20170206

සාපේක්ෂක ඉවත් කරන්න! නිවන නොමිලේ.


* Hasitha Wanniarachchi 
[[[ අවබෝධය තියෙන තැන ගැටුම් නෑ. ගැටුම් නැති තැන නිවීම ! එච්චරයි. ]]]
-මෝහයෙන් ගැටුම් නැතුව ඉන්න පුලුවන්.
ප්‍රඥාවෙනුත් ගැටුම් නැතුව ඉන්න පුලුවන්.
මෝහයෙන් ඉන්න කෙනෙක් තුළ උණුහුමත් නෑ.
සීතල මළකඳක් නිසා නිවිලා.
තව කෙනෙක් මෝහයට පත් කිරීම හැර
වෙනත් ප්‍රයෝජනයක් නෑ.
ප්‍රඥාවන්තයා දැල්වෙන්නෙ උදුනක් වගේ.
අනවශ්‍ය ප්‍රදේශ වලට ගින්න පැතිරෙන්නෙ නෑ.
ඒත් ප්‍රයෝජනවත් දේට ගින්න යොදාගන්නවා.
* Hasitha Wanniarachchi 
[[[ එතන තමයි අතුල සහ මම වෙන්වෙන තැන.
මෝහය තුල ඇතිවෙන නිවීම පැහැදිලි කරන්න ? ]]]
-ඔබ ලබන අත් දැකීම් වලදි
එක්කො ඔබ ඒ අත්දැකීම ප්‍රිය කරනවා.
නැත්නම් අප්‍රිය කරනවා.
ප්‍රිය අප්‍රිය වුණොත් ඔබ සංවේදීයි.
සංවේදී අය
සැප සහ දුක විඳිනවා.
ප්‍රිය අප්‍රිය දෙකෙන්ම ඔබ දැවෙනවා.
ප්‍රිය දැවීම ඔබට ප්‍රියයි.
අප්‍රිය දැවීම අප්‍රියයි..
ප්‍රිය අප්‍රිය අත්දැකීම් වලදි
ඔබේ නිවීම නැති වෙනවා.
දැවීම ප්‍රබල නම් ඔබ කැළඹෙනවා.
ආවේගශීලී වෙනවා.
දුක සැප ඉහළ යනවා.
දුකක් සැපක් නැති
අනිත් හැම අත්දැකීමක් තුළම
ඔබ ඉන්නෙ මෝහයෙන්..
ඔබ ඒ අත්දැකීම සමග සම්බන්ධ නෑ.
සමහර කෙනෙක්
සැප දුක දෙක මග හැරලා
මෝහයෙන් වෙසෙන්න ප්‍රිය කරනවා.
ඔවුන් ඒ සඳහා නොයෙක් උපක්‍රම
භාවිතා කරනවා.
සාමාන්‍ය කෙනෙක් මේ දේ කරගන්නෙ
හිත වෙන දේකට යොමු කිරීමෙන්.

බස් එකේ ගමන දුකක් නම්
මොබයිල් එකෙන් සින්දුවක් අහනවා.
පොතක් පත්තරයක් බලනවා.
උපරිම මෝහය වෙන
නින්දටම පත් වෙනවා.
මෝහයෙන් පසු වෙද්දි
කය දුක් විඳිනවා ඔහු දන්නෙ නෑ.
හිත වැඩ කරනවා... ඔහු දන්නෙ නෑ.
ඔහු ඉන්න ස්වභාවය ගැන සිහිය නැහැ.

පවතින ස්වභාවයෙන් මිදිලා
මෝහයට පත් වෙන සරල ක්‍රම
කුඩා දරුවාගෙ පටන් හැමෝම
අම්මාගෙ උකුළේ නැලවෙන දවස්වල ඉඳලා
හැම කෙනෙක්ම දන්නවා.
ආගම් භක්තිය තියන කෙනාට
දුකක් ආවම ඔහුගෙ ශ්‍රද්ධාව අනුව
කර්ම විපාකයක් ... දේව කැමැත්ත කියලා
ඒ දුක පිළිබඳව
හිතේ සම්බන්ධය විසන්ධි කරලා
මෝහයට පත් වෙනවා.

ආගමික දර්ශනයෙන් හිස මේරූ අය
"මම කියා කෙනෙක් නෑ" "සියල්ල අත්හැරීම නිවනයි"
වගේ දාර්ශනික තර්කයකින්
හිත පෙළන දුක විස්ථාපනය කරලා
බැතිමතා පත් වෙන මෝහයටම
තර්කයෙන් පත් වෙනවා.

