20230611

විවාහකයෙක් "අනාචාරයේ හැසිරීම" නීතිය ඉදිරියේ වරදක්.

 

 මට සමීප කෙනෙක්
කලත්‍රයාගේ අනියම් සබඳතාවයක් නිසා
මේ දිනවල වින්දිතයෙක් වී සිටිනවා.
 එහි සිදුවෙන වරද පිළිබඳව
සමහරුන්ට නිසි අවබෝධයක් නෑ.
මේ පිළිබඳව සොයා බලන විට
මා නොදැන සිටි බොහෝ දේ
මට සොයා ගන්නට ලැබුණා.
ඒ කරුණු අතුරෙන් අප නොසලකන
නීත්‍යානුකූල කරුණු කිහිපයක්
සඳහන් කරන්නට කැමතියි.

විවාහකයෙක් පිටස්තරව ඇති කරගත්
අනියම් සබඳතාව ගැන කතා කරද්දි
යම් පිරිසක් ඊට පක්ෂව කතා කළා.
තමන්ගේ ජීවිතය තමන්ට ඕනෑ විදියට
ගත කරන්න පුලුවන් කියා ඔවුන්
සරල තර්කයක් ඉදිරිපත් කළා.
මේ පිරිස කතා කරන්නෙ
නීතිය ගැන අදහසක් නැතුව බව
ඉතාම පැහැදිලියි.

"යම් විවාහකයෙක් තම කලත්‍රයා හැර
වෙනෙකෙකු සමග ලිංගික සංවාසයේ යෙදීම"
 අනාචාරයේ හැසිරීමේ වරද යනුවෙන්
නීතිය ඉදිරියේ සැලකෙනවා.
ඒ වරද නීතිය ඉදිරියේ විමසන විට
ඒ වරද කරන්නට හේතු විමසීමක්
උසාවියෙන් කරන්නේ නෑ.
ගෘහස්ථ හිංසනය, නොසැලකීම ආදී
කලත්‍රයාගේ වැරදි කොතෙක් තිබුණත්
ඒ පිළිබඳව වෙනත් නීත්‍යානුකූල
ක්‍රියා මාර්ග තියනවා.
අනාචාරය ඒ කිසිවකට එරෙහිව
නීත්‍යානුකූල විකල්පයක් නොවෙයි.
විවාහය කියන සංස්ථාව තුළ
අනාචාරය නීත්‍යානුකූල වරදක්.

උපුටනයක්...
"ලංකාවේ දික්කසාද නීතීය 'වරදකරුවා කවුද?' යන්න සොයා බලන නීතීයක් මිස 'වරදට හේතුව කුමක්ද?' යන්න සොයා බලන නීතීයක් නොවේ. ඒ අනුව උසාවියට ඇත්තේ වරද කරු කවුද කියා විමසා එම තැනැත්තා නම් කිරීමත් හානියට පත් තැනැත්තාට වන්දි නියම කිරීමත්ය. තවම ලංකාවේ දික්කසාද නීතීය එයයි. ඒ නිසා අනාචාරය කල තැනැත්තා වින්දිතයාට වන්දි ගෙවිය යුතුය."

අනාචාර චෝදනාවේදී වැදගත් වෙන්නෙ
යම් විවාහකයෙක් තම කලත්‍රයා හැර
වෙනෙකෙකු සමග ලිංගික සංවාසයේ යෙදීමයි.
අනාචාරය පිළිගත්තොත් හෝ ඔප්පුවුණොත්
වරදට අනුව තීන්දුව උසාවියට ගත හැකියි.
මේ සඳහා නීතියෙන් ඉදිරිපත් විය හැක්කේ
වින්දිත කලත්‍රයාටම පමණයි.

රටේ නීතිය ඉදිරියේ අනාචාරය
ආගමට, සංස්කෘතියට හෝ
සමාජයට බලපාන වරදක් නොවෙයි.
ඒ වරද නීත්‍යානුකූලව හසුවෙන්නේ
වෛවාහක නීති වලටයි.
විවාහ වුණ දෙන්නාගෙන් කෙනෙකු කරන
වැරදි ගැන ක්‍රියා කළ හැක්කේ
ඒ වින්දිතයාටම පමණයි.
ආගම් ඉදිරියේ අනාචාරය වරදක් වීම
රාජ්‍ය නීතියට බලපාන්නේ නෑ.

උපුටනයක්.
"අනාචාරය ලෙස සලකනු ලබන්නේ විවාහක කාන්තාවක හෝ පුරුෂයෙකු විවාහ බන්ධනයෙන් පිට පුරුෂයෙකු හෝ කාන්තාවක සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම යි.සිවිල් නඩු ව්ධාන සංග්‍රහයේ 598 වගන්තියට අනූව අනාචාරයේ යෙදෙන කාන්තාව ගණිකාවක ලෙස දිවිගෙවන අවස්ථාවක හෝ අනාචාරියාගේ නම සොයා ගත නොහැකි විට හෝ අනාචාරියා මිය ගොස් ඇතිවිට හැර අන් සෑම අවස්ථාවකම තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සමග අනාචාරයේ යෙදෙන අය සමවිත්තිකරුවෙක් ලෙස නම් කළ යුතුය.මෙලෙස නම් කිරීමෙන් පසුව ඔහුගෙන් වන්දි මුදලක් ඉල්ලා සිටීමේ හැකියාව ද පවතී."
මේ උපුටනයට අනුව විවාහකයා මෙන්ම
අනෙක් පාර්ශවයේ අනාචාරියාද
නීත්‍යානුකූලව වැරදිකරුවන් වෙයි.
ඔහුත් විවාහකයෙකු වන අවස්ථාවේදී
ඔහු තම කලත්‍රයා හමුවේ සහ
අනෙක් විවාහය හමුවේද වැරදිකරුවෙකි.

සමාජයේ සිදුවන්නේ මෙවැනි දේ
නීතිය ඉදිරියට නොපැමිණීමයි.
නීතියෙන් ක්‍රියා නොකර ඉවසාගෙන සිට
පසුව හැඟීම් බරවී ක්‍රියා කරන අය
මිනිස් ඝාතන දක්වා දුරදිග යයි.
හිස නැති මළකඳක් බෑගයකින්
සංචාරය කළේ මෙවන් වරදක්
සමාජයෙන් වසං කරන්නට ක්‍රියා කළ
විවාහකයෙකුගේ අඥාණ බව නිසාය.

සමහරුන්ගේ නීතිය නොදන්නා කම
සහ නීතියට පිටින් ක්‍රියා කිරීම
තාවකාලික මානසික සුවයකි.
ඒ සුවය නිසා ජීවිත නැතිවෙයි.
පවුල් අවුල් වී විසිරෙයි.
අනාථවන දරුවන් අසරණ වෙයි..

තමන්ගේ විවාහය තුළ සිදුවෙන
නීතිවිරෝධී සිදුවීම් වලදී
නිහඬව ඉවසා දරා සිටීම
පසු කලෙක නීතිය හමුවට එනවිට
වින්දිතයාගේ බලය දුර්වල කරන
ප්‍රබල සාධකයක් විය හැක.
.
#athulasiriwardhane