20180212

රාජපක්ෂ කඳවුරේ දූෂණ විරෝධියා

 


ජන්මයෙන් හෝ පුරුද්දෙන්
යන එන රැකියා කරන තැන
හොර බොරු වංචා කරන මිනිසුන්ට
රටට හොර මැර වංචා දූෂණ කරන
පාලක පන්තියේ නීලකාස හොරුන්
වෙන් කර හඳුනාගන්න අවශ්‍ය වෙන
හිතේ පිරිසිදු කම ඇත්තෙ නෑ.

වංචා දූෂණ කරන කෙනෙකුට
එක් අයෙක් ලබා දෙන ඡන්දය මගින්
හොරකමට අවශ්‍ය ආයුධ තනා ගන්නට
පහසුකම් සපයන බව නොදන්නා මිනිසුන්
ඒ හැම හොරකමකටම අනුබල දෙන
යාන්ත්‍රණයෙ කොටස්කරුවෙක්.

දූෂිතයෙක් ප්‍රතික්ෂේප කරන්න
තමන් තුළ දූෂණ විරෝධී ගුණය
වගා කරගත් කෙනෙකු විය යුතුයි.
කුඩා කල මාපියන්, නෑසියන් මෙන්ම,
ගුරුවරුන් විසින් පවා පෝෂණය කරන
හොර බොරු වංචා වලින් දූෂිත
අඳුරු හිත්වලට දූෂිතයන්
හඳුනා ගන්න බැහැ.

අපේ රටේ ඡන්ද දායකයන්ටත්
දේශපාලනඥයෙන්ගෙ හොර මැර දූෂණ
හඳුනා ගන්න බෑ, වෙනස තේරෙන්නෙ නෑ
2018 මැතිවරණයෙ ප්‍රතිඵලවලින්
ඒ බව සහතික වුණා.

මේ තාක් හොරු කියා රට හංවඩු ගැසූ
රනිල් මහින්ද දෙන්නාම එකතුව
සියයට 70ට වඩා ඡන්ද ගත්තා.
ඔවුන්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ට
ඔවුන් මොනව කළත් කමක් නෑ.

අපට පළමුව ජයගන්න වෙන්නෙ
මේ දේශපාලනඥ හොරු නොවෙයි.
තවමත් අඩ නින්දෙ පසුවෙන ජනතාවයි.

රනිල් හොරෙක් වුණාට
මැරයෙක් වගේ හැසිරෙන්නෙ නෑ.
ජනපති මෛත්‍රී යටතෙ
අගමැති බලතල නැතිව
ජාතික රජයක් තුළ
රනිල් පාලනය කරන්න පුලුවන්.

මහින්ද හොරෙක් විතරක් නොවෙයි...
කුපිත වුණාම ඕනම කෙනෙකුට
හොම්බට අනින්න යන මැරයෙක්.
අපි අකුරැස්සෙදි ඒ බව දක්කා.
ඔහුට මෛත්‍රී එක්ක වැඩ කරන්න බැහැ.

දූෂණ චෝදනා නැතිව
දේශපාලනික ලෝකයේ ක්‍රියා කරන
එකම එක රාජපක්ෂවරයා ලෙස
මහින්ද ගෝටා ඇතුළුව කවුරුත් ගරු කරන
චමල් රාජපක්ෂ පරිණත දේශපාලනඥයා
දේශපාලන මඩ ගොහොරුවේ
මඩ නොගෑවුණ සුදු නෙලුමක්.
රාජපක්ෂ පාලනය තුළ
ඔහු කැපී නොපෙනෙන්නට හේතුව
මේ පිරිසිදු කම විය හැකියි.

රාජපක්ෂ පාර්ශවය තුළ
ඔහු බලවත් කිරීමට හැකි වුණොත්
දූෂණ විරෝධී කඳවුරට ජයග්‍රහණයක්.

පක්ෂ විපක්ෂ දෙපක්ෂයම
සමව නියෝජනය කළ චමල්
කථානායක ධූරයේ කළ සේවය කළ ආකාරය
රාජපක්ෂ කඳවුරේ අඳුර යම් ප්‍රමාණයකට දුරු කරන
දීප්තිමත් හුළු අත්තක් බව සත්‍යයකි.

එජාප, ශ්‍රීලනිප, ජවිපෙ. මුස්ලිම් සහ
දෙමළ පක්ෂ ඇතුළු සියල්ලන්ගෙන්
දූෂණ චෝදනා නැති පිරිසක්
තෝරාගෙන හදන රජයක් නියෝජනයට
මහින්දට කැමති පිරිස වෙනුවෙන්
එම රජයට එක්වන්නට හැකියාව සහ
අවශ්‍ය සුදුසුකම් නො අඩුව ඇති
එකම රාජපක්ෂවරයා ඔහුය.

අද පිපෙන දූෂණ විරෝධී පොහොට්ටුවට
මහින්ද පාර්ශවය තුළ පණ දෙන්නට
පළාත්පාලන අපේක්ෂකයන්ගේ හෙට ගැන
අද ඔහු දරන මේ සරල එහෙත් තියුණු අදහස
අපේ රටේ යහපාලන අනාගතයට
ඉතාම වැදගත්ය.
-------------------------------------

චමල් රාජපක්ෂ ලංකාදීප පුවත්පතට...

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත්  
චමල් රාජපක්ෂ මහතා පැවසීය.

"දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා." චමල් රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.

දැන් අපිට තෝරාගන්න වෙන්නෙ
වැඩිම දූෂණ විරෝධීන් ඉන්න කඳවුර.

පොහොට්ටුව පාර්ශවයෙ
දැනට ඉන්නෙ චමල් විතරයි..

එජාපය පැත්තෙ කරු ඉන්නවා.
කරුගෙ අතීතයත් හැසිරීමත් මත
මෛත්‍රී මෙන් ඔහුත්
ස්වාභාවිකව, ජන්මයෙන්ම
දූෂණ විරෝධියෙකු බව පැහැදිලියි.

අපක්ෂපාතීව කටයුතු කරන්නට
පක්ෂ රැස්වීම් පවා වර්ජනය කරන කරු
අඳුරු එජාපයට පහනක්.

ශ්‍රීලනිපයේ මෛත්‍රීත් ඇතුළුව
දූෂණ විරෝධී දේශපාලනඥයන්
පක්ෂ තුනට තුන් දෙනෙක් සිටීම
අපේ දේශපාලනයට සම්පතක්.

මෛත්‍රී චමල් කරු
කාන්තාරෙකට වතුර පොදත්
ක්ෂේම භූමියක් වගේ වටිනවා.