20141119

ආගමිකයා - නිරාගමිකයා



.ආගමිකයෙක්
ඉච්ඡාභංගත්වයෙන් කරන උමතු ක්‍රියාවන්
නිරාගමිකයාටත් පොදුයි.

ආගමිකයාට සරණක් ඇති නිසා
රකින්න විනයක් ඇති නිසා
ආගමිකයෙක් සමග සසඳන්න
පරමාදර්ශී චරිත ආගමිකයාට තියනවා.
ඔවුන් සිල්වත්ද, සිත සමාහිතද, ප්‍රඥාව වැඩෙනවද කියා
ඔවුන් සැලකිලිමත් වෙනවා.

නිරාගමිකයාට සරණක් නැති නිසා
රකින්න විනයක් නැති නිසා
නිරාගමිකයා අපරාධකරුවෙක් වුණත්
සසඳන්න තියන ප්‍රමිතිය
තවත් සාමාන්‍ය දුර්වලතා ඇති මිනිහෙක් සමග පමණයි..

නිරාගමිකයාට අභියෝගයක් නැහැ..
තමන්ට වඩා ලොකු අපරාධ කරුවෙක් පෙන්වලා
මම ඊට වඩා හොඳයි කියල
සැනසෙන්න නිරාගමිකයාට පුලුවන්
වෙනස එපමණයි..

ආගමිකයා වුණත් නිරාගමිකයා වුණත්
ඉච්ඡාභංගත්වයට පත් වුණාම
ආවේග ශීලී වුණාම
වැටෙන තැන එකයි.

ආගමිකයා වුණත් නිරාගමිකයා වුණත්
ආවේග ශීලී වුණාම
කරන්නෙ මොනවද කියල ඔහු දන්නෙ නෑ..
ඔහුට සිහිය නැහැ..
සිහිය ආවත් ඔහුට තමන් පාලනය කරගන්න බෑ.

ආගමිකයා කෝපයට පත් වුණාම
එක විදියකටත්
නිරාගමිකයා කෝපයට පත් වුණාම
තව විදියකටත්
කෝපයට පත් වෙන්නෙ නෑ.

දෙන්නගෙම කයෙහි සිදුවෙන රසායනික ක්‍රියා එකයි..
මනසෙහි ඇතිවෙන වියරු ස්වභාවය එකයි..

ඔවුන් වෙනස් වෙන්නෙ
ඒ කෝපය සමනය කරගෙන
ආත්ම දමනය කරගන්න
උත්සාහ කරන වෙලාවටයි.

ආගමිකයා සතුව මෙවලම්
ටිකක් තියනවා.
කෝපයට පත්වෙන කෙනෙක්
මේ ආකාරයට හැසිරිය යුතුයි කියලා
ආගමෙන් කෙරුණු මග පෙන්වීමක්..
කිසියම් ප්‍රමිතියක් තියනවා.
ඔහුට සිදුවෙන හානිය ගැනත් ඔහු හිතනවා.

නිරාගමිකයාට සරණක් නැති නිසා
රකින්න විනයක් නැති නිසා
තමන් අමතක කරන්න පුලුවන්..

නිරාගමිකයාට හිතන්න තියෙන්නෙ
නීතියෙන් හෝ සමාජයෙන් ඇතිවෙන
ප්‍රශ්න විතරයි.

සැබෑ නිරාගමිකයා යනු
දහම නොදන්නා කෙනෙකු හෝ
නොදන්නා දහම් ප්‍රතික්ෂේප කරන
අඳ බාලයෙකු නොවේ..

දහම නොදන්නා නමුත්
සත්‍යය සොයන ස්වාධීන ගවේශකයෙකි..
ඔහු ඉක්මණින් හෝ ප්‍රමාද වී හෝ
සත්‍යය සොයා ගනු ඇත..

ඔහු පල්ල හිල්වූ මල්ලක් ගෙන
විද්‍යාවට කඩේ යන්නෙක් නොව
හිස් මල්ලක් ගෙන
දකින සියල්ල තුළ
සත්‍යය සොයන්නෙකි.

ඔහුගේ මල්ල හිස්වී තියෙන්නේ
මල්ලෙහි පල්ල හිල්වී ඇති නිසා නොව
ඔහු තවමත් සත්‍යය නොදුටු බැවිනි..

Stephen Howking දහම නොදුටු සැබෑ නිරාගමිකයෙක්

ඔබේ චරිතය හඳුනාගන්න.



මිතුරන් පස් දෙනෙක් රාත්‍රී සාදයකට යනවා.

එක් මිතුරෙක් රිසි පරිදි මත්පැන් බීලා
රිස් පරිදි නිදැල්ලේ හැසිරෙනවා.
කයිවාරු ගහනවා... නටනවා.

