20170128

ආශ්‍රමවාසී ධම්මජාත හිමිගෙන් නව නිකායක් සහ ආශ්‍රමයක්?

මේ පෝස්ට් එක සැක සහිතයි.

https://www.facebook.com/photo.php?fbid=116444502201811
 ආශ්‍රමවාසී ධම්මජාත හිමි
පැවිදි වීමට පෙර රැකියාව කල
ඇඟලුම් කම්හලේ වංචාවකට සම්බන්ධ වුණාද කියල
පහසුවෙන් සොයාගන්න පුලුවන්.
පෙම් සබඳතාව අහිමි වුණේ ඒ නිසා කියල
නිවැරදිව කියන්න හේතු නැහැ.
අද කාලෙ වංචා ගැන තොරතුරු නැත්නම්
ඇඟලුම් කම්හලේ වංචාවක් කළා කියා
දැන් චෝදනා කරන්න  බැහැ.
මිනිස්සු වෙනස් වෙනවා.

මේ පෝස්ට් එකේ ස්වභාවය අනුව
ධම්මජාත හිමියන්ගෙම ගෝලයො පිරිසක්
ඔහුගෙ ප්‍රසිද්ධිය සඳහා සැලසුම් කරන
වක්‍ර උපක්‍රමයක් වෙන්න පුලුවන්.

එවැනි ප්‍රවණතාවයක් ඇතිවෙන්නෙ
ඔහුට පක්ෂපාතී කල්ලියක් නිර්මාණය වී
ආශ්‍රමය තුළ ඔහුගෙ බලය වැඩිකරගන්න
විශේෂ ව්‍යාපෘති දියත් කිරීමෙන්.

එහෙම නම්
ධම්මජාත හිමියන්ගෙ නායකත්වයෙන්
ඔහුගෙම අනුගාමිකයන් පිරිසක් සහිතව
නව සදහම් ආශ්‍රමයක් බිහිවීමට
බොහෝ දුරට ඉඩ තියනවා.

සිරි දහමට වෙනම ඇඳුමක්, කුඩයක්,
වෙනම නිශ්චිත චර්යා රටාවක්
සමග ප්‍රසිද්ධියකුත් තියන නිසා
ආශ්‍රමයට වඩා ධම්මජාත හිමිට සමීප
ඔහුගෙ නායකත්වයට හිතැති පිරිසක් සමග
වෙනම සිරිදහම් නිකායක් හදන්නට
අවශ්‍ය සාධක බහුලව තියනවා.

ඔවුන්ම ප්‍රසිද්ධිය දුන්
නව පන්නයක දහමක් සමග
ඒ දහමට මෝහනය වුණ අනුගාමික පිරිසක්
වෙනත් නිකායක් ගැන හිතන ආශ්‍රමවාසියෙකුට
විශාල පහසු කමක්.

බුදුන් වහන්සේම
වරක් පෙන්වා වදාළ පරිදි
සැරියුත්, මුගලන්, අනඳ ආදී
මහා ශ්‍රාවක තෙරුන් වහන්සේලා සමග
ඔවුන් අනුව හැසුරුණ ශ්‍රාවක පිරිස
ඔවුන්ගේ ස්වභාවයට සමාන පිරිසක්.

අවශ්‍ය පසුබිමක් හදාගෙන
සුදුසු කල් යල් නිවැරදිව බලා
ස්වාධීනව ක්‍රියායාකරන්නට සමත් වුණොත්
ධම්මජාත හිමි මෙන් හිතන පිරිසක්
ඔහු වටා රොක්වීම ස්වාභාවිකයි.

සිරිධම්ම හිමි ගැන ඉතා හොඳින් දන්නා
ධම්මජාත හිමි අලුත් නිකායක් හැදුවොත්
සිරිධම්ම හිමියන්ට පවතින
ප්‍රධානම තර්ජනය වන්නේ ඔහුයි.

තර්කන හැකියාවෙන් හෝ දැනුමෙන්
සිරිධම්ම හිමි තරම් දුරට සන්නද්ධ නොවීම
මේ සඳහා ධම්මජාත හිමිට ඇති ප්‍රධාන බාධාවක්.

සිරි දහම බුදු දහම නොවන නිසා
සිරි දහමේ ක්‍රමවේද මත පදනම්ව
සිරි දහම වෙනත් විදියකට අරුත් දක්වා
නව දහමක් තනා ගැනීම
ඉතාම පහසුවෙන් කළ හැකියි.

සිරිධම්ම හිමිගේ ප්‍රධානම අවිය
ඔහු වඩා දියුණු කරගෙන ඇති
මෝහය පදනම් වූ ලෞකික සමාධියයි.

ඕනම කල්ලියක නායකයෙකුට තියන
ප්‍රධානම ආකර්ෂණීය සාධකය
සමථ භාවනාවෙන් ඔහු ලබන
ලෞකික සමාධියයි.
ලෞකික සමාධියෙහි පදනම වන්නේ
ක්‍රියාකාරී සිතක සාපේක්ෂක ඉවත් කරමින්
සිත ශූන්‍ය කර ලබන මෝහයයි.
අන් සියලු අරමුණු නොසලකා හැර
එකම අරමුණක සිත පිහිටුවාගෙන
මෝහයෙන් ලබන ලෞකික සමාධිය
ඕනෑම බුද්ධි හීනයෙකුට වුවත්
ඉතා පහසුවෙන් ලැබිය හැකියි.

ධම්මජාත හිමි
සමථ භාවනාවෙන් ලබාගන්නා
ලෞකික සමාධිය ප්‍රබල නම්
ඔහුගේ දේශනා අසමින් මෝහයට පත්වන්නට
ඔහු වටාත් මෙවැනිම පිරිසක් රොක් වෙයි.

අනුගාමිකයා දේශනා අසමින්
ක්‍රමක්‍රමයෙන් මෝහනයට පත් වෙමින්
වහා බිඳෙන සුළු සමාධියකට පත් වෙනවා.

ලෞකික සමාධිය සමග සම්බන්ධ වන්නට
තර්කන හැකියාව සහ  දැනුම අත්‍යාවශ්‍ය නැතත්
ඇත්නම් ඉතාම ප්‍රයෝජනවත් වන්නේ
අනුගාමිකයන් යාවජීව කරගන්නටයි.
දේශනා වලින් අනුගාමිකයා ලබන
වහා බිඳෙන සුළු ක්ෂණික සමාධිය
නැවත නැවත උපදවා ගන්නට
ඔවුන්ට යළි යළිත් ආශ්‍රමයට එන්න වෙනවා.
සමාධිය අළුත් කරගන්නට හැකිවෙන විදියට
සිරිධම්ම හිමි පුනපුනා දෙසන අමුතු දහම
ධම්මජාත හිමිට රහසක් නොවෙයි.

"ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට නම්
ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ජීවත් විය යුතුයි"
වැනි අතාර්කික ප්‍රකාශ ඉදිරිපත් කොට
ඒ ගැන තර්ක කරමින් තහවුරු කරමින්
අසන්නන් මෝහනය කරන ක්‍රමවේදය
ධම්මජාත හිමිටත් දැන් හුරු ඇති.
ඔහු ඒ දහම් දෙසීම
පහසුවෙන් අනුකරණය කරාවි.

ඒ නැතත්
ධම්මජාත හිමිගෙ සමාධිය ප්‍රබල නම්
ලෞකික සමාධිය පදනම් කරගෙන
ඔහු මොනවා කිව්වත් අනුගාමිකයන්
හිස් මුදුනින් පිළිගන්නවා.

එක් පුද්ගලයෙකුගේ ලෞකික සමාධියත්
ප්‍රචාරණය, සහ සන්දර්ශනත් මත යැපෙන මෙවැනි කල්ලි
වර්ධන වීමත් සමග වෙනත් නිකාය වලට බිඳීම
කිසිවෙකුටවත් වළක්වන්න බැහැ.

සිරි සදහම් ආශ්‍රම ක්‍රම වේදය මත
අලුත් නිකායක් බිහි කිරීම
බුදුදහමෙන් නිකායක් බිඳිනවාට වඩා
දහස් වරක් පහසුයි.

නව සදහම් ආශ්‍රමයක් පිහිටුවා ගැනීමට
ධම්මජාත හිමිට අවශ්‍යවන්නේ
ධම්මජාත හිමිට පක්ෂපාතිත්වයත්
මූල්‍යමය ශක්‍යතාවයත්, සංවිධාන ශක්තියත් ඇති
ඔහු මෙන් හිතන ඔහුටම ලැදි දායක පිරිසක්.

බුදු දහමෙන් පැහැරගෙන
තමන්ට රිසි පරිදි වෙනස් කර තැනූ නිසා
දෙසන දහමට අයිතිවාසිකම් කියන්නත්
සිරිධම්ම හිමිට අවකාශයක් නැහැ.

ආශ්‍රමය බිඳී යාම සිදුවන දිනය
ඉක්මණින් හෝ ප්‍රමාද වී උදා වෙන බව
නිශ්චිතව කිව හැක්කේ
ලොව බිහි වූ සෑම කල්ලියකටම
විභේදනය පොදු නිසයි.

මෙවන් බෙදීමක් සිදුවීම
සදහම් ආශ්‍රමයට කෙසේ වෙතත්
සිරිධම්ම නිකායට පමණක් නොව
නිර්මල  බුදු සසුනටත්, අපේ රටටත්
තවත් හානිකර අභියෝගයක් වනු ඇති.




20170126

හංස නෙතක රැඳි කඳුළක් -ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංසවිලක්"


"කලාකරුවෙකු ඇගයීමට ලක්වන්නේ

ඔහුගේ නිර්මාණය තුළ
නරඹන්නා කෙතරම් කම්පනයට පත් වුවාද
යන්න මතයි."
-ධර්මසිරි බණ්ඩාරනායක

හංස නෙතක රැඳි කඳුළක් ගිලිහී
හංස විලම කැළතේ.

අමීර් ඛාන් සමග ජනප්‍රියත්වයට තරඟ කරන
ෂාරුක් ඛාන් නම් ජනකාන්ත නළුවා
පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලද දා
සිය රසිකයන් අමතා කීවේ කුමක්ද?
"මේ සම්මානය සල්ලි වලට ගන්න පුලුවනි නම්
මම මේක සල්ලි දීල වුණත් ගන්න ඉඩ තිබුණා."
( ඔහු සම්මානය ගන්නට ඇත්තේ
මුදල් ගෙවීමෙන් යැයි මම සැක කළෙමි. )

ෂාරුක් තරමටම ජනප්‍රිය අමීර් ඛාන්
සිනමා සම්මාන උළෙල වර්ජනය කරන්නෙකි.
එහෙත් ඔහුට සම්මාන වැසි වසින්නේය.
ජනතා සම්මානයෙන් පිදුම් ලබන සිනමා කරුවන්ට
සිනමා සම්මාන කොස් කොටන්නද?

ෂාරුක් සහ අමීර් ඛාන් සමග ඇති
ඇති නැති පරතරය සැමදාම එළෙසම පවතියි.
ෂාරුක්ට ඇති ලාබ ජනප්‍රියත්වය
අමීර් ඛාන්ට නැත.
අමීර්ට රසික සම්මානය ඇත.

ෂාරුක් බාල ජනප්‍රියත්වය සොයා යද්දී
අමීර් ඛාන් සිය හිතට එකඟ අයුරින්
හිතට එකඟ නිර්මාණ සමග
අප දන්නා හින්දි සිනමාවට නොතරම් වූ
"තාරේ සමීන් පර්" වැනි
ගුණයෙන් උසස් චිත්‍රපට නිපදවන්නට
අමීර් විසින් උපරිම දායකත්වය පිදීම
වෙනම අරුත් සහිත වෙනම කතාවකි.

ධර්මසිරි බණ්ඩාරනායකගේ කතාව
ඊට වඩා බෙහෙවින් වෙනස් වුවද
අරුත අතින් සමාන ලක්ෂණ ඇති
වෙනම අපූර්ව කතාවකි.

සිනමා කලාකරුවන් පිරිහෙන විට
රසික ජනතාව පිරිහෙනවිට
සිනමා පත්‍ර පිරිහෙන විට
සම්මාන ලබන්නේ වඩවඩාත් නුසුදුස්සෝය.
සම්මානයට සුදුස්සා කොන්වන්නේය.

කලකිරෙන සුදුස්සාට සිතෙන්නේ
“ඒ සම්මානය එතැන තිබුණාවේ” කියායි.
රසික සම්මාන ඇති තැන
සිනමා සම්මාන කුමටද?
ධර්මසිරි කොතරම් නිවැරදි දැයි
ඊයේ අපට පසක් විය.


