20150106

මහින්දට ඡන්දය දෙන්න හේතුව




අද ඇත්තේ හොඳ නරක මණින පුදුමාකාර බෙදීමකි.....
හොඳ යතිවරයෙක් සිටී නම් මෛත්‍රී සමගලු......
මහින්ද සමග සිටියොත් යතිවරයෙක් නොවේලු. චීවරධාරියෙක් පමණලු.....
සියළු හොඳ මෛත්‍රී සමගලු.....
නොහොඳ මහින්ද සමගලු.....
උගතුන් බුද්ධිමතුන් මෛත්‍රී සමගලු....
මහින්ද සමග ඉන්නා කිසිවෙක් උගතෙක් බුද්ධිමතෙක් නොවේලු....
උගතෙක් නම් බුද්ධිමතෙක් නම් මහින්ද සමග සිටිය නොහැකිලු.....
මෛත්‍රී සමග සිටින නිර්මාණ කරුවන් කලාකරුවන්ලු....
මහින්ද සමග සිටින නිර්මාණකරුවන් කලාකරුවන් නොවේලු. නලා කරුවන්ලු....
මේ විදිහට නානා විධ යහ ගුණ ඇත්තවුන් සිටින්නේ මෛත්‍රී සමගලු....
මහින්ද සමග එවැනි අය නැතිලු....
හ්ම්ම්ම්ම්....
දැන් ඉතින් හොඳ මිනිහෙක් වෙන්න නම්...
උගතෙක් බුද්ධිමතෙකු වෙන්න නම්...
කලාකරුවෙක් වෙන්න නම්...
මෛත්‍රීට ආවැඩිය යුතුය.
එහෙත්මට සිතන්නට තවත් බොහෝ දේ ඇත.
ඒ අනුව ඔය කියන මෛත්‍රී පාර්ශ්වයේ අයගේ හොඳ නම දිනනවාට වඩා
මෙවරත් මම මහින්ද වෙනුවෙන් ඡන්දය ලබා දෙමි...
- යසනාත් ධම්මික බණ්ඩාර -

=====================================
යසනාත්..
2015 ජනපතිවරණය ගැන මා කියවූ හෝ ඇසූ
හොඳම සහ වටිනාම ප්‍රකාශය මෙයයි..

ඔබේ අදහස අවංකවත් පැහැදිලිවත් කීම ගැන
මම ඔබට ගරු කරනවා.

ඔබ මහින්දට ඡන්දය දෙන්න හේතුව
පැහැදිලිව දක්වා තියනවා.
ඒ වගේම
අන් බොහෝ දෙනෙක් කරන ආකාරයට
"මං දෙන මිනිහට උඹත් දීපං"
වර්ගයේ බාල බොළඳ බල පෑමක්
ඔබේ ප්‍රකාශය තුළ නෑ.

ඒත් ඔබ ඉන්නෙත්
මෛත්‍රීට ඡන්දෙ දෙන අය ඉන්න තැනම තමයි.
කොයි දේශපාල තෝරගත්තත්
ඔවුන්ගෙ ස්ථාවරය එකයි.

[ මට හොඳ නිසා මම ඡන්දය දෙනවා. ]

දන්න යකාට වඩා නොදන්න යකා හොඳයි
කියල සමහරු කියනවා.
නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි
කියල ඔබ කියනවා.

දෙපැත්තම තීරණ ගන්නෙ
පේන කියන අය වගේ
දන්න නොදන්න දෙකක් තුලනය කරලා
තම නැණ පමණින් පෙනෙන
අනුමාන තේරීමකටයි.

ඒ අනුමාන තීරණ අනුව
දන්න රනිල්ට වඩා
නොදන්න මහින්දට කැමති පිරිසක්
සිටිය නිසා හෝ
නිර්මාණය කරගත් නිසා
මහින්ද ජය ලැබුවා.

මහින්දගේ පාලන කාලය තුළ
ජීවිතය සාර්ථක කරගත් අය ඉන්නවා.

