20180922

හිතේ අවුල නිවා ගන්න ප්‍රථමාධාර......


වල් ඌරුමස් කෑල්ලක් එක්ක රා කට්ටක් ගහන
පාලිතගෙ හිතේ අවුල නිවන ප්‍රථමාධාරය
මත්පැන බව අපි දන්නවා.
වල් ඌරුමස් කෑල්ලක් එක්ක ගහන රා කට්ට
පස්සෙ හිත අවුල් වෙන වෙලාවට ගන්න
පොඩි පෙර හුරුවක් විතරයි.

මත්පැන් බොනවාට වඩා
සිය දිවි නසා ගන්නවාට වඩා
පන්සලකට පල්ලියකට කෝවිලකට ගිහින්
හිත නිවාගන ගෙදර ඇවිත්
අලුත් ජීවිතයක් අරඹන එක
හොඳ නැද්ද?


දුක් විඳින මිනිස්සු
පන්සලකට පල්ලියකට කෝවිලකට ගිහින්
හිතේ අවුල නිවන ආගමික ප්‍රථමාධාර
නිරාගමික චමීර ජීවන්තටත් ප්‍රයෝජනයි.

කියවලාම බලන්න.

Palitha Iddamalgodaගේ නිරාගමික ප්‍රශ්නය
[[[[ නිරාගමික යුවළක් මගුල් කාලා අපේ සිංහල බෞද්ධ පින්වතුන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් විනෝදසමයක් ගෙවන කාලෙනෙ මේ අපෙ හාන්දුරුවනේ.....

ඇත්තටම අපෙ හාන්දුරුවනේ ජාතිවාදී ගණයොන්ගෙයි බිස්නස් ගණයොන්ගෙයි තක්කඩිකම් ගැන, ෆෙන්ෂුයි, දේව හාස්කම් පළතුරු මිලියනයෙ මල් අසූ හාරදාහෙ මාකටිං පාරවල් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් හරහා අහිංසකයින් දාඩිය මහන්සියෙන් හම්බකරගන්න තුට්ටු දෙකට විදින හොර ජාවාරම්, මිනිස්සුන්ගෙ ආගමික වහල්කම් ප්‍රයෝජනයට අරගෙන දේශපාලකයො අන්දන ඇන්දිලි, 2500 මෙව්වා එකක් කියාගෙන බමුණු හා වික්ටෝරියානු යල් පැනපු වහන්තරාවල් ඔලුවෙ දාගෙන කෙල්ලෙක් අඳින ඇඳුමට විරිත්තමින් උන්ට ගරහන, පෙරහැරේ අලි ඇතුන් පෙරුම්පුරාගෙන ඇවිත් බොදු බැතියෙන් පැද්දි පැද්දි යනවාය වගේ එව්වා කියමින් විහිළු සපයන ගොබ්බකම් ගැන කතා කරන එකාලට දැන් මේ ඔය පහළ තියෙන දේවල් එකක්වත් කරන්න බැරිද අපෙ හාන්දුරුවනේ?

1. පෝරුවක නැගලා මගුළක් කන්න
2. වෙසක් එකට කූඩුවක් හදලා තොරණක් බලන්න දන්සැලක් දෙන්න
3. අවුරුද්දට කිරි ටිකක් උතුරවලා කිරිබත් කෑල්ලක් කැවුමක් කොකිසක් කාලා කණා මුට්ටියක් බිඳින්න
4. පෙරහැරක් බලලා සාර බුලත්විටක් කන්න
5. මයියොක්කා කෑල්ලක් වල් ඌරුමස් කෑල්ලක් එක්ක රා කට්ටක් ගහන්න ]]]]
__________________________________________

පාලිත වගේ බුකි සමාජය ඉදිරියේ
නිරාගමිකත්වය ආභරණයක් කියා හිතන
"විහිළු සපයන ගොබ්බකම් ගැන කතා කරන එකාලට"
ඔය ඕන දෙයක් කරන්න පුලුවන් පාලිත. :)

කතා කරන එකාල කරන්නෙ
ඒ ගැන කතා කරන එක විතරයිනෙ.
නිරාගමිකයන්ට ප්‍රතිපත්ති නෑ.

