත් දැම්මේ රඡ්ජුරුවන්ද?" යනුවෙන් විචාරාලූහ.

එවිට මහල්ලා "මේ දුෂ්ට පංචාල රජාගේ අධාර්මික පාලනය නිසා මුළු රටම සොර සතුරන්ගෙන් ගහන වෙලා. දහවල් කාලයේ උගේ රාජ භටයෝ අපේ ඔළුව කනවා. රෑ කාලයේ හොරු අපගේ ඔළුව කනවා. උන්ගෙන් බේරෙන්න තමයි අපි ගෙවල් වටේ කටු අකුල් දමාගෙන ජීවත් වන්නේ. ඉන් කටුවක්‌ තමයි මගේ කකුලේ ඇනුණේ" කියමින් දිගින් දිගටම රජුට ශාප කළේය.

අද වන විට මෙරට ජනතාවටද කිසිදු කටයුත්තක්‌ සාධාරණ ලෙස ඉටු කර ගැනීම අසීරුය. දේශපාලනඥයන්ට අල්ලස්‌ හෝ කොමිස්‌ මුදලක්‌ නොදී කිසිවක්‌ කර ගත නොහැකි තරම් ය. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් එකක්‌ දෙන විට 10% ක හෝ 20% ක කොමිස්‌ මුදලක්‌ ලබා දීම සාමාන්‍ය දෙයකැයි ඇමැතිවරයෙක්‌ පසුගිය දිනක ප්‍රසිද්ධ රැස්‌වීමක දී ප්‍රකාශ කළේය. එසේම විදුලි බිල පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී ද තවත් ඇමැතිවරයෙක්‌ එසේම පැවසුවේය. කොටින්ම කිවහොත් දරුවකු පාසලේ පළමු වැනි වසරට ඇතුළු කිරීමට පවා ලක්‍ෂ දහයක්‌ පහළොවක්‌ වැනි මුදලක්‌ අල්ලස්‌ දීමට සිදුවී ඇති බව නොරහසකි. සුළුÊමුදලක්‌ අල්ලස්‌ ලෙස ගනු ලබන පහළ ශ්‍රේණිවල අයට එරෙහිව අල්ලස්‌ දූෂණ නීතිය ඉතා සුළුවෙන් ක්‍රියාත්මක වන අතර මැති ඇමැති ඉහළ නිලධාරිවරු විසින් කරනු ලබන දූෂණ සම්බන්ධව නීතිය කොහෙත්ම ක්‍රියාත්මක නොවේ.

පංචාල රජු තවදුරටත් ඉදිරියට පසල් දනව්වට යන විට දකින්නට ලැබුණේ නගුල් තලයකට කකුලක්‌ කැපී ලේ ගලමින් සිටිය දී ඒ අසල සිටි පංචාල රජුට ශාප කරමින් කෑ ගසන ගොවියෙකි. ඔහු දැත් හිස මත තබා "පංචාල රජා යුද්ධයකදී වත් කඩු ගෑවිලා නැසීsයන්" යනුවෙන් කෑ ගසමින් සිටියේය. තමන්ගේ නොසැලකිල්ල නිසා ගොනාට තුවාල වූ පලියට රජුට ශාප කරන්නේ මන්දැයි පුරෝහිතයා ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ උදේ පටන් ඔහු එම ගොනා ගෙන් වැඩ ගත් බවත්, දහවල් ඔහුගේ බිරිඳ ආහාරය පිණිස ගෙන ආ ආහාර රාජ භටයෝ උදුරාගෙන කා ඇති බවත්, නැවත කෑම උයාගෙන ඒම පිණිස ඇය ආපසු ගිය බවත්, පංචාල රජුත් එක්‌ක තිබූ කේන්තිය නිසා සාලි නම් මෙම ගොනාට පහර දුන් බවත්ය. ඔහුගේ බිරිඳ එන මඟ බලමින් බඩගින්නේ සී සානා විට ගොනා හෙම්බත් වී වැටී තුවාල වූ බවත් දුෂ්ට පංචාල රජු එයට වගකිව යුතු බවත් ගොවියා පැවසී ය. ගොවියාගේ ප්‍රකාශයේ සාධාරණ බව රජුට අවබෝධ විය.