පාසැල් දැරියකව සිටියදී
"සත් සමුදුර" සෝමා ලෙස පෙනී සිටිමින්
පළමු සිනමාපටයෙහි සිටම
සිංහල සිනමාවේ සැබෑ ගැහැණිය ලෙස
වසර පණහක් තිස්සේ විශ්මකර්මයක් කළ
ස්වර්ණා මල්ලවාරච්චිට රසික සම්මාන පිදුණ
"ස්වර්ණාය ගැහැණිය" සිනමා උළෙලෙහි
වැඩිම රසික ප්‍රතිචාර දක්නට ලැබුණේ
ඊයේ සවස 6.30 "හංසවිලක්" දර්ශනයටයි.

දර්ශනය ආරම්භ කිරීමට
පැයකටත් පෙරාතුව සිට පෙළ ගැසුන
රසිකයන් පෝලිම් දෙකකි.
අවසරපත් ලද්දන්ගේ පෝලිමට වඩා දිගට
අවසරපත් නොළද්දෝ පේළිය දික් වී තිබිණ.
ශාලාව දෙපසත්, මැද ගමන් පථයත් පිරිණ.
මැද ගමන්පථයෙහි බිම හිඳගෙන
කිටිකිටියේ හිරවී තුන් හතර දෙනා සිටියත්
ශාලාව මීයට පිම්බාක් මෙන් නිහඬව
සම්පූර්ණ කාලය පුරාම චිත්‍රපටය රසවින්දෝය.
ඒ රසික සම්මානයෙන් පිදුම් ලැබුවේ
වසර තිස්පහකට පෙර පැවති
සිනමා උළෙලවල ජූරි සභිකයන්ට මග හැරුණු
සිංහල සිනමාවේ සංධිස්ථානයක් වූ
"හංස විලක්" චිත්‍රපටයයි.

අද මෙන්ම එදාත්
"හංසවිලක්" චිත්‍රපටය පෙළහරකි.
එහි තිර නාටක රචකයාත් අධ්‍යක්ෂකවරයාත්
ප්‍රධාන භූමිකාව රඟපෑ නලුවාත්
වසර විසි හයක හිරිමල්වියේ තරුණයෙකි.
ධර්මසිරි ප්‍රධාන නලුවාට රඟපෑවේ
ආශාව නිසාවත්, අහංකාරය නිසාවත්,
තමා පුම්බාගන්නා අස්මිමානයෙන්වත් නොව
නළුවෙකුට ගෙවන්නට සල්ලි නොතිබුණ නිසාය.

" චිත්‍රපටයේ වියදම
රුපියල් දෙලක්ෂ හතලිස්දහස සොයමින් සිටින විට
මාස හයකට විතර පස්සේ
ඇස් වාට්ටුවේ බේක් හවුස් ආයතනයේ සභාපති
ඇල්බට් ජයසිංහ මහත්මයා හමු වුණා.
චිත්‍රපටය වෙනුවෙන් මේ මුදල වැය කරන්න
ඔහු එකඟ වුණා.
මගේ චිත්‍රපටය හදන්න
මේ රටෙන් මට ලැබුණු එකම සහය එය යි. "

සරසවිය සම්මාන උලෙළට පෙර
තවත් සිනමා සම්මාන උලෙළ
කිහිපයක්ම පැවත් වුණත්
ඇගයීමක් නොකළා පමණක් නොව
නොසලකා හරින චිත්‍රපටයක් වූ හංස විලක්
සරසවිය සම්මාන උලෙළේදී පමක්
 තිර රචනය වෙනුවෙන් ධර්මසිරිට සම්මානයක් පිදුණත්
ඔහු ඒ බව දැනගන්නේ සම්මාන රාත්‍රියේදී ගුවන්විදුලියෙන්.
කලකිරීමෙන් උදාසීන වූ ධර්මසිරි
සරසවිය සම්මාන උලෙළට සහභාගි වුණේ නැහැ.

  "සුද්දිලාගේ කතාව" සඳහා
හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවි සම්මානය
ධර්මසිරිට ලැබෙන බවට පූර්ව දැනුම් දීමක් තිබුණත්
ඔහු සහභාගි වුණේ නාට්‍ය උත්සවයක
පහන දැල්වීමටයි.
“ඒ සම්මානය එතැන තිබුණාවේ” ඔහු කිව්වා.

කලාකරුවෙකු ඇගයීමට ලක්වන්නේ
ඔහුගේ නිර්මාණය තුළ
නරඹන්නා කෙතරම් කම්පනයට පත් වුවාද
යන්න මත බව ප්‍රකාශ කරන ධර්මසිරි
විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබීම වැනි හේතු අනුව
සම්මානදීමට නුසුදුස්සෙකු කරන
ලංකාව වැනි රටක
හැකියාවට මුල් තැනදීම  දැකීම අපහසු බවත්
විශ්වාස කරනවා.

රසිකයාගේ කම්පනය පිළිබඳව විශ්වස කරන
සෑම නිර්මාණ ශීලී ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක්ම
අකම්පිතව නැගී සිටිනවා.
සම්මාන, ගරු බුහුමන්, මුදල් ආදී සරුව පිත්තල වලින්
නොසැලෙන ඔවුන්ගේ තෘප්තිය රසික ප්‍රතිචාරයයි.

"හංසවිලක්" සහ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයට
"ස්වර්ණාය ගැහැණිය" සිනමා උළෙලෙහිදී ලද
අපමණ රසික ප්‍රතිචාරය අනුව
අපට පැහැදිලි වන සත්‍යය නම්
හොඳ චිත්‍රපටවලට රසිකයා මෙන්ම කාලයත්
නිසි සැලකිලි දක්වන බවයි.

"හංසවිලක්" චිත්‍රපටය ලෙස්ටර්ගේ "රේඛාව සමග
සංරක්ෂණය වෙමින් පවතින බව අසන්නට ලැබීම
අපට ඉමහත් සැනසිල්ලකි.

සිංහල සිනමාවට කළ හැකි සේවයක්
නිදහසේ කරන්නට ධර්මසිරිට හැකිවන පරිදි
ඔහුට ආදරය කරන අයගේ සහභාගිත්වයෙන්
පුළුල් පදනමක් පිහිටුවා ගත යුතුය.

මෙවන් චිත්‍රපට කලින් කල දකින්නට ලැබීම
අප වාසනාවක් ලෙස සලකන අතර
ඒ වාසනාව සමාජයටත් ලබා දෙන්නට
ධර්මසිරිට ආදරය කරන අය ක්‍රියා කළ යුතුය.

 හංස නෙතක රැඳී කඳුළක් ගිලිහී
හංස විලම කැළතේ.
https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post_26.html&src=sdkpreparse

=================================



 
................“ඒ සම්මානය එතැන තිබුණාවේ”

-ධර්මසිරි බණ්ඩාරනායක
==========================
 "සරසවිය" පිටුවක ...
යතේජා ඥානරත්න  කළ
සටහනක්...

වේදිකාවේ පෙරළිකාර චරිතයක් වූ ඔහු කලා ක්ෂේත්‍රයේ හැකියාවන් රැසකින් පිරිපුන් කලාකරුවෙක් වීය. අධ්‍යක්ෂණයට, රංගනයට සේම තිරචනයටද ඔහුගේ ඉටු වූ දායකත්වය එම නිර්මාණ මනාව පසක් දෙන අපූරු නිදසුන්ය. වේදිකාවෙන් සිනමාවට පිවිසි හෙතෙම වේදිකාවේ මෙන්ම සිනමාවේද තම ජය එක ලෙසින් තහවුරු කරන්නට පසුබට නොවීය. යුගයක කඩඉමක් සනිටුහන් කරමින් ඔහු මෙරට සිනමාවේ සුවිශේෂි චරිතයක් බවට පත් වන්නේ සිය ප්‍රථම නිර්මාණ කාර්යය සරසවිය සම්මානයෙන් ද පුද ලබමිනි.
ධර්මසිරි බණ්ඩාරනායක
1981 සරසවිය සම්මාන උලෙළ
හොඳම තිරරචනය – හංස විලක් චිත්‍රපටය

‘හංස විලක්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනයට හිමි සම්මානය ඔබට හිමි වූ සරසවිය සම්මාන උලෙළ පිළිබඳ ඔබේ මතකය?
සරසවිය සම්මාන උලෙළට පෙර තවත් සිනමා සම්මාන උලෙළ කිහිපයක්ම පැවත් වුණා. නමුත් එම සම්මාන උලෙළ හැම එකකදීම ඇගයීම පසෙක ළා හංස විලක් චිත්‍රපටය නොසලකා හරින චිත්‍රපටයක් බවට පත් වුණා. සරසවිය සම්මාන උලෙළෙදී හංස විලක් තිර රචනය වෙනුවෙන් මට හොඳම තිරරචනයට හිමි සම්මානය මට ලැබුණේ. නමුත් අනෙක් සිනමා උලෙළ මඟින් මගේ හිතේ ඇති කළ උදාසීනත්වය මට සරසවිය සම්මාන උලෙළට සහභාගිවීමට ඉඩ දුන්නේ නැහැ. සම්මානය ලබා ගත්තෙත් නැහැ. 1981 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හංස විලක් චිත්‍රපටයේ තිරරචනය වෙනුවෙන් මටත් එහි හෙන්රි ජයසේනගේ රංගන වෙනුවෙන් හොඳම සහය නළුවා සම්මානයත් වෙන් වූ බව මම දැන ගත්තේ රාත්‍රියේදී ගුවන්විදුලියෙන්.

ප්‍රථම සම්මානය ඔබේ සිතේ ඇති කළේ මොනවගේ හැඟීමක් ද?
තිර නාටක රචකයෙක් විදියට පළමු නිර්මාණය සම්මානයට පාත්‍රවීම එකඅතකින් සතුටක්. නමුත් අනෙක් සිනමා උලෙළයන්ගේ ‘හංස විලක්’ සඳහනක් වත් නොවන තත්ත්වයක් තිබුණේ. ඒ කාලයේ තරුණ සිනමාකරුවෙක් හැටියට ප්‍රවීණ විචාරකයන් ගණනාවකගේ ඇගයීමට පාත්‍ර වූ සිනමාපටයක් කොහොමද බැහැර වුණේ කියා සිතන්න පෙළඹුණා.
ඒ වගේම එක් සිනමා උලෙළක් අවසන් වෙලා මම සමඟින් එම උලෙළට සහභාගි වූ ‘හංස විලක්’ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඉතාම දරුණු ලෙස කෝපයට පත් වුණා. අවසානයේදී ‘කොල්ලෝ මුන් උඹට සම්මාන දුන්නේ නැති වුණාට මං උඹට සම්මාන දෙනවා’ කියමින් මාව කරට අරගෙන පාරට එක්කර ගෙන ආවා. සම්මාන උලෙළවලදී ඇති වූ සිත් තැවුල් මට පමණක් නෙවේ මා සමඟින් වැඩ කළ අයටත් මෙරට හොඳ සිනමාව අගය කළ ප්‍රේක්ෂකයින්ත් අතරත් විවාදාත්මක බවත් ඇති කළා. 