ආගමික විදියට දානෙ දීලා ඒ බව ඔබත් අපට පෙන්නුවා.
අෂ්ඨක කියලා මගුල් කාලා ඒ නිරාගමික යුවළත් පෙන්නුවා.

ආගමිකයන්ටත් හිතෙන හිතෙන
ඕනම දෙයක් කරන්න පුලුවන්.
දහම කියන්නෙ ස්වයං වාරණයක්නෙ.
ඒ වාරණය නොසලකා  ඕනම දෙයක් කරන්න
ආගමිකයාටත් පුලුවන්.
කරන වෙලාවට ඔවුනුත් නිරාගමිකයි.
ඔවුන්ටත් ප්‍රතිපත්තියක් නෑ.

ඒත් ඔවුන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ
ඔවුන් පිළිගන්නා කෙනෙක් විසින් ආගමක් දහමක් කියා
පැහැදිලිව වර්ග දෙකක් වෙන් කරලා තියනවා.
ඔවුන් ඒ ප්‍රතිපත්ති පිළිගන්නවා.
පිළිපදින්න උත්සාහ කළත්
කරගන්න බැරි වුණාම බිඳෙනවා.

අවංකව ආගමක් දහමක් පිළිගන්න අය
ඒ අනුව කළ යුතු දේ පුලුවන් විදියට කරනවා.
නොකළ යුතු දෙයින් පුලුවන් විදියට වළකිනවා.
ඔවුන්ට ඒ වගේ හැසිරෙන්න පුලුවන් වුණාම
කාටවත් ඔවුන්ගෙන් කරදරයක් නැති නිසා
කාටවත් ඔවුන්ගේ පිරිසිදු ජීවිත පෙනෙන්නෙ නෑ.
කළ යුතු දේ පුලුවන් විදියට කරනවා.
නොකළ යුතු දෙයින් පුලුවන් විදියට වළකින්න
ආගමික මිනිසුන් දරන වෑයම් වල අඩු ලුහුඬු
ඔහේ කතා කරනවා හැර වෙන කරන්න දෙයක් නැති
නිරාගමික ඔබලාට හොඳින් පෙනෙනවා.

ඔබ හිතේ අවුල නිවාගන්න මත්පැන් බොනවා.
මත් වෙලා හිත අක්‍රිය වීම ඔබට ආතල් එකක්.
හිතේ අවුල නිවා ගන්න අවශ්‍ය ප්‍රථමාධාර
හැම ආගමකම තියනවා.

ප්‍රථමාධාරය විකුණන ආගමික ව්‍යාපාරිකයා
ඒ සේවය වෙනුවෙන් විශාල ආදායම් උපයනවා.
ඒ ආදායමට ඉරිසියා කරන නිරාගමිකයා
ආගමික ව්‍යාපාරිකයාට දෙන ප්‍රහාරයෙන් වෙන්නෙ
දුක් විඳින මිනිහාට ප්‍රථමාධාර නැති වීමයි.
ඒ දුකෙන් මිදෙන්න නිරාගමිකයාට තියෙන්නෙ
මත්පැන විතරයි.

හිතේ අවුල නිවන ආගමික ප්‍රථමාධාර
නිරාගමික චමීර ජීවන්තටත් ප්‍රයෝජනයි.