තවත් පිරිසක් සාපේක්ෂක ඉවත් කරලා
හිත ශූන්‍ය කරගෙන මෝහයට පත් වෙනවා.
ඔහුගෙ හිත තාවකාලිකව නිවෙනවා.
ඒත් ඔහුට සිහිය නැහැ.

ඔහු වේදනා පැමිණෙනවිට නිර්වින්දනය වෙලා
සිදු වෙන දේ ගැන මෝහයෙන් වෙසෙනවා.
මෝහයෙන් වෙසෙන්නා තර්කයෙන් දකින දේ
අවබෝධය කියා ඔහු රැවටෙනවා.

අව්වෙ ඉන්න කෙනෙකුට අව්ව දුකක් වෙද්දි
ඔහු අව්ව කියන්නෙ කුමක්ද,
අව්වෙන් දැනෙන තාපයට හේතු මොනවාද?
අව්ව ශක්තියක්ද, පදාර්ථයක්ද?
ආදී වශයෙන් තර්ක කරද්දි
සිහිය වෙනතක යොමුවී ප්‍රපංච හැදෙනවිට
ඔහුට අව්ව නොදැනි යනවා.

ඔහුට දුක නොදැනෙන්නෙ
අව්ව අවබෝධ කරගත් නිසා කියලා
ඔහු මුලා වෙනවා.

ඒ මුලාව ප්‍රඥාව නොවෙයි.
දුක් විඳින මිනිස්සුන්ට
දුකෙන් පැනලා ගිහින්
මෝහයට පත් වෙලා නිවෙන්න
පහසු ක්‍රම වේද අසීමිතයි.
ඒ ක්‍රමවේද එකිනෙකාට ආවේණිකයි.
ප්‍රඥාවෙන් ජීවත් වෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
ඔහු තමන්ගෙ කය ගැන සිහියෙන් පසු වෙනවා.
ඔහුගෙ හිත ගැන සිහියෙන් පසුවෙනවා.
කය වෙනස් වෙන හැටි පෙනෙනවා.
හිත වෙනස් වෙන හැටි පෙනෙනවා.
මේ වෙනස දුක බව දන්නවා.
මේ වෙනසත් තමන් විඳින දුකත්
පැවැත්ම විනා තමන් කරන දෙයක් නොවෙන බව
ඔහු දන්නවා.
දුක සැප විඳින විට ඒ ගැන සිහියෙන්
ඒ සිදුවෙන වෙනස්කම් කයෙහි වෙනස්වීම් ලෙස දකිමින්
ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් අල්ලා නොගෙන
සිහියෙන් දකින වෙනස්කම් නොවිඳීම තුළ
නිවීමට පත්ව ජීවත් වෙනවා.
ප්‍රඥාවෙන් නිවෙන තැනැත්තා තුළ මෝහය නෑ.

දළදා වහන්සේ හේමමාලාගේ දතක්ද?

දළදා වහන්සේට අපහාස වන අයුරින්
දන්ත හේමමාලා කුමර කුමරියන් පිළිබඳව
අසභ්‍ය, අශීලාචාර කතාවක් ගොතා
තුලාවෙහි පළකළ හසිත වන්නි ආරච්චි
කරුණාවෙන් ලියමි.
https://www.facebook.com/groups/thulawa/permalink/1459609677396391

හසිත හොඳින් දෙබස් හැසිරවිය හැකි
නිර්මාණශීලී පුද්ගලයෙක් බවට
අපි සැක කරන්නෙ නෑ.
මේ නිර්මාණයෙනුත් පළකිරීමෙනුත්
කාටවත් හොඳක් සිදු වෙයි කියා
අපට හිතන්න බැහැ.

ඔහුගෙ ප්‍රතිභාව මගින්
ඔහු අප තුළ ඇති කරන හැඟීම් ඉතා ප්‍රබලයි.
දෙබස් ඉතාම නාට්‍යමය අයුරින් පෙළ ගස්වා තියනවා.
_____________

ඔබේ දක්ෂකම සුවිශේෂයි හසිත.
ඒ දක්ෂකමට මම ගරු කරනවා.
සරච්චන්ද්‍ර, සේකර, ප්‍රේමකීර්ති වැන්නන්ගෙ තිබුණ
මානව දයාවෙන් ඒ දැක්ම පෝෂණය වුණොත්
ඔබට ලොකු සේවයක් කරන්න පුලුවන්..
බිඳෙන්නෙ නැතුව ඕන පැත්තකට නැවෙන්න
නිදහස් පුද්ගලයෙකුට ශක්තිය තියනවා.

