20151114

ඔබේ ජීවිතය ගතවන්නේ සිහියෙන් නොවේ.



මේ මොහොතෙහිත් මුළු දවස පුරාමත්
ඔබ තුළත් ඔබ අවටත් බොහෝ වෙනස්කම් සිදු වෙයි.
මේ තොරතුරු ඔබ වෙත ඇස්, කන් නාසාදියෙන්
නොකඩවාම ලැබෙන නමුත් ඔබ ඉන් කොපමණක් දන්නවාද?


ඔබේ ජීවිතය ගතවන්නේ සිහියෙන් නොවේ.

ඔබේ ජීවිතයෙන් කොටසක්
අවසිහිය සමග මුසුවූ සිහියෙන්
සහ ඉතිරිය මෝහයෙන් ගතවෙයි.

ඔබේ ප්‍රඥාව තීරණය වන්නේ
ඔබේ සිහියෙහි ප්‍රමාණයටය.
ඔබ උගතෙක් බුද්ධිමතෙකු වූ පමණින්
ඔබ ප්‍රඥාවන්තයෙකු වන්නේ නැත.
උගත්කම සහ බුද්ධියට පදනම් වන්නේ
ඔබ බැහැරින් ලබාගත් වචනමාත්‍ර දැනුමයි.

ගින්නට පිළිස්සීමෙන් තුවාල වන බව
ඔබට පතපොත මගින් හෝ
කිසිවෙකුගේ දේශනයක් මගින් දැනගත හැක.
ගින්නට පිළිස්සීමෙහිදී සිදුවෙන රසායනික වෙනස්කම්
විද්‍යාඥයෙකු මෙන් විස්තර කළත්
ගින්නට පිළිස්සීම ගැන
ප්‍රඥාව පහළ වන්නේ
ගින්නට පිළිස්සෙන විට
ඔබ ඒ අත්දැකීම
සිහියෙන් විඳින ප්‍රමාණයටය.

අත්දැකීම සිහියෙන් විඳින ප්‍රමාණය තීරණය වන්නේ
ඔබට ඒ අවස්ථාවේ පවතින උපේක්ෂාවේ ප්‍රමාණයටය.
සිහියත් උපේක්ෂාවත් ඇති තැනැත්තා තුළ
ගින්නට පිළිස්සීම පිළිබඳව
ඔහු තුළ ඇත්තේ ප්‍රඥාවයි.

අත්දැකීමක ආධාරය රහිතව
පතපොත මගින් හෝ
කිසිවෙකුගේ දේශනයක් මගින්
ඔබට ප්‍රඥාව පහළවිය නොහැක.

ගින්නට පිළිස්සීම පිළිබඳ
පොත් ගණනාවක් ලියා
දීර්ඝ ගැඹුරු දේශන පවත්වා
සම්මාන දිනූ මහාචාර්ය තුමා
යාබද අසුනේ පොතක් කියවමින්
සැනසිල්ලේ පසුවෙද්දී
ගින්න ගැන දන්නා ප්‍රඥාවන්තයා
සිය නාසයේ තැවරෙන දුම් ගඳින් අවදිවී
ගින්නට හේතුව සොයා යයි.
එවන් මහාචාර්යවරුන්ගේත් දිවි ගැලවෙන්නේ
මෙතෙක් පහළවූ ප්‍රඥාවන්තයන් නිසාය.
මේ දෙදෙනාටම වඩා
ගින්නට පිළිස්සීමේ අත්දැකීම විඳ
ඒ අත්දැකීම ගැන හැදෑරීමෙන්
මහාචාර්ය පදවිය ලබා ගත්
ප්‍රඥාවන්ත මැහැදුරුතුමා උතුම්ය.

ගින්නට පිළිස්සෙන අත්දැකීම දරාගත නොහැකිව
වේදනාවෙන් වියරු වැටී කෑ ගසන විට
ඔබේ හිතේ පවතින ද්වේශ සහගත කැළඹීම නිසා
ඔබට අත්දැකීම නොපෙනෙයි.
ඔබ පසුවන්නේ මෝහයෙනි.

ගින්නට පිළිස්සෙන වේදනාව දරාගත නොහැකිව
ඔබ සිහිසුන් විය හැක.
සිහිසුන් අවස්ථාව සපුරාම මෝහයයි.

ඔබේම උවමනාවෙන්
ඔබම සිහිය පිහිටුවා නොගතහොත්
සිහියෙන් පසුවෙන අවස්ථාවක්
ඔබේ ජීවිතයෙහි නැත.
ඔබේ ජීවිතය ගතවන්නේ
මද සිහියත් අවසිහියත් අතර
දෝලනය වෙන චංචල පරාසයකය.