චමීරටත් මියගිය ආත්තම්මා සිහිවුණාම
"ඇය ජීවත් ව සිටි කාලයේ ඇගේ කැමැත්තට අනුව කළ ආකාරයට,
කවුරුත් නොඑන වෙලාවක පන්සලකට ගොස්
නිස්කලංක, නිහඬ, නිශ්ශබ්ද තැනක වාඩි වී,
ඇය ජීවත් ව සිටි කාලයේ කළ ආකාරයටම,
දීර්ඝ ලෙස ගාථා සහ සූත්‍ර දේශනා සජ්ඣායනයකරනවා"

ළඟ පාත හෝ දුර බැහැර පන්සලකට ගොස්
නිස්කලංක, නිහඬ, නිශ්ශබ්ද තැනක වාඩි වී,
අනික් මිනිස්සු ගාථා පිරිත් කියන්නෙත්
චමීර වගේම හිතේ යම් අවුලක් දුකක් තියන නිසා තමයි...
ගාලුපාරෙ එහා මෙහා යන අය
කලුතර බෝධිය ළඟ බලන්න.
නිතරම කීප දෙනෙක් ඉන්නවා.

නිරාගමික චමීර ජීවන්තට වගේම
ඔවුන්ටත් ඒ ක්‍රියාව මත්පැනක්....
චමීර ඒකට කියන්නෙ නොස්ටල්ජික සතුට.
පන්සලට පල්ලියට කෝවිලට යන
අසරණ මිනිස්සුන්ට ඒ මත්පැන නැත්නම්
අර දුක අමුවෙන්ම විඳින්න වෙනවා.

හිතේ අවුලක් ආවම මත්පැන් බොන ඔබලා
ඔවුන් හිත නිවාගන්න කරන උත්සාහයන් දකින්නෙ
"විහිළු සපයන ගොබ්බ කම් විදියට" යි.

මත්පැන් බීම සල්ලාල කම අපි දකින්නෙ
"විහිළු සපයන ගොබ්බ කමක් විදියට" යි.

බාර් එකකට ගිහින් බොන්නෙ නැතුව බලා ඉන්න.
මොන විදියෙ පිස්සන් කොටුවක්ද ඒ.?
එතන බොන්නෙ නැතුව බලා ඉන්න පුලුවනි නම්
ඔබ ඔවුන්ට ඉහළින් ඉන්න විශේෂ පුද්ගලයෙක්.

වයිවාරන ඇඳුම් කොණ්ඩා මෝස්තර දාගෙන
ඉවක් බවක් නැතුව කෙල්ලො පස්සෙ යන
කොල්ලෙක් දිහා බලා ඉන්න.

අන්න නිරාගමික "විහිළු සපයන ගොබ්බකම්" .

දහම අවබෝධ කරගන්න බැරි
පිළිපදින්න බැරි අහිංසක මිනිස්සු
පන්සල් පල්ලි කෝවිල්වල රොක් වෙලා ලබන්නෙත්
ඔබලා මත්පැන් වලින් ලබාගන්න
හානිකර උමතු නිවීමමයි.
කෙල්ලෙක් පස්සෙ යන කොල්ලා හොයන්නෙත්
හිත එකඟ කරගන්න අරමුණක්..
ඔහුගේ නිවන සුරතාන්තයයි.
එතනින් ඔහු ආයෙම මෝහයට වැටෙනවා.

දුක් විඳින මිනිහාට ළඟම තියන
පහසුම නිවන අවසිහියයි. මෝහයයි.
කායික වේදනාවකදි
පැනඩොල් එක ලබා දෙන්නෙ ඒ මෝහය.

ආගම්වලදි හිතේ අවුල නිවීම නිවන නොවෙයි.
නිවන් දකින්න යන දුක් විඳින කෙනාට
සමාධිය සිහිය ප්‍රථමාධාරයක්.

කිසාගෝතමීට නොමළ ගෙයකින්
අබ ඇට හොයාගන එන්න කියා යැව්වෙ
දරු දුකෙන් ඇතිවුණ හිතේ අවුල නිවාගන
සිහිය පහළ කරගන්න අවශ්‍ය වෙන
ප්‍රථමාධාරය වශයෙන් තමයි.

ඔබට වඩා බොහෝ ඉහළින් තියන
සීල, සමාධි, ප්‍රඥා මාර්ගය දකින්න බැරි නිසා
ඔබ ඔබේ මට්ටමේ ආගමික මොන්ටිසෝරි දරුවන් පස්සේ
ආතල් එකට හඹා යමින් කෝචොක් කරමින්
ඔවුන් දුකෙන් මිදෙන්න දරන අහිංසක උත්සාහයන් දිහා බලාගෙන
"විහිළු සපයන ගොබ්බකම්" විදියට හෙළා දකිනවා.