හිතට එකඟව, ගෞරවයෙන්
නාට්‍ය ක්ෂේත්‍රය පැත්තට යොමු වුණොත්
ඔය හැකියාව සම්පතක් වෙයි..
ඔබේ දෙබස් වල නාට්‍යමය රිද්මය
ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන්නක්..
සැලකිල්ලෙන් උවමනාවෙන් තියුණු කළ යුතු
ඔබට ආවේණික හැකියාවක් එහි තියනවා.

ඒත්.... උදේනි රජ පුත් දන්ත කුමරු
උදේනි රජ දූ මාලි කුමරිය
සොයුරු සොයුරියන් බවවත්
ඔබ සලකා නැහැ..
ඔබ ඔවුන් නිරූපණය කරන්නෙ
දළදා වහන්සේ අමතක කොට
සංවාසයේ යෙදුණ යුවලක් ලෙසයි.
ඒ අලකලංචිය මැද්දෙ "දත" නැති වෙලා.
ඔහුගෙ පහරකින් ගැලවුණ දතක්
අද වන්දනාවට ලක්වෙනවා කියා
ඔබ උපකල්පනය කරනවා.

දළදා වහන්සේ ගැන ඔබ කියන්නෙ
" 'දත' සාහිත්‍ය කතාවක් පමණක්" කියායි.

සාහිත්‍ය කතාවක් විදියට
ඔබේ පවුලට "සැකය" ආදේශ කරමින්
අපිත් උපකල්පනයක් කර බලමු.

අපි අපේ අම්මා දැනගත්තත්
තාත්තා ගැන තියෙන්නෙ විශ්වාසයක්..
අපේ තාත්තා සැබෑම තාත්තා බව
අපි අදටත් විශ්වාස කරන්නෙ
අපිට අම්මා විශ්වාස නිසායි.
අපි කවුරුවත් ඩී එන් ඒ පරීක්ෂණ මගින්
තාත්තාගෙ සත්‍ය බව සොයන්නෙ නැහැ.

සැබෑ තාත්තා වෙන කෙනෙක්ම වුණත්
"මගෙම දරුවා" කියන දයාබර හැඟීමෙන්
අපිව හදා වඩා රැක බලාගත් තාත්තාට
අපි ගරු කරනවා.
අවශ්‍ය වෙලාවට සත්කාර කරනවා.
ඒ වාතාවරණය නිර්මලයි, පිවිතුරුයි.

දළදා වහන්සේත්, දන්ත හේමමාලාත්
සැක කරන හසිතගෙ කුහුල් සිත අනුව
හසිත තාත්තා කියන තැනැත්තා
හසිතගෙ සැබෑ තාත්තා නොවෙන්න පුලුවන් කියා
හසිත යම් කලක සිට සැක කරනවාත් ඇති.
ඒ අවිශ්වාසය මත
ඔබ ඔබේ අම්මාගේ පතිවත සැක කිරීමෙන්
ඔබට හෝ අම්මාට හෝ තාත්තාට
සිදු වෙන හොඳ මොකක්ද?

ඔබේ තාත්තා
අම්මා සමග අනියම් සබඳතාවයක් තිබුණ
වෙනත් මිනිහෙක් වෙන්නත් පුලුවන් කියා සිතමින්
මේ ආකාරයටම ඔබේම අම්මා සැක කරමින්
අසභ්‍ය, අශීලාචාර කතාවක් ගොතා
ඔබේ දූෂිත හිත ඔබ ඔවුන්ට එළිදරව් කළොත්
ඔබේ පවුලේ ඇතිවෙන දූෂිත වාතාවරණය
ඔබ තිදෙනාට සිදු වෙන හොඳක්ද?

ඔබත් නොදන්නා සැඟවුණ සත්‍යයක් ගැන
ඔබේ තාත්තාගේ හිත තුළ
අනියම් සැකයක් පහළ කිරීමෙන්
ඔබ ඔහුට හෝ ඔබේ අම්මාට හෝ
ඔබට කරගන්නා හොඳ මොකක්ද?

ඔබේ සැබෑ තාත්තා කවුරු වුණත්
දැන් ඉන්න තාත්තා සමග ඔබ ගෙවන
මේ සැදැහැවත් ජීවිතය
ඒ සැක බිය සහිත දූෂිත ජීවිතයට වඩා
හොඳ නැද්ද?