දෙවැනි මිතුරා සිල් රකින කෙනෙක්.
ඔහු මේ සියල්ල පිළිබඳව ද්වේශයෙන්
සාදයත්, මත්පැන් පානයත්,
අවිචාරවත් හැසිරීමත්
දැඩි ලෙස විවේචනය කරනවා.

තුන්වැනි මිතුරා
බීල නටන්න හිතේවි කියල හෝ
බීල නටන අය ගැන
කෝපයක් ඇති වෙයි කියලා හෝ..
නිදිමත වෙයි කියලා හෝ
අසල තිබුණ යමක් අරන්
අහුවෙන දෙයක් කියවනවා.

හතර වෙනි මිතුරා කාල බීලා
තමන්ගෙ පුටුවෙ නිදි.
ඔහු මේ කිසිවක් දන්නෙ නෑ.

පස් වැනි මිතුරාට මේ සියල්ල දකිනවා.
ඒ සියල්ල ඔහුට දැනෙනවා. හැඟෙනවා.
මත්පැන් බීලා
විනෝදයෙන් කල් ගත කරන මිතුරාත්
ද්වේශයෙන් හැසිරෙන සිල්වතාත්
වෙනත් අරමුණකට හිත යොමු කරගෙන
තමන්ගෙ ලෝකයක ඉන්න මිතුරාත්
සිදුවෙන කිසිවක් නොදැන
මෝහයෙන් නින්දට වැටී සිටින මිතුරාත්
ඔහුට පෙනෙනවා.
සාදය පවතින ආකාරයත්
මොහොතින් මොහොතට වෙනස් වෙන ආකාරයත්
ඔහුට පෙනෙනවා. දැනෙනවා. හැඟෙනවා.
ඒ සියලු තොරතුරු දකිනවිට ඇසෙන විට
ඔහුතුල උපදින හැඟීම් ආවේග ගැනත්
ඔහුට සිහිය තියනවා.
ඇතුළතත් බැහැරත් සියල්ල දකිමින්, අසමින්,
හැඟීම් සහ සිතුවිලි ඇතිවෙද්දි
ඒ සියල්ල වෙනස් වෙන ආකාරයත් දකිමින්
හැම දෙයක් මැ දැනෙන සිහියෙන්
සම්පජානෝ සතියෙන් වෙසෙන ඔහු
ඒ කිසිවක් කැමැත්තෙන් අල්ලා ගන්නෙත් නැහැ..
අකැමැත්තෙන් ප්‍රතික්ෂෙප කරන්නෙත් නැහැ.
නිවුණු සිතින් කල් ගත කරලා
සාදය හැරයන්න අවස්ථාව පැමිණෙනතුරු
සැනසිල්ලෙන් ඉන්නවා.

අපි හැම දෙනෙක්ම
මුල් අවස්ථා හතර අතර
එකින් එකට මාරු වෙමින්
නොකඩවාම පසු පස එන දුකෙන්
මිදෙන්න වෑයම් කරනවා.

මේ එක් එක් චරිතය රඟපාන අවස්ථාවන්හි
මම දැන් රඟපාන්නෙ මේ චරිතයයි
මා වෙනස් වෙන්නෙ මේ මේ විදියටයි
කියා දකින්න ඔබට පුලුවනි නම්
ඔබ කල් යාමේදී
පස් වැනි අවස්ථාවෙ තැනැත්තා බවට
කෙමෙන් කෙමෙන් පත්වෙයි.

බුදු දහම අනුව
සතර සතිපට්ඨානයෙන් වෙසෙමින්
පුහුණුවෙන  විදසුන් වඩන්නෙක්
පස් වැනි අවස්ථාවට පත් වී
සියල්ල වෙනස් වෙන ආකාරය දකිමින්
හැම දෙයක් මැ දැනෙන සිහියෙන්
සම්පජානෝ සතියෙන් වෙසෙන ඔහු
ඒ කිසිවක් කැමැත්තෙන් අල්ලා ගන්නෙත් නැහැ..
අකැමැත්තෙන් ප්‍රතික්ෂෙප කරන්නෙත් නැහැ.
නිවුණු සිතින් කල් ගත කරලා
සාදය හැරයන්න අවස්ථාව පැමිණෙනතුරු
සැනසිල්ලෙන් වෙසෙනවා..

මේ මොහොතේ
මේ සටහනට ඔබ ප්‍රතිචාර දක්වන්නේ
කී වෙනි මිතුරා ලෙසද?
ඔබට පිළිතුරක් නැත්නම්
ඔබ හතර වැනි ආකාරයේ පුද්ගලයෙක්.
නින්දෙන් පිබිදෙන්න.
පස්වැන්නා මෙන් හැසිරෙන්නට
සුදුසුකම් ඇති කෙනෙක් විය හැකියි, ඔබ .