හංස විලක් අවතක්සේරු වන්නට එහි නිර්මාණ සංකල්පය බලපෑවා යැයි ඔබ සිතනවාද?
1979 වසරේ ප්‍රථම අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ ජර්මනියේ මැන්හයිම් සිනමා උලෙළට ‘හංස විලක්’ චිත්‍රපටය ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවට මඟ පෙන්වුයේ අර්නස්ට් පෝරුතොට පියතුමා. ලෝකයේම ප්‍රථමවරට චිත්‍රපට හැදූ අයගේ ගොඩට ගත්තාම හංස විලක් චිත්‍රපටය ගොඩක් ඉදිරියෙන් සිටින බව පෝරුතොට පියතුමා පැවසුවා. මම ඒ අවස්ථාවට සහභාගි වුණා. ඒ අනුව මට ප්‍රථමවරට රටින් පිට වූ අවස්ථාව ලබා දුන්නෙත් ‘හංස විලක්’ චිත්‍රපටය.
එතැන සිනමා ප්‍රදර්ශනයෙන් පසුව සංවාදයක් පැවැත්වුණා. ඉන්දියාවේ ප්‍රකට සිනමාකරුවෙක් වූ මිර්නාල් සෙන් පවා එයට සහභාගිවී සිටියා. ලංකාවේ හෝටල් කාමරවලට යන ජෝඩු පොලිසියෙන් අල්ලනවාද කියන ගැටළුව ‘හංස විලක්’ චිත්‍රපටය අවසානයේ සංවාදයේදී මතු වු කරුණක්. “ලංකාවේ එහෙම වෙන්නේ නැහැ” කියලා ලංකාවෙන් ගිහින් හිටිය එක්තරා පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා එකපාරටම කිව්වා. එහිදී මන:කල්පිත ක්‍රියාවලියක් සිනමාවට ගත්තා වැනි හැඟිමක් ඔවුන් තුළ ඇති කළා. මීට පෙර මා කියූ සිත් වේදනා අතරට ඇති වූ බරපතලම සිත් වේදනාව මෙය යි.
ලංකාවේ මොන තරම් හෝටල්වලට පොලිසියෙන් පැනලා තියෙනවාද? මේවා මම ගොඩක් දන්නා කරුණු. මම ‘හංස විලක්’ චිත්‍රපටයෙන් ගෙන ආවේ මගෙත් පුද්ගලික ජීවිතය ඇතුළේ ඇති වූ කම්පනයක්. එහි සත්‍යාතාවය දන්නේ මම යි. හොඳ පවුලක් හදන්නේ කොහොමද කියන චිත්‍රපටයක් නොවෙයි මම හැදුවේ. මේ වගේ සිදුවීමක් මිනිස් ජීවිතයකට මොන තරම් බලපෑමක් ඇති කරනවාද යන්න කියන්නයි. මේ චිත්‍රපටය ලංකාවේ මා කලින් කියූ පුද්ගලයාට තේරුම් ගන්න නොහැකි වූ බව මිර්නාල් සෙන් ඒ මොහොතේ කිව්වා. එතුමාගේ අදහස් දැක්වීම මට ශක්තියක් වුණා.

නමුත් හංස විලක් චිත්‍රපටය සිංහල සිනමාවේ කඩඉමක් ලෙසින් කතාබහට ලක් වූ සිනමා පටයක්?
අද වන විට සිනමා ඉතිහාසයේ ප්‍රබල සිනමාපටයක් ලෙසින් ‘හංස විලක්’ චිත්‍රපටය සඳහන් වෙනවා. කොච්චර දැඟලුවත් අපට එහෙම ලෙහෙසියෙන් ඉතිහාසයට ඇතුළු වෙන්න බැහැ. ඉතිහාසය කියන්නේ නිගමනයක්. ඒ නිගමනය තීන්දු කරන්නේ ජනතාව යි. ඒ නිසා ‘හංස විලක්’ චිත්‍රපටයේ පැවැත්මත් තහවුරු වුණා. දැන් සිංහල සිනමාව ගැන කතා කරනකොට ‘හංස විලක්’ පිළිබඳ කතා නොකරම බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික සිංහල සිනමා ශෛලියෙන් බැහැර වු සිනමා නිර්මාණයක් ලෙසින් ‘හංස විලක්’ චිත්‍රපටය විශේෂ වුණා. හැබැයි එදා සරසවිය සම්මාන උලෙළට සහභාගි නොවීම ගැන නම් පස්සේ දුකත් හිතුණා. ඇත්තටම සරසවියේ ඒ ඇගයීම මට ලොකු ශක්තියක් වුණා.
මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. හංස විලක්හි රංගනය වෙනුවෙන් හෙන්රි ජයසේන සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙසින් සම්මානයට පත් වීමත් මට ගොඩක් විශේෂ වුණා. මොකද මම සිනමාවට එන්න පෙර නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ අයෙක්. එහිදී හෙන්රි ජයසේනයන් මගේ ගුරුවරයා වෙනවා. හංස විලක් චිත්‍රපටයේදී මා ඔහුගේ ගුරුවරයා බවට පත් වෙනවා. මේ වගේ අපූරු මිනිස් සම්බන්ධකම් සමඟත් හංස විලක් චිත්‍රපටයට වෙනමම අගයක් ලැබෙනවා. 

.........එදා කුළුඳුලේ කළ ඒ නිර්මාණ කටයුත්ත ගැනත් කතා කළොත්?
ඒ සම්බන්ධයෙන් අපුරු කතාවක් තියෙනවා. ඒ කාලයේ චිත්‍රපට සංස්ථාවේ තිරපිටපත් ශ්‍රේණිගත කිරීමක් තිබුණා. චිත්‍රපට ‘ඒ’ ශ්‍රේණියේ නම් චිත්‍රපටය හදන්න නිෂ්පාදකයෙක් උවමනා නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය පිරිවැය බැංකුවෙන් අරගෙන දෙන්න චිත්‍රපට සංස්ථාව බැඳි සිටියා. හංස විලක් චිත්‍රපටයට හිමි වුණේ ‘සී’ ශ්‍රේණිය. ඒ කියන්නේ ‘මෙය ණය පහසුකම් ලබා ගැනීමට සුදුසු නැත’ කියන එකයි.
නමුත් පුද්ගලිකව මුදල් හොයාගෙන කරන්න අවකාශය තිබුණත් විශාල මුදලක් නැතිකම ගැටළුවක් වුණා. චිත්‍රපටයේ වියදම රුපියල් දෙලක්ෂ හතලිස්දහස සොයමින් සිටින විට මාස හයකට විතර පස්සේ ඇස් වාට්ටුවේ බේක් හවුස් ආයතනයේ සභාපති ඇලබට් ජයසිංහ මහත්මයා හමු වුණා. චිත්‍රපටය වෙනුවෙන් මේ මුදල වැය කරන්න ඔහු එකඟ වුණා. මගේ චිත්‍රපටය හදන්න මේ රටෙන් මට ලැබුණු එකම සහය එය යි.
ඒ අනුව මම නිර්මාණය කළ චිත්‍රපටය තිරගත කරන්න සුදුසුකම් ලැබුවේ පස්වන මණ්ඩලයේ සිනමාහල්වල. පස්වන මණ්ඩලයට චිත්‍රපට තෝරා ගන්නෙත් තිරපිටපත තෝරා ශ්‍රේණිගත කළ පිරිස විසින්මයි. මම ‘හංස විලක්’ චිත්‍රපටය පස්වැනි මණ්ඩලයට ඉදිරිපත් කළාම අනුමැතිය ලැබුණා. තිර රචනයෙන් ‘සී’ ශ්‍රේණිගත වුණත් චිත්‍රපටය හැදුනාම සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයට සුදුසුකම් ලබනවා. එතැනදී සංස්ථාව ගොඩනැඟු ප්‍රමිතිකරණයත් බිඳ වැටුණා. එදා ‘ඒ’ ශ්‍රේණියෙන් පැමිණි වසන්ත ඔබේසේකරගේ ‘පළගැටියෝ’, ටයිටස් තොටවත්තගේ ‘හඳයා’, ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ යන මේ චිත්‍රපට ප්‍රදර්ශනය කළේත් සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයේ. මට හිතෙන්නේ මෙරට සිනමාව ඇතුළේ ‘හංස විල’ට විඳි දුක් කම්කටුළු සේරම බලනකොට ‘හංස විලක්’ චිත්‍රපටය නැවත නැවත නැරඹු ප්‍රේක්ෂකයන් අපේ සිනමාවේ බොහෝ බැමි ලිහා දැමු බවයි. 

තිරරචනය වගේම අධ්‍යක්ෂණ සමඟින් රංගන කටයුත්තේ යෙදීම ඔබට අභියෝගයක් වුණේ නැතිද?
චිත්‍රපට කලාව පිළිබඳ මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. චිත්‍රපට සංස්ථාව පාඨමාලා මඟින් බොහෝ දෙනෙක් පුහුණු කළා. එහිදි කෙටි චිත්‍රපට නිර්මාණය කළ බොහෝ දෙනෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පූර්ණ සුදුසුකම් ලැබුවා. මම කෙටි චිත්‍රපටයක් කරලා තිබුණෙත් නැහැ. ණය පහසුකම් යටතේ කිසිම දෙයක් දුන්නේ නැතත් මුදල් ගෙවා සංස්ථාවෙන් දළ සේයාපට මිලදී ගන්න පුළුවන් වුණා. ඒ කාලයේ දළ සේයාපට ගෙන් වූයේ සංස්ථාව පමණයි. මට ප්‍රචාරණයට මුදල් තිබුණේ නැහැ. මොකද නිෂ්පාදකවරයා චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර මිය ගියා. ‘හංස විලක්’ සිනමාහලට ගොඩ වුණේ හරියට තාත්තෙක් නැති දරුවෙක් වගෙයි.
ඇත්තටම මේ චිත්‍රපටයේ මම රඟපාන්න හිටියේ නැහැ. වෙනත් නළුවෙක් යොදා ගන්න තමයි බලාපොරොත්තු වුණේ. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුම හිතේ තිබුණා. අය කිරීම් පිරිවැයට බලපෑමක් වුණු නිසා ආස වුණත් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නිෂ්පාදකවරයා අහම්බෙන් පළඟැටියෝ චිත්‍රපටය නරඹලා තිබුණා. ඒක බලලා නිශ්ශංකගේ චරිතය මටම කරන්න කියා ඔහු යෝජනා කළා. මගේ කැමරා අධ්‍යක්ෂ වුණේ ඇන්ඩෲ ජයමාන්න. ඇන්ඩෲ මාව තවත් උද්‍යෝගීමත් කළා.
මේ චරිතයට මාව හිතාගෙන ලිව්වා නම් සිඟරටි බොන ජවනිකා ඇතුළත් කරන්නේම නැහැ. මොකද මම සිඟරට් බොන්නේ නැහැ. ‘හංස විලක්’ නිසා ජීවිතයේ පළමුවරට සිඟරට් බොන්නත් සිදු වුණා. අදත් මට ඒ දර්ශන දකිනකොට මට ඒක කරන්න නොහැකියාව කෙතරම්ද කියා දැනෙනවා. මම සිඟරට් බොන හැම දර්ශනයකදීම ඇස් කඳුලින් පිරිලා තිබුණේ. ඒ වගේම මගේ අධ්‍යක්ෂණය තුළ මා රඟපාන හැම අවස්ථාවකදීම මට ශක්තියක් වුණේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා. මම නිතරම සිහිපත් කළේ ඔහු ‘පරසතු මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් කළ ඒ රංග කාර්යය යි. 

ප්‍රථම සිනමා නිර්මාණය ලද ප්‍රතිචාර ඔබේ ඉදිරි සිනමා ජීවිතයට කළේ මොන වගේ බලපෑමක් ද?
මේ ප්‍රතිචාර තුළ මා දුටු කරුණු කිහිපයක් තිබුණා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබීම එකක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබීම ලොකු අඩුවක් විදියටයි එදා සැළකුවේ. හැකියාවට මුල් තැනදීම ලංකාව වැනි රටක දකින්න අමාරුයි. නමුත් ඒ දවටනය ඉරා දැමූ මිනිසුන් අතර මමත් ප්‍රමුඛයෙක් වුණා. කලාකරුවෙකු ඇගයීමට ලක්වන්නේ ඔහුගේ නිර්මාණය තුළ නරඹන්නා කෙතරම් කම්පනයට පත් වුවාද යන්න මතයි. එවිට එය අපුර්ව කලා නිර්මාණයක් බවට පත් වෙනවා.

1986 වසරේදී ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටය නිසා එදා ඔබට නොලැබුණු හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් ලැබෙනවා?
මම මෙරට වේදිකාවට නාට්‍ය පහක් කරලා තියෙනවා. ඒ හැම නාට්‍යකදීම මම හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. මම අවංකවම ඒ නිර්මාණය එළිදක්වන අවස්ථාවේ පටන් වේදිකාගත අවස්ථාව දක්වා මම මහන්සි වෙනවා. ඒ මහන්සියේ ප්‍රථිඵලත් මට ලැබුණා. 1986 වසරේ සරසවිය සම්මාන උලෙළ පවත්වනවිට සරසවිය කර්තෘවරයා ලෙසින් කටයුතු කළේ ග්‍රැන්විල් සිල්වා. හොඳම අධ්‍යක්ෂණය ‘සුද්දිලාගේ කතාව’ට හිමිවන බවත් සම්මානය ගැනීමට පැමිණෙන ලෙසත් එතුමා මට පූර්ව දැනුම්දීමක් කරලා තිබුණා.
මගේ නිෂ්පාදකවරයා වුණේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන. එදා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේ සියවන දර්ශනය ලුම්බිණියේ පැවැත්වුණා. ඒක බලන්න යන්න මම පාර පනින කොට බන්දුල කාර් එක නවත්වලා කොහොද යන්නේ කියලා ඇහුවා. “මම ජයන්තගේ නාට්‍යයේ සියවන දර්ශනයේ පහන පත්තු කරන්න යනවා” කියලා කිව්වා.“අද සරසවිය සම්මාන උලෙළේ ‘සුද්දිලාගේ කතාව’ හොඳම අධ්‍යක්ෂණය ධර්මේ දන්නේ නැතිද” කියල ඔහු ඇහුවා.
“ඒ සම්මානය එතැන තිබුණාවේ” කියලා මම පාර පැන්නා. ‘සුද්දිලාගේ කතාව’ එක්ක මගේ ජීවිතයේ හැලහැප්පීම් තිබුණා. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් මට හිමි සරසවිය සම්මානය එතැනම තිබුණාදෙන් යන සිතුවිල්ල ඒ හැලහැප්පිල්ලේ එක තිරණයක්. ඒක මගේ දඩබ්බරකම මුරණ්ඩුකමට වඩා මානසිකව ඇතිවුණු ලොකු කනගාටුවක්.