වර්තමානයේ ගත් කල ද තත්ත්වය එසේ නොවේ යෑයි කිසිවකුට කිව නොහැකිය. ජනතාවට අයිති දැ ද සූරාගෙන කෑම එකල සමාජයේ මංකොල්ල කෑමක්‌ ලෙස සිදු වුවත් අද සමාජයේ එය සිදුවන්නේ අල්ලස්‌ ගැනීම, කොමිස්‌ ගැනීම යනා දී දූෂිත ක්‍රමවේදයන් මඟිනි. වරෙක ජනතාවට අයිති ඉඩම්වලින් ඔවුන් පන්නා දමමින් ඒවා මුදලාලිලාට විකිණීම, ජනතාව දුක්‌ මහන්සියෙන් හරි හම්බ කරගත් ව්‍යාපාර, කර්මාන්ත බලහත්කාරයෙන් පාලකයා පවරා ගෙන ඥති මිත්‍රාදීන්ට බෙදා දීම යනාදිය පමණක්‌ නොව ත්‍රස්‌තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් අනාථ වූ ගොවියන්ට ලබා දුන් සහනාධාරය පවා පාලකයන් විසින් සොරකම් කිරීම මෙරට සාමාන්‍ය තත්ත්වය බවට පත්ව ඇත.

පංචාල රජු තවදුරටත් පසල් දනව්වට යමින් සිටිය දී දකින්නට ලැබුණේ කුලප්පු වී කඹය කඩාගෙන කැලෑ වදින කුළු දෙනක්‌ කිරි හට්‌ටියක්‌ බිඳ දමා විසිරී ඇති බවත් ඒ අසල ඇසක්‌ තුවාල කරගෙන සිටි ගොපල්ලකු "කුරිරු පංචාලයාගේ ඔළුව කිරිමුට්‌ටිය බිඳිනවා සේ කුඩු වෙයන්" යනුවෙන් ශාප කරමින් සිටි හැටිය. මෙතරම් දරුණු ලෙස රජුට ශාප කරන්නේ මන්දැයි පුරෝහිතයා ගොපල්ලාගෙන් විමසූ විට ගොපල්ලා පැවසුවේ "මෙම පංචාල රජුගේ මැති ඇමැතියන්ගෙන් පටන්ගෙන ඉහළ සිට පහළ දක්‌වා ම ජනතාව එක සේ දුක්‌ පීඩාවට පත් කරනවා. උන්ට කොපමණ කිරි දොවා දුන්නත් මදි, අපේ වැස්‌සියන්ගේ කිරි ප්‍රමාණවත් නැති නිසා කැලෑවෙන් කුළු ගවයන් අල්ලාගෙන අපට කිරි දොවන්න සිදු වෙලා. උන්ගෙන් කිරි දොවන එක ලේසි නැහැ. ඉල්ලන තරම් කිරි නොදුන්නොත් උන් අපිට හිරිහැර කරනවා. මේ කුළු දෙනගෙන් මගේ ඇස තුවාල වුණේ ද පාලකයාගේ නොසණ්‌ඩාල වන්දි භට්‌ටයන් නිසා තමයි" යනුවෙනි. එසේ පවසමින් ඇස අල්ලාගෙන තව දුරටත් ශාප කළේ ය. සිය වරද නිසා එම විපත සිදු වූ බව රජු තේරුම් ගත්තේය.

තම දුප්පත්කම නිසා පාසලේ සේවා ගාස්‌තු ගෙවා ගත නොහැකි වූ ගැහැනු දරුවකු පොල් ගෙඩි කිහිපයක්‌ සොරකම් කළ බව පවසමින් පොලිසිය සහ අධිකරණය මගින් එම දරුවා සිර භාරයට පත් කරන ලදී. එහෙත් පොලිසියේ ඉහළ ම නිලධාරියාගේ පටන් පහළ දක්‌වා ම උදවිය දේශපාලන චණ්‌ඩින්ට සහ පාතාලයන්ට සැලියුට්‌ ගසනවා අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. අඹු දරුවන් පෝෂණය කරන්නට ආදායමක්‌ නොමැතිකම නිසාම පොල් ටිකක්‌ හෝ කෙසෙල් කැනක්‌ සොරකම් කළ වරදට සිර දඬුවම් විඳින ජෝන් ලා, මාටින්ලා අප්පුහාමි ලා ඕනෑ තරම් සිර ගෙවල්වල ඇත. එහෙත් කෝටි තිස්‌ දහසකට වඩා සොරකම් කළ සොරුන් කෝප් වාර්තාව මඟින් හෙළිදරව් වුවත් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව හිර ගෙදරට නොගොස්‌ රජ ගෙදරට ගොස්‌ මැති ඇමැතිකම් වරප්‍රසාද ලබා ගැනීම සිදු වූයේද කම්පිල්ල නුවර නොව මෙම ශ්‍රී ලංකාව තුළමය.

