20230704

උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම සංඝාදිසේස ආපත්තියකි

 

"සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර
ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම
සංඝාදිසේස ආපත්තියකි."

බුදු දහමෙහි භික්ෂූන්ගේ ආරක්ෂාවට
විනය නීති විශාල සංඛ්‍යාවක් පණවා ඇත.
ආත්ම දමනයෙන් තොරව හැසිරෙමින්
භික්ෂුවක් කරන වැරදි අල්ලාගෙන
සමස්ත බෞද්ධයන්ට සහ සසුනට ගරහන
සමහරුන්ගේ අඩුපාඩු සහිත මානසික තත්වය
කෙතරම් අසාධාරණදැයි වටහාගත හැක්කේ
එම විනය නීතිවල සාධාරණත්වය විමසීමෙනි.
බුදුන් වහන්සේ විනය නීති පැණවීමෙහිදී
ප්‍රධාන කොට සලකන්නේ චේතනාවයි.
මානසික ක්‍රියාවයි.

කාමය නිසා භික්ෂුවක් කරන
විනය විරෝධී කායික වාචික මානසික
ක්‍රියාකාරිත්වයන්ගෙන් වැළකීමට
යම් සිල්වත් භික්ෂුවකට අවශ්‍ය නම්
ප්‍රමාණවත් විනය කරුණු ත්‍රිපිටකය සතුය.
එම කරුණු හදාරන ගිහියෙකුට වුවද
තම මනස ක්‍රියා කරන ආකාරය සහ
කායිකව රාගයෙන් මුලා වී කරන
තමන්ගේම නොපනත් ක්‍රියා පිළිබඳව
සිහිය දියුණු කරගත හැකිය.

පහත දැක්වෙන කරුණු උපුටාගන්නා ලද්දේ
රේරුකානේ චන්දවිමල හිමියන් රචිත
"උපසම්පදා ශීලය" නම් පොතෙනි.

________________________
සංඝාදිසේසාපත්ති.
සංඝාදිසේස නම්
ආපත්ති තෙළෙසක් ( 13ක් ) ඇත්තේය.
භික්ෂූන් විසින් විශේෂයෙන් පරෙස්සම් විය යුතු
සිහියෙන් කල්පනාවෙන් නො විසුව හොත්
නොයෙක් විට පැමිණීමට අවකාශ ඇති
සංඝාදිසේසාපත්ති ඇත්තේය.
පරෙස්සම් විය හැකි වීමටත්
ඒවා ගැන දැනුම තිබිය යුතුය.
ඒවා ගැන දැනුම නැති බව නිසා ද
ඇතැම් භික්ෂූහු ඇවැත්වලට පැමිණෙති.
නො දැනීම නිදහසට කරුණක් නො වේ.
ඒ නිසා ඒවා ගැන හොඳ දැනුමක්
උපසම්පන්නයන් විසින් ඇතිකර ගත යුතුය.

ප්‍ර‍ථම සංඝාදිසේසය.
සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර
ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම
සංඝාදිසේස ආපත්තියකි.

ගරුක ආපත්ති ලහුක ආපත්තිය යි ඇවැත් දෙකොටසකි.
පාරාජිකා සංඝාදිසේස ආපත්තීහු ගරුකාපත්තීහු ය.
සෙස්සෝ ලහුකාපත්තීහු ය.

පාරාජිකාපත්තියට පිරිසිදු වීමේ ක්‍ර‍මයක් නැත.
වත් මානත් පුරා අබ්භාන නම් විනයකර්මය කිරීමෙන්
සංඝාදිසේසාපත්තියෙන් පිරිසිදු විය හැකි ය.
සංඝයා කෙරෙහි හෝ ගණයා කෙරෙහි හෝ
පුද්ගලයකු කෙරෙහි හෝ දෙසීමෙන්
ලහුකාපත්තිවලින් පිරිසිදු විය හැකි ය.

මෝචනය කිරීමේ චේතනාවය,
උපක්‍ර‍ම කිරීමය, ශුක්‍ර‍ය බැහැර වීමය කියා
සුක්කවිසට්ඨි සංඝාදිසේසයට අංග තුනක් ඇත්තේ ය.

සංඝාදිසේසය ථුල්ලච්චය දුක්කටය යි
සුක්කවිසට්ඨිය සම්බන්ධයෙන් වන ඇවැත් තුනකි.
සුක්කවිසට්ඨි සංඝාදිසේසයට පැමිණීම
ඉතා ඖදාරිකව, (ගොරෝසු අයුරින්) ද වේ.
තේරුම් ගැනීමට නුපුළුවන් වන තරමට
ඉතා සියුම් ලෙස ද සිදු වේ.
ඒ ක්‍රියාව සම්බන්ධයෙන් දුෂ්කෘතාපත්තියෙන්
නවතින අවස්ථා ද ඇත්තේ ය.
ථුල්ලච්චයෙන් නවතින අවස්ථා ද ඇත්තේ ය.
ඇවතක් නො වන අවස්ථා ද ඇත්තේ ය.
ඒවා තේරුම් ගත හැකි වීමට
මේ සිකපදය විස්තර වශයෙන් දැන සිටිය යුතු ය.

ශරීරයට ශුක්‍ර‍ධාතුව අවශ්‍ය වන්නේ යම්කිසි ප්‍ර‍මාණයකට ය.
එය පමණට වැඩි වූ කල්හි ඒවා තද වීමෙන් කිතියක් ඇති වේ.
එයින් ශුක්‍ර‍ බැහැර කිරීමේ ආශාව ඇති වේ.
බැහැර කිරීමට ද උපක්‍ර‍මයක් කළ යුතු වෙයි.
උපක්‍ර‍මය නම් පුරුෂ නිමිත්ත යම්කිසිවක ගැටීම හෝ
යම්කිසිවක් පුරුෂ නිමිත්තෙහි ගැටීම ය.
ඒ ගැටීමෙන් ශුක්‍ර‍ධාතුව ශරීරයෙන් බැහැර වෙයි.
ශුක්‍ර‍ය බැහැර වීමේදී සුවයක් වන බැවින්
එයට සත්ත්වයාහට ආශාව ඇති වේ.
ගැටීමට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ රූපවලට ද ආශාව ඇති වේ.
බැහැර කිරීමේ ආශාව, බැහැර කිරීමේ දී වන සනීපයට ආශාව,
ස්ත්‍රී පුරුෂ රූපාදියට ආශාව යන මේ ආශාවලට
රාගය යි කියනු ලැබේ.

