20150610

බුදු දහමෙහි සත්‍ය බව විමසන්නට සරල පරීක්ෂණයක්..


බුදුදහමෙහි සත්‍ය බව හා කාලීන බව පෙන්වන
මේ ධර්මතාවය සලකා බලන්න.
මේ ධර්මතාවය සෝ තැවුල් ඇති වෙන
ඕනෑම කෙනෙකුට අත්හදා බැලිය හැකි
සරල ධර්මතාවයකි.

සතර සතිපට්ඨානය
සෝතැවුල් ඉක්මයාමට එකම මාර්ගය ලෙස
බුදුන් වහන්සේ දේශනා කරනවා.

සෝ තැවුල් නම්
අතීතයෙ සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය සිහි කරමින් ශෝක වීම සහ
අනාගතයේ  සිදුවිය හැකි හෝ සිදුවේයැයි සිතන
අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය පිළිබඳව
සිතමින් තැවීමයි.

මේ තැවීම් වලට සමානුපාතිකව කය තුළද
අප්‍රිය ජනක ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
සෝ තැවුල් වලින් දුක් විඳින්නට
මූලිකම හේතුව වන්නේ
මේ අප්‍රියජනක කායික වනස්වීම්ය.

සෝ ලතැවුලින් පීඩා විඳින විට
සිතෙහි ශෝකී බවක් ඇත.
ඇතිවෙන සිතුවිලි ශෝකී, පරාජිත සිතුවිලිය.
විටෙක මේ සිතුවිලි කෙනෙක්
මත්පැනට යොමු කරයි..
සිය දිවිනසාගන්නට පොළඹවයි.

මේ අවස්ථාවන්හි
වෙනත් අරමුණුවලට සිත යොදවා
සෝතැවුල් වලින් මිදුනද
එම අරමුණුද තාවකාලික බැවින්
නැවත සොවින් තැවෙන්නට අවස්ථාව උදාවෙයි.

කිසිදු බාහිර සාධකයක ආධාරය නැතිව
සෝ තැවුල් වලින් මිදෙන්නට මෙන්ම
ඉන් ඇතිවෙන අභ්‍යන්තර වෙනස්වීම්ද
ඒ සමගම සමනය කරගන්නට
බුදු දහමෙහි මග පෙන්වා ඇත.

සෝතැවුල් ඉක්මයාමට ඒකායන මාර්ගය වූ
සතර සතිපට්ඨානය නම්
කය පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
වේදනා පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිත පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිතුවිලි පිළිබඳව සිහිය සහ උපේක්ෂාවයි.

මේ සතර ගැන සිහියෙන් හා
මේ සතරට උපේක්ෂාවෙන් වෙසෙන විට
සෝතැවුල් ඉකමවන්නට හැකිවන්නේ කෙලෙසද.?

සෝ තැවුල් ඇති වෙන විට අපේ සිත් පවතින්නේ
අනාගතයෙහි හෝ අතීතයෙහිය.
මේ සිත වර්තමානයට ගෙන ඒම නිසා
සෝතැවුල් ඇතිවෙන අරමුණු වලින් සිත මිදෙයි.
සෝ තැවුලින් මිදෙන්නට පළමු හේතුව එයයි.

දෙවනුව වර්තමානයට ගෙන එන සිත
අප යොදවන්නේ
සිත, කය දෙකට සහ
සිත, කය  දෙකෙහි වෙනස්වීම් දකින්නටය.

සෝ තැවුල් ඇතිවෙන විට ඊට අදාළව
කයෙහි ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
මේ ජෛව රසායනික වෙනස් වීම්
වේදනා ලෙස කයෙහි ප්‍රකට වෙයි.
කයෙහි අප්‍රාණික, මළානික බවක් දැනෙයි.
හදවතෙහි උගුරෙහි වෙනස්කම් දැනෙයි.