රජු සහ පුරෝහිතයා තවදුරටත් ඉදිරියට ගමන් කරද්දී දක්‌නට ලැබුණේ හිඳුණු දිය කඩිත්තක ගෙම්බන් දෙදෙනෙක්‌ "ඕකා මැරීයන්, ඕකා මැරීයන්" යනුවෙන් කෑ ගසමින් සිටින දර්ශනයකි. එවිට පුරෝහිතයා ගෙම්බන්ගෙන් ඇසුවේ උන් ශාප කරන්නේ කාටද යනුවෙනි. උන් රජුට ශාප කරන බව පැවසූ විට එයට හේතු විචාළ කල ගෙම්බන් පැහැදිලි කළේ රටේ මහත් සාගතයක්‌ පැතිරී ඇති බවත්, කපුටන්ට කෑමට යමක්‌ සොයා ගැනීමට නොහැකිව දිය කඩිතිවල සිටින ගෙම්බන් ගිලින බවත්. මේ සියලු අපරාධ සිදු වන්නේ පංචාල රජුගේ අධාර්මිකකම නිසා නිසි කලට වැසි නොලැබෙන නිසා බවත් යනුවෙනි. ගෙම්බන්ගේ චෝදනාවේ සාධාරණත්වය හොඳ හැටි තේරුම් ගත් රජු සහ පුරෝහිතයන් සාධාරණ ලෙස රට පාලනය කර රට නැංවීමට අධිෂ්ඨාන කර ගත්හ.

මහා සුපින ජාතකයේ සඳහන් වන්නේ කොසොල් රජු දුටු සිහින දහසය පිළිබඳව බුදුන්a වහන්සේ අර්ථ විවරණ ලබා දුන් සැටිය. ඒ අතරින්a හතරවැනි සිහිනය ලෙස ඔහු දැක තිබුණේ ආරෝහ පරිණාහ සම්පන්න මහා ගොන් යුග පරම්පරා අඟ යොදා තරුණ වූ ගොන් නාම්බන් රථ සකටාදී වූ භාරයන් සඳහා මුල්ගල හිස යොදන්නවුන් ය. එකී නාඹු (තරුණ) ගොනු මුල යොදන ලද කරත්ත ඇදගත නොහැකි ව ඔවුන් කරේ ඇති විය ගස සමඟ බිම ඇද වැටී සිට ඇත. ගැල් ඇදගත නොහූ තැන වෙළහෙළ¹ම් ආදිය අඩපණ වී රටේ සමෘද්ධිය නැති ව ගියේය. ඒ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ "මහ රජුනි, මීට විපාක අනාගත කාලයෙහි අධර්මිෂ්ඨ වූ රජ දරුවන් සමයේ ඇති වන්නේය. අනාගතයෙහි අධර්මිෂ්ඨ රඡ්ජුරුවෝ උගත් නුවණැති කාර්ය කර්තව්‍යයෙහි සමර්ථ සුදුස්‌සන්ට මහා අමාත්‍යාදී තනතුරු නො දී තරුණ වූ අඳ බාල පිරිස්‌වලට අමාත්‍ය තනතුරු ආදිය පිරිවර ලබා දෙති. අධිකරණ විනිශ්චයෙහිලා ද එවැනි වූ අඳ බාලයන් පත් කරනු ලබන්නේ ය. එකල් හි ගැල් ඇද ගන්නට අසමර්ථ ගොන් නාම්බන් කරේ බැඳි විය ගසුත් සමඟ බිම වැටී සිටින්නා සේ රටේ ආර්ථිකය ඇතුළු සියලු අංශවලින් රට පිරිහී විනාශ වන්නේය.