කිසිම පදනමක් නැතුව
දළදා වහන්සේ විශ්වාස නොකරන කෙනෙක්
කිසිම පදනමක් නැතුව
දළදා වහන්සේ විශ්වාස කරන කෙනෙකුගෙන්
වෙනස් වෙන්නෙ අදහසෙන් විතරයි.
ඒ දෙන්නාම සත්‍යය දන්නෙ නෑ.
කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියනවා.
අනෙකා තුළ විචිකිච්ඡාව තියනවා.
ශ්‍රද්ධාව නිවුණ හිතක ගුණයක්.
විචිකිච්ඡාව දැවෙන හිතක ගුණයක්.

දළදා වහන්සේ විශ්වාස නොකරන කෙනෙක්
දළදා වහන්සේ විශ්වාස කරන කෙනෙකුගෙ ශ්‍රද්ධාවට
තමන්ගෙ විචිකිච්ඡාවෙන් පහරදීම
මිනිස් සමාජයකදි පහත් ක්‍රියාවක්.

ඒ ක්‍රියාවෙ පහත් බව හොඳින්ම වැටහෙන්නෙ
හිතේ උපදින ශ්‍රද්ධාව නිසා
දළදා වහන්සේ විශ්වාස කරන අයට නොවෙයි.
බුදුන් වහන්සේ දුක් විඳ සොයාගත් දහම හඳුනාගෙන
ශීල සමාධි ප්‍රඥාව දිනෙන් දින
බිඳෙන් බිඳ ප්‍රගුණ කරමින්
ඒහි ප්‍රතිඵල ලෙස ජීවිතයෙ විඳින දුක් නිවාගනිමින්
ඒ නිවෙන හිතේ උපදින කෘතඥභාවයෙන්
බුදුන්වහන්සේ දෙස බලන අයටයි.

යමෙක් නිර්මාණයක් කළාම
බුදුන් වහන්සේ ගැන හිතුවත්
ඒ නිර්මාණයෙන් ප්‍රකට වෙන්නෙ
ඔහුගෙ හිතේ ඇතුළාන්ත ස්වභාවයයි.
ඒ හිත ඒ ආකාරයට සකස්වෙන්නෙ
ඔහු සසරින් ගෙනා දේත්,
දෙමව්පියන්ගෙන් ලැබුණ දේත් අනුවයි.

මේ නිර්මාණයෙන් පෙනෙන්නෙ
දළදා වහන්සේවත්,
දන්ත, හේමමාලා යුවළවත් නොවෙයි..
හසිත වන්නිආරච්චිගෙ හිතේ ස්වභාවයයි.
ඒ වගේම හිත් තියෙන අය
ඔහුගෙ නිර්මානය රස විඳීවි..

දළදා වහන්සේ විශ්වාස කරන අය විදියට
අපි කවදත් රස විඳින ගීයක් මේ.

මේ නිර්මාණයෙත් තේමාව දළදා වහන්සේයි..

උත්තම මුණි දළදා වඩම්මන
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ//

උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්//
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුණි දළදා වඩම්මන
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ

තඹවන් ‍වැල්ලට මල් වැහි වස්සන
නිසිකල රන්ගොයමේ කිරි වද්දන
උත්තම මුණි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ

සත්සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා//
උත්තම මුණි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත්සමුදුරු ගැඹරේ

මේ කලාකරුවන්ගේ සිත් සතන් වල
මොන වගේ නිවීමක් ඇතිද?

බුදු දහමේ පිහිටෙන්
නිවෙන හිතේ උපදින කෘතඥභාවයෙන්
බුදුන්වහන්සේ දෙස බලන අපි රස විඳින නිර්මාණ
සේකර ප්‍රේමකීර්ති වැන්නවුන්ගේ නිර්මාණයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළාවූ
ක්ෂාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය
ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගායනය-සංගීතය.: වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනය

බුදු දහම සමග
ප්‍රේමකීර්ති තුළ වූ සමීප සබන්දතාවය
මෙහි දෙවන කොටසෙන් පැහැදිලි වෙයි.
යකුළු පහරට කැපී වෙන් වෙන ගලක් මෙන්
ඔබේ පිළිරුව තනන්නට පූජාවක් වී
ඉවසා සිටින්නට පෙරුම් පුරමින් ඔහු පතන්නේ
අත් පා කපද්දී ක්ෂාන්ති පාරමිතා පිරූ
බෝසත් තවුසා අත්දුටු ක්ෂාන්තියයි..