ඩීසල් මිළ වැඩිවෙනකොට
තෙල් ලීටරයකට රු පහක් වැඩි වුණොත්
ත්‍රී වීලරයක් තියන කෙනෙක්
ඒ රු පහ ලීටර් ගාණෙන් බෙදලා
තමන් කිලෝ මීටර් එකකට අය කරන ගාණට
එකතු කරන්නෙ නැහැ..
මහින්ද වැඩි කල රු පහ
ඔහු අපෙන් අය කරන
හැම කිලෝ මීටරයක ගාණටම
එකතු කරනවා.

ඔහු ලීටරයකින්
කිලෝ මීටර් 40ක් දුවනවා නම්
මහින්දගෙ මිළ වැඩි කිරීමෙන්
ඔහු ලීටරයකින් ලබන ලාභය
රු 195ක් වෙනවා.

මහින්ද ඩීසල් මිළ රු පහකින් අඩු කළාට
ඔහු ගෙ ගාණ අඩු වෙන්නෙ නැහැ.
ඔහු රු 200ම ගන්නවා.
ඔහුට ලැබෙන මුදල විතරක් බලන ඔහු
මහින්ද පාලනයට කැමතියි.

මේ විදියට
මහින්දගේ පාලන කාලය තුළ
යම් යම් වෘත්තිකයන්ට
තමන්ගෙ ක්ෂේත්‍රය තුළ
ලාභ ලැබෙන්න ඇති.
ඔබත් එයින් කෙනෙක් නම්
පුද්ගලිකව ඔබට මහින්ද වටිනවා.

එදා දහයක් ලබන කෙනෙකුගෙ අතේ
වියදම් ගිහින් එකක් ඉතුරු වුණා නම්
ඔවැනි වෙනස්කම් නිසා ආදායම වැඩි වෙද්දි
ලක්ෂයක් හොයන කොට
හාරපන්දහසක් ඉතුරු වේවි.
සියයට ගණන සියයට දහයෙ ඉඳලා
සියයට පහට අඩු වුණාට
එදා එකක් තිබුණ අතේ
අද හාරපන්දහසක් තියනවා.
අතට ලැබෙන මුදල විතරක් බලන නිසා
ඔහු මහින්ද පාලනයට කැමතියි.

ඔහු ලබන ලාභය
අසාධාරණ වුණත් ඔහු කැමතියි.

ඒත් එදා ඉන්න තැනම හෝ
ඊටත් වඩා පහළ ඉන්න කෙනෙකුට
ඔය වෙනස දැනෙන්නෙ එහෙම නෙමෙයි.

මහින්ද එද්දි ලැබූ ආදායම
අමුතුවෙන් වැඩි නොවුණ බොහෝ දෙනෙක්
එදා වගේ තුන් හතර ගුණයක්
වියදම් කරනවා.
ඔවුන් සමබරතාවය රැකගන්නෙ
ලැබෙන මුදලට අනුව
පහසුකම් අඩු කර ගැනීමෙනුයි.

ඒත්
තමන් ගැන නොසිතිය යුතුයි
රට ගැන සාමය ගැන සිතිය යුතුයි
කියලා මනසට පොවලා තියන නිසා
ඔවුන්ට තමන් පෙනෙන්නෙ නැහැ..

ඔබ තනි මිනිහෙක් විදියට
තමන් ගැන විතරක් හිතලා ගන්න තීරණය
මුළු රටේම ඉන්න හැම කෙනෙක්ම
තමන්ගෙ ජීවිතය දිහා විතරක් බලලා
තමන්ට සිදු වුණ හොඳ නරක විතරක් බලලා
ඒ හොඳ නරක අනුව විතරක්ම
මහින්ද ගැන තීරණයක් ගන්නවා නම්
මහින්ද එක්ක කවුරු ඉල්ලුවත්
මහින්ද පරදිනවා.