මේ වෙනස්කම් පිළිබඳව සිහියෙන් වෙසෙන විට
මේ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් සිටිනවිට
සෝ තැවුල් ඇති වීම නතර වෙයි.
සිත මුළු කය පිළිබඳවම
සිහියෙන් පවතිද්දි සිතට විවේකයි.
සිතේ පවතින උපෙක්ෂාව නිසා
සිත විවේකයෙන් පසුවෙයි.
සිතට සාපේක්ෂව
කය විවේකයෙන් පසුවෙයි.

සිත විවේකයෙන් නිසා
මොළයත් ස්නායු පද්ධතියත්
විවේකයෙන් පසුවෙනවා.

විවේකයක් ලද විටකදි
කයෙහි සිදු වී ඇති වෙනස්කම්
යථාතත්වයට පත් කරගැනීම කයෙහි
සාමාන්‍ය ස්වභාවයක්.
ඒ අනුව කය පිරිසිදු වෙනවා.
කය අනුව සිතත්  පිරිසිදු වෙනවා.
සිත නිවෙනවා.

ඒ ක්‍රියාවලියෙදි
ජෛව රසායනික අපද්‍රව්‍ය ඉවත්වෙන නිසා
කයෙහි දැනුන අප්‍රසන්න වේදනා මැකෙනවා.
ඒ අනුව
සිතත් කයත් සහනය ලබනවා.

සෝ තැවුල් ඉක්මවන්නට
සතර සතිපට්ඨානය සරණ වන්නේ එසේයි.
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
මේ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකිය.
මේ ධර්මය සැම ආගමකටම පොදුය.
මේ ධර්මය සැම ජාතියකටම පොදුය.
මේ ධර්මය සැම කාලයටම පොදුය.



නවීන විද්‍යාවට බුදු දහම අභියෝගයක්....


Nadeesha Nimalka[[[[ නවීන විද්‍යාව තුල කියවෙන ආකාරයට යථාර්තය යනු නිරීක්ෂකයා හා නිරීක්ෂය එකතුවෙන් සෑදෙන නිරීක්ෂනයක් පමණයි. ඒ නිසා නිරීක්ෂනයට පිටතින් නිරපේක්ෂව පවතින හෝ (ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් ගැන කතාකිරීමෙන් ඵලක් නෑ.]]]

නදීෂ කියන විදියට
යථාර්තය යනු
නිරීක්ෂකයා හා නිරීක්ෂණය එකතුවෙන් සෑදෙන
නිරීක්ෂණයක් පමණයි.

සමස්ත බුදු දහම රඳා පවතින්නෙ
ඔබ මේ කියන ආකාරයේ නිරීක්ෂණය මතයි.

විද්‍යාව බිහිවුණේ
වසර දෙදහසකට පසුව නිසා
විද්‍යාවත් බුදු දහම පහළ වීමෙ
ප්‍රතිඵලයක් කියන්න පුලුවන්.

බුදු දහමෙ පදනම ඉතාම සරලයි.
වෙනත් විද්‍යාඥයන් මත හෝ
උපකරණ මත යැපෙන්නෙ නැහැ.

මොහොතක් පාසා
තමන් තුළත් අවටත් සිදුවෙන සියලු දේ
පිළිබඳව සිහියෙන් පසුවෙමින්
හොඳ හෝ නරක වශයෙන් නොගෙන
කැමති අකැමති වශයෙන් නොගෙන
සමස්තයක් ලෙස නිරීක්ෂණය කිරීම
විපස්සනා නමින් හැඳින්වෙනවා

ඒ නිරීක්ෂණය කරන්නෙ
ඔබ පිළිබඳ යථාර්ථයයි..
මේ මොහොතෙ යථාර්ථයයි..
මොහොතින් මොහොත වෙනස් වෙන
යථාර්ථයයි..

නදීෂ කියන විදියටම
ඒ නිරීක්ෂණයට පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් ගැන
කතාකිරීමෙන් ඵලක් නෑ.