ඔබට කොතෙක් වුවමනා වුණත්
ඔබට ඔබ පිළිබඳව සිහිය
සියයට සියයක් ඇති කරගත නොහැක.
ඒ සඳහා ඔබ රහත් විය යුතුය.
එවිට ඔබේ සිහිය
පැය විසිහතර පුරාම
නොකඩවාම සියයට සියයේම පවතී.

රහතන් වහන්සේ නිදා නොගනී.

සව් කෙලෙසුන්ගෙන් විනිර්මුක්තවීම නිසා
සපුරාම පිරිසිදුවූ නිර්මල සිත
සපුරාම විවේකයෙන් පසුවෙද්දී
කාය විවේකය අවශ්‍යවූ විට
රහතන් වහන්සේ සිහියෙන් යුක්තව
සැතපී සිටියි.

කාය විවේකය සඳහා
ඔබ මදකට ඇලවුණත්
ඔබ නින්දට වැටෙන්නේ
කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිත
විවේකය සොයන නිසාය.
නිදිමත යනු මෝහයට වැටීම
මූලික අවස්ථාවයි.
මොහොතකින් ඔබ මෝහයට පත්වෙයි.

ඔබ නිදන විට
ඔබ තුළ හෝ ඔබ අවට සිදුවෙන කිසිවක්
ඔබ නොදනී.
ඔබේ සිත අකර්මණ්‍යය.
සිත මදක් අවදිවී සිහිනයක් දුටුවොත්
තුනී සිහියක් ඇත්නම්
ඔබ දකින සිහිනය
අවදි වූ පසුව සිතට නගා ගත හැකි වුවත්
සිහිනය සැබෑ අත්දැකීමක් නොවේ.

සිහිනය සිත තනාගන්නා මායාවකි.
දහවල් දවසේද ඔබ අසන දකින දේ ඇසුරෙන්
මෙවැනි මායාවන් සිය දහස් ගණනාවක්
ඔබ තනා ගනියි.
එවන් අවස්ථාවන්හිදීද ඔබේ සිහිය දුර්වලය.
සිත වෙනතක යොමුකරගෙන
මහමග ගමන් කරන විට
ඔබ පසුපසින් ආ රියක නළා හඬින්
එහි රියදුරා කුපිතව දෙසන අසැබි වදනින්
ඔබ පසුවෙන නින්දෙන් අවදි වෙයි.
ඔබ පසුවූයේ  අවසිහියෙනි, මෝහයෙනි...

නින්දේදී පූර්ණ මෝහයෙන්
ජීවිතය ගත කරන ඔබ
නින්දෙන් අවදිවී එදිනෙදා කටයුතු වල
සාර්ථක ලෙස යෙදෙන්නට
ඔබේ චිත්ත ශක්තිය නාභිගත කරද්දී
ඡායාරූප ගන්නා කැමරාවට මෙන්
රාමුවෙන් පිට ලෝකය කැපී ඉවත්වෙයි.

මේ මොහොතේම ඔබ තුළත් අවටත්
දහසක්දේ සිදුවෙමින් පවතියි.
මේ ලිපියෙන් එක මොහොතකට සිත මුදාගෙන
අවට ලෝකයට සිහිය යොමු කරන්න.
මෙතෙක් ඔබට නොඇසුන
දැන් ඇසෙන ශබ්ද කොතෙක් ඇත්ද?
ඒ ශබ්ද පිළිබඳව
ඔබ තුළ ඇත්තේ මෝහයයි
ඔබ කියවන මේ වචන පෙළෙන් පිට
ඔබේ ඇසට පෙනෙන නමුදු
ඔබ සිහියෙන් තොරව පසුවෙන කොතෙක් දේ
ඔබේ ඇස් ඉදිරිපිට ඇත්ද?
ඒ ඇස දකින නමුත් ඔබට නොපෙනෙන දෑ ගැන
ඔබ තුළ ඇත්තේ මෝහයයි.

ඔබ මෙතෙක් පසුවූ ඉරියව්ව කුමක්ද.?

මා විමසන තුරුම ඔබ පසුවූයේ
ඔබේ ඉරියව්ව ගැන මෝහයෙනි.

රාත්‍රියේ නින්දෙන් පසුවෙන ඔබ
උදෑසන අවදි වූ නමුත්
තවමත් පසුවන්නේ
ඊට වඩා අඩු අවසිහියෙනි.