මේ වෙලාවෙ හිසේ කැක්කුමක් නැති මිනිහාට
හිසේ කැක්කුම ඇති මිනිහාගේ හිස කුඩිච්චිය
"විහිළු සපයන ගොබ්බකම"ක්
ඔහුට හිසේ කැක්කුමක් ආවම ඔහුත් කරන්නේ
ඒ හිස කුඩිච්චියම හිසේ දාගෙන
පෝරුවට නගින එකයි.

අන්න නිරාගමික "විහිළු සපයන ගොබ්බකම්" .

ධාතු වන්දනා
මල්පහන් පිදීම්, යාඥා කිරීම්, ස්තෝත්‍ර කීම්
භජන් ගායනා ආදී මේ උත්සාහයන් වල
පරමාර්ථය සිතේ අවුල නිවා ගැනීමට
අවශ්‍ය පුහුණුව ලබා ගැනීමයි.
ඒ අඩු ලුහුඬු අයන්න ආයන්න කියවන
කුඩා දරුවන්ට වෙන වැරදි වගෙයි.

හිත නිවා ගන්න හිතාගෙන
ඒ වැරදි කරන මිනිස්සු පියවරෙන් පියවර
ඉදිරියට ගිහින් කල්ප ලක්ෂෙකින් හරි නිවන් දකිනවා.
කොල්ලා කෙල්ල අත්හැරියා කියා තැවෙමින්
සිය දිවි නසා ගන්නවාට වඩා
පන්සලකට පල්ලියකට කෝවිලකට ගිහින්
හිත නිවාගන ගෙදර ඇවිත්
අලුත් ජීවිතයක් අරඹන එක
හොඳ නැද්ද?

ආගමික ක්‍රියාකාරකම් බලලා
"විහිළු සපයන ගොබ්බ කම් විදියට"
ඔබ හිනා වෙනවා.

හිත අවුල් වුණාම මත්පැන් බොන ඔබලාට
ආගමිකයන් හිනා වෙන්නෙ නෑ. පව් කියා හිතනවා.
තමන් කරන දේම වෙනත් විදියකට කරන
තමන්ගේ මානසික මට්ටමේම අයට හිනා වෙන්නෙ
නිරාගමික ඔබලා විතරයි.

ප්‍රඥාවන්ත කම බැලුවොත්
නිරාගමිකයාත් අර මොන්ටිසෝරි ආගමිකයාමයි.
මොන්ටිසෝරි ආගමිකයාට දහම පෙනෙන්නෙ නෑ.
ඔහු දහම සමග ඉන්නෙ ශ්‍රද්ධාව නිසයි.

දහම දකින්න ඇස් නැති ඔබ වැනි නිරාගමිකයන්
ආගමිකයන්ගේ අහිංසක උත්සාහයන් දිහා බලාගෙන
ඒ වෑයම් "විහිළු සපයන ගොබ්බ කම් විදියට"
ඒ ක්‍රියා මාර්ග නිර්දය ලෙස හෙළා දකිනවා.
ඔවුන්ට "විහිළු සපයන ගොබ්බ කමක්" කරන්න
උවමනාවක් ආවම කබරයා තලගොයා වෙනවා.

"විහිළු සපයන ගොබ්බකම් ගැන කතා කරන එකාල"ම
ඒ "විහිළු සපයන ගොබ්බකම්" කරන්න
අපිටත් පුලුවන් නේද කියා සමාජයෙන් විමසනවා.

"විහිළු සපයන ගොබ්බකම් ගැන කතා කරන එකාල"ටම
ඒ "විහිළු සපයන ගොබ්බකම්" ඉහේ තියාගන්න වුණාම
ඊටත් වඩා "විහිළු සපයන ගොබ්බකමක්"
තවත් තියනවාද පාලිත..?