ශුක්‍ර‍ධාතුවේ වැඩීමෙන් හා ප්‍රබෝධයෙන් රාගය ඇති වේ.
රාග සහගත කල්පනා නිසා ශුක්‍ර‍ධාතුව ප්‍රබෝධ වේ.
එයින් මෝචනය කිරීමේ ආශාව ඇති වේ.
ඒ ආශාවෙන් මෝචනය කිරීමට උපක්‍ර‍මයක් කළ කල්හි
ශුක්‍රමෝචනය ද වී නම් සංඝාදිසේසාපත්තියක් වේ.

මෝචනාස්වාදය සහිත චේතනාවෙන් උපක්‍ර‍මයක් කළ කල්හි
මෝචනය නො වී නම් ථුලැසි ඇවැත් වේ.
රාගය නිසා කර්මණ්‍ය වී ඇති පුරුෂ නිමිත්ත
අතින් හෝ කලවාවලින් තද කර ගෙන
මෝචනය කිරීමේ අදහසින් හොත් කල්හි
මෝචනය වී නම් සංඝාදිසේසාපත්තිය වේ.
ඒ රාගචිත්තය අශුභ මනස්කාරයෙන් දුරු කොට
සයනය කළහුට සහ නින්දෙහිදී මෝචනය වූවහුට ද
ඇවැත් නො වේ.

එකල්හි භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළා වූ සිහි ඇත්තාහු
සම්‍යක් ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්.
මුළා වූ සිහි ඇති ව යහපත් නුවණින් තොර වූ
නින්දට යන්නා වූ ඔවුන්ට
සිහිනෙන් අසුචි (ශුක්‍ර) මිදේ (නික්මේ).
සෙනසුන ශුක්‍රයෙන් කිලිටි වේ.

මේ සිකපදයෙන් අදහස් කරන සුක්කවිසට්ඨිය ශරීරයෙන් ශුක්‍ර‍ධාතුව බැහැර වීම ම නො වේ. පුරුෂ නිමිත්තෙහි මුත්‍රා ගල යන සිදුරේ මුලට මැස්සකුට පීමට තරමට වූ ද ශුක්‍ර‍ය පැමිණීම මෙහි අදහස් කරන සුක්කවිසට්ඨිය ය. උපක්‍ර‍මය කළ කල්හි ඒ හේතුවෙන් මැස්සකුට පීමට තරම් ශුක්‍ර‍ධාතුව පුරුෂ නිමිත්තේ මුල සිදුරට පැමිණියේ නම් සංඝාදිසේසාපත්තිය වේ. උපක්‍ර‍ම කිරීමෙන් ශරීරයේ ඒ ඒ තැන ඇති ශුක්‍ර‍ය පිහිටි තැන්වලින් ගිළිහුණ හොත් ඒවා අතරදී නො නැවැත්විය හැකිය. ඒවා පුරුෂ නිමිත්ත කරා ගලා ගොස් ඒකාන්තයෙන් ශරීරයෙන් බැහැර වන බැවින් තුබූ තැන්වලින් ගිළිහීමෙන් ම සංඝාදිසේසාපත්තිය වන බව දක්වා ඇත. අනුන් විසින් අත්පා මිරිකීම කය මිරිකීම අත ගෑම කරන කල්හි ද සමහර විට ශුක්‍රමෝචනය වේ. එයින් ඇවැත් නොවේ. ඇවැත් වන්නේ පුරුෂ නිමිත්තෙහි උපක්‍ර‍ම කිරීමෙනි.

අනුන් ලවා තමාගේ පුරුෂ නිමිත්ත ගන්වා උපක්‍ර‍ම කරවීමෙන් මෝචනය වුව ද සංඝාදිසේසාපත්ති වේ. ඇතැමුන්ට අනුන්ගේ පුරුෂ නිමිත්ත අල්වා මෝචනයට උපක්‍ර‍ම කිරීමේ ආශාව සමහර විට ඇති වේ. මනුෂ්‍යයන්ගේ අදහස් අනේකාකාරය. ඇතැම්හි ක්‍රීඩාවක් වශයෙන් ද එසේ කරති. තමාගේ මෙහෙයීමක් නැතිව ඔවුන්ගේ ම වුවමනාවට තමාගේ නිමිත්ත ගෙන මෝචනය කිරීමෙන් ඇවැත් නොවේ ය යි කියති යි සාරත්ථදීපනියෙහි කියා තිබේ.

ස්වප්න දැකීමේදී ඇති වන්නේ කායාංග චලනයට නො සමත් දුබල සිත් කොටසකි. එබැවින් ගමනාදි නොයෙක් ක්‍රියා ස්වප්නයෙන් කරන කල්හි ශරීරය නිදන ඉරියව්වෙන් නිශ්චලව පවතී. එසේ නිශ්චලව සිටීමේදී රාග නිශ්‍රිත සිහින දැක ශුක්‍රමෝචනය වීමෙන් ඇවැත් නොවේ. සිහින පෙනෙන්නේ මඳ නින්දේදී ය. ඒ අවස්ථාවේ ලෙහෙසියෙන් අවදි විය හැකි ය. රාග නිශ්‍රිත සිහින පෙනී ශුක්‍ර‍ මෝචනය නොවී පවත්නා අතර සමහර විට පුරුෂ නිමිත්ත ආසනයට තද කිරීමෙන් ද, අතින් ගැනීමෙන් ද මෝචනය වෙයි. තද කිරීම හෝ අතින් ගැනීම සිහිනයට අයත් නැත. එබැවින් එසේ ශුක්‍රමෝචනය වීමෙන් සංඝාදිසේසාපත්තිය විය හැකි ය. ඇතැමුන්ට සිහිනෙන් ශුක්‍රමෝචනය නිතර සිදුවේ. ඒ අයට සිහියෙන් නොසිටිය හොත් ස්වප්න මෝචනය නිසා සංඝාදිසේසාපත්තියට පැමිණීමට ද අවකාශ ඇත. මේවා තේරුම් ගැනීම අපහසුය.