ඔබ වෙහෙස වූ විට විඩාව නිසා
ඔබේ අවසිහිය තවත් දියුණු වී
ඔබ මෝහයට පත්වෙයි.

මත්පැන් ගැනීමෙන්
සිත නාභිගත කිරීමේ හැකියාව වැඩිවී
සියල්ල පිළිබඳ සිහිය දුර්වල වී
ඔබ තුළ හා අවට සිදුවෙන දේ ගැනත්
ඔබ වෙසෙන සමාජයෙහි සදාචාරය, නීතිරීති ගැනත්
අවසිහිය දියුණු වෙයි.
ඒ මෝහය ඔබට සුවයක් වන නමුත්
ඔබේ අවසිහිය තවත් වර්ධනය වී
ඔබ මෝහයට වැටෙයි.

පොත්පත් හා දේශන මගින්
තර්කයට හුරු සිත මෙහෙයවමින්
මත්පැන් බීම සාධාරණීකරණය කරමින්
තර්කානුකූල හේතුකාරණා සපයාගන්නා
බුද්ධිමතුන් හා උගතුන් මත්පැනට ඇබ්බැහිවන නමුත්
සිහියෙන් පසුවෙන ප්‍රඥාවන්තයා
මත්පැන අප්‍රිය කරයි.

මද පමණින් මත්පැන්ගත් තැනැත්තෙකු මෙන්
අවදියෙන් සිටින දවල් දවසත් ගතකරන විට
ඔබ තුළත් ඔබ අවටත් සිදුවෙන දේ ගැන
ඔබ තුළ මෙතෙක් පැවතිඋන අවසිහියෙන්
මිදෙන්නට ඔබට ක්‍රියා කළ හැක.

හැකි හැම විටම
තමාතුළත් අවටත් සිදුවෙන දේ ගැන
සිහියෙන් පසුවීම මගින්
අවසිහිය දුර්වල වන අතර
සිහිය කෙමෙන් වර්ධනය වෙයි.

ඔබේ සිහිය කොපමණද?
මෝහය කොපමණද?

ඔබ කිසියම් කාර්යයක යෙදෙන විට
ඒ කාර්යයට අදාළ සංවේදනා ගැන
සිහියෙන් පසුවෙනවාද?

ඔබ අත සෝදන විට
වතුර අතේ ස්පර්ශ වෙන අයුරු
වතුරෙහි ස්වභාවය, වතුරේ සීතල
ඔබ කවදා හෝ සිහියෙන් විඳ තිබෙනවාද.?

ආහාර සපන විට
ආහාර දිවෙහි හා  මුවෙහි තැවරෙන අයුරු
ආහාර සැපෙන අයුරු සිහියෙන් විඳ තිබෙනවාද.?

මේ අවස්ථාවන්හි
ඔබේ සිත පවතින්නේ කොතැනකද?
සිත කොතැනක පසුවුණත්
ඔබ පිළිබඳව ඔබ පසුවන්නේ
සිහියෙන් නොව මෝහයෙනි.

දැන් මේ අවස්ථාවේ
ඔබේ සිරුරෙහි ස්පර්ශ වන දේ මොනවාද?

ඔබ හිඳගෙන සිටින අසුන ඔබට දැනෙනු ඇත.
ඔබේ ඇඳුම ස්පර්ශ වන තැන සහ
ස්පර්ශ නොවෙන තැන් අතර වෙනස
ඔබට දැනෙනවාද?
බේ ඇඳුමට වැසුණ තැන් සහ
ස්පර්ශ නොවැසුන තැන් අතර වෙනස
ඔබට දැනෙනවාද?

මේ වෙනස්කම් දකිනවිට
මෝහය පහවී සිහිය පහළ වෙන අයුරු
ඔබට දැනෙනවාද?
ඔබේ සිත සමාහිත වන බව
සන්සුන් වන බව ඔබට දැනෙනවාද?

සිහියෙන් පසුවෙනවිට
කයෙහි ඇතිවෙන සංවර බවත්
සිතෙහි ඇතිවෙන සමාහිත බව
මෝහයෙන් පසුවෙන්නා තුළ පවතින
අකර්මණ්‍ය බවට වඩා සපුරාම වෙනස්ය.
මෝහයෙන් පසුවෙන්නා නැවූ කම්බියක් නම්
සිහියෙන් පසුවෙන්නා තදකළ දුන්නකි.
හැම මොහොතකම සිහියෙන් පසුවෙන නිසා
ඔහු ක්‍රියාශීලී වීමට සූදානම්ය.

