20160807

අතොරක් නැතිව සතර සතිපට්ඨානය වැඩිය හැකිද?

[[[ඔබ හිතනවද ගිහි ජීවිතය තුල අතොරක් නැතුව සතිපට්ඨානය වඩන්න පුලුවන් කියලා ]]]

ගිහි ජීවිතය තුල
අතොරක් නැතුව සතිපට්ඨානය වඩන්න බැහැ.

සතිපට්ඨානය වඩන්න  වෑයම් කරන්න නම්
ගිහි පැවිදි හැම කෙනෙකුටම පුලුවන්.

අතොරක් නැතිව
සතර සතිපට්ඨානය වැඩිය හැකිද යන ප්‍රශ්නය
සතර සතිපට්ඨානය මග හරින්නට
නිදහසට කරුණක් සෙවීමක් නොවිය යුතුයි.

සතිපට්ඨානය වඩන්න
අතොරක් නැතිව උත්සාහ කරන කෙනෙක් තුළ
සතර සතිපට්ඨානය නොවැඩෙන  කාලය තුළ
සම්මා වායාමයයි වැඩෙන්නෙ.

''අතොරක් නැතුව'' සතිපට්ඨානය වඩන්න
වෑයම් කිරීමට තරම් අවකාශයක්
අද කාලෙ වෙසෙන පැවිද්දෙකුටවත් නැහැ.

අතොරක් නැතිව සතිපට්ඨානය වඩන්න
උත්සාහ කරන්නට පවා
භික්ෂු ශීලය සහ විනය අකුරටම පිළිපදින
පැවිද්දෙකු විය යුතුයි.
එවැන්නෙක් මේ ජීවිතය තුළම රහත් විය හැකියි.
අද එවැන්නන්ට වෙසෙන්නවත් බැහැ.
එවැන්නෙක් දුටුවොත්
පුහුදුන් හිස් පුරුෂයන් ඔහු වටා
රොද බඳිනවා.

විශුද්ධි මාර්ගයෙහි සඳහන් වෙන
පැවිදි දිවිය පුරාම වැඩූ
ඉරියා පථයත් සති සම්පජඤ්ඤයත් මගින්
එක මොහොතකින් සසර කෙළවර කළ
මහා සංඝ රක්ඛිත තෙරුන් වහන්සේ පිළිබඳ පුවත
උදාහරණයක් ලෙස දක්වන්න පුලුවන්.


මහා සතිපට්ඨාන සූත්‍රයෙ
අතොරක් නැතිව සතිපට්ඨානය වඩන්න කියන කොන්දේසිය
බුදුන් වහන්සේවත් පණවන්නෙ නෑ.

පටි සති මත්තාය - ඤාණ මත්තාය කියන
සරල කොන්දේසි සඳහන් වන්නෙ ඒ නිසයි.

දැනෙන මාත්‍රය තුළ,
නැවත නැවත සිහිය ඇතිවෙන මාත්‍රය තුළ
සිහිය පැවැත්වීම ප්‍රමාණවත්.

ආනාපාන සතියෙ දැක්වෙන
මේ උපදෙසත් වැදගත්.
දක්ෂ ලී වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක්
ලීය ඉරෙන හැටි දකින්නක් මෙන්
ආනාපාන සතිය වැඩිය යුතුයැයි
බුදුන් වහන්සේ උපදෙස් දෙයි.

දක්ෂ ලී වඩුවෙක්
ලීය ඉරෙන ආකාරය
නිරතුරුව පැහැදිලිව දකියි.
ඔහුගේ අතවැසියෙක්
නොයෙක් අතවැසිකම්වල යෙදෙන අතර තුර
වරින් වර, නොපැහැදිලිව
ලීය ඉරෙන හැටි දකියි.

දක්ෂ ලී වඩුවා මෙන් මෙන්
අතොරක් නැතුව ලීය ඉරන වාරයක් පාසා
සියල්ලම ගැන සිහියෙන් හෝ
ඔහුගේ අතවැසියා මෙන්
අතරින් පතර, දුර්වල ලෙස හෝ
හැකි විටක හැකි පමණින්
ආනාපාන සති වැඩීමට
බුදුන් වහන්සේගෙන් අවසර ඇත.

මේ උපදෙස සතර සතිපට්ඨානයටම
අදාළ කරගන්න පුලුවන් කියා
මම හිතනවා.

ගිහියෙකුට වඩා
භික්ෂු ශීලය සහ විනය අකුරටම පිළිපදින
පැවිද්දෙකුට දවසේ වැඩි කොට්සක්
සතිපට්ඨානය වැඩිය හැකියි.

එවැන්නෙකු ගැන
බුදුන් වහන්සේ මෙසේ කියනවා.
මෙ සස්නෙහි ආර්ය ශ්‍රාවක
1, දිවා කාලයෙහි
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

2, රාත්‍රියෙහි ප්‍රථම යාමය
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

3, රාත්‍රියෙහි මධ්‍යම යාමය
දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා
සම්පජාන සතිය ඇති ව
උත්ථාන සංඥා මෙනෙහි කොට
දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි.

4, රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන් කෙරෙන්
සිත පිරිසිදු කෙරෙයි.

මෙසෙයින් මහානාමය,
ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.

මේ සම්මා වායාමයයි.
නූපන් කුසල් උපදවා ගන්නට
උපන් කුසල් දියුණු කරගන්නට
නූපන් අකුසල් නූපදින්නට
උපන් අකුසල් දුරු කරගන්නට
වීර්ය වැඩීමයි.

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

ආවරණීය ධර්මයන් කෙරෙන්
සිත පිරිසිදු කෙරෙයි. කියා
බුදුන් වහන්සේ මහානාමට කියනවා.

බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ සඳහන් කරනවා.
මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.

ඒ පහ කුමක්ද?
කාමච්ඡන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.

නූපන් කුසල් උපදවා ගන්නට
උපන් කුසල් දියුණු කරගන්නට
නූපන් අකුසල් නූපදින්නට
උපන් අකුසල් දුරු කරගන්නට
වඩන සම්මා වායාමය තුලින්
කාය, වේදනා, චිත්ත, ධම්ම යන
හතර පිළිබඳව සිහියත්
ඒ සීහිය පවතින සිත
තමා තුළ සිහියෙන් දකින
සියලු වෙනස්වීම් පිළිබඳව
ලෝභ ද්වේශ ඇති කර නොගෙන
අනිශ්‍රිතව විසීම
සතර සතිපට්ඨානයයි.

කාය වේදනා පිළිබඳව සිහිය නැති කෙනෙක්
සිත මොන ආකාරයෙන් දැක්කත්
ඔහු වඩන්නෙ සතර සතිපට්ඨානය නොවෙයි.
සිතේ හැඟීමක් හෝ සිතුවිල්ලක් පවතින විට
එහි මුල එහි උපත සිදු වෙන යෝනිය පවතින්නෙ
කය තුළ වේදනා මට්ටමෙයි.

යෝනිසෝ මන
සිකාරයෙන් යුතුව
යථාභූත ලෙස හැඟීම් සහ සිතුවිලි දකින්නට
සිතුවිලි සහ හැඟීම් උපත ලබන
ස්පර්ශ-වේදනා ක්ශේත්‍රයෙන්ම
විදර්ශනය ඇරඹිය යුතුයි.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
හතර පිළිබඳව හැකි හැමවිටම
සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරන්නට
පුහුණුව ලද ගිහියෙකුට වුණත් පුලුවන්.
ඔහු වඩන සෑම උත්සාහයකින්ම
සම්මා වායාමය වැඩෙනවා.

මහණෙනි,
මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

සම්මා සතිය නිසා
වැඩෙන ප්‍රඥාවෙන් ඇතිවෙන
සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර
මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.

සම්මා සමාධිය ඉහත කී
මාර්ගාංග හතේ ප්‍රතිඵලයයි.

මහා චත්තාරීසක සූත්‍රයෙ
සඳහන් වෙන
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගය
අරියා අනාසවා ලොකුත්‌තරා
මාර්ගාංග බවට පත්වෙන්නෙ
මූලිකවම
සම්මා සතිය, [ සතර සතිපට්ඨානය ]
එනම් විදර්ශනාව නිසයි.

මේ අනුව කෙනෙක්
ලෝකෝත්තර මාර්ගයට ඇතුල් වෙන්නෙ
සතර සතිපට්ඨානය වැඩීමෙනුයි.

දුකෙන් මිදීමටත්, ප්‍රඥාව වැඩීමටත්
ලෞකික ජීවිතයට උපකාර වන
අංග හතරක් සතර සතිපට්ඨානයෙන් වැඩෙනවා.

1
සත්වයාගේ විශුද්ධියට,
2
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3
දුක් දොම්නස් අස්තංගත වීමට
4
ප්‍රඥාව ඉහළ යාමට
5
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.


විශේෂයෙන්ම
ගැටලුකාරී තත්වයක් උදා වී
සිතින් කයින් දුක් විඳින විට
සතර සතිපට්ඨානය වඩන්නෙකුට
මානසිකව දුක් නොවිඳ සිටින්නට
සතර සතිපට්ඨානය උපකාරී වෙනවා.

එවැනි අවස්ථාවක පුහුදුන් කෙනෙක්
උල් දෙකකින් දුක් විඳිනවා.
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයා
දුක විඳින්නේ එක උලකින් පමණයි.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.


තමන්ට දැනෙන මාත්‍රයට,
සිහිය නැවත නැවත ඇති කරගත හැකි මාත්‍රයට
අසුරු සැණක් හෝ
සතර සතිපට්ඨානය වැඩීමත්
මහත් ඵල මහානිසංශයි.