විනීත වස්තු:
මේ සිකපදය පිළිබඳව විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේ ය. මල පහකිරීමේ දී හා මුත්‍ර‍ කිරීමේ දී ද කාමයන් ගැන සිතීමේදී ද මෝචනය කිරීමේ අදහසින් තොරව සිදුවන මෝචනයෙන් ඇවැත් නැති බව විනීත වස්තූන්හි දක්වා ඇත. තව ද පුරුෂ නිමිත්තෙහි බෙහෙත් ගැල්වීමෙන් හා කැසීමෙන් සිදුවන මෝචනයටත් උණුදිය නෑමෙන් හා සැඩපහරෙහි නෑමෙන් ද මෝචනය කිරීමේ අදහසින් තොරව මෝචනය වීමෙන් ඇවැත් නැති බවත් වදාරා ඇත්තේ ය. මෝචනාභිප්‍රායයෙන් එසේ කොට මෝචනය වුව හොත් සඟ වෙසෙස් ඇවැත් වේ.

එකල එක් භික්ෂුවක් රාග සිතින් මාගමකගේ යෝනිය දෙස බලා සිටියේය. එයින් ඒ භික්ෂුවට ශුක්‍රමෝචනය විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තියක් නො වන බව වදාරා මේ සිකපදය පනවා වදාළ සේක.

මහණෙනි, රාග සිතින් මාගමගේ යෝනිය නො බැලිය යුතුය. යමෙක් බැලුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

එදවස උපන් දැරියකගේ යෝනිය දෙස වුව ද රාග සිතින් නො බැලිය යුතු ය. වස්ත්‍ර‍ හැඳ සිටින මාගමගේ යෝනිය දෙස ඇති තැන සිතින් සලකා ගෙන ඉදිරියෙන් හෝ පිටිපසින් සිට බැලුව ද ඇවැත් වේ. තිරිසන් සතුන්ගේ නිමිත්ත බැලීමෙන් ද ඇවැත් වේ. යෝනිය දෙස බොහෝ වේලාවක් දිගට ම බලා සිටීමෙන් එක් ඇවැතක් වේ. නැවත නැවත බැලීමේ දී බලන වාරයක් පාසා ඇවැත් වේ. හදිසියේ දැක සංවරයෙහි පිහිටන්නහුට ඇවැත් නොවේ.

එක් භික්ෂුවක් නිදන සාමණේරයකුගේ පුරුෂ නිමිත්ත අතින් ඇල්ලීය. සාමණේරනමට ශුක්‍ර‍ මෝචනය විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් භික්ෂුවට දුකුළා ඇවැත් වේ ය යි වදාළහ.

එක් භික්ෂුවක් මෝචනාභිප්‍රායයෙන් සාමණේරයකු ලවා තමාගේ නිමිත්ත ඇල්වීය. ඔහුට මෝචනය විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණි බව වදාළහ.

(මේ කථා පාරාජිකාපාළියෙනි.)

මේ සිකපදය ප්‍ර‍ථම පාරාජිකාව බඳු අනාණත්තික සිකපදයෙකි. නිමිත්ත අල්ලවා ගැනීමෙන් ඇවැත් වන්නේ එයත් තමාගේ ම ක්‍රියාවක් වන බැවිනි. සාමණේරයකුට ඔහුගේ නිමිත්තෙහි උපක්‍ර‍ම කර ශුක්‍ර‍ය මුදවන්නට අණ කළ කල්හි සාමණේරයා එසේ කොට ඔහුගේ ශුක්‍ර‍ය මෝචනය කළ හොත් උපසම්පන්නයාට අකප්පිය සමාදානයෙන් වන දුකුළා ඇවත වේ. සංඝාදිසේසාපත්තියක් නො වේ.

ද්විතීය සංඝාදිසේසය:

යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

රාගය අනේකප්‍ර‍කාර වේ. මේ සිකපදයෙහි දැක්වෙන රාගය නම් මාගමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව හා එයින් වන සුවය විඳීමේ ආශාව ය. එය ඇති වූ කල්හි සිතේ ප්‍ර‍කෘතිය වෙනස් වී එය නො මනා ආකාරයකට හැඩ ගැසේ. එසේ වීමට සිත පෙරළීමය යි කියනු ලැබේ. “ඔතිණ්ණ විපරිණතචිත්ත” යන මේ පද දෙකින් ම කියැවෙන්නේ රාග සහිත සිතයි.

මනුෂ්‍ය ස්ත්‍රියක් වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, කායසංසර්ගරාගයය, ඒ රාගයෙන් උත්සාහ කිරීමය, ස්පර්ශ කිරීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් එදවස උපන් මිනිස් මාගමකගේ කය වුව ද ඇඟිලි අගින් හෝ ස්පර්ශ කළහොත් සංඝාදිසේසාපත්ති වේ. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් ස්ත්‍රියගේ සිරුරෙහි මවිල් ගසක් වුවද ස්පර්ශ කළ හොත් මේ ඇවත වේ.

ස්ත්‍රීන් විසින් භික්ෂුවගේ අතට ආහාරපානාදිය පිළිගන්වන කල්හි සමහර විට ඔවුන්ගේ අත් භික්ෂුවගේ අත්හි ගැටේ. එබඳු අවස්ථාවල භික්ෂුවට කායසංසර්ගරාගය නැති බැවින් ද, ස්පර්ශ කිරීමේ ව්‍යායාමයක් භික්ෂුව විසින් නො කරන හෙයින් ද ඇවැත් නැත. කායසංසර්ගරාගයෙන් පිළිගන්වන ස්ත්‍රියගේ අතත් ස්පර්ශ කරමින් දෙන දෙය පිළිගත හොත් සංඝාදිසේසාපත්ති වේ.

අන්ධකාරාදි කරුණක් නිසා ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද, පණ්ඩකයෙක් ද කියා නිශ්චයක් නැතිව රාගසිතින් ස්ත්‍රී ශරීරයක් ස්පර්ශ කළ හොත් ථුලැසි ඇවැත් වේ. එසේ ස්ත්‍රී ශරීරය හා සම්බන්ධ වී ඇති වස්ත්‍රාදිය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ. පුරුෂයෙක පණ්ඩකයෙක තිරිසනෙක යන හැඟීමෙන් ස්ත්‍රී ශරීරය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ.

