20230930

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි" - "සියල්ල" යනු සියල්ල නොවේ.

 


 

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි"

තව දින කිහිපයකින්
විපස්සනා දස දින පුහුණුවකට
සැරසෙමින් සිටින විදේශගත මිතුරෙක්
මට මෙසේ පණිවිඩයක් එව්වා.
"සබ්බං අනිච්චං"

දහම් සංවාදයන්හි යෙදීමේදී
මට සමීපම කළණ මිතුරා වන ඔහුත්
මාත් සංවාද අරඹන්නේ මේ අයුරින්.
මේ සංවාදය තවමත් ගලා යනවා.
මා අපේ සංවාදය කැටි කරමින්
ඔහුගෙන් මෙසේ ඇසුවා.

"සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි"

සබ්බං අනිච්චං - සියල්ල අනිත්‍යයි
කියන බුදුන් වහන්සේ විසින්
"සියල්ල" අර්ථ දැක්වීමේදී...
'සියල්ල' ලෙස
අප තුළ අප විඳින "සියල්ල" පමණක්...
'සියල්ල' ලෙස වෙන්කර දක්වමින්
අප වෙසෙන මේ සමස්ත විශ්වය සහ
එහි අඩංගු අනික් සියලුම දේ
නොසලකා හරින්නේ මන්ද?

"සියල්ල අනිත්‍යයි" කියා
අප වටා ඇති සියල්ල ගැන
කාට හෝ කිව හැකිද?
කාටවත් එසේ කිව නොහැක්කේ ඇයි?

සබ‍්බං භික‍්ඛවෙ, අනිච‍්චං.
කිඤ‍්ච භික‍්ඛවෙ සබ‍්බං අනිච‍්චං:
චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං,
රූපා අනිච‍්චා,
චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චං,
චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චො.
යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා
උප‍්පජ‍්ජති වෙදයිතං
සුඛං වා දුක‍්ඛං වා
අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චං.

මහණෙනි, සියල්ල අනිත්‍ය ය.
මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්:
මහණෙනි, ඇස අනිත්‍ය ය.
රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය,
චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය,
චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ
නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක්
උපදී නම් එ ද අනිතය ය.

ඇස, රූපය, අක්ෂි විඤ්ඤාණය,
ඇසෙහි සිදුවෙන ස්පර්ශය,
ඒ හේතුවෙන් පහළ වෙන
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ යන
වේදනාවෝ අනිත්‍යය.
අන් ඉඳුරන්ට හා
මනසටද එසේමය.

බුදු දහමෙන් පිට දී
"සියල්ල" ලෙස අප දකින්නේ
අපත් ඇතුළුව මේ අප වටා
අප ඉන්ද්‍රිය සහ සිත ඇසුරෙන් විඳින
සමස්ත විශ්වයම නොවේද?
සමස්ත විශ්වයම අනිත්‍ය නැද්ද?

බුදුන් වහන්සේ "සියල්ල" පිළිබඳව
සත්‍යය දේශනා කිරීමේදී
අප වටා ඇති සමස්ත විශ්වයම
නොසලකා හැර ඇත්තේ ඇයි?

අප තුළ සිදුවෙන විපර්යාස පමණක්
සියල්ල ලෙස අර්ථ දක්වමින්
ඒ සියල්ල පමණක් අනිත්‍ය ලෙස
හඳුන්වන්නේ ඇයි.?

අප සියල්ල ලෙස දකින
සමස්ත විශ්වයම නොසලකා හැර
පසිඳුරන් හා මනස තුළ අප අත් විඳින
අප තුළ සිදු වෙන තාවකාලික විපර්යාස
"සියල්ල" ලෙස හැඳින්වීම
නිවැරදි වන්නේ ඇයි?

සමස්ත විශ්වයම නොසලකා හැර
අප තුළ සිදු වෙන තාවකාලික විපර්යාස
"සියල්ල" ලෙස හැඳින්වීම
බුදු දහමේදී
අපට වැදගත් වන්නේ ඇයි?

මේ සත්‍යය අප විසින්ම
විඳ පසක් කරන තුරු
අපට සිදුවෙන හානිය කුමක්ද?

බුදුන් වහන්සේ මෙන් නිශ්චිතව
මේ සත්‍යය තවත් කෙනෙකුට
කියන්නට අපට නොහැකි ඇයි.?
අප එසේ කිව්වොත් අනෙකා අසන
පැනවලට විසඳුම් හෝ පිළිතුරු
අප සතුව පවතීද?

මේ වාක්‍ය කියවා, ඇදහීමෙන් පිළිගෙන
රාක්කයෙහි තැන්පත් කර නොතබා
මේ සත්‍යය විඳ පසක් කරන්නට
අපට කළ හැකි එකම දේ කුමක්ද?

මේ පැන වලට පිළිතුරු
අපට අප තුළින්ම හමු විය යුතුයි.
එසේ නැත්නම් ඒ සඳහා
සුදුසුම අවස්ථාව අපට ලැබෙන්නේ
විපස්සනා දස දින පුහුණුවේදීය.
#athulasiriwardhane