කොසොල් රජු දුටු අට වැනි සිහිනය වූයේ රජ මාළිගාවේ දොරකඩ බොහෝ හිස්‌ වූ කළ තිබිය දී එක මහා කළයක පමණක්‌ පැන් පිරී තිබූ සැටිය. සියලු ජනයා එසේ පිරී තිබූ කළයට ම පැන් ගෙනවුත් වත් කළ අතර එහි පැන් උතුරා යද්දීත් තව තවත් පැන් වත් කළේ ය. එහි අර්ථය පහදමින් බුදුන් වහන්සේ දේශනා කළේ "මහ රජ අනාගතයෙහි පහළවන අධාර්මික රජවරුන් කල ලොව පිරිහෙන්නේය. රට දුප්පත් වන්නේය. ජනතාව දුක්‌ත තත්ත්වයට පත් වන්නේ ය. ජනතාවගේ අටු කොටු සියල්ල හිස්‌ව තිබිය දීත් ජනතාව ලවා දුක්‌ මහන්සි වී හරි හම්බ කරන සියලු අස්‌වැන්න රජුගේ භාණ්‌ඩාගාරය වෙත ම ගෙන ගොස්‌ ගොඩ ගසා ගන්නේය. ජනතාවට ආහාර පාන පවා නොමැතිව කෘශ තත්ත්වයට පත් වන්නේය. එහෙත් අධර්මිෂ්ඨ රජුට එය ප්‍රශ්නයක්‌ නොවන්නේය යනුවෙනි.

මහ රජු දුටු නව වැනි ස්‌වප්නය වූයේ පස්‌ පියුමින් ගැවසී ගත්තා වූ වටින්මකොට ඇත්තා වූ එක්‌ පොකුණක පාද දෙකකින් යුත් සත්ත්වයන් බැස පැන් බොන දර්ශනයකි. එම පොකුණේ ගැඹුරු තැන්වල ජලය බොරව තිබුණේය. එහෙත් එහි ඉවුරු අසබඩ පැන් බොර නොවී ප්‍රසන්නව තිබුණි. බුදුන් වහන්සේ එය විස්‌තර කළේ "මහ රජ, අනාගතයේ රජ දරුවෝ අධාර්මික වන්නාහුය. ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් භයෙන් අගතියට යමින් වස්‌තු කාම ලොල් ව අල්ලස්‌ ගනිමින් අධර්මයෙහි ම ඇලී සිටින්නාහ. රට වැසියන් කෙරෙහි ශාන්තිය, මෛත්‍රිය, කරුණාව ඇත්තේ ම නැත. ඔහු චණ්‌ඩ ය. පරුෂය. ජනතාව පීඩාවට පත් කරමින් අය පඬුරු ලබා ගනිමින් පීඩිතයන්ට කිසිවක්‌ නො දී ඔහුගේ සුඛ විහරණය ම බලන්නේය. යනුවෙනි.

කොසොල් රජු දුටු එකොළොස්‌ වැනි ස්‌වප්නය වූයේ ලක්‌ෂයක්‌ වටිනා සඳුන් හරයක්‌ මී කුණකට විකුණන ආකාරයයි. එහි අර්ථය ලෙස බුදුන් වහන්සේ දේශනා කළේ. "අනාගතයෙහි අධර්මිෂ්ඨ රජකුගේ කාලයේ දී උන්වහන්සේ දේශනා කළ නිර්වාණය පිණිස වූ සද්ධර්මය දෙසීමට අසමත් යම් භික්‌ෂූන් වහන්සේලා චතුර්විධ රක්‌තයන්ට ලොල් ව මාලිගාවල, වාහල්කඩවල, සතරමං සන්ධි වල, වීදි මධ්‍යයෙහි දේශනා කිරීම නිසා උන් වහන්සේගේ ශාසනය පිරිහෙන බවය.

දොළොස්‌ වැනි සිහිනය ලෙස රජු දැක තිබුණේ හිස්‌ වූ වියළි ලබු දියෙහි ගිලෙන ආකාරයයි. බුදුන් වහන්සේ එය පැහැදිලි කරමින් දේශනා කළේ අනාගතයේ අධර්මිෂ්ඨ රජවරු යටතේ උගත් බුද්ධිමත් කාර්යශූර පුද්ගලයන් අධිකරණ විනිශ්චයයන්ට පත් නොකොට දුශ්ශීල පාපී පුද්ගලයන් විනිශ්චය මණ්‌ඩලවලට පත් කරමින් සතර අගතිය වපුරමින් රට අරාජික වන ආකාරයට පාලනය කරන බවයි.