විපස්සනා වඩන කෙනෙකුට
තමා ගැන කරන නිරීක්ෂණයට පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් නෑ.

නවීන විද්‍යාව
බුදු දහමට අභියෝගයක් නොවෙන්නෙ
විපස්සනා වඩන කෙනෙකුට
තමා ගැන කරන නිරීක්ෂණයට 
පිටතින්
නිරපේක්ෂව පවතින හෝ
(ඉන්ද්‍රියගෝචර නොවන) යථාර්තයක් නැති නිසයි...

බුදු දහමට නවීන විද්‍යාවට අභියෝගයක්....
නවීන විද්‍යාව
යන්තම් ස්පර්ශ කරන පටු මිනිසුන්ට
බුදු දහම කොහෙත්ම ස්පර්ශ කරන්න බැහැ..

නවීන විද්‍යාවට
බුදු දහම අභියෝගයක් වෙන්නෙ
මිනිසාගේ සිත සහ කය පිළිබඳ යථාර්ථය දැකීමෙදි
බුදු දහමට ළංවෙන්නවත් නවීන විද්‍යාවට නොහැකි නිසයි.

නවීන විද්‍යාව හොඳින් දන්නා අය
බුදු දහමට ගරු කරනවා.

නවීන විද්‍යාවෙදි
සිතත් කයත් පරීක්ෂා කරන්නෙ
වෙනත් අයගෙ ශරීර තුළයි.
සමහරවිට මීයන් වැනි සතුන් තුළයි.

බුදු දහමෙදි
සිතත් කයත් නිරීක්ෂණය කරන්නෙ
තමන් තුළමයි.
ඒ නිරීක්ෂණ වලට අභියෝග කරන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.

කෝපය නිසා මිනිසෙකු තුළ සිදුවෙන
කායික සහ මානසික වෙනස පරීක්ෂා කරන්න
නවීන විද්‍යාව පරීක්ෂණයක් කළොත්
electroencephalogram (EEG)යන්ත්‍රයක් සවි කරලා
electrocardiogram (ECG) යන්ත්‍රයක් සවි කරලා
රුධිරය මුත්‍රා පරීක්ෂා කරලා
කෘතිමව කෝපය ඇති කරලා
විශාල යුද්ධයක් කරාවි.

බුදු දහමට අනුව
කෝපය නිසා මිනිසෙකු තුළ සිදුවෙන
කායික සහ මානසික වෙනස
නිරීක්ෂණය කරන ක්‍රමය කියන්නෙ
විපස්සනා නමින් හැඳින්වෙන
දුකෙන් මිදෙන මාර්ගයටයි.

වෙනත් විද්‍යාඥයන් මත හෝ
උපකරණ මත යැපෙන්නෙ නැතිව
ස්වයං නිරීක්ෂණයක් කරන
ඔහු තුළ වැඩෙන ප්‍රඥාව
ඔහුගෙ ජීවිතය තුළ විඳින
දුකෙන් මිදෙන්න ඔහුට ප්‍රමාණවත්.

මිනිසෙකු තුළ සිදුවෙන කායික සහ මානසික වෙනස් වීම්
විපස්සනා ක්‍රමයට  නිරීක්ෂණය කරන කෙනෙකුට
වෙනත් කිසිම මාර්ගයකින් ලබන්න බැරි
ප්‍රථිඵල පහක් ලැබෙනවා.

1, සත්වයාගේ විශුද්ධිය,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීම.
3, දුක් දොම්නස් අස්තංගත වීම
4, ප්‍රඥාව ඉහළ යාම
5, නිවන සාක්ශාත් කිරීම

ඔහු කෝපයට පත්වුණාම පමණක් නොවෙයි,
වෙනත් දුක් දොම්නස්, සෝ තැවුල් ඇති වුණාම
ඒ මොහොතෙම...
තමන් තුළත් අවටත් සිදුවෙන සියලු දේ
පිළිබඳව සිහියෙන් පසුවෙමින්
හොඳ හෝ නරක වශයෙන් නොගෙන
කැමති අකැමති වශයෙන් නොගෙන
සමස්තයක් ලෙස නිරීක්ෂණය කිරීම නිසා
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීම.
3, දුක් දොම්නස් අස්තංගත වීම
ඒ මොහොතෙම සිදු වෙනවා.