අද ඔබ දෙපා මුල මලක් විඳින සිහිලස
කෙලෙස් ගින්නෙන් දැවෙන මට නැත.
මිනිසෙකු වන මට මලක් වන්නට නොහැකියෙන්
මා මලක් වන දිනක ඔබ පාමුල පරවුණාවේ.

ප්‍රේමකීර්ති මේ ගීතයට නගන්නේ
ඔහු තුළ ඇති ශ්‍රද්ධාව පමණක් නොවේ.
ඔහු සිය පෑන් තුඩින් අපේ ශ්‍රද්ධාවටද පණ පොවයි.
ප්‍රේමකීර්ති බුදුන් වහන්සේ හමුවට ගියා නම්
අනේපිඬු සිටු පුතුට මෙන්ම
"එන්න ප්‍රේමකීර්ති හිඳගන්න " කියා
බුදුන් වහන්සේගෙන් සැලකුම් ලබන්නට තරම්
බුදුන් වහන්සේට සමීප බවක් ඔහු තුළ වූ බවක්
මින් හැඟෙයි.
-
බුදුන් වහන්සේ පිළිබඳ සේකර තුළ වූ
අචල ශ්‍රද්ධාව පිළිබිඹු කරන ගීයකි මේ.

ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

මෙලොව පිහිටක් නැති වූ කල
බවුන් වඩනට වනයට ගොස්
කෙලෙස් මල ඉවත් කළ හැකි බව ඔහු දනියි.

බුදුන් වහන්සේගේ යෝධ බුද්ධ කාය
ඔහුගේ කුඩා බව පෙන්වා
ඔහු සිත මෝහනය කර ඇත.
එහෙත් ඒ කුඩා බව
ඔහුත් බුදුන් වහන්සේත් අතර
පරතරයක් ඇති කර නැත.

ඔහුගේ සිතුම් පෙළ අපේ ශ්‍රද්ධාව සහ
බුදුන් වහන්සේ පිළිබඳව අප තුළ ඇති රුව සමග
මනාව සමපාත වෙයි. සැසඳෙයි.

බුදුන් වහන්සේ පිළිබඳ තාගෝර් කිවිඳුන් තුළ වූ
අනුපමේය ශ්‍රද්ධාව පිළිබිඹු කරන කෙටිකතාවකින්
මේ විවරණය අවසන් කරමි.

රවීන්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්
බුදුන් වහන්සේ දකින්නෙ කෙසේද?
__________________________

නෙළුම් පූජාව.
කරුණාවක් නැති තුෂාරය හේතු කොට ගෙන  නෙළුම් මැලවී තිබුණේය.
උයන් පල් සුදාස්ගේ පොකුණේ පමණක් එක නෙළුමක් පිපී තිබුණේය.

මේ නෙළුම විකිණීම පිණිස ඔහු එය රජවාසලට රැගෙන ගියේය.
අතර මගදී ඔහුට ධනවත් වෙළෙන්දෙක් මුණ ගැසුණේය.
නෙළුම වෙළෙන්දාගේ සිත් ගත්තේය.

" නුඹේ නෙළුම මම ගන්නම්.
නගරයේ වැඩ සිටින බුදු හාමුදුරුවන්ට පූජා කරන්න.
මිල කීයද." ඔහු විමසුවේය.

සුදාස් ඊට රන්කාසියක් ඉල්ලුවේය.

වෙළෙන්දා රන්කාසිය සොයනවිට,
තථාගතයන් වහන්සේ වෙත යනු පිණිස
රජතුමා වාසලින් නික්ම ආවේය.
ඔහු හෙළ නෙළුම දැක,
බුදුරජාණන් වහන්සේ උදෙසා මම මෙය ගන්නම්.
මිල කීයද?" විචාළේය.

" එය මම රන් කාසියකට විකුණා තිබෙනවා."
උයන්පල්ලා කීවේය.

" මම රන්කාසි දහයක් දෙන්නම්" රජතුමා කීවේය.

" මම රන් විස්සක් දෙන්නම්" වෙළෙන්දා මොර දුන්නේය.

නෙළුම මිලදී ගැනීම පිණිස ඔවුහු තරක් වූහ.
මිල ක්‍රමයෙන් නැග්ගේය.