ලස්සන පිරිමි ළමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව ද බොහෝ දෙනාට ඇති වේ. එය ද කායසංසර්ගරාගයමය. එයින් ඇතැම්හු ලස්සන පිරිමි ළමුන් දුටු විට ඔවුන්ගේ හිස් අත ගාති. කම්මුල් අත ගාති. අත් අල්ලති. එසේ කිරීමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරයකැයි සිතා පුරුෂයකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ. ලස්සන තිරිසන් සතුන් අත ගෑමේ ආශාව ද කායසංසර්ගරාගය ම ය. එයින් තිරිසන් සතුන් අත ගෑමෙන් ද දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරය අතින් ම ස්පර්ශ නො කොට යම්කිසි උපකරණයකින් ස්පර්ශ කිරීමෙන් ද ථුලැසි ඇවැත් වේ. යම්කිසි උපකරණයකින් ස්ත්‍රියගේ වස්ත්‍රාදිය ස්පර්ශ කිරීමෙන් දුකුළා ඇවැත් වේ. යම්කිසිවක් ස්ත්‍රී ශරීරයට විසි කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ.

ඇතැම් ස්ත්‍රීහු ද සමහර විට රාගයෙන් මුළා වී භික්ෂූන් වෙත පැමිණෙති. ඒ කරදරය සිදුවන්නේ හුදකලාව වෙසෙන භික්ෂූන්ට ය. භික්ෂුවක් වෙත ස්ත්‍රියක් පැමිණ අඟපසඟ ස්පර්ශ කරන කල්හි භික්ෂුව ද සේවනාභිප්‍රායයෙන් ඇගේ පහස පිළිගැනීමට තමා ගේ කය යොමු කළ හොත් පහස විඳිය හොත් ඒ තෙකරුණෙන් ම භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ කළ ද පහස නො දැනුණ හොත් දුකුළා ඇවැත් වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ නො කොට ස්ත්‍රියගේ උත්සාහය නිසා පහස දැනගත ද ඇවැත් නො වේ. ස්ත්‍රියක පැමිණ කය ස්පර්ශ කිරීමේදී සේවනාභිප්‍රාය ඇත ද කයින් උත්සාහයක් නො කොට පහස දැනගත්තේ ද වින්දේ ද සිතින් පමණක් ඇවතට නොපැමිණෙන බැවින් ඒ භික්ෂුවට ඇවැත් නො වේ.

රෝහල්වල ප්‍ර‍තිකාර ලබන රෝගී භික්ෂූන්ට නොයෙක් විට හෙදියන්ගේ පහස ලබන්නට සිදු වේ. භික්ෂුව පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරයෙන් උත්සාහයක් නො කොට ඔවුන්ට කරන දෙයක් කිරීමට ඉඩ හැර නිශ්චලව සිටිය හොත් ඇවැත් නො වේ. පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරය එයට යොමු කළ හොත් ශරීරයෙන් මඳ ව්‍යායාමයක් වුවද කළ හොත් සංඝාදිසේසාපත්තිය වේ. ස්ත්‍රියක් පැමිණ බලහත්කාරයෙන් භික්ෂුවගේ ශරීරය වැලඳ ගත් විට ඇය පලවා හැරීම පිණිස ඇගෙන් මිදෙනු පිණිස තල්ලු කර දමන පහර දෙන ඒ භික්ෂුවට තමාගේ ශරීරයෙන් උපක්‍ර‍ම කිරීම හා පහස දැනීම නිසා ද ඇවැත් නො වේ. බලවත් මාගමක් විසින් වැළඳ ගත් දුබල භික්ෂුව තමාගේ නො කැමැත්ත දත් කල්හි ඇය යනු ඇතැයි නිශ්චලව සිටිය ද ඇවැත් නො වේ.

ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමේ අදහස නැතිව පාත්‍ර‍ පිළිගැනීම් ආදියෙහිදී හදිසියෙන් සිදුවන ගැටීම්වලින් ද නො සිහියෙන් අත්පා දිග හැරීම් ආදියෙහිදී සිදුවන ගැටීම්වලින් ද ස්ත්‍රියක් බව නො දැන ස්පර්ශ කිරීමෙන් ද බලෙන් ඇදගෙන යන කලක ඒ ස්පර්ශය නො ඉවසන්නාක් මෙන් ස්ත්‍රී ශරීරයේ නො ඉවසන කල්හි ද ඇවැත් නො වේ.

විනීත වස්තු:
එසමයෙහි එක්තරා භික්ෂුවක් මාතෘප්‍රේමයෙන් මවගේ ශරීරය අත ගෑවේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය නො වන බවත් දුකුළා ඇවැත් වන බවත් වදාළ සේක. දුහිතෘ ප්‍රේමයෙන් දුවගේ ශරීරය අතගෑ භික්ෂුවකටත්, සහෝදර ප්‍රේමයෙන් සොහොයුරියක අත ගෑ භික්ෂුවකටත් එසේ ම දුකුළා ඇවැත් වන බව වදාළ සේක.

(මේ කථා පාරාජිකා පාළියෙනි.)

කිනම් ස්ත්‍රියකගේ වුව ද ශරීරය බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අන්තරායකර දෙයකි. එබැවින් විපතකදී වුව ද භික්ෂුවක් විසින් ස්ත්‍රි ශරීරයක් ස්පර්ශ නො කළ යුතුය. මව ගඟකට වැටී සැඩපහරට අසුවී පාවෙනු දුට ද නුවණැති ශික්ෂාකාමී භික්ෂුව විසින් ඇගේ ශරීරය නොඇල්ලිය යුතු ය. ඇය බේරා ගැනීම සඳහා ඔරුවක් හෝ ලී කොටයක් හෝ කෙසෙල් කඳක් හෝ එබඳු අනිකක් හෝ ළං කළ යුතු ය. එබන්දක් නැති කල්හි සිවුරෙන් කොණක් හෝ ළං කළ යුතුය. එය අල්ලන්නයයි නො කිය යුතුය. මව සිවුරේ කොන ගත් කල්හි සිවුරු අදිමිය යන අදහසින් ඇද මව බේරාගත යුතුය. ඉදින් මව බිය වී පුත්‍ර‍ භික්ෂුවගේ කරේ හෝ අතෙහි හෝ එල්ලුණේ නම් ඇය ඉවත් නො කොට ගොඩට ගත යුතු ය. වළක හෝ මඩක මව වැටී සිටින අවස්ථාවක් පැමිණිය ද එසේ පිළිපැදිය යුතුය. විපතෙහිදී කිනම් ස්ත්‍රියක් වුව ද හැර දැමීම නුසුදුසු ය. එහෙත් විපතේදී අන්‍ය ස්ත්‍රීන් ගැන පිළිපැදිය යුතු ආකාරයක් දක්වා නැත. මේවා ගැන කල්පනා කළ යුතුය. ස්ත්‍රී ශරීරය පමණක් නොව ස්ත්‍රීන්ගේ වස්ත්‍රාභරණ ද නො ඇල්ලිය යුතු ය. ඒවා ගැන විස්තරයක් මතු අන් තැනක දක්වනු ලැබේ.