මට වැටහෙන විදියට
මහින්දගේ පාලන කාලය තුළ
බහුතරයක් ජනතාවගෙ ජීවිත
ආර්ථික අතින් පමණක් නොවෙයි...
මිනිස් වටිනාකම් අතින් පිරිහෙන්න ඇති.
ඔවුන් හොරකමට, බොරුවට
වංචාවට යොමුවීම වැඩි වෙන්න ඇති.
ඔවුන්ගේ දරුවන්
වැඩියෙන් නොමගට යොමු වෙන්න ඇහි.
පවුල් තුළ අවුල් වැඩිවෙන්න ඇති.
පවුල් අතර අවුල් වැඩිවෙන්න ඇති.
ගම්වල පිරිහීමක් ඇති වෙන්න ඇති.
රටේ පිරිහීම අපිට පෙනෙනවා.

ඔබ උදාහරණයක් වශයෙන් ගත්
දේශපාල ගැති කලාකරුවන් තුළ
ඒ පිරිහීම පැහැදිලිව පෙනෙනවා.

ජැක්සන් ඇන්තනි, රෝහණ වීරසිංහ වගේ
වටිනා පුද්ගලයන්ට ඔවුන්ගෙ කිරුළ අහිමි වෙලා
ඒ වෙනුවට ඔවුන්ගෙ නිර්මාණ වලින්
හෙළා දකින චරිත විදියට
හැසිරීමට යොමුවෙලා.
දිවුල්ගනේගෙ පිරිහීමත් එහෙමයි..

මෛත්‍රී වටේ ඉන්න අයත්
හොඳ කලාකරුවන් නොවෙයි.
අවංක කලාකරුවනුත්
වෙනත් හේතු මත
ඔය දෙපැත්තෙම ඉන්න පුලුවන්.

අවංක කලාකරුවන් ලැම්බෝගිනි ඉල්ලලා
ප්‍රසිද්ධියේ හඬා වැටෙන්නෙ නැහැ.
ලියල දෙන කතාව
කොළේ බලාගෙන කියලා
අවංක කලාකරුවන් ගෙදර යනවා.
( ඔවුන්ට ආශීර්වාද වේවා. )

මිනිසුන් විදියට තමන්ට සිදු වුණ හානිය
පැහැදිලිව දකින්න පුලුවනි නම්
සාමාන්‍ය මිනිසුන් හෝ වෘත්තිකයන්
මහින්දට ඡන්දය දෙන්නෙ නෑ.

ඒත් ඒ හැමකෙනෙකුගේම දෑස් නිලංකාර කරවන
මිල මුදල්, සැප සම්පත්, බැඳීම් වලින්
මහින්ද චින්තනයෙ වහලුන් බවට
ඔවුන් පත්වෙලා තියනවා.

නිර්මාණකරණයෙන් සෙවූ මුදල්වල තියන පවිත්‍ර බව
රජයට පන්දම් ඇල්ලීමෙන් ලබන මුදල් වල නෑ.
මහින්ද බලයට එන්නට පෙර
නිර්මාණකරණයේ යෙදීමෙන්
ඔවුන් උපයාගත් මිනිසුන්ගෙ සංවේදී බව හා
ඔවුන්ගෙ  තියන පවිත්‍ර ලෙංගතුබව බව
රජයට පන්දම් ඇල්ලීමෙන් සමීප කරගන්නා
අඳබාල මිනිසුන් තුළ නෑ.
කලාවෙනුත් පිරිහුණ ඒ කලාකරුවන්ට
අද හැසිරෙන්න වෙලා තියෙන්නෙ
සමාජයෙ දුකට වගකිවයුතු
හොරුන් මැරයන් ආදී බාලයන්ගෙන් සැදුණ
සමාජයෙ පහළම තලයේ වෙසෙන
හදවතක් නැති නොමිනිසුන් සමගයි..
ඔවුන් අද ඔවුන්ගෙම රසිකයන්ගෙ
හතුරන් බවට පත්වෙලා.