ඔහු තමන් තුළ විඳ ප්‍රත්‍යක්ෂ කරන
තමන්ගෙ කය සහ මනස පිළිබඳ යථාර්ථය
ඔහුට අවබෝධ කරදෙන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.
ඒ නිරීක්ෂණ වලට අභියෝග කරන්න
කිසිම විද්‍යාඥයෙකුට බැහැ.

ඔහු අංග හතරක් නිරීක්ෂණය කරනවා.
1, කය,
2, වේදනා, ( කයෙහි වෙනස්වීම්. )
3, සිත,
4, ධම්ම ( සිතෙහි වෙනස්වීම්. )
ඔහුගේ සම්පූර්ණ ලෝකයම මෙහි තියනවා.
ඔහු සසර පුරා කල කීදේත්
උපන්දා පටන් කළ කීදේත්
මේ මොහොතෙහි සිදුවෙන දේත්
මේ හතර මගින් පිළිබිඹු වෙනවා.

ඔහු තමා නිරීක්ෂණය කිරීමෙන්
ඔහුගේ ලෝකයම නිරීක්ෂණය කරනවා.
තමන් දුක් විඳින ආකාරය
ඔහු සැබැවින්ම දකින්නෙ මේ අවස්ථාවෙදියි..

ඔහු සමස්ත සත්වයාගෙ දුක
තමන් තුළින් අවබෝධ කරගන්නවා.

තමන් තුළත් අවටත් සිදුවෙන දේ
හොඳ හෝ නරක වශයෙන් ගැනීම
කැමති අකැමති වශයෙන් ගැනීම
දුකට හේතුවෙන බවත් ඔහු දැනගන්නවා.

ඔහු අනුගමනය කරන්නෙ දුකෙන් මිදෙන
ඒකායන මාර්ගයයි...

දුකෙන් මිදීමත්
මොහොතෙන් මොහොතට
ඔහු තුළ සිදු වෙනවා.

විද්‍යාව වෙනත් අය තුළ පරීක්ෂා කරලා
උපකරණ හා ඉඳුරන් මගින් ලබන
සීමිත දැනුම වෙනුවට
ඔහුගෙ මට්ටමෙන්,
කයත් මනසත් පිළිබඳව ඔහුට කළ හැකි
අංග සම්පූර්ණ පරීක්ෂණය
ඔහු කරනවා.

ඔහු තමා තුළ සිදු කරන්නෙ
මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදු කළ
හොඳම පරීක්ෂණ වලින් එකක්.
ඔහුට අනන්‍ය වූ පරීක්ෂණයක්.

විපස්සනා නමින් හැඳින්වෙන
බුදුන් වහන්සේ සොයාගත් මේ ක්‍රමය මගින්
තමා තුළ තමා නිරීක්ෂණය කරමින්
කෙනෙක් ඇතිකරගන්නා ප්‍රඥාවට
උපකරණ මගින් වෙනත් අය තුළ කරන
සීමිත පරීක්ෂණ හා නිරීක්ෂණ මගින්
වරින් වර එළඹෙන නිගමන අනුව
නිශ්පාදනය කරගන්නා පටු දැනුම
කිසි සේත් සමාන කරන්න බැහැ..


බුදු දහම කියන්නෙ  
අඳුරු ලෝකයට හිරු නැගීමයි.

  

විද්‍යාවෙන් කරන්නෙ අඳුරට විදුලි පහන් දැල්වීමක්..