20170124

"දඩයම" චිත්‍රපටයෙන් දෝණි පාඩමක් ඉගෙනගත්තා.


අපි "දඩයම" බැලුවා.
මම අපේ පොඩි දෙන්නගෙන් ඇහුවා
අපි "දඩයම" බැලුවනෙ.
ඔයගොල්ලොන්ට මොනවද හිතෙන්නෙ..
බැලුව එක හොඳයිද" කියලා.

"ඔව්..."දෝණි කිව්වා..

"ඇයි?"

"ඒකෙන් පාඩමක් ඉගෙනගන්න තියනවා."

"මොකක්ද?"

"කොල්ලො මුලින් යාලු වුණාම
පෙනුමට හොඳයි වගේ පේන්නෙ.
ඒ වුණාට එහෙම නෑ"

වසන්තගෙ මෙහෙයවීම යටතෙ
ස්වර්ණා, රවීන්ද්‍ර ඇතුළු
නළු නිළියන්ගෙ චරිත නිරූපණය
දෝණිට ඒ පාඩම උගන්වන්න
කොතරම් ආධාර වෙන්න ඇත්ද?


රත්මලී පෙම් කරන කාලයත්
ඉච්ඡාභංගත්වයට පත් වුන කාලයත්
යළි ජයනාත්ට නතු වෙන කාලයත්
මාරාන්තික තීරණය ගන්නා කාලයත් අතර
පිරිද්දුම් නොපෙනෙන ලෙස
රත්මලීගේ චරිත රටාව වියන්නට
ස්වර්ණා දැක්වූ දක්ෂතාවය සහ
ඇය අප තුළ ජනිත කරන විශ්වාසනීය බව
රසිකාවක් ලෙස සිනමාපටයෙහි ආත්මය
මැනවින් ග්‍රහණය කරගන්නට දෝණිට හැකිවූ
ප්‍රධානම සාධකයයි.
.
වසන්තගේ සංදේශය මැනවින් උකහාගෙන
සිය ආත්මයෙන් පෝෂණය කරගෙන
අප වෙතට සම්ප්‍රේෂණය කරන්නට
ස්වර්ණා දැක්වූ ගරු කටයුතු ශක්‍යතාවය
අපට ඇගෙන් සිදු වූ සේවයයි.
ඇගේ කාර්යයට අන් රංගන ශිල්පීන් දුන්
නොමඳ දායකත්වයත්
ඇයට වසන්තට සහ අපට ආශීර්වාදයකි.

ඒ අතරම
මේ අවබෝධය ලබන්න
දියණියට වසර තුනේ හතරෙ සිටම
පුරුෂ ප්‍රේමයෙ සැබෑ ස්වභාවය ගැන
අපි ඇයට දුන් හැඟීම්ද හේතු වෙන බව ඇත්තයි.


දරුවන් පාඩමක් ඉගෙන ගන්නෙ
අපි ඔවුන්ට දීල තියන දැනුමත්
ආධාර කරගෙනයි.

සිඟිති පාසලේදි
ඇගේ සිත් ගත් පිරිමි දරුවෙක්
ඇගේ වතුර බෝතලය කුණු කූඩෙට දැම්මා.
ඒ ක්‍රියාව ඇගේ සිත් ගන්න කළ
බොරු රඟපෑමක් බවත්
ඒ මතු කළ හැඟීම පාලනය කරගෙන
ඔහු ඇගේ සිත් ගන්න ඉඩ තියන බවත්
ඈට පැහැදිලි කළා.
ඒ සිදුවීම ලොකු ප්‍රශ්නයක් කරගෙන
පාසලට ගිහින් පැමිණිළි කරලා
ඔහුගෙ මවත් සමග දබරයක් වෙන තැනට
ඒ සිදුවීම අරන් ගියා.

අද දෝණිට ඒ කිසිවක් මතක නෑ.
ඒත් ඒ සියල්ල ඇගේ විඥාණයෙහි
නොමැකෙන ලෙස රැඳී තියනවා.
අවස්ථාවක් ලැබුණ හැම විටම
අපි දකින්නෙ වෙස් මුහුණු බව
ඔවුන්ට දැනගන්න සලස්වන්න
අපි ක්‍රියා කළා.

එවන් පසුබිමක ආධාරය ඇතිව වුණත්
වසර නවයක කුඩා දියණියකගේ නොමේරූ සිත තුළ
"මා පසුපස එන කොල්ලන්ගේ මතුපිට ස්වරූපය
ඔවුන්ගේ සැබෑ ස්වරූපය නොවෙයි" කියන
ප්‍රඥාව ඇති කරන්න සමත්වීම තුලින්
අපේ රටේ සිනමා කරුවෙක් විදියට
වසන්තගේ වෑයම ඉතාම සාර්ථකයි.

ගින්දරත් සමග සෙල්ලම් කරන දරුවෙකුට
සැර වැර කිරීමෙන් දඬුවම් කිරීමෙන්
ඔවුන් ලොකු පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.
ඒත් ඒ කලබැගෑනිය නිසා
ගින්දරට පුළුස්සා ගැනීම
ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුණාට
අපට එසේ නොවෙන බව ඔවුන්ට දැනෙනවා.
ඔවුන් පාඩම ඉගෙනගන්නෙ
සැබැවින්ම ගින්නට පිළිස්සෙණ දාටයි.
ලැබෙන පළමු අවස්ථාවෙම
ඔවුන් පාඩම ඉගෙනගන්නවා.
එදාට ඔවුන් දෙමාපියන් දෙස බලන්නෙ
කෘතඥතාවයෙන්.
දෙමාපියන්ගෙ පව් සේදෙන්න
ඒ කෘතඥතාවය ප්‍රමාණවත්.

ඒ දාරක පෝෂණය ලබා දෙන්න
මිනිසත්බවට දයාවක් ඇති සහ
දක්ෂ සිනමාකරුවෙකුට පුළුවන්.

රස වින්දනය සඳහාම තැනුණ
අයිසින් ගොඩක් වැනි ටෙලිනාට්‍ය හෝ
සිනමාපට සියයකින්වත්
මෙවැනි පිරිසිදු පණිවිඩයක් සමාජගත කරන්න
නිර්මාණකරුවෙකුට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

2010 දෙසැම්බර් මස සිට
රූපවාහිනිය වර්ජනය කිරීම නිසා
දරුවන්ගේ හදවත් සහ හිස් තුළ
රැස්වෙන්න ඉඩතිබුණ කුණු කන්දල් වලින්
ඔවුන් ආරක්ෂාවීමත්
ඒ පණිවිඩය උකහාගැනීමට එක හේතුවක්.

ඒත්
එවැනි පණිවිඩයක්
සිනමා පටයෙහි අන්තර්ගතවීම
මූලිකම අවශ්‍යතාවයයි.
"දඩයම" චිත්‍රපටයෙන් සමාජයට දෙන
පැහැදිලිම පණිවිඩය එයයි.

සිනමාපටයකින් දෙන පණිවිඩය
ග්‍රහණය කර ගැනීමත්
ඒ පණිවිඩයෙන් තම පරිකල්පනය
පෝෂණය කරගැනීමත්
රසිකයාගේ වගකීමයි.

මේ කාර්යය මනාව ඉටුවෙන විට
සිනමාකරුවාත් ර
සිකයාත් අතර ඇතිවෙන්නෙ
දෙමාපියන් සහ දරුවන් අතර වැනි
ප්‍රබල සහෘදත්වයක්.

"දඩයම" චිත්‍රපටයෙන් දෙන
දෙවෙනි පණිවිඩය නම්
යසඉසුරු වලට, සැපසම්පත් වලට,
ගරුනම්බු වලට කෑදර වී
ආත්මය, සදාචාරය, අනාගතය
පාවා නොදිය යුතු බවයි.

" සල්ලිවලට අහුවුණ නිසා නේද
තාත්තත් කටවහගෙන හිටියෙ"
රත්මලී අහන ප්‍රශ්නය
අද අපේ රටේ ඉන්න දෙමව්පියන්
කී ලක්ෂයකගෙ හිත්වල තුවාල වලට
ලුණු එකතු කරන ප්‍රශ්නයක්ද?

වසන්තගේ "දඩයම" සිනමාපට
දියණියන් ඇති දෙමාපියන් විසින්
ඔවුන් සමග එකට හිඳගෙන ලැබිය යුතු
ප්‍රතිශක්තිකරණ එන්නතක්.

අතීතයේ විසූ
යහපත අයහපත හඳුනන
ශීලාචාර නිර්මාණකරුවන්ගේ ඇසුර
අපට වඩා අපේ දරුවන්ට ලබා දෙන්නට
නවීන තාක්ෂණය පිහිට වීම ආශීර්වාදයක්.

අද දරුවන්ගේ ළමා ලෝකය පිරිහෙන්නටත්
නවීන තාක්ෂණය
ඒ අයුරින්ම  දායකත්වය දුන්නත්
දියුණු තාක්ෂණයට අපි ණයගැතියි.
තාක්ෂණික කිරෙන් දියර ඉවත් කොට
දරුවන් රැකගැනීමත් අපේ වගකීමක්.

( දෙපිට කැපෙන පිහියක් වැනි නවීන තාක්ෂණයේ
වෙස්මුහුණ ගලවන සිනමා කලාකාර වසන්තලාත්
කවදා හෝ අපේ රටෙත් බිහිවේවා.)

20170123

සමලිංගික සංවාසය -අස්වාභාවික සින්තටික් වින්දනයක්.



ස්වභාව ධර්මයේ මූලිකම ගුණය පැවැත්මයි.
ඇතිවීම, පැවතීම හා නැතිවීම මත
ලෝකය ඉදිරියට යනවා.

සිය පැවැත්ම සඳහා
සත්වයා ආහාර ගත යුතුයි.
ඒ සඳහා සත්වයාට
කුසගින්න ඇති වෙනවා.
ඒ අවශ්‍යතාවය ඉටු කරගනිද්දී
ගැලපෙන ආහාර සොයාගන්නට
සත්වයාට හැකිවෙන ලෙස
ආහාරයට රස එක් කිරීමට
සොබා දහම ක්‍රියා කරනවා.
කුසගින්න නිසා අහරක් සොයන සත්වයා
රස අනුව ප්‍රිය ආහාර වෙන් කරගන්නවා.

මොවුන් අතරින් මිනිසා සහ
ඔහු අවට වෙසෙන සමහර සුරතල් සතුන්
කුසගින්න නැතත් රසයට කෑදර කමෙන්
අනවශ්‍ය වෙලාවන්හි, අනවශ්‍ය ආහාර ගෙන
කය රෝගී වුණත් රසයට වහල් වෙනවා.

රසයට වහල් වීමෙන්
ආහාරයක ව්‍යාජයෙන් වෙළඳපොළට එන
නොයෙක් රසායනික සංයෝග
ඔහු පරිභෝජනයට ගන්නවා.

රසයෙන් වර්ණයෙන් සමාන නිසා
දොඩම් යුෂ වල ස්වරූපයෙන් තැනූ
අහිතකර රසායනික සංයෝග
ඔවුන් තමන්ගේ සිරුරට පුරවනවා.
දිව පිනවීමෙන් පසු
ඔවුන්ගේ කය පුරා නිකරුණේ ගලන
ඒ රසායනික සංයෝග වලින්
කය අකාලයේ දිරනවා.
 පිරිසිදු ස්වාභාවික දොඩම් යුෂය
සේවිත කාම වස්තුවක්.ස්වාභාවික දොඩම් යුෂය කයට අහිතකර නැහැ.