යකින්නෝය, පණ්ඩකයෝය, මළ ස්ත්‍රීහුය යන මොවුන් හා කායසංස්ර්ගයට පැමිණීමෙන් ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේය. ස්ත්‍රීන් අත ඇති දඬු ඇදීමෙන් හා වැල් ඇදීමෙන් ද පාත්‍රයෙන් ස්ත්‍රිය තල්ලු කිරීමෙන් ද ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. තිරිසන් ස්ත්‍රීන් සමග කාය සංසර්ගයට පැමිණීමෙන් දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. ලස්සන තිරශ්චීන ස්ත්‍රී සත්ත්වයන් ඇතැම් භික්ෂූහු අත ගාති. වැලඳ ගනිති. එය නොමැනවි. එයින් දුකුළා ඇවැත් වේ.

ස්ත්‍රී රූප ස්පර්ශ කිරීමෙන් ද, ස්ත්‍රිය නැඟ සිටි ඔරුව රාගසිතින් සෙලවීමෙන් ද ස්ත්‍රිය නැඟ සිටි ගස සෙලවීමෙන් ද දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේය.

එක්තරා භික්ෂුවක් රාග සිතින් පෙරමග එන ස්ත්‍රියකට තමාගේ උරහිසින් ගැසීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වූ බව වදාළහ.

එක්තරා භික්ෂුවක් ස්ත්‍රියක් වඳිනා කල්හි ඇයට ස්පර්ශ කිරීම සඳහා රාගයෙන් තමාගේ පය එසවීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය වූ බව වදාළ සේක.

(මේ කථා පාරාජිකාපාළියෙනි.)

ස්ත්‍රියක් පා අතගා වඳින්නට තැත් කරනවා නම් වැළැක්විය යුතු ය. පය හෝ වසාගත යුතු ය. පය නිශ්චලව හෝ තබා ගත යුතුය. පය නිශ්චල කොට තබා ගන්නා භික්ෂුවට සිතින් ස්පර්ශය ඉවසීම පමණින් ඇවැත් නො වේ.

තෘතීය සංඝාදිසේසය
යම් මහණෙක් දුට්ඨුල්ලාරෝචනරාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම පෙරළී ගිය සිතින් තරුණයකු තරුණියකට කියන්නාක් මෙන් වර්චස් මාර්ග මුත්‍රාමාර්ග හා මෛථුනය පිළිබඳ වූ අසභ්‍ය වචන මාගමකට කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්තිය වේ.

වර්චස් මාර්ග මුත්‍ර‍ මාර්ග හා මෛථුනය පිළිබඳව කරන අසභ්‍ය කථා සංවරයක් ඇති ගිහි පැවිදි අයට අමිහිරි වුව ද ඇතැමුන්ට ඉතා මිහිරිය. ඒ රසය විඳිනු කැමැත්තෙන් ඇතැම්හු ඉමහත් සතුටින් හඬ නඟා සිනාසෙමින් ඒ අසභ්‍ය කථා කියති. ඒවා ඇසීමට ද ඇතැම්හු ඉතා කැමැත්තෝ ය. ඔවුහු ඉමහත් සතුටකින් මහහඬින් සිනාසෙමින් ඒවා අසති. අසභ්‍ය කථා කරන කෙනකු ඇති කල්හි ඒවා කියවීමට ද උත්සාහ කරති. ඔවුනට ඒ කථාවල යම්කිසි රසයක් මිහිරක් ඇත. ඒ රසය විඳීමේ ආශාව දුට්ඨුල්ලවාචාරාග නමි.

වර්චස්මාර්ග මුත්‍ර‍මාර්ග මෛථුන යන මේවායේ ගුණ වර්ණනා කිරීම, අගුණ කියා ඒවාට ගැරහීම, ඒවා ඉල්ලීම, ඒවා ගැන ප්‍ර‍ශ්න කිරීම, ඒවා ගෙන ආක්‍රෝශ කිරීම මේ සිකපදයට අයත් අසභ්‍ය වචන කීමය.

යම් භික්ෂුවක් අසභ්‍ය කථා කිරීමේ මිහිර විඳීමේ ආශාවෙන් මනුෂ්‍ය ස්ත්‍රියකට ඇයට තේරෙන බසකින් හෝ හස්තවිකාරාදියෙන් හෝ අසභ්‍ය කථාව කෙළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

මනුෂ්‍යජාතික ස්ත්‍රියක වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, අසභ්‍ය කථා කිරීමේ ආශාවය, ඒ ආශාවෙන් කීමය, ස්ත්‍රිය විසින් එකෙණෙහි ම තේරුම් ගැනීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය.

ස්ත්‍රියකට අසභ්‍ය කථා කී කල්හි ඇයට නො තේරුණේ නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීව ද ථුලැසි ඇවැත් වේ. මලමුත්‍රාමාර්ග හැර අකුඇටයෙන් යට දණින් උඩ ස්ත්‍රී ශරීරයේ ඒ ඒ කොටස්වල ගුණාගුණ කීමෙන් ද ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. අකුඇටයෙන් උඩත් දණින් පහළත් කොටස්වල ගුණාගුණ කීමෙන් හා ස්ත්‍රී වස්ත්‍රාභරණවල ගුණාගුණ කීමෙන් ද දුකුළා ඇවැත් වේ. අසභ්‍ය වචන එක් ස්ත්‍රියකට කියන කල්හි වචන ගණනින් ඇවැත් වේ. බොහෝ ස්ත්‍රීන්ට කියන කල්හි ස්ත්‍රී ගණනින් හා වචන ගණනින් ඇවැත් වේ.