උයන්පල්ලා මේ තරඟයට කන්දෙමින් කල්පනා කළේය.
" තථාගතයන් වහන්සේ උදෙසා ඔවුන්ට මෙය උවමනාවී තිබෙනවා.
උන්වහන්සේගෙන් මට මීට වඩා කොපමණ ගත හැකිද"
ඔහු සිතුවේය.

" සමාවෙන්න. මම නෙළුම විකුණන්නේ නැහැ. "
ඔහු දෙඅත ඔසවා කියා සිටියේය.
මෙසේ කියා ඔහු
බුදුන් වහන්සේ ශාන්තව
දිව්‍යමය තේජසින් වැඩ සිටිය තැනට දිව්වේය.

සුදාස් උන්වහන්සේ දැක තැතිගෙන සිට ගත්තේය.
මොහොතකට ඔහුට කිසිවක් කර කියා ගැනීමට නොහැකි විය.
පසුව ඔහු උන්වහන්සේගේ ශ්‍රී පාමුල ඇද වැටී
උන් වහන්සේට නෙළුම පූජා කළේය.

"ඔබට කුමක්ද උවමනා.?
උන්වහන්සේ මද සිනාවක් පාමින් විචාළේය.

"කිසිවක් නොවෙයි,
ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් ස්පර්ශය වූ
දූවිලි කැටයක් පමණයි මට උවමනා"
ඔහු මහත් ආශාවෙන් ඉල්ලා සිටියේය.
___________________________

මෙහි චරිත හතරක් ඇත.
වැදගත්ම චරිතය සුදාස්ය.
ඔහු මල් විකුණන්නෙකි..
තුෂාරයෙන් සියලු නෙළුම් මල් මැළවී ඇත.
ඔහු සතුව ඇත්තේ එකම පිපුණු මලකි.
එහි සැබෑ වටිනා කම ඔහු දනී.

සුදාස් ධනවාදියෙකි.
ඉල්ලුමට සරි ලන සැපයුමක් නැති බව දන්නා ඔහු
ධනවත් වෙළෙන්දා සූරාකන්නට සිතුවේය.
රන් කාසිය කුඩා මුදලක් නොවේ.
වෙළෙන්දා මල ගන්නේ ඇයිදැයි කියන විට
අප බුදුන් වහන්සේ කවුදැයි නොදන්නෙමු.
සුදාස් සහ අප උන් වහන්සේ ගැන දැනගන්නේ
වෙළෙන්දාගේ සහ රජුගේ තරඟය නිසාය.

බුදුන් වහන්සේ කවුදැයි නොදත්
සුදාස්ගේ සිත තුළ කෑදරකම උපදියි.
ඔහු බුදුන් වහන්සේ වෙත දුවන්නේ
මුදලට කෑදර ධනවාදියෙකු ලෙසයි.
බුදුන් දුටු මොහොතේ පරිවර්තනය වන ඔහු
නිමේශයකින්  ශ්‍රද්ධාවන්තයෙකු වෙයි.
ඔහු ප්‍රඥාව දෙසට පලමු පියවර තබා ඇත.
රන්කාසි විස්ස ගත්තා නම්
ඔහු ගෙදර යන්නේ කැළඹුණු සිතකිනි.
මේ නිවීම ඔහු තුළ නොවේ.

සුදාස් තුළ අප මේ දකින්නේ
සුදාස් දුටු බුදුන් වහන්සේ නොවේ.
අප සමග සුදාස් මේ දකින්නේ
උපතින් හින්දු බ්‍රාහ්මෝ නිකායෙහි උපන්
හින්දු ආගමිකයෙකු වූ තාගෝර් කිවිඳුන්
සිය මනසින් දුටු බුදුන් වහන්සේය.

තාගෝර්ගේ ශ්‍රද්ධාව ඔහු තුළ වූ
දේව වාදයෙන් පෝෂණය වී ඇත.

ප්‍රේමකීර්තිගේ ශ්‍රද්ධාව
පවෙන් ආරක්ෂා කරන සෙවනකි.
ආත්මික පූජාවකි.

බුදුන් වහන්සේගේ සරණ සෙවීමෙන්
කෙලෙස් නැසෙන බව සේකර දනියි.
ඔහු තමාත් බුදුන් වහන්සේත් අතර වූ
පරතරය සිතින් දකියි. නොසැලෙයි.

ඒ වෙනස්කම් කෙසේ වුවද ඔවුන්ගේ නිර්මාණ
අප හදවත් ස්පර්ශ කරන්නේ
ඒ නිර්මාණවලට පදනම්වූ නිර්මාණකරුවාගේ ශ්‍රද්ධාවයි.