සිතට විරුද්ධ විය නොහැකි කය
වංචනික ලෙස රවටමින්
මනස පමණක් තෘප්තිමත් කරගන්නට
අස්වාභාවික ලෙස තනාගන්නා
කෘතිම රසායනික සංයෝගවලට
මිනිසා රස කාමයෙන් පෙළඹීම
මානසික රෝගී තත්වයක් කිව හැකියි.

 
ඔහුට සැබෑ දොඩම් රසයෙන් ව්‍යාජ රසය
වෙන් කරගන්නට බැහැ.

රසකාමයෙන් නොමග යන මිනිසා
සේවනය නොකළ යුතු ව්‍යාජ කාම වස්තුවක්
සේවනය කරන්නට ඔහු පෙළඹෙන්නේ
රසකාමයෙන් මුළා වෙන නිසයි.
සිත රසයෙන් මත් වෙනවා නම්
අන් කිසිවක් ඔහුට අදාළ නොවන නිසයි.
රසය පමණක් සොයමින් ඉඳුරන් පිනවීම නිසා
අස්වාභාවික රස වින්දනය නිසා
මිනිසා කයින් දූෂ්‍ය වෙනවා.
අනියම් ලෙස සිතත් දූෂ්‍ය වෙනවා.


සින්තටික් දොඩම් යුෂවලට පුරුදු වූ
අද පරපුරේ අවාසනාවන්ත දරුවන්
ස්වාභාවික දොඩම් යුෂ ප්‍රතික්ෂේප කරනවා.
ඔවුන් සින්තටික් දොඩම් යුෂ සොයනවා.

සැබෑ දොඩම් යුෂ නැති විට
අස්වාභාවික ලෙස රසයනිකව තැනූ
සින්තටික් දොඩම් යුෂයට හුරුවී
ඊට ඇබ්බැහි වෙන මිනිසාට
සේවිත කාම වස්තුව වූ
සැබෑ දොඩම් යුෂයෙහි රසයට වඩා
රසායනික දොඩම් යුෂය ප්‍රිය විය හැකියි.

සමලිංගික සංවාසයත්
අස්වාභාවික සින්තටික් විසඳුමක්.
සමලිංගිකත්වයට නීතියෙන් අවසර
නොදිය යුත්තේ ඇයි.?

ස්වාභාවිකව සංවාසය පවතින්නේ
සත්ව වර්ගයාගේ පැවැත්ම සඳහාය.
කුසගින්න මෙන්
තම පැවැත්මට තදින් බල නොපාන බැවින්
සතුන් කාම සම්භෝගයට යොමු වෙන්නෙ නහැ.

සතුන් සම්භෝගයට පෙළඹෙන ආකාරයට
රසකාමයත් ස්පර්ශ සුඛයත් සුරතාන්තයත් පහළ වන්නේ
සොබා දහමෙහි අවශ්‍යතාවය නිසාය.

රසකාමය නිසා
සතුන් ස්වභාවයෙන්ම සොයන්නේ
විරුද්ධ ලිංගිකයායි.
සංවාසයේ යෙදෙන විරුද්ධ ලිංගිකයන්
එකිනෙකා භාවිතා කරගෙන තෘප්තිමත් වෙනවා.
කායික අවයව අතින් මෙන්ම
එකවර තෘප්තියට පත් වීමේ මානසික පහසුකමත්
සොබාදහමෙන්ම සමලිංගිකයාට ලබාදී නැහැ.

 මේ නිසා "ප්‍රකෘති තත්වයන් මත"
සතෙක් සමලිංගික සබඳතා කෙරෙහි
යොමුවන්නේ නැහැ.

රසකාමයෙන් මත්වෙන මිනිසා
ස්වාභාවික සංවාසයට විරුද්ධ ලිංගිකයෙකු නොලද විට
ස්වයං වින්දනයට,සමලිංගික සහවාසයට හෝ
වෙනත් අස්වාභාවික කෘතිම සංවාසයකට යොමුවී
අස්වාභාවික ලෙස කය උත්තේජනය කරගෙන
සිත රවටාගෙන වංචනික තෘප්තියක් ලබයි.

ස්වාභාවික ලිංගික උත්තේජනය
කෘතිම සින්තටික් ක්‍රමයකට ලබාගන්නා
සමලිංගික ස්ත්‍රී පුරුෂයන් විසින්
සේවනය කරනු ලබන්නේ
සත්වයින් ලෙස හෝ සේවනය නොකළ යුතු
අකැප කාම වස්තූන්ය.

සමලිංගික ස්ත්‍රී පුරුෂයන්
මේ අස්වාභාවික ප්‍රයත්නයෙහි යෙදෙන විට
ප්‍රයත්නය දරන්නා පවා අසේවිතය.
ඔහු කාමය වරද්දාගත් අස්වාභාවික සත්වයෙකි.
ඔහුගේ හැසිරීම කාමයෙහි හැසිරීමක් නොවේ.
කාමයෙහි වරදවා හැසිරීමකි.

දොඩම් රස රසායනික සංයෝගය මෙන් නොව
සමලිංගිකයාට ගොදුරු වන තවත් කෙනෙක්
සෑම සමලිංගික සබඳතාවයකම ඉන්නවා.
ඒ නිසා
සමලිංගික සංවාසයට යොමුවන අයගෙන්
සමාජයක් ලෙස ආරක්ෂා කළ යුතු
අවදානමට ලක්වූ පිරිසක් සමාජයේ ඉන්නවා.
ඔවුන් රැකගන්නට නීති අවශ්‍යයි..

ස්ත්‍රී පුරුෂයන් අතර පවතින්නාවූ
ස්වාභාවික ලිංගික ආකර්ෂණය
සමලිංගිකයන් අතර නැහැ.
එවැන්නක් ඇතිවන්නේ ස්ත්‍රියකට සමාන ගුණයක්
ස්ත්‍රියකට සමාන අවයවයක් වැනි
අහඹු තාවකාලික නිමිත්තක් නිසයි.

 ඒ නිමිත්ත මිථ්‍යාවක්. ක්ෂණික මුළාවක්.

වංචනික
කාම නිමිත්ත සැබෑවක් ලෙස ගෙන
සිත රවටා උපාදාන කරගන්නා කෙනෙක්
ඒ ෆැන්ටසික නිමිත්ත හඹා යනවා.
ස්ත්‍රී ගුණය හෝ ස්ත්‍රියක බඳු අවයව සහිත
සම
ලිංගික පුද්ගලයා පොළඹවා ගන්නට
මුල් තැනැත්තා සමත් වුණොත්
ඒ දෙදෙනාම එකම වංචාවකට
ස්වච්ඡන්දයෙන් ගොදුරු වෙනවා.

ආත්ම වංචාවෙන් පෙළෙමින්
තවෙකෙකුට 
වංචා කරන සමලිංගිකයා
ඔහුගේ මානසික රෝගය අනෙකාට බෝ කරන්නෙක්.
ඔවුන් දෙදෙනාම සේවනයට නුසුදු
සු
අභව්‍ය, අස්වාභාවික කාම වස්තූන්.

බුදු දහමට අනුව
සේවනයෙහි නුසුදුසු කාම වස්තූන් මොනවාද?
මාතෘරක්ෂිතාය, පිතෘරක්ෂිතාය, මාතෘපීතෘරක්ෂිතාය,
භ්‍රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය,
ධර්‍මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය,
යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්ෂිප්ත වුවා දැයි
යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් එබඳු ස්ත්‍රීන් සමග හෝ
කාමයෙහි හැසිරීම වරදකි.

ස්ත්‍රීන් හැර වෙනත් කිසිවෙක්
කාම වස්තුවක් ලෙස
බුදු දහමේ සඳහන් වෙන්නෙ නෑ.

කාම වස්තු වූ ස්ත්‍රීන් අතුරෙනුත්
ඉහත ගණයට අයත් නොවන ස්ත්‍රීන් හැර
අන් කවර ආකාරයේ සත්වයන් සමග හෝ
කෘතිම උපකරණ භාවිතයෙන් හෝ
කාමයෙහි හැසිරීම වරදක් බව
විශේෂයෙන් කිවයුතු නොවෙයි.

සමලිංගිකයා යනු
සේවනය නොකළ යුතු කාම වස්තුවක්.
සමලිංගික කාම සේවනය
වංචනික සහ ආත්ම වංචනික ක්‍රියාවක්.






20170116

මහින්ද යළිත් රජ වේදෝ නොවේදෝ.?

මෛත්‍රී දවන්නට දමන පන්දුවෙන්
මෛත්‍රී නිපන්දු ලකුණු ගැනීම..

හීන් නූලෙන් මෛත්‍රී කපා දමා
මහින්දට නැවත බලය ලබා දෙන්නට
 රනිල් යටින් උදව් කරනවාද?
ඒ සඳහා ජනතාව අකමැති දේ කරමින්
 මෛත්‍රීට බිල වැටෙන්නට රනිල් ක්‍රියා කරනවාද?

රු 2500 දඩය, හමුදාපති වරු FCID ගෙන ඒම,
සමලිංගික විවාහ නීතිය, ලොතරැයි මිල රුපියල් 30 කිරීම,
 ආදී සිදුවීම් වලදී ප්‍රතිවාදීව ක්‍රියා කළාක් මෙන්
"මම ඕවට නෑ" න්‍යායෙන් හැසිරෙමින්
 මෛත්‍රී ඒ වගකීම නැවත රජයට හරවා
 තමන්ගේ නම රැක ගන්නවාද?

මේ සියල්ලටම වඩා දැවෙන ප්‍රශ්නය නම්...
ගඩාපිට මෙන් අතුරු ආන්තරාවක් නොවුණත්
 දේශපාලනික වශයෙන් මහින්ද සතුව පැවති
"අනභිභවනීය, අපරාජිත මහරජ" නමින්
 ජනතාව අතර තිබුණ මහින්ද ප්‍රතිරූපය
 ජනවාරි අටදා බිඳ වැටීමෙන් පසුව
 යළි පිරියම් කළ නොහැකි තැනකට වැටුණාද?
තවමත් පෙනෙන්නේ නම්
 යළි පිරියම් කළ නොහැකි වගයි.

බොළඳ ජනතාව රවටන්නට
සිහින දකින කූට දේශපාලනඥයන්
අජීර්ණයෙන් පෙළෙන ජනතා බඩ ශුද්ධ කර
නව රජය පිරිහුණ පසු නැවත බලය ගන්නට සිතා
ජනතාවට විරේක කසායක් පෙරා දුන් පසු
අවශ්‍ය පමණට විරේක වන්නට ඉඩදී
ආතුරයා පත්තියම් කරන්නට
සොබා දහම කටයුතු කළ විටදී
දේශපාලනඥයාගේ සිහින නොබිඳේද?

බලයට එන්නට පසුබිම සකස් කරගෙන
2002-2004දී මහින්ද කළාක් මෙන්
 යළි රනිල්ට වසර දෙකකට බලය දී
 රජය පිරිහුණ පසු නැවත බලය ගන්නට
 මහින්ද පිළට සැලසුමක් තිබුණා නම්
 රජයට ඉහළින් මෛත්‍රී පිහිටුවීමෙන්
 ඔහුට රජ ඉරෙහිම රජවෙන්නට ඉඩදී
 හැමදාම පරදින ජනතාවට දිනන්නට
 සොබා දහම දාදු පෙත සකස් කළාද?

ඔබත් ඔහොම ඔතැන ඉන්න...

අද සැබෑ සටන ඇත්තේ
 දිනෙන් දින පිරිහෙන මහින්දගේ ජනප්‍රියත්වයත්
 බලය අතැතිව හීන් නූලෙන් ක්‍රියා කරන
 මෛත්‍රීගේ දේශපාලන ප්‍රයෝගත් අතරයි.

ජනපති පදවිය දිනන මනාලිය
 මහින්ද වුවත්, මෛත්‍රී වුවත්
 රජය ගන්නා මනමාලයා සහ
 දෙවන මනමාලයා භූමිකා හැමදාම රඟන
 රනිල්ට, එජාපයට, අනුරට සහ ජේවීපීයට
 මේ දෙදෙනාගෙන් කවුරු මනාලිය වුවත් කම් නැත.

බල අරගලය පවතින්නේ මහින්ද සහ මෛත්‍රී අතරය.
මැතිවරණ වලදී පන්දම් අල්ලමින්
"දිනන පිලට හෝයියා" කීමෙන් පමණක් වුවත්
 එජාප ජේවීපී ජාම සුපුරුදු ලෙස බේරෙනු ඇත.
මග සිටියත් ඔවුන් දිනුම්...
ගෙදර ගියත් ඔවුන් දිනුම්..