චතුර්ථ සංඝාදිසේසය:
යම් මහණෙක් රාගය බැසගත් සිත් ඇත්තේ පෙරළී ගිය සිතින් මාගමක් සමීපයෙහි “නැගණියෙනි, යම් කතක් මා වැනි සිල් ඇතියකුට යහපත් පැවතුම් ඇතියකුට උසස් පැවතුම් ඇතියකුට ඒ මෛථුන ධර්මයෙන් උපස්ථාන කෙරේ නම් එය උපස්ථානයන් අතුරෙන් අග්‍ර‍ උපස්ථානය වන්නේය” යි තමාට කාමයේන උපස්ථාන කිරීමේ ගුණ මෛථුනය පිළිබඳ වචන වලින් පවසා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

මනුෂ්‍ය ස්ත්‍රියක්ය යන දැනුම ඇතිව කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාව ඇතිව මනුෂ්‍යස්ත්‍රියක සමීපයේ එහි ගුණ කීයේ නම් ස්ත්‍රිය ද කී දේ එකෙණෙහි තේරුම් ගත්තී නම් සංඝාදිසේසාපත්ති වේ. කී දෙය ස්ත්‍රියට නො තේරුණි නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කිව ද ථුලැසි ඇවැත් වේ.

මනුෂ්‍යස්ත්‍රියක වීමය, ස්ත්‍රියක බව දැනීමය, කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාවය, ඒ රාගයෙන් එහි ගුණ කීමය, එකෙණෙහි ම කී දෙය ස්ත්‍රියට වැටහීමය කියා මේ සිකපදයේ අංග පසෙකි.

විනීත වස්තු:
එසමයෙහි එක්තරා වඳ මාගමක් “ස්වාමීනි, දරුවන් ලබන්නට කුමක් කළ යුතු දැ”යි ඇසුරු කරන භික්ෂුවකගෙන් ඇසීය. එසේ නම් අග්‍ර‍දානය දෙව”යි භික්ෂුව කීය. “ස්වාමීනි, අග්‍ර‍දානය කුමක්දැයි” මාගම ඇසීය. “මෛථුනය” යි භික්ෂුව කීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණියේ ය යි වදාළහ.
(පාරාජිකා පාළි)

එක්තරා භික්ෂුවක් පිරිමි දරුවන් ලැබීමට ක්‍ර‍මයක් විචාළ මාගමකට ද, එක්තරා භික්ෂුවක් සැමියාට ප්‍රියවීමේ උපායයක් විචාළ ස්ත්‍රියකට ද, එක්තරා භික්ෂුවක් සම්පත් ලැබීමට ක්‍ර‍මයක් විචාළ කතකකට ද, එක්තරා භික්ෂුවක් දෙන්නට දෙයක් විචාළ කතකට ද, එක්තරා භික්ෂුවක් සුගතියට යාමේ උපාය විචාළ කතකට ද මේ අග්‍ර‍දාන කථාව කීය. ඒ සැමදෙන ම සංඝාදිසේසාපත්තියට පැමිණි බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

පඤ්චම සංඝාදිසේසය:
යම් මහණෙක් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ හුවමාරු කරන්නකු බවට පැමිණියේ වේ ද අඹුවක වීම පිණිස පුරුෂයාගේ අදහස ස්ත්‍රියට හෝ කියා ද, සැමියකු වීම පිණිස ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියාද යටත් පිරිසෙයින් මඳ වේලාවකට බිරියක් වන කතකට වුව ද කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

පණිවුඩ හුවමාරු කරවන අය මිනිසුන් වීමය, කෙනකුගේ අඹුවක් නො වන ස්ත්‍රියක වීමය, පණිවුඩය පිළිගැනීමය, ඒ ගැන විමසීමය, පණිවුඩය කියන්නහුට නැවත කාරණය දැන්වීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේය.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ හෝ ඔවුන්ගේ මාපියාදි ආරක්ෂකයකුගේ හෝ පණිවිඩය පිළිගැනීම, විමසීම, ආපසු කීම යන මේ තුන් අංගයෙන් සංඝාදිසේසාපත්ති වේ. දෙකකින් ථුල්ලච්චයාපත්ති වේ. එකකින් දුකුළා ඇවැත් වේ. භේද වී සිටින මාපියන් අතර පණිවිඩ හුවමාරු කර දීමෙන් ද මේ ඇවත සිදුවිය හැකිය. පණ්ඩකයන්ට පණිවිඩ කීමෙන් වන්නේ ද ථුලැසි ඇවැත් ය. මෙය සාණත්තික සිකපදයෙකි. එබැවින් අතවැසියන් යොදා පණිවිඩ හුවමාරු කරවීමෙන් ද ඇවැත් වේ.

පණ්ඩකයෝ:
සිකපද විස්තර කිරීමේ දී නොයෙක් තැන පණ්ඩකයන් සඳහන් වන නිසා මෙහි ඔවුන් ගැන හැඳින්වීමක්ද කළ යුතුය. පණ්ඩකයෝ නම් සෙස්සන්ට වඩා උත්සන්න කාමරාගය ඇති එයින් නිතර පෙළෙන දැවෙන පුද්ගල කොට්ඨාසයෙකි. ඔවුන් හැඳින ගැනීම අපහසු ය. බුද්ධකාලයේ පණ්ඩකයෙක් පැවිදිව භික්ෂූන් අතර විසුවේ ය. ඔහු තරුණ භික්ෂූන් කරා ගොස් තමා දූෂණය කරන්නය යි කීය. ඒ භික්ෂූහු ඔහුට ගර්හා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ස්ථුල සාමණේරයන් වෙත ගොස් දූෂණය කරන ලෙස කීය. සාමණේරයෝ ද ඔහුට නින්දා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ඇත්ගොව්වන් අස්ගොව්වන් වෙත ගොස් දූෂණය කරවා ගත්තේ ය. පණ්ඩකයා දූෂණය කළ ඇත්ගොව්වන් හා අස්ගොව්වන් “මේ ශ්‍ර‍මණයෝ පණ්ඩකයෝ ය, ඔවුන් අතර සිටින පණ්ඩක නොවන්නෝ ද පණ්ඩකයන් දූෂණය කරන්නෝය”යි භික්ෂූන්ට ගර්හා කරන්නට වූහ. ඒ කරුණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පණ්ඩකයන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම ප්‍ර‍තික්ෂේප කර සිකපදයක් පැනවූ සේක. මේ මහා වග්ගපාළියෙහි[60] සඳහන් වන පුවතකි. පණ්ඩකයා දූෂණය කරවා ගත් ක්‍ර‍මය ගැන විස්තරයක් විනය ග්‍ර‍න්ථවල දක්වා නැත. සෙස්සන්ට වඩා කාමරාගයෙන් දැවෙන තැවෙන නිසා ම ඔවුහු පැවිද්දට නුසුදුස්සෝ ය.