නින්දේදීත්, වෙහෙස වූ විටත්, මත්පැන් ගත්විටත්
සිතේ ඇතිවෙන සමාධිය මිථ්‍යා සමාධියකි.

කුඩා දරුවෙකු සමග උයනක ඉන්නා
මහල්ලෙකුගේ සිතේ පවතින සමාධිය
ජීවිතය පුරා වෙහෙසට පත්වී
මොළයත් ස්නායු පද්ධතියත් මඩවී පල්වී
ඉතිරි වී ඇති අංශුමාත්‍ර සිහිය යොදාගෙන
සිතන්නට බැරි තරම් අප්‍රමාණවත් නිසා
ඔහු තුළ ඉබේම ඇතිවූ අකර්මණ්‍ය බවකි.
වෙහෙසටපත්වූ සිතේ පවතින නිද්‍රාව
සම්ම්මා සමාධිය නොවේ.
සම්මා ස්මාධිය ඇතිවන්නේ
තමාතුළත් අවටත් ගැන සම්පූර්ණ සිහියන්
සම්පජානෝ සිටින විට සිතේ පවතින
සමා සතිය නිසාය.

මහල්ලාගේ සිත අකර්මණ්‍යව පවතිද්දී
කුඩා දරුවා අවට සිදුවෙන බොහෝ දේ දකියි.
තමා අමතක කොට
බැහැර ගැන සහ ප්‍රිය අප්‍රිය දේ ගැන
පමණ ඉක්මවා යොමුවීමෙන්
කුඩා දරුවාගේ
පිරිසිදු මොළයත් ස්නායුපද්ධතියත්
මඩවීම ඇරඹී ඇත.

අවසිහියට හේතු දෙකකි..

1, 
කායික හා මානසික වෙහෙස.
2, 
සිහිය එක් තැනකට යොමු කරමින්
අන් සියල්ල නොසලකා හැරීම.

" අම්මෙ, වතුර ඉවර වුණොත් මාළුන්ට මොකද වෙන්නෙ?"
මින් මැදුර නරඹමින් සිටින කුඩා දරුවා
ප්‍රචලිත සූපවේදිනියක් වූ සිය මවගෙන් විමසුවේය.
ස්මාර්ට් ෆෝන් එකෙන් නෙත් ඉවතට නොගෙනම
ඇය දුන් පිළිතුර....
" මාලු ටික පිච්චේවි පැටියෝ." කියායි.

අවසිහිය යනු
සිතත් කයත් වෙහෙසට පත්වීම නිසා
සහ
සිහිය එක් තැනකට යොමු කරමින්
තමා තුළත් තමා අවටත් සිදුවෙන සියලු දේ
නොසලකා හැරීම.නිසා ඇතිවෙන
බරපතල මානසික ව්‍යාධියකි.
.

අන්ධයන් සමූහයක් අතර අන්ධ බව සාමාන්‍ය දේකි.
එමෙන්ම
සියල්ලෝම අවසිහියෙන් පසුවෙන නිසා
අවසිහිය සාමාන්‍ය දෙයක් බවට පත්වුවද
ජීවිතය දියුණු කරගන්නට නම්
මහළු වියේදී අවසිහියට පත්වී
මෝහයට නොවැටෙන්නට නම්
සිහියත් උපේක්ෂාවත් වැඩිය යුතුය.


තමා තුළත් තමා අවටත් සිදුවෙන සියලු දේ ගැන
තමා පසුවෙන ඉරියව්ව පිළිබඳව,
තමන්ගේ හුස්ම පිළිබඳව,
වාහනයක යන විට වාහනයහි චලනය අනුව
කය වෙනස්වෙන ආකාරය පිළිබඳව ආදී ලෙසින්
දවස පුරා තමාට අදාළ දේ ගැන සිහියෙන් පසුවීමෙන්
සිහිය කෙමෙන් කෙමෙන් වැඩෙනු ඇත.

ඔබ නිරන්තරයෙන් පසුවෙන මෝහයෙන්
කෙමෙන් කෙමෙන් බැහැර වෙමින්
සිහියත් උපේක්ෂාවත්
කෙටි කලකින් වැඩි දියුණු කරගන්නට
ඔබට උපකාර වෙන
දසදිනක පූර්ණකාලීන නේවාසික පාඨමාලා පෙළක්
දිවයිනේ ස්ථාන තුනක වසර පුරා පැවැත්වේ.

ඒ සඳහා අදාළ විස්තර
මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න.

විපස්සනා පුහුණුව