මහින්ද මෛත්‍රී දෙදෙනාටම
 ශ්‍රීලනිප නැව ගිල්වා නොගෙන
 කපිතාන් පදවියට තරඟ කිරීමට සිදුවීම
 දෛවයේ සරදමක් මෙන්ම
 ජනතාවගේ වාසනාවකි.

අද බහුතරයක් ජනතාව සහ
 බහුතරයක් දේශපාලන ක්‍රියාකාරීන් ඉන්නේ
 මහින්ද සමගද? මෛත්‍රී සමගද?

අපේ මිනිසුන්ට වඩාත් අවශ්‍ය වන්නේ
 සදාකාලිකව බලය පතන
 ආකර්ශණීය නායකයෙක් සහ
 ඔහුගේ පිරිස කෙළින සැණකෙළියක
 ප්‍රේක්ෂකයන් වන්නටද?
කවර හෝ නායකයෙකු යටතේ
 සාමාකාමී ජන ජීවිතයක්ද?
දාදුපෙත අත ඇති මෛත්‍රී පරදවා
 දාදු කෙළියෙන් දිනා බලය ලබාගන්නට තරම්
 මහින්ද තවමත් ජනප්‍රියද?

මේ සියල්ල සොබාදහම විසඳනතුරු
 නැවත වරක් කාලයට ඉඩදෙමින්
 ඔබත් ඔහොම ඔතැන ඉන්න...
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.

20170108

බුදු සසුන වැනසෙන්නේ අතුරුදහන්වන්නේ කාගේ වරදින්ද?



සමාජීය හෝ දේශපාලනික හේතු නිසා
සසුන වැනසෙන්නේ නැහැ.
සසුන කියන්නේ පන්සල් වෙහෙර විහාර
පිළිම බෝ රුක් ආදිය නොවෙයි.
.
Suran Suran [[[ වෙහෙර විහාර සසුන හෝ ධර්මය නොවේ
ඉන්දියාවේ ,ඇෆ්ගනිස්තානයේ ,බන්ගලි දේශයේ ආදී බොහෝ රටවලින්
සසුන නැති වී යාමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නෙ
භික්ෂුව නිර්වාන ගාමීම වීම යනු මගේ හැගීමයි....]]]

.
නිර්වාණගාමී වීම කුමක්ද කියා ඔබ දන්නවාද?
.
Suran Suran · [[[ ඔබ ඉහත දැක්වූ අදහස් අනුව නම්
භික්ෂුව සියලු සමාජ කාර්යයන්ගෙන් ඉවත්ව
තමන්ගෙ නිවන ,සංසාර විමුක්තියම අරමුණු කොට කටයුතු කිරීමයි ]]]

.
නැහැ...
සියලු සමාජ කාර්යයන්ගෙන් ඉවත්ව
තමන්ගෙ නිවන ,
සංසාර විමුක්තියම අරමුණු කොට කටයුතු කරන
භික්ෂූන්ට විරුද්ධකම් කරන්න
සමාජයට අවශ්‍ය වෙන්නෙ ඇයි?
ඔවුන්ගෙන් කාටවත් වෙන හානිය කුමක්ද?
.
 අංගුලිමාල වැනි දාමරික මිනී මරුවන්
දඬු මුගුරු අවි ආයුධ ගෙන හැසිරෙමින්
බුදු සසුනට විරුද්ධවූවන් පොලුගසමින්
වියරුවෙන් මෙන් හැසිරුණා නම්
බුදු සසුන රැකෙන්නේ නැහැ.

බුදු සසුන රැකුණේ
අංගුලිමාල වැනි දාමරික මිනී මරුවන්
බුදු දහමට අනුව හැසිරෙමින්
කෙලෙස් නසා නිවී සැනසී
අවිහිංසක, යහපත් මිනිසුන් වූ නිසයි.

සසුන අදත් පවතින්නේ
 භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා නම්
සිවු වනක් පිරිස බුදු දහම පිළිපදිමින්
ඔවුන් තුළ වගා කරගන්නා වූ
ශීල, සමාධි, ප්‍රඥා ගුණ වගාව නිසා
ඔවුන්ගේ ජීවිතවල පවතින
සද්ධර්මය නිසාය.

සද්ධර්මය පවතින්නෙ
බුදුන් වහන්සේ දුන් ආදර්ශය අනුව
විදසුන් වඩන පිරිස නිසාය.

සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.

සසුනෙහි පදනම වන සද්ධර්මය
බුදුන් වහන්සේගේම සොයා ගැනීමකි.
බුදු රජාණන් වහන්සේට
ධර්මය හැර වෙනත් ගුරුවරයෙක් හෝ
ගුරු පරම්පරාවක් නැහැ.

චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
සතර සතිපට්ඨානය
තමන් වහන්සේ විසින්ම සොයා මතුකරගත්
කිසිවෙක් පෙර නොඇසූ විරූ ධර්මයක්.

එවන් අලුත් දහමක්
දහසක් බාධක මැද්දේ නොසැලී
ශ්‍රාවකයන් සිය ගණන් හමුවේ
මහා කරුණාවෙන් දේශනා කරමින්
වසර හතලිස් පහක් වැනි සුලු කලක් තිස්සේ
බුදුන් වහන්සේ තනිව පිහිටවූ බුදු සසුන
වසර දෙදහස් පන්සිය වසක් පැවතුණේ
උන්වහන්සේ සතු ශීල සමාධි ප්‍රඥා ගුණ ශක්තිය
ඒ සා කලක් සසුන රකින්නට තරම් ප්‍රමාණවත් වූ නිසාය.

සසුන මතුවට රැකෙන්නේත්
භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා නම්
සිවු වනක් පිරිස බුදු දහම පිළිපදිමින්
ඔවුන් තුළ වගා කරගන්නා වූ
ශීල, සමාධි, ප්‍රඥා ගුණ නිසාය.

ඉන්දියාවේ ,ඇෆ්ගනිස්තානයේ ,
බන්ගලි දේශයේ ආදී බොහෝ රටවලින්
සසුන නැති වී යාමට ප්‍රධාන හේතුව
බුදු සසුන අතුරුදහන් වන ආකාරය
බුදුරජාණන් වහන්සේම පෙන්වා දුන්නේ
සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින්.


"මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.

යම් කලෙක ජාතරූප පතිරූපකයන්,
පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්
ලෝකයේ පහලනොවන්නේ ද
ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
ලෝකයේ යම් තැනෙක
ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද
අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.

යම්තාක් කල් මේ ලෝකයෙහි සද්ධර්ම පතිරූපක හෙවත්
(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද,
 ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ.
යම් තැනෙක සද්ධර්ම පතිරූපකයන්
(පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද?
එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවෙයි"

මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙන බව
බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.."

මේ සසුනෙහි
භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවෝ
තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැතිව
යටහත් පහත් බවක් නොමැතිව වාසය කෙරෙත්ද?

* ධර්මය කෙරෙහි ගෞරව නොමැතිව
යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

සංඝරත්නය කෙරෙහි ගෞරව නොමැතිව

 යටහත් පහත් පැවතුම් නොමැතිව වාසය කරත්ද?

*ශික්ෂා මාර්ගය හෙවත් ශික්ෂාපද කෙරෙහි ගෞරව නොමැතිව
යටහත් පහත් පැවතුම නොමැතිව වාසය කරත්ද?

සමාධිය කෙරෙහි යටහත් පහත් පැවතුම් නොමැතිව
වාසය කරත්ද?
සද්ධර්මයේ විනාශය අතුරුදහන්වීම පිණිස ඉවහල් වන බවද
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින්
සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.

සද්ධම්ම පතිරූපක සූත්‍රය
සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි.

දේශපාලනික භික්ෂුව වැඳීමට පිදීමට සුදුසුද?

භික්ෂුව
කිසිසේත්ම සමාජයට බැඳුණ කෙනෙක් නොවෙයි.

භික්ෂුව සමාජයට වගකිවයුතු නැහැ.
බුදු දහමට අනුව හැසිරෙන සැබෑ භික්ෂුවක්
කිසිදු අයුරකින් සමාජයට සම්බන්ධ නැහැ.

භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නෙ
නිවන් දකින්න කටයුතු කරනවා
කියන පොරොන්දුව දීමෙන් පසුයි.

ලාභ උපදවන මඟ එකෙකි.
නිවන් මඟ අනෙකකි.

සිවුරට තියන බලය දේශපාලනිකව පාවිච්චිය
බුදු දහමට එකඟ නැහැ.

දේශපාලනයෙදි විවිධ ප්‍රභේද තියනවා.
සමහර වෙලාවට හැමෝම වැරදියි.
භික්ෂුව ගන්න පැත්ත විවරණය වෙන්න කොහොමද?
යුද්ධයකදි භික්ෂුවක් කොයි පැත්ත ගත්තත් වැරදියි.
මේ වගේ දාමරිකයන් අතරට මුසු වීම පවා වැරදියි.
ගිහියන්වත් නොකළ යුතු දාමරික කම් කරන
මැර භික්ෂුවකගෙ සැබෑ වටිනාකම කුමක්ද?

බුදු දහම අකාලිකයි.
භික්ෂුවක් හැසිරිය යුතු ආකාරය
ගිහියන් තීරණය නොකළ යුතුයි.
භික්ෂුවකගේ හැසිරීම කෙබඳුදැයි
බුදුන් වහන්සේ නියම කර තිබෙනවා.

“මහණෙනි”
අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින්
(යම් විදියකින්) පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු පව් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි.
ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද?
ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”

“මහණෙනි,
යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද?
විද්‍යාව ඉපදුනේද?
එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන්
විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි.
පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”

”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට,
බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා
ලොව හැසිරේ නම්
ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”

භික්ෂුවගේ කාර්ය භාරය තීරණය කරන
භික්ෂුව හෝ ඔහුට සමීප ගිහියන්ගෙ ප්‍රඥාව මත
භික්ෂුවගේ ගමන සුගතියටද දුගතියටද යන්න
තීරණය වේවි.

බුදුන් වහන්සෙ භික්ෂූන්ට කියන්නෙ
ගැඹුරු ලිඳකට එබෙනවා වගේ
ප්‍රවේශමෙන් ගිහියන් අතර හැසිරෙන්න කියලා.

භික්ෂුවගෙ සිවිල් බලය භාවිතා කරන
පටු දැක්මක් ඇති ආත්මාර්ථකාමීන්ට
භික්ෂුවට මොනවා වුණත් දැනෙන්නෙ නෑ.

රාගයෙන් ද්වේශයෙන් මුලාවූ භික්ෂූන්
පහන් දැල්ලට යන පළඟැටියන් මෙන්
විනාශය සොයා යනවා.

දුසිල්ව වෙසෙමින් සිවුපසය ලැබීම,
ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලැබීම
මතු මහා දුක් කඳකට හේතු වෙන බව
අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ දැක්වෙනවා.

සිවුරක් දැවටීමෙන් සිල්වත් වේ නම්
උපන් විගසම සිවුරක් දවටන්නැයි
බුදුන් වහන්සේ පවසා තියනවා.

මේ භික්ෂු සමාජයෙහි
එක පැතිකඩක් පමණකි.
සමස්ත භික්ෂු සමාජය මේ රෝගයෙන් නොපෙළෙයි.

දිනකට එක වේලක් වළඳන
විපස්සනා වඩමින් නිවන් මග යන
අන් අයට යන්නට සහාය දෙන
සුපේශල ශික්ෂාකාමී සිල්වත් භික්ෂූන් වහන්සේලාද
අපට තැන තැන හමුවෙති.

යම් යම් වහන්සේලා හානි කරන,
කඩතොලු කරන, විනාශකරන සසුන
අදටත් රැකෙන්නේ උන්වහන්සේලා නිසාය.


https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post_8.html&src=sdkpreparse
 
 

20170107

රහත් සිත ශූන්‍ය නැත.

සිත ශූන්‍ය වීම රහත් බව නොවේ.
සිත ශූන්‍ය වීම මෝහයට පත් වීමයි.

කයත් වේදනාත් පිළිබඳව සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ සිත ශූන්‍ය විය නොහැක.

හින්දු සමථ භාවනා ක්‍රමවලින්
ලෞකික ධ්‍යාන උපදවා ගෙන
කාය වේදනා වලින් සිත මුදවා ගැනීමෙන්
සිත ශූන්‍ය කරගැනීම රහත් බව නොවේ.
කිසිය
ම් වචනයක්, වචන පෙළක් හෝ
පහන් දැල්ලක් වැනි යමක් නිමිති කොට
කයත් වේදනාත් සිහියෙන් මුදා හැර
සිත අරමුණෙහිම පිහිටුවාගෙන ලබන
චිත්ත ඒකාග්‍රතාවය නිසා
නීවරණ වලින් සිත හිස්වීම
නිවන ලෙස වරදවා වටහා ගැනීම
නිවන් මගට හානියකි.

