20160720

රහතුන්ගෙන් බණ අහලා සෝවාන් වෙන්න පුළුවන්ද?

 
රහතුන්ගෙන් බණ අහලා සෝවාන් වෙන්නද
ඔබත් බලා ඉන්නේ.?


"එන්න මගේ ආශ්‍රමයට...
මගේ ධර්ම දේශනා දිගටම අහන්න.
ඔබ වෙන කිසිවක් කළ යුතු නෑ.
මගේ දහම ඇසීම
සෝවාන් වීමට එකම මගයි."

මේ 
ආරාධනා කරන්නේ කල්ලිය තරකරගන්නයි.

ඔබ මුලා කොට කල්ලිය තරකරගන්නා
සංගාණිකාරාමයට මුලා වුණොත්
ඔබ හති දමමින් දුවන්නෙ
ඔබේ අරමුණට විරුද්ධ දිසාවටයි.

දහම සංගණිකාරාමයාට නොවෙයි.

.
නායං ධම්‌මො සඞ්‌ගණිකාරාමස්‌සා’ති


දහමෙන්
ඔබව පෝෂණය කරන්න
බුදුන් වහන්සෙටවත් බැහැ.
ඔබේ පෝෂණය ඇත්තේ ඔබේ අතමයි.

දහමෙන්
ඔබව පෝෂණය කිරීම ඔබේම කාර්යයයි
වීර්ය වැඩීම ඔබේ කාර්යයි.
තථාගතයන් කරන්නේ මග පෙන්වීමයි.
තුමේහි කිච්චං ආතප්පං
අක්ඛා තාරො තථාගත.

භක්තියෙන් කැරට් අලයක් පසු පස යන
වීර්ය රහිත යදින්නෙක් නම්
ඔබත් තව දේව වාදියෙක්.
ඔබට බුදු දහම ගැලපෙන්නේ නෑ.

සෝවාන් වෙන්න ඔබ කළ යුත්ත
පැහැර හරින්න බෑ.

අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති.
පව් කිරීමෙන් ඔබ කෙළෙසාගත්තේත් ඔබමයි.

අත්තාහි අත්තනෝ නත්ථි - කොහි නාථෝ පරොසියා.
ඔබට ඔබත් නැත්නම් වෙන කාගේ සරණක්ද?

පව් කිරීමෙන් ඔබ කෙළෙසාගත් අයුරින්ම
ඔබටම ඔබ පිරිසිදු කරගන්න පුලුවන්.
රන් කරුවෙක් රිදියෙහි මළ හරින්නාක් මෙන්
ක්ෂණයක් ක්ෂණයක් පාසා
ඔබව පිරිසිදු කරගන්න ඔබටම පුලුවන්.

රහතුන්ගෙන් බණ අහලා සෝවාන් වෙන්න
රහත්වෙන්න බලාගෙන ඉන්න අය යන්නෙ
බූරුවා කැරට් අලේ පසුපස ගියා වැනි
ප්‍රාර්ථනා පූර්ණ නමුත්
ඵල රහිත ගමනක්.

සෝවාන් වෙලා ඉඳගෙන
වසර විසිපහක්
බුදුන් වහන්සෙට උපස්ථාන කරලත්
බුදුන් වහන්සෙ ඒ වසර විසිපහ තුළ දේශනා කළ
දේශනා සියල්ලම කටපාඩම් තිබිලත්
ආනන්ද තෙරුන් වහන්සෙ
එක පියවරක්වත් ඉදිරියට ගියේ නෑ.
උන්වහන්සේ රහත් වුණේ
බුදුන් වහන්සේගෙ පරිනිර්වාණයෙන්
තුන් මසකට පසුවයි.
ආනන්ද තෙරුන් වහන්සෙ මග වැඩුවේ
ඒ මාස තුන තුළයි.

සුනීත, සෝපාක,
දාරු චීරිය, චූල පන්ථක,
කිසාගෝතමී පටාචාරා
පහසුවෙන් මග ඵල ලැබුවේ
මේ සියල්ලන්ම පෙර බුදු සසුන්වල
විදසුන් වඩා කෙලෙස් නැසූවන් නිසයි,

දහම් අසා මග ඵල ලැබූවන්
බුදුන් වහන්සේ ළඟට එනවිට
ගස කපා ඔරුව හාරා
ඔරුව ගඟ ළඟටම රැගෙන ආ අයයි.
ඔවුන්ට බුදුන් වහන්සේ කියා දෙන්න
ඉතිරි පියවර තල්ලු කරන ක්‍රමයයි.
ඉතිරි ටිකට රෙදි කැබැල්ලක් පිසිමින්
රජෝහරණං කිව්වත් ඇති.
ඒ ටිකත් චූල පන්ථකම කරගන්නා දෙයක්.

බුදුන් වහන්සේගෙන් දහම අසා
කිසිවක්ම සිදු නොවූ කෙළ කෝටි ගණනට
ඔබත් අයිති නම්
ජීවිතේම බණ ඇහුවත්
බණ ඇසීමෙන් ඔබ වෙනස් වෙන්නෙ නෑ.
ඔබත් එවැනි පාරමී පිරුණු කෙනෙක් නම්
පළමු බණවරත් ඔබට ප්‍රමාණවත්.

වෙනත් කෙනෙකු ලැබුවායයි තර්කයෙන් පෙන්වන
ව්‍යාජ රහත් සෝවාන් මගඵල වලින් නොව
ස්වාධීනව ස්වෝත්සාහයෙන්
ශීල සමාධි ප්‍රඥා වඩා
ජීවිතය සුවපත් කරගන්නා
අනන්ත අප්‍රමාණ පිරිස ගැන හිතන්න.

ඔවුන් අතරට එක්ව විදසුන් වඩන්න.
මේ මොහොතේ දුකෙන් මේ මොහොතෙම මිදෙන්න.

නිවන කල් දමන්න පුලුවන්.
දුක කල් දමන්න බැහැ.

මේ මොහොතේ දුකෙන් මේ මොහොතෙම මිදෙන්න.
විදසුන් වඩන්න.

තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.

ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
 තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
 වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
 තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
-----------------------------------------------------------
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං