20221127

මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.

හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය

මේ සනාතන දහම පැහැදිලි වෙන
මගේ ප්‍රායෝගික අත්දැකීමක්.

Dhamma Khetta, Hyderabad - 500 070, Telangana, India
1990 දශකයේ මැදභාගයේදී
ඉන්දියාවෙ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර
ධම්ම ඛෙත්ත විපස්සනා මධ්‍යස්ථානයේදී
මේ රූපයෙ දැක්වෙන
යකඩ ගේට්ටුව අරිනකොට
ජීවන් මා එක්ක ඇවිත්
එතන නතර කරගෙන තිබුණ ස්කූටරය
පසු පසට ගැනීමට යාමෙදි අත්වැරදීමකින්
ඉදිරියට පැනලා ගේට්ටුව නැවත වැහුණා.
මගේ මහපටැඟිල්ල
ඒ ගේට්ටු පළු දෙකට අහුවුණා.

එක් වරම අත ගසා දැමුණා.

ඊළඟ මොහොතෙහි මම
අත දෙසත් වේදනාවත් බැලුවා.
මහපටැඟිල්ලෙ උඩ පුරුක
දෙපලකින් පැලී ලේ ආවා.
අදටත් නිය පොත්තේ ඒ වෙනස තියනවා.

මහපටැඟිල්ලත් දබරැඟිල්ලත්
දෙකේම දැඩි වේදනාවක් දැනුනා.
අනික් ඇඟිළි තුනේ වේදනාව අඩුයි.

මෑත දිනක මට හමු වූ වෛද්‍ය ශිෂ්‍යයෙකුට
මා මේ අත්දැකීම කිව්වාම
ඔහු කිව්වේ
මහපටැඟිල්ල සහ දබරැඟිල්ල එක් ස්නායුවකටත්
අනික් ඇඟිලි තුන වෙනත් ස්නායුවකටත්
සම්බන්ධ බවයි.

මම ඒ වෙනස හඳුනා ගත්තේ
මගේ සිතේ උපෙක්ෂාව තිබුණ නිසයි.
නැත්නම් මට මුළු අතම වේදනාවක්.

ඒ වේදනාවට උපෙක්ෂාවෙන්
මම ස්කූටරයට නැග්ගා.
ස්කූටරය පැදවූ ජීවන්
ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත්තා.
මම ඔහුට කිසිවක් කීවේ නෑ.

පසුදා දහය පමණ වනතුරු වේදනාව තිබුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.

කැටි ගැසුණ ලේ
නොතෙමා ආරක්ෂා කළා.

විශබීජ වලින් ආරක්ෂාව,
කැටි ගැසුණ ලේ ටික පමණයි.


කිසිදු කායික ඔසුවකින් තොරව,
මසකට පමණ පසු
මහපටැඟිල්ල සුව වුණා.

මේ මොහොතෙත්
සිහිය යොමු කරන විට
ඒ ඇඟිලි දෙකේ වේදනා මතු වෙනවා.
ඒ අත්දැකීමෙන් එකතු වූ ද්වේශ සංස්කාර
තවමත් තියනවා.


වේදනා ඇඟිලි වල දැණුනත්
මේ දැනෙන වේදනාවලට හේතුවෙන
ද්වේශ සංස්කාර තැන්පත්ව ඇත්තේ
ස්නායු පද්ධතියේ හෝ මොළයේ විය හැකියි.

අදටත් කලින් කලට
සිත හොඳින් තැන්පත්වූ අවස්ථාවන්හි
එදා මා සිහියෙන් නොදැක
විඥාණයෙහි තැන්පත්වූ ද්වේශ සංඛාර
ඇඟිල්ල කීරි ගැහෙන
සියුම් වේදනාවක් ලෙස මතු වී
නිරුද්ධ වෙනවා.

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

විපස්සනා
සැබෑ ජීවි
යෙ අත්දැකීම් වලදි
දුකෙන් මිදෙන්න උපකාර වෙන්නෙ 

ඒ ආකාරයටයි..

මම කායිකව දුක් වින්දා පමණයි.
මානසිකව දුක් වින්දේ නෑ.


වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,

පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි.
.

මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.


 =================================
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍ර

-----------------------------------


නිවන අත්විඳින
රහතන් වහන්සේලා ඇතුළු මාර්ගඵල ලාභීන්ද
පුහුදුන් වුවත් විදසුන් වඩන්නා
ඔහු විදසුන් වඩන මොහොත තුළද

ආර්ය ශ්‍රාවකයන්ය.

 
ඇසු පිරූ තැන් ඇති ඒ ආර්ය ශ්‍රාවකයන් සමග
ඇසු පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
ඉතාම සරලව
සංසන්දනය කරමින්
අප බුදුන් වහන්සේ
සල්ල සූත්‍රයේ මෙසේ ප්‍රකාශ කළහ.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .


මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..
 

20220228

යුද්ධය හමුදාවෙ රස්සාව...

 


මැරෙන්න බලාගෙන හරි
රස්සාවට හමුදාවට ගියාට
ඒකෙ වරදක් නෑ.
කවුරුත් රැකියාවක් කරල
ජීවත් වෙන්න ඕන.

යුද්ධෙට යන සමහරු
රට, ජාතිය බේරගන්න
කියල ෆෝම් වෙලා ගියාම
ඔක්කොම අවුල්.
අනික් පැත්තෙ ජනතාව මරන්න
ස්ත්‍රීන් දූෂණය කරන්න,
දේපල කොල්ල කන්න පෙළඹෙන්නෙ
ඒ වගේ මනස අවුල් වෙලා
උමතු වුණ අතළොස්සක්.
ඔවුන් කරන්නෙ තමන්ගෙ රට
යුධ අපරාධ කළ රටක් ලෙස
ලෝක අවමානයට වගේම
දෝෂ දර්ශනයට ලක් කිරීමයි.