සිත ශූන්‍ය වීම රහත් බව ලෙස සිතීම
ඉතා ප්‍රබල සිහි මුළාවක් පමණි.


නිවන් දුටු කෙනෙකු ශූන්‍යතාවය දැකීම
සිත ශූන්‍ය කරගැනීමක් නොවේ.
ඔහුගේ අත්දැකීම ශූන්‍යතාවය නොවේ.
ඔහු ශූන්‍යතාවය විඳ පසක් කිරීම
ඔහු පහළ කරගන්නා ප්‍රඥාවේ අංගයකි.
කයත් වේදනාත් ගැන මෝහයෙන්
සිත ශූන්‍ය වූ කෙනෙකු තුළ
ප්‍රඥාව පහළ විය නොහැක.

විදසුන් වඩා සිහිය පිහිටුවන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, විඳින සියලු වේදනාත්
2, දැනෙන සියලු සංඥාත්
3, ඇතිවෙන සියලු විතර්කත්
මේ මොහොතෙහිම ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්, නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙයි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ගේ සිත ශූන්‍ය නොවේ.
ඔහු සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.


ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
පවතින සිහිය නිසා මෝහය දුරුවී ඇත.

සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.

නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.

සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍යයි.
ආතාපි සම්පජානෝඅ සතිමා විහරති.
නිවන් දුටු ආර්ය ශ්‍රාවකයාට ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.

නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.

+++++++++++++++++++++++++++++++

සම්පජානෝ සතිය
පිළිබඳව පුළුල් විස්තරයක් සඳහා
 කියවන්න.
සම්පජානෝ සතිය 
බුදු දහමෙහි ආශ්චර්යය සහ අද්භූත ධර්මය

20170103

පහ වසර ශිෂ්‍යත්වලාභීන්ගේ මැතිවරණ ක්‍රමය.


"පහ වසර ශිෂ්‍යත්වලාභීන්ට
පාසල් ලබාගැනීමේදී ක්‍රියාත්මක වන
දැනට පවතින ක්‍රමවේදය අනුව
වැඩි ලකුණු අවශ්‍ය වන පාසල්
ගුණාත්මක බවින් ඉහළ පාසල්ය"
යන්න මිථ්‍යා මතයකි.

පහ වසර ශිෂ්‍යත්වලාභීන්ට
පාසල් ලබා දෙන අද පවතින ක්‍රමය
අපේ දේශපාලන අඥයන් තෝරන්නක් වැනි
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි.

ලංකාවේ ජනපති ලෙස පත් වන්නේද
ඒ සඳහා හොඳම පුරවැසියා නොව
රටේ සිටින පුරවැසියන්ගේ බුද්ධි මට්ටම සහ
ඔහුට සිය පක්ෂයෙහි ඇති බලය අනුව
බහුතරයක් තෝරා පත්කරගන්නා
කිසියම් පුද්ගලයෙකි.

ජනපතිගෙ ජනප්‍රියත්වය අනුව
ඔහුට යටත් රජයක්ද ලැබෙයි.

ජනපති එවකට රටෙහි සිටින ජනප්‍රියම පුරවැසියා විනා
රට පාලනයට සුදුසුම පුරවැසියා නොවේ.
රටේ ජනපතිකමට වඩාත්ම සුදුසු පුරවැසියා
විදේශ රටක විදේශිකයන්ට සේවය කරමින් සිට
එහිම මියයන්නටද ඉඩ ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්
ඔබේ දරුවාට පාසල් ලබා දෙන්නේද
දේශපාලන අඥයන් විසින් තනන ලද
ඉහත සඳහන් ක්‍රම වේදය මතය.
අද පාර්ලිමේන්තුවේ සිටින අයගෙන්
සියයට අනූ ගණනක්ම
සාමාන්‍ය පෙළ සමත් නැතැයි
පුවතක් මෑතක පළ වී තිබිණ.
( සාමාන්‍ය පෙළ සමත්වීමද
කෙනෙකුගේ ගුණාත්මක බව මනින
ප්‍රබල සාධකයක් නොවේ. )

පාසල් තෝරන දෙමාපියන්ට
එක් දරුවෙක් සඳහා පාසල් දහයක් ඉල්ලා සිටීමට
පවතින ක්‍රම වේදය අවස්ථාව ලබා දෙයි.
තමන්ට ඇති තොරතුරු භාවිතා කරමින්
ඔවුන් ඒ සංඛ්‍යාව ලබා දෙති.
ඔවුන් නොදැනුවත්වම
පැරණි කඩඉම් ලකුණු මත
ඔවුහු නව කඩඉම් ලකුණ සොයන්නට
අමාත්‍යාංශයට සහය වෙයි.

ඔවුන් තෝරාගැනීමක් කරන නමුදු
ඒ පාසල්වල ඇති පහසුකම්,
පාසලේ සිසු සංඛ්‍යාව සහ
ඔවුන් සඳහා සිටින ගුරුවරු සංඛ්‍යාව,
එක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව,
පාසලේ විදුහල්පතිවරයාගේ
සහ ගුරුවරුන්ගේ අධ්‍යාපනික මට්ටම,
මෙතෙක් පැවති විභාග ප්‍රතිඵල ආදී
ගුණාත්මක බවට බලපාන
කිසිදු තොරතුරක් ඔවුන්ට නොලැබෙයි.
තනිකරම දෙමාපියන්ගේ ඡන්දය මත
පාසල්වලට ඇති ඉල්ලුම සලකා බැලීමෙන්
පාසල්වල කඩඉම් ලකුණු සකස් වෙයි.

රාජකීය, විශාඛා, ආනන්ද, නාලන්ද වැනි
කඩඉම් ලැයිස්තුවේ ඉහළින්ම ඇති පාසල් වන්නේ
ලංකාවේ ඉහළ ගුණාත්මක පාසල් නොව
පැරණි කඩඉම් ලකුණු ලැයිස්තු භාවිතයෙන්
වඩාත් ජනප්‍රිය පාසල් ලෙස ලබා ඇති
පැරණි ඡන්ද ප්‍රතිඵල අනුව
පාසල් ඉල්ලන දෙමාපියන්ගේ ඡන්දයෙනි.
පාසල් වල කඩඉම් ලකුණු ඉහළ යන්නේ
දෙමව්පියන්ගේ ඡන්ද ප්‍රමාණය මතයි.

පාසල් දහයක් ලකුණු කළ යුත්තේ
ඡන්ද ලැයිස්තුව පුළුල් කිරීමටය.

පාසලක ගුණාත්මකභාවය
කඩඉම් ලකුණුවලින් තීරණය නොවන බව
නොදන්නා හෝ නොසිතන දෙමාපියන්
ඒ ලැයිස්තුවල ඉහළින්ම පවතින පාසලක්
කෙසේ හෝ තම දරුවාට ලබා දෙන්නෙමැයි
වසරගණනක් පුරා සිහින මවති.

පහ වසර කඩඉම් හැරෙන්නට
බහුතරයක් සොයන එකම තොරතුර වන්නේ
සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ ප්‍රතිඵලයි.

අධ්‍යාපන ප්‍රතිඵල අනුව
ඉහළ තලයක පවතින ජනප්‍රිය පාසලක
විදුහල්පති පදවිය දරන කාන්තාව
මොබයිල් ෆෝන් භාවිතයට සහ
විදුහල තුළ පෙම්සබඳතා වලට
අවසර ලැබෙන අයුරින් ක්‍රියා කරමින්
" පෙම් සබඳතා තියෙන්න ඕන.
අපේ ළමයින්ගෙ විනය මොකක් වුණත්
අපි ප්‍රතිඵල පෙන්වනවා"යි
වහසි බස් බෙණෙන බව
ඒ පාසලේ සිසු සිසුවියන් පවසති.

එවැනි පාසලක බහුතරයක් සිසු සිසුවියන්
මත්පැනට, මත්කුඩු වලට ගොදුරුවෙමින්
පෙම් සබඳතා මත ඉගෙනුම දුර්වල වෙමින්
සිසුවියන් අයථා සබඳතා මත ගැබ් ගනිමින්
සමස්ත විදුහලේම විනය පිරිහී යද්දී
ඉහළ ප්‍රතිඵල ලබන අතළොස්ස පෙන්වා
ඒ ප්‍රතිඵල වලින් පිරිහීම වසා ගන්නට
යම් විදුහල්පති කෙනෙකුට හැකිවන පරිදි
ඒ ශක්තිය ඔහුට/ඇයට ලබා දෙන්නේ
පාසලෙහි විනය නොසලකන
තම දරුවාගේ විනය නොසලකන
ඒ පාසලෙහි දරුවන්ගේම දෙමාපියන්ය.

දරුවාගේ විනය කුමක් වුවත්
අධ්‍යාපන මට්ටම ඉහළ නම්
දරුවාගේ වටිනාකම ඉහළ යන්නේ
දෙමාපියන්ද එසේම විනය පිරිහුණ
නොයෙක් දුර්වලතා ඇත්තන් නිසාය.
ගුරුවරුන් සහ විදුහල්පතිද
දෙමාපියන් මෙන්ම
විනයෙන් පිරිහුණ අය වන විට
ඔවුන්ගේ පාපය ආවරණය වන්නේ
පාසලේ අධ්‍යාපන සහතික වලිනි.

දරුවන්ගේ විනය වැනි සාධක ගැන
මෙවැනි තොරතුරු දෙමාපියන්ට ලැබුණත්
පාසල්වල ගුණාත්මක භාවය පිළිබඳ
ඔවුන්ට ලැබෙන තොරතුරු නොසලකා හැර
ඔවුන් යම් පාසල් දහයක් ඉල්ලුම් කරන්නේ
ඒ පාසල් ලබා ඇති ඡන්ද ප්‍රමාණය
අනෙක් පාසල්වලට වඩා වැඩි නිසාය.

පැරණි කඩඉම් ලකුණු සහ
පහ වසර ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව අනුව
එක වසරට ළමයින් ඇතුළත් කිරීමට
දෙමාපියෝ අවි අමෝරාගෙන යුදවදිති.
කූට විදුහල්පති වරු හෙන්චයියන් මගින්
මුදල් ගසාකති, ඉඳහිට අසුවී හිරේ යති.

සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන් සඳහා
වෙනත් පාසලක් තෝරාගැනීමට සිදුවූ විටද
මේ කඩඉම් ලකුණ මත තීරණ ගැනීමට
ක්‍රියා කරන දෙමාපියන් සිටිය හැක.

මේ ක්‍රමය බැහැරකොට
පාසල්වල ගුණාත්මකභාවය අනුව
පාසල් පෙළ ගැස්වීමට සිදුවුවහොත්
අධ්‍යාපන අමාත්‍යංශය මුහුණ දෙන
ගැටළු අසීමිත වනු ඇත.
අද දෙමාපියන් දරුවන්ද ඇදගෙන දුවන
මේ අශ්ව රේස් පිටියේ එදාට දුවන්නේ
ප්‍රාදේශීය දේශපාලනඥයන්, විදුහල්පති වරුන්,
ගුරුවරුන් සහ ඔවුන්ට සහයෝගය දෙන
මාන්නාධික දෙමාපියන් පිරිසකි.

මේ ක්‍රමය වෙනස් වෙනවා නම්
වඩාත් හොඳ නව ක්‍රමය ලෙස
අපට යෝජනා කළ හැක්කේ
අධ්‍යාපන අමාත්‍යාංශය හෝ
වෙනත් බලධාරී කමිටුවක් විසින්
පාසල් වල කඩඉම් ලකුණු තේරීම නොව
පාසල්වල ගුණාත්මක භාවය මැනීමට
බුද්ධිමත් දෙමාපියන්ට භාවිතා කළ හැකි
ගුණාත්මක භාවයට බලපාන තොරතුරු
පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි
විස්තර අඩංගු වෙබ් අඩවි සහ
පොත්පත් සකස් කිරීමය.