ආසිත්තපණ්ඩකය උසූයපණ්ඩකය ඔපක්කමිකපණ්ඩකය පක්ඛපණ්ඩකය නපුංසකපණ්ඩකය යි පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා ඇත. “ආසිත්ත පණ්ඩක” යනු මෛථුන සේවනයෙන් කාමපරිළාහය සන්සිඳවා ගත නොහෙන අන්‍යයන්ගේ පුරුෂ නිමිත්ත මුවින් උරා ශුක්‍ර‍ධාතුව ගැනීමෙන් කාමපරිළාහය සන්සිඳවා ගන්නා පුද්ගලයා ය. “උසූය පණ්ඩක” යනු තමාට මෛථුන සේවනයට සමත් කමක් නැති අනුන් මෛථුන සේවනය කරනු බලා එයින් කාමපරිළාහය සංසිඳවා ගන්නා පුද්ගලයා ය. “ඔපක්කමික පණ්ඩක” යනු උපක්‍ර‍මයෙන් බීජයන් උපුටන ලද පුද්ගලයා ය. බීජොත්පාටනය කළ පසු ඔහුගේ පුරුෂ නිමිත්ත කර්මණ්‍ය නො වන බවත් රැවුල් ආදියත් ක්‍ර‍මයෙන් නැති වන බවත් බීජයන් තිබිය දී පුරුෂ නිමිත්ත සිඳලීමෙන් පණ්ඩක නො වන බවත් කියති. “පණ්ඛ පණ්ඩක” යනු මාසයේ කාලපක්ෂ ශුක්ලපක්ෂ දෙකින් කාලපක්ෂයෙහි උමතු වන තරමට කාමරාගය උත්සන්න වී ශුක්ලපක්ෂයේ දී ඉබේ ම පන්සිඳී යන පුද්ගලයා ය. “නපුංසක පණ්ඩක” යනු උත්පත්තියෙන් ම ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය නො පිහිටි පුද්ගලයා ය. නපුංසක පණ්ඩකයාට හැර ඉතිරි සතරදෙනාට පුරුෂභාවය ඇතය යි ද ස්ත්‍රීපක්ෂ පණ්ඩකයනුත් ඇතය යි ද කියති. මේවා අවිනිශ්චිත කරුණු ය.

ගරුකාපත්තියෙන් නැගීම:
ගරුකාපත්තියට පැමිණි භික්ෂුව එයින් නැඟී සිටීමට හෙවත් පිරිසිදු වීමට ඒ ඇවත අන් භික්ෂුවකට ආරෝචනය නො කොට ගත කළ දින ගණනට සමාන දින ගණනක් පිරිවෙස් පුරා අනතුරුව සදිනක් මානත් පුරා විසිනමකට නො අඩු භික්ෂු සංඝයා ලබා අබ්භාන නම් වූ විනය කර්මය කරවා ගත යුතු ය. ඒ සියල්ල ම කරන සැටි විනයකර්ම පොතින්[61] දත හැකිය.

සංඝාදිසේසාපත්තියකට පැමිණිය හොත් එය භික්ෂුවකට ආරෝචනය කිරීමට ලැජ්ජා නො විය යුතුය. ආරෝචනය නො කොට එයින් ශුද්ධියට නො පැමිණිය හැකිය. පැමිණි දිනයේ දී ම භික්ෂුවකට ආරෝචනය කළ හොත් සදිනක් මානත පුරා අබ්භානකර්මය කර ගැනීමෙන් පිරිසිදු විය හැකිය. ආරෝචනය නොකොට වසාගෙන සිටිය හොත් පිරිවෙස පුරන්නට ද සිදුවේ. ආපත්තිය ආරෝචනය නො කොට දින ඉක්ම යාමට “පටිච්ඡන්නවීමය” යි කියනු ලැබේ. යම් දිනයකදී ආපත්තියට පැමිණියේ නම් එය ආරෝචනය කරන්නට පෙර පසුදින අරුණ නැංගේ නම් එක් දිනක් පටිච්ඡන්න වේ. දෙවන දිනයේ ආරෝචනය නො කොට තුන්වන දිනයේ අරුණ නැඟී නම් දෙදිනක් පටිච්ඡන්න වේ. මෙසේ පටිච්ඡන්න වීම දත යුතුය. ආපත්තිය ආරෝචනය කරනු ලැබූ භික්ෂුව විසින් අසවලා මෙනම් ඇවතකට පැමිණියේය යි තැන තැන කියමින් ඒ භික්ෂුවට නින්දා නො කළ යුතුය. ඒ භික්ෂුව ඇවතින් නඟා සිටුවීම ගැන කල්පනා කළ යුතුය. ඇවතින් නැඟී සිටීමට ඒ භික්ෂුවට ආධාර කළ යුතුය. ආරෝචනය කළ හොත් තැන තැන කියා අවමන් කරන සතුරු භික්ෂූන්ට ඇවැත් ආරෝචනය නො කළ යුතුය.

ඇවැත් පටිච්ඡන්න වීම පිළිබඳ කරුණු දශයක් ඇත්තේය. ගරුකාපත්තියකට පැමිණීම, ඇවතට පැමිණි බව දැනීම, උක්ඛේපනීය කර්මය කොට සංඝයා විසින් සම්භෝගයෙන් බැහැර කරන ලද්දකු නො වීම, බැහැර කරන ලද්දකු නො වන බව දැනීම, ආරෝචනය කිරීමෙන් විය හැකි අන්තරායයක් නැති බව, ඒ බව දැනීම, ආරෝචනය කිරීමට සමත් බව තිබීම, ඒ බව දැනීම, සඟවනු කැමැත්ත, සැඟවීම යන මේ කරුණු දශය පටිච්ඡන්න වීමේ අංගයෝ ය.