හමුදාවෙ සොල්දාදුවෝ වුණත්
රට, ජාතිය බේරගන්න හිතන කොට
ඔවුන් කරන්නෙ රස්සාවක් බව
හැමෝටම අමතක වෙනවා.
දෙපැත්තෙන්ම එහෙම යන දෙන්නෙකුට
ප්‍රතිවාදී රටේ හැමෝම හතුරො වගේ.
ඇත්තටම එහෙම නැහැ.

අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට
යුද්ධය අදාළ නෑ.
අපි කැමතියි සාමයට...
අපි ඔක්කොම ශීලාචාර මිනිස්සු.
මිනිස්සු සත්තු වගේ
රැළ පිටින් කා කොටා ගැනීම
පහත් තිරිසන් වැඩක් නිසා
අපි ඒ කාර්යය අපි වෙනුවෙන් කරන්න
රැකියාවට පිරිසක් ගන්නවා.
ඔවුන් අපි වෙනුවෙන් මරා ගන්නවා.
අපි ඔවුන්ට වේතනයක් දෙනවා.
අපට වඩා පහසුවෙන්
දරුවා පාසලට දාගන්න ආදී
වරප්‍රසාද ඔවුන්ට ලබා දෙනවා.
ඔවුන් ඔවුන්ගෙ සේවය කරනවා.
අපි සාමාන්‍ය විදියට
අපේ වැඩපළ කරගෙන යනවා.
කවුරුත් සැනසිල්ලෙන් වෙසෙනවා.

මේ ශීලාචාර රටාවෙන් පැනලා
අපේ රට අපේ ජාතිය කියා හිතුවාම
සාමාන්‍ය අපටත් උණ හැදෙනවා.
ද්වේශයෙන් මනස රෝගී වෙනවා.
අනික් ජාතීන් අපේ හතුරො වෙනවා.

හැතැප්ම දහස් ගාණක් ඈත
යුද්ධයක් පටන් ගත්තත්
ඒ යුද්ධෙ දිහා බලාගෙන
ඒ රටවල් දෙකෙන් එකකට පක්ෂ වෙලා
දෙපැත්ත බෙදිලා හතුරො වෙන්න
අපි හරි දක්ෂයි.

අපි ඒ විදියට අපේ හිත්
ද්වේශයෙන් කිළිටි කර ගත්තාට
යුද්ධ කරන එක හමුදාවෙ වැඩක්.
ඒ රටවල් දෙකේ හමුදාව
ඒ යුද්ධෙ කරගනීවි.
අපි මේ රටේ ඉඳන්
අනුන්ගෙ යුද්ධයක් අපේ කරගෙන
දුක් විඳින්නෙ ඇයි.?

හමුදාවෙ අය මරා ගන්න ඕන
අනික් හමුදාවෙ අයත් එක්කයි.
යුද්ධ කරන්න ඕන හමුදාව.
සාමාන්‍ය මිනිස්සු රැකෙන්න ඕන.
සාමාන්‍ය මිනිස්සු රකින එක
හමුදාවෙ රැකියාව.

ජනතාව තමන්ගෙ රටේ වුණත්
ප්‍රතිවාදී රටේ වුණත්
ඔවුන් රැකීම හමුදා දෙකේම
වගකීමක්, යුතු කමක් වගේම
රැකියාවේ කොටසක්.
අයිති රට කුමක් වුණත්
හමුදාව කුමක් වුනත්
සියලු ජනතාව රැකීම
හමුදාවට අයිති වැඩක්.

රටවල් දෙකක් ක්‍රිකට් ගහද්දි
අපි බලාගෙන ඉන්නවා විතරයි.
අපේ ක්‍රීඩකයො දිනුවාම
අපි සතුටු වෙනවා තමයි.
පැරදුණාම අනිත් පැත්තෙ අයට
වෛරයක් උපදිනවා නම්
ඒක මානසික රෝගී තත්වයක්.

රටවල් දෙකක
හමුදාවයි හමුදාවයි සටන් කළාට
ජනතාවයි ජනතාවයි ඒ විදියට
හතුරො වෙලා සටන් කළ යුතු නෑ.
අපි සත්තු-තිරිසන්නු නොවෙයි.
අපිට සටන් කරන්න පුරුදු වුණ
අපෙන් වැටුපක් ගන්න හමුදාවක්
අපි දෙගොල්ලාටම තියනවා.
ඇයි අපි මානසිකව රෝගී වෙලා
අනුන්ගේ යුද්ධයෙන් දුක් විඳින්නෙ.?
අනික් රටට විරුද්ධ වෙන එක
අපේ රස්සාව උණොත් වරදිනවා.
කවුරුවත් අපට ගෙවන්නෙ නෑ.
කවුරුවත් අපිව ඒ කාර්යයට
යොදවලාත් නෑ.

අනික් රටේ මිනිසුන්ට අපි වෛර කරන්නෙ
අපේම ස්වයං තීරණයක් මත
අපේ මෝඩ කමේ ප්‍රමාණයටයි.

එහෙම වෙන්න ඕන නෑ.
හමුදාව කරන්නෙ රස්සාවක්.
රට ජාතිය රැකීම
අපේ පාලකයන්ට සහ
අපේ හමුදාවට අයිති වැඩක්.
අපි ඔවුන්ගේ ස්වාමියෝ.
ඔවුන් අපිව රකින්න ඕන.

රට ජාතිය වෙනුවෙන් කියලා
අපේ ආරක්ෂාව අමතක කරලා
අපි කරන්නෙ අපට අයිති නැති
බොරු වැඩක්.