බුදුන් වහන්සේ දේශනා කළ "ගවංෙච් තරමානානං - උජුං ගඡ්ජත්ති පුංගවො" යනුවෙන් අදහස්‌ කරන්නේ "ගව රැළක නායක හරකා කුමන දෙසට ගමන් කරයි ද රැලේ අනෙක්‌ හරක්‌ ද ඒ දෙසට ගමන් කරනු ලැබේ යන්නයි රාජ්‍ය පාලනය තුළ ද සිදුවන්නේ එය මය.

ගණ්‌ඩ තීන්දු ජාතකය කම්පිල්ල රටේ පංචාල රඡ්ජුරුවන්ගේ සමයට ලඝූ කොට තේරුම් නොගත යුතු අතර බෞද්ධ දර්ශනයේ පැහැදිලි ලෙස සඳහන් දස රාජ ධර්ම හා සප්ත අපරිහානි ධර්ම තුළින් වර්තමානය සම්බන්ධව විමසා බැලීම අවශ්‍ය ය. රටක පාලකයන් අදමිටු වන විට නීතියේ ආධිපත්‍යය බිඳ වැටේ. එවැනි රටක ව්‍යාපාරයක්‌. කර්මාන්තයක්‌ ආරම්භ කිරීමට විදේශීය ආයෝජකයන් පමණක්‌ නොව දේශීය පුරවැසියා පවා අකැමැති වේ. එනයින්ම ආර්ථිකය අඩාල වේ. පාලකයන්ගේ දූෂණ හේතුවෙන් ගොවි ජනයාට සපයනු ලබන පොහොර කෘමි නාශක යනාදිය පවා බාල වර්ගයේ ඒවාය. ඒ නිසා මිනිස්‌ ජීවිත විනාශ කරන ආසනික්‌ වැනි විෂ ජනතාවට කැවීම නිසා රටේ ම ජනතාව රෝගීන් බවට පත් වේ. එපමණක්‌ නොව දරුවන්ට දීම සඳහා ආනයනය කරන කිරි පිටි, සීනි යනාදියේ පවා වස විෂ අඩංගුය. රාජ්‍ය තන්ත්‍රය ඒවා සඟවමින් ජනතාවට වස කෑමට තිබෙන අවස්‌ථා වැඩි දියුණු කරයි.

පංචාල රජුට උපදෙස්‌ දීමට බෝසතාණන් වහන්සේ රුක්‌ දෙවියෙක්‌ ලෙස ඉදිරිපත් විය.
වර්තමාන ( 2013 )පාලකයන්ට උපදෙසක්‌ හෝ දීමට කිසිදු දෙවියකු ඇත්දෝ හෝ යි
ජනතාව සුසුම් හෙළමින් සිටින්නේ ඔවුන්ට කර ගත හැකි වෙනත් යමක්‌ නැති නිසාය.


නව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ
2013/06/22 දිවයිනට ලියූ ලිපියක්..
============================================

 ඔබ සිහින මවන නීතිය සහ ජනතා පරමාධිපත්‍යය 
නැවත පිහිටුවන්නට
 ශක්තියත් ධෛර්යයත් ලැබේවා.

 


නව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
සිය ධුරයේ වැඩ ආරම්භ කළේ, සුවිශේෂී තීරණයක් ගනිමිනි.

ඒ, සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව
බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක්
නිදහස් කිරීමට ගත් තීරණය යි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ,
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති පදවිප්‍රාප්තිය සහ
ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය පදනම් කරගෙන
මෙම පියවර ගත් බව ය.

ඒ අනුව, සුළු වැරදි සඳහා දඬුවම් ලබමින් සිටි පිරිසකට සහ
වයස අවුරුදු 75ට වැඩි සිරකරුවන් පිරිසකට නිදහස හිමි වනු ඇත.

ඊට අමතරව,
දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත වූවන් පිරිසක් ද
අද දිනයේ නිදහස් කිරීමට නියමිත ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ,
මේ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 65 දෙනෙකු
නිදහස ලබන බව ය.

සෙසු බන්ධනාගාරවලින් ද සිරකරුවන් පිරිසක්
නිදහස් කිරීමට නියමිත ය.

- Newsfirst.lk