තමා අතින් ගරුකාපත්තියට පැමිණෙන දෙයක් සිදුවී ගරුකාපත්තියක් තමාට සිදුවිය යන හැඟීම ද ඇතිව ඒ ආපත්තිය සැඟවුව හොත් පටිච්ඡන්න වේ. තමාට සිදු වූ ඇවත ගරුකාපත්තියක් නොවේය යන හැඟීම නිසා ආරෝචනය නො කිරීමෙන් පටිච්ඡන්න නො වේ. ගරුකාපත්තිය ලහුකාපත්තියකැයි සිතා ඇවැත් දෙසුව ද ඇවතින් පිරිසිදු නො වේ.

ඇවත ඇවතක් වශයෙන් නො පිළිගන්නා වූද, ඇවැත්වලට පිළියම් නො කරන්නා වූ ද, ලාමක දෘෂ්ටිය හරනා ලෙස අනුශාසනා කළ ද ගත් දෘෂ්ටිය නො හරින්නා වූද භික්ෂූන් හික්මවීම සඳහා කරන විනය කර්මයක් ඇත්තේය. එයට “උක්ඛේපනීයකම්මය” යි කියනු ලැබේ. එය කරනු ලැබූ භික්ෂුව සංඝයා විසින් සම්භෝගයට නො ගනු ලැබේ. එබැවින් උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුවට ඇවතට පැමිණිය ද ආරෝචනය කිරීමට ඉඩක් නැත. එබැවින් ආරෝචනය නො කිරීමෙන් ඒ භික්ෂුවට ඇවත පටිච්ඡන්න නො වේ. එබඳු විනයකර්මයකින් සම්භෝගයෙන් ඉවත් කර නැති භික්ෂුවක් විසින් ඒ බව දැන දැනම ආරෝචන නො කෙළේ නම් ආපත්තිය පටිච්ඡන්න වේ.

ආපත්තිය ආරෝචනය කිරීමට භික්ෂුවක් වෙත යාමට ඇති මාර්ගය අන්තරාය සහිත වී ඇති නම් සුදුසු අවස්ථාවකදී ආරෝචනය කිරීමේ අදහසින් පසු කිරීමෙන් පටිච්ඡන්න නො වේ. අන්තරායයක් නැත ද ඇතය යන හැඟීමෙන් දින පසු කිරීමෙන් ද පටිච්ඡන්න නො වේ.

භික්ෂුවක් ඇති තැනකට යා නො හෙන ආරෝචනය කළ නො හෙන ආබාධයක් ඇති කල්හි ද දින ගත කිරීමෙන් පටිච්ඡන්න නො වේ. නොයා හැකි තරමේ අමාරුවක් නැතත් නො යා හැකිය යන හැඟීමෙන් දින පසු කරන්නා හට ද පටිච්ඡන්න නො වේ. යා හැකි බවත් තිබිය දී යා හැකිය යන හැඟීමත් තිබියදී දින පසු කළ හොත් පටිච්ඡන්න වේ.

ගරුකාපත්තියට පැමිණ එය ආරෝචනය කළ හැකි තත්ත්වයක් ද තිබියදී සැඟවීමේ අදහසින් ආරෝචනය නො කිරීමෙන් ආපත්තිය පටිච්ඡන්න වේ. භික්ෂූන් නැති පෙදෙසක වෙසෙන භික්ෂුව ආරෝචනය කිරීමට සභාග භික්ෂුවක් මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් සිටියදී භික්ෂුවක් නො හමු වීම නිසා දින ඉක්ම ගිය ද පටිච්ඡන්න නො වේ. ආරෝචනය කිරීම සඳහා භික්ෂුවක් වෙත ගමන් කරන භික්ෂුවට මාස ගණනක් ගත වුව ද ආපත්තිය පටිච්ඡන්න නො වේ. තමා පැමිණ සිටින ඇවතට ම පැමිණ සිටින භික්ෂුවකට ද ආපත්තිය ආරෝචනය නුසුදුසුය. එවැනි භික්ෂුවකට වුව ද ආරෝචනය කළ හොත් පටිච්ඡන්න නො වේ. එහෙත් එයින් දුකුළා ඇවතක් වේ. ආරෝචනය කළ හැකිව තිබියදී ආපත්තිය ආරෝචනය නො කරන්නා වූ භික්ෂුවට ආරෝචනය නො කිරීම නිසා දුකුළා ඇවැත් වේ. ඔහුට ආපත්ති ආරෝචනය නො කොට ගතවන දිනයක් පාසා ම අරුණෝදයේ දී ඒ දුකුළා ආපත්තිය වේ.

ආපත්‍යාරෝචනය:
ආපත්‍යාරෝචන විධියක් විනයෙහි පැහැදිලි ලෙස දක්වා නැත. ඇවැත් දෙසීමේ ආකාරය වදාරා ඇත්තේ භික්ෂුවක් කරා එළඹ සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ කළ යුතුය කියාය. ආපත්‍යාරෝචන විධිය ද ඒ අනුව සැලකිය යුතුය. ගරුකාපත්තියට පැමිණි භික්ෂුව සභාග භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ආරෝචනය කළ යුතුය. එසේ හිඳ ඇඳිලි බැඳ සිදු වී ඇත්තේ එක් ඇවතක් නම් ආරෝචනය කරනු ලබන භික්ෂුව වැඩිමහල්ලෙක් නම් “අහං භන්තේ එකං සංඝාදිසෙසාපත්තිං තුය්හං සන්තිකෙ ආවිකරොමි” කියා හෝ “ආචික්ඛාමි” කියා හෝ ‘ආරොචෙමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ඇවැත් බොහෝ නම් ‘සම්බහුලා ආපත්තියො’ කියා ආරෝචනය කළ යුතුය. ‘සබ්බාපත්තියො ආවිකරොමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ගරුකාපත්ති නොයෙක් විට සිදුවිය හැකි බැවින් වර්තමාන භික්ෂූහු ඇවැත් දෙසන සැම වාරයකදී ම “අහං භන්තෙ සබ්බාපත්තියො ආවිකරොමි” යි සියලු ඇවැත් ආරෝචනය කෙරෙති. එසේ කළ ද ගරුකාපත්ති සිදුවී ඇති නම් ඒවා පටිච්ඡන්න නො වේ.
-උපසම්පදා ශීලය
රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ

.
#athulasiriwardhane