ඒ අනුව ලබා දිය හැකි
සාධක බොහෝය.
පාසල්වල ඇති පහසුකම්,
සිසුන් සහ ගුරුවරු සංඛ්‍යාව,
එක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව,
පාසලේ විදුහල්පතිවරයාගේ
සහ ගුරුවරුන්ගේ අධ්‍යාපනික මට්ටම,
මෙතෙක් පැවති විභාග ප්‍රතිඵල,
දුම්බීම, මත්පැන් බීම, අඬදබර වැනි
විනය හේතු මත ඉවත් කළ ප්‍රමාණය,
පෙම් සබඳතා මත පැනගිය ප්‍රමාණය,
පාසල් වියේදී ගැබ්ගත් ප්‍රමාණය ආදී
මෙකී නොකී සාධක අනුව
තොරතුරු ලබා දිය හැක.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්
මේ තොරතුරු ලබා නොදුන්නත්
අද වුවත් මේ තොරතුරු සොයා ගෙන
ඒ තොරතුරු සහිත වෙබ් අඩවි තනන්නට
කිසියම් මාධ්‍ය වේදියෙක් ක්‍රියා කළහොත්
ඒ වෙබ් අඩවි ඉතා ජනප්‍රිය වනු ඇත.
දෙමාපියන් ඒ අනුව ක්‍රියා කළහොත්
කඩඉම් ලැයිස්තුද ඒ අනුව වෙනස් වෙනු ඇත.

ඒ තොරතුරු භාවිතා කිරීමෙන්
පාසල් තෝරන දෙමාපියන් අතළොස්ස අනුව
පාසල්වල කඩඉම් ලකුණු සකස්වෙද්දී
තොරතුරු විශ්ලේෂණය කළ නොහැකි මාපියන්
ඔවුන් අනුව යනු ඇත.

මෙහි සැකෙවින් යෝජනා කරන
නව ක්‍රමය හොඳම ක්‍රමය නොවේ.
ගුණාත්මක භාවය සොයනවා නම්
භාවිතා කළ හැකි එක් ක්‍රමයකි.

පවතින ක්‍රමය අනුව රටවැසියා විසින්
රටේ පාලනයට ජනප්‍රිය මිනිසුන් තෝරන
ජනපති වරු සහ පාර්ලිමේන්තු මගින්
රට සහ ජනතාව ගෙනයන දිසාවටම
පාසල් දරුවන්ද ගෙනයන්නට අවශ්‍ය නම්
පවතින ක්‍රමය ඉතා සුදුසුය.

https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post_3.html&src=sdkpreparse




20170102

දෙමාපියන් සෙවන ලබන පරපෝෂිතයෝ.

ඉන්දියානු සංචාරයේ එක් උදෑසනක
බරණැස දුම් රිය ස්ථානය අබියසදී
මා දුටු එක් සුවිශේෂී දසුනක්
මට කිසි දිනක අමතක කළ නොහැක.

 
මේ ඡායාරූපවල සිටින කුඩා දරුවා
සියතින්ම දිය බඳුනක් රැගෙන
මා පසු කොට ඇය දෙසට ගියේය.
ඒ වනවිට දත් මදිමින් සිටි ඇය
දරුවා ගෙනා වතුර බඳුන ගෙන
ඉතා සැලකිල්ලෙන් මුහුණ දොවන අයුරු
දරුවාද එවැනිම සැලකිල්ලකින් බලා සිටිනු
මම දුටුවෙමි.

මනාව මුහුණ දොවාගත් ඇය
ඉතිරි වූ වතුර සහ දරුවා එහි තබා
කිසියම් කිසක් සඳහා නික්ම ගියාය.

ඒ සිමෙන්ති කණ්ඩිය මතට ගොඩවී
මව මෙන්ම හිඳගත් දරුවා
මව අනුකරණය කරමින් අත් සේදීමෙන් අරඹමින්
මව මෙන්ම මුහුණ දොවා ගත්තේය.

මේ කුඩා දරුවා
මවගේ ඇසුරෙන්
මුහුණ දොවන්නට ඉගෙනගත්තේ
මව ඔහුට දුන් අවවාදයකින් නොවේ.
අවවාදයට වඩා උතුම් ආදර්ශයෙනි.

අප දන්නා අපේ රටේ මවක් නම්
මේ දසුන කණපිට පෙරළෙයි.
දරුවාට කවදාවත්ම
මුහුණ දොවා නොපෙන්වන අපේ මව්වරු
දත් මැදීම, මුහුණ දෙවීම
මේ මේ අයුරින් කළ යුතුයැයි
දීර්ඝ දේශනා පවත්වති.
ඒ දේශන අසා ඉගෙනීමෙන්ම
මුහුණ දෙවීමෙහි ශූරයන් බවට
දරුවා පත් විය යුතු යැයිද සිතති.
ඔවුන්ගෙ දෙසුම් දරුවාට හිස් දෙසුම් පමණි.

මේ සිදුවීම අපේ රටේ සිදුවුණා නම්
දරුවා මේ කණ්ඩිය මත සුව පහසුවෙන් සිටියදී
දිය බඳුන ගෙන එන්නේ මෑණියෝය.
ඉන්පසුව දරුවාගේ මුහුණ දොවා
දරුවා පසෙක තබන ඇය
දරුවා අමතක කොට සිය මුහුණ දොවයි.
දරුවා වෙනත් කටයුත්තක යෙදෙනු ඇත.
ඔහු මුහුණ දොවන්නට ඉගෙනගන්නේ කාගෙන්ද?

බත් කටක් අනා මුව ලාගන්නට බැරි
කුඩා පරපුටු දරුවන් කොපමණ සංඛ්‍යාවක්
අපේ නිවෙස්වල වැඩෙනවාද?
සිඟිති පාසල් ගුරුවරියගේ අධීක්ෂණය සහ
මනෝ විද්‍යානුකූල මග පෙන්වීම යටතේ
ජීවිතයෙහි පළමුවරට වැලි අහුරක් අතපතගාන
අවාසනාවන්ත කුඩා දරුවන් කොපමණ සංඛ්‍යාවක්
සිඟිති පාසල් සරසනවාද?

අද කාලයේ අපේ දරුවන්
බුදු දහමෙහි පූර්වාචාර්ය ලෙස නම් කරන
අපේ දෙමව්පියන්ගෙන්
අපේ දරුවන් ඉගෙනගන්නේ මොනවාද?

බහ තෝරන වියේ සිටම බොරු කීම, රැවටීම නම්
සියලුම දරුවන් පාහේ ප්‍රගුණ කරන බව අපි දනිමු
.
කුඩාම අවශ්‍යතාවයටත් කන්කෙඳිරි ගාන්නට,
අවශ්‍යතාවය දැඩි නම් හඬා වැටෙන්නටත්
ඔවුනට දිනෙන් දින හුරු කරන්නේ
ඒ කෙඳිරියෙන්,හැඬුමෙන් කම්පාවෙමින්
වහලුන් මෙන් ඒ මේ අත දුව පනිමින්
ඉතා යටහත් පහත්ව සියලු මෙහෙ කරන
ඔවුන්ගේ මාපියන්ය, මුත්තණු මිත්තණියන්ය.

"අනේ මගේ දරුවාට මා නැතුව බැහැ"යි
ආඩම්බරයෙන් පවසන දෙමව්පියන්ගේ දරුවන්
ඒ මානසිකත්වයට හුරු කරන්නේ
ඔවුන් නැතුව බැරි දෙමව්පියන්ය.
මුත්තණු මිත්තණියන්ය.

තමා සිතන පතන සියල්ල
ඉතා පහසුවෙන් ඉටුවන්නේය යන මිථ්‍යාවෙන්ද
තම අවශ්‍යතා ඉටු කරන්නට
සියල්ලෝම සැදී පැහැදී සිටින්නේය යන
අති මානයෙන් පිම්බුණ හිසින්ද යුතුව
ඒ කුඩා දරුවන් ඇට්ටකුණා වෙති.

මේ වාතාවරණය තුළ
නිරන්තරයෙන් යැපෙන මානසිකත්වයෙන්ද
වහලුන් පාලනය කළ හැකිය යන
මිථ්‍යා මානයෙන්ද වැඩෙන දරුවෝ
බොහෝ විට සිඟිති පාසලෙහිදීම
ඉච්ඡා භංගත්වයට පත් වෙති.

සමහරු ඒ චරිතයම රඟපාමින්
සිය කාර්යයන් සපුරාගෙන වැඩෙමින්
අත්තනෝමතික චරිත ඇත්තන් ලෙස
වැඩිවියට පත් වෙති.

ගෙදර දොර සියලු කටයුතු වලදී
දරුවන් හවුල් කරගන්නා දරුවන් වැඩෙනවිට
ජීවිතය මහ බරක් මෙන් නොහැඟෙයි.
ඔවුන් වයසින් වැඩෙනවිට
ඉවුරට ඇද තිබුණ ඔරුවක් මෙන්
පහසුවෙන් දියඹට පාව යන්නෝය.

දරුවා විඳිය යුතු අත්දකීම්
දෙමව්පියන් විසින් පැහැර ගැනීම
ඒ දෙමව්පියන් තම දරුවන්ට කරන
බරපතලම ද්‍රෝහි කමයි.

දරුවන්ට පාසලෙන් දෙන ගෙදර වැඩ පවා කරදෙන
හය හතර නොතේරෙන දෙමව්පියන් අප දනිමු.
දෙමව්පියන් රවටා දරුවා රඳවා ගන්නට
දරුවා කළ යුතු ක්‍රියාකාරකම් තමන්ම කරමින්
පොත් පුරවන සිඟිති පාසල් ගුරුවරියන්ද
අප සමාජයෙහි ඇත.

කයෙන් මනසෙන් වැඩෙන්නට නම්
දරුවා  මුහුණ දිය යුතු අත්දැකීම් වලට
ඔහුම නිරන්තරයෙන් මුහුණ දෙමින්
කයත් මනසත් ක්‍රියාත්මක කරමින්
කයටත් මනසටත් ව්‍යායාම දිය යුතුය.

වැඩිහිටියන් අතින් අතට මාරු කරමින්
වඩාගෙනම හදන වඩන දරුවන්ට
ඇවිදින්නට වීම බලවත් දුකකි.
එවැනි සමහර දරුවන්ගේ දෙපා
පෝලියෝ වැළඳුණාක් මෙන් දුර්වලය.

ඇවිදින්නට හුරු කිසිම දරුවෙකු
වඩාගෙන යායුතු නොවේ.
අප කළයුත්තේ ඔහුගේ වේගයට
ඔහු සමග ගමන් කිරීමය.

කෝමල කුඩා දරුවාගේ වෙහෙස
ඇට්ටර වූ වැඩිහිටියන්ගේ වෙහෙස මෙන්
පැය ගණන් පවතින්නේ නැත.
විනාඩි කිහිපයක නින්දකින් පසුව
ඔවුහු නව ජීවයක් ලබති.

පඩි දහසක් පමණ සීගිරි ගල මුදුනට නගින්නට
වයස දෙකහමාරක තුනක දරුවෙකුට
හැකියාව ඇති බව අප අත්දැකීමෙන් දන්නෙමු.
එවන් දරුවන් වඩාගෙන හැදීම
ඔවුන්ගේ ජීවන අත්දැකීම්
කුරිරු ලෙස පැහැර ගැනීමකි.

දරුවා කුස ගින්නේ තබමින්
ඔහුගේ කායික අහාර කොටස පැහැර ගැනීමත්
දරුවාගේ අත්දැකීම් මග හරවා
ඔහුගේ කටයුතු සියල්ල කරදෙමින්
ඔහුගේ කායික මානසික ආහාර පැහැර ගැනීම
දෙමව්පියන් විසින් කරන්නේ
දරුවාට ආදරය කරන මුළාවෙනි.

දරුවාට ආදරය කරන්නෙමුයි
සිත රවටා ගන්නා දෙමව්පියන්
පිහිනුම් තටාකයට හෝ ගඟට බැස
දිය බුං ගසමින් කොතරම් පිහිනුවත්,
ගොඩ සිටින අවාසනාවන්ත දරුවා
පිහිනන්නට ඉගෙනගන්නේ නැත.

තමන්ට නැති ආලෝකයක් ලබාගන්නට
දරුවා ආභරණයක් කරගන්නා රිසින්
දරුවා මලක් මෙන් රැක බලා ගනිමින්
ලෝකයට හැඩ පෙන්වා ලබන
බාල වින්දනයට යොමු නොවී
දරුවා ස්වාධීනව, සවිමත්ව වෙසෙමින්
දුක් වේදනා උපේක්ෂාවෙන් විඳ ගනිමින්
තමන්ට වඩා සැනසිල්ලෙන් වෙසෙනු දැක්ම
ප්‍රඥාවන්ත දෙමව්පියන් අගය කරති.

https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2017%2F01%2Fblog-post.html&src=sdkpreparse