ආහාරයක් සොයන අයට
එදා ලැබුණ මී බිඳු
ඒ කලාකරුවන්ගෙන් වෑහෙන්නෙ නැහැ..
ඔවුන් පූන්නක්කු බවට පත්වෙලා.

2015 ජනපතිවරණය නම්වූ
මේ සම්පූර්ණ වැඩ පිළිවෙළම
මින් පෙර මැතිවරණ මෙන්ම
ජනතාව මුළා කරවා
රටේ ජනතාවගේ ජරාජීර්ණ මානසිකත්වයට
සුදුහුණු ගා තව කලක් පාලනය කරන්නට නටන
සුභ සහ යස නාඩගමක් වෙන්නත් පුලුවන්.
යස දිනුවොත් එයින් පෙනෙන්නෙ
සුභත් එකයි යසත් එකයි කියන
යථාර්ථය තමයි..

යස මුළු ලංකාවේම ඡන්ද ගත්තත්
පසුගිය වාරයේ මෙන් මෙවරත්
මොන ජිල්මාට් එකක් හෝ යොදා
සුභ තම රජකම යසට රැක ගන්නත් පුලුවන්..
දොරටුපාල යස රජ වෙන්නත් පුලුවන්...

සුභ රජ වුණත් යස රජ වුණත්
රටත් ජනතාවත් ගමන් කරන දිශාව වත්,
ඔවුන් පිරිහෙන ආනතියවත්
වෙනස් වෙන්නෙ නෑ.

මෛත්‍රීපාල ආවොත්
මහින්ද කරපු හොඳවත්
මහින්ද කරපු  නරකවත් කරන්න
ඔහුට ශක්තිය නැති බව
පැහැදිලියි.

මේ ඉන්න මෛත්‍රීපාල
ශක්තිමත් නායකයෙක් නම්
ජීවිතයෙහි එක වරක් හෝ
රංගනයක් වශයෙන් හෝ
ඔහු ජනතාව වෙනුවෙන්
නැගී සිටි අවස්ථාවක්
තියෙන්න ඕන.

මම එහෙම අවස්ථාවක් දන්නෙ නෑ.

ඔහු පක්ෂයට හිතවත්..
ඔහු ජනතාවටත් හිතවත් නම්
ජනතාව ඔහු සමග හිඳීවි..

මෛත්‍රීපාල  සුදුසු කාලය එනතුරු
කල් මරන්න පුලුවන් කෙනෙක් බව නම්
කියන්න පුලුවන්.
ඔහුට මේ අවස්ථාව ලැබුණේ ඒ නිසයි..

තමන් වෙනුවෙන්
නිවැරදි තීරණ ගන්න
මෛත්‍රීපාලට පුලුවන් ඇති..
තමන් වෙනුවෙන් වගේම
ජනතාව වෙනුවෙනුත්
නිවැරදි තීරණ ගන්න හෝ
එවැනි තීරණ ගත හැකි පිරිසකට
සවන් දෙන්න හෝ පුලුවන් කෙනෙක් කියලා
කවදා හරි
ව්චනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළොත්
මගේ කැමැත්ත ඔහුට හිමි වෙනවා.

නැත්නම්
මේ වහල් මානසිකත්වයෙන්
ජනතාව මුදා ගන්නට හැකි
ඒබ්‍රහම් ලින්කන් වැනි කෙනෙක්
මා නැති කලක හෝ පහළ වේවා
කියා මම පතනවා.
--------------------------------------------------------------------
මහින්දද මෛත්‍රීපාලද මහින්දද මෛත්‍රීපාලද
මහින්දද මෛත්‍රීපාලද මහින්දද මෛත්‍රීපාලද
මහින්දද මෛත්‍රීපාලද මහින්දද මෛත්‍රීපාලද
කවුරු තෝරා ගත්තත්
කතාව අන්තිමට
මීයා බෙල්ල කැපිලා මැරෙනවා.