20140518

විමසා බලන්නට නොහැකිව ආගම් ප්‍රතික්ෂේප කරන අය



කිසිම ආගමක
එළිපත්තටවත් පා නොතැබූ කෙනෙකු
ආගම් සියල්ල හෙළා දකින්නේ
විනයට හික්මීමට සංයමයට
ඔහු තුළ ඇති අකමැත්ත නිසා යයි
මම හැම විටම සිතමි..

කිසිවෙක්
යම් මගක් හෙළා දකින්නේ නම්
ඔහු ඒ මගෙහි කිසියම් දුරක්
ගමන් කළ අයෙක් විය යුතුය.
ඒ මග හෙළා දකින්නට
ඔහුට පැහැදිලි හේතු තිබිය යුතුය..
කිසිවෙක් පය පැකිළී වැටීම
ඔහුට හේතුවක් නොවිය යුතුය.
ඒ හේතු එම මගෙහි
ඔහු දන්නා අඩුපාඩු විය යුතුය.

කිසිවෙක් පය පැකිළී වැටීම
මගෙහි අඩුපාඩුවක් නම්
එය පෙන්වා දීමට
ඔහුට හැකි විය යුතුයි.

සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක්
දැකීමෙන් පැහැදුණු චණ්ඩාශෝක රජු
ධර්මාශෝක බවට පත්වීම
බුදු දහම හෙළා දකින අයට නොපෙනෙයි.

ඔවුන් දකින්නේ
ඔවුන්ගේ උවමනාව ඉටු කරගන්නට
අවශ්‍ය සාධක පමණි.
ඔවුන් දැන දැනම, හිතා මතාම
ආගම බැහැර කරන අයයි.

විමසා බලන්නට නොහැකියාව නිසා
ආගම බැහැර කරන අසරණ පිරිසක්ද වෙති.
ඔවුන්ගේ කාලය පැමිණ නැත.
කුඩා දරුවන්
යමක් තෝරා ගන්නේ හෝ බැහැර කරන්නේ
විමසා බලා නොවේ.

විමසා බැලූවත්
කුඩා දරුවන්ට පෙනෙන පරාසය
ඉතා පටුය.

කියතක් මිටියක් නියනක්
හරිහැටි යොදාගන්නට නොදැන
තුවාල කරගන්නා අය දකින කුඩා දරුවන්ද
වඩු කර්මාන්තයත් ලී බඩුත්
බැහැර කිරීම අරුමයක් නොවේ.

අන් ආගම් කෙසේ වුවද
බුදු දහම විමසා බැලිය හැකිය.
ආනාපාන සති වඩන විට සිදු වන දේ
බුදුන් වහන්සේ පවසා ඇත..
විනාඩි කිහිපයක් ආනාපාන සතිය වැඩීමෙන්
එහි සත්‍යතාවය විමසා බැලිය හැකිය.

සාමාන්‍ය කෙනෙකුට
වෙනත් අරමුණකට සිත නොදුවා
තත්පර හයකට වඩා
හුස්ම පිළිබඳ අවධානයෙන්
සිටිය නොහැක..

ආගම් හෙළා දකින හා
ආගම් ප්‍රතික්ෂේප කරන අයට
එම තත්පර හයවත්
සිහියෙන් සිටිය හැකියයි
මම නොසිතමි.

කුමන ආකාරයෙන් හෝ
කුමන හෝ ආගමක් අදහන කෙනෙකුට
පිළිපදින්නට උත්සාහ දරන කෙනෙකුට
ආගමක් නැති කෙනෙකුට වඩා
මම ගරු කරමි.

ඔහු මිනිස් සමූහයක හැසිරෙන්නට
අවශ්‍ය විනය ඇති කෙනෙකි.
ඔහු පය පැකිළී ගොස්
අපරාධකාරයෙකු වන්නට ඉඩ ඇත.
එහෙත් එම අපරාධය නොකර සිටින්නට
කිසියම් හෝ උත්සාහයක් දරන්නට
ඔහු උත්සාහ ගෙන තිබිය හැක.
නැත්නම්
ඔහු වරදක් කළ බව
ඔහුගෙ මත් බව මැකුණු විට හෝ
ඔහු පිළිගනු ඇත.

ආගමක් නැති කෙනෙකු තුළ
මෙම ප්‍රවණතා දෙකම
තිබිය හැකි යයි මම නොසිතමි..
තිබෙනවා නම්
දැන ගන්නටද කැමැත්තෙමි