20201007

නිරුවත කොහෙද තියෙන්නෙ?

 


Udaya Bandara {FACEBOOK}
" niruwatha, thiyenne kothanada?ka gawada..."

ඇත්තටම නිරුවත කොහෙද තියෙන්නෙ?
නිරුවත තියෙන්නෙ ඇසේද? හිතේද?

ඇත්තටම නිරුවත තියෙන්නෙ
ඔබ තිත්ත කරුවලෙත් ඇඳන් යන
ඔය රෙදි පිළි වලට යටින්.
ඒ තමයි ඔබට සමීපම නිරුවත.
ඔබ ඒ නිරුවත ලෝකෙන් වහගෙන
නිරුවත කුමක්ද කියා විමසනවා.

රෙදි නැතුව පාරට බැහැලා බලන්න.
එහෙම දෙයක් හිතා ගන්නවත් බෑ.
ඔබේ නිරුවත ඔවුන්ට කුමක්ද කියා
ලෝකයා ඔබට පෙන්වාවි.

ඔබ රෙදිවලින් වහගෙන යන්නෙත්
නිරුවතම තමයි.
ඒ ඔබේ උවමනාවටත් නොවෙයි.
ඔබට උවමනා ඇඳුමක් ඇඳගෙන යන්න
සමාජයෙන් ඔබට නිදහසක් නෑ.
ඔබ ඒ සීමාවන් වලට යටත් නිසා
ඔබ ඔය ප්‍රශ්නය අහනවා.
සමාජයේ සීමාවන්ට යටත්ව
නිරුවත ආවරණය කරගෙන
ඔබ සැනසිල්ලෙන් ජීවත් වෙනවා.
අනිත් අයටත් ඒ සීමාවන් තියනවා.

ඒ සීමාවන් අතික්‍රමණය කිරීම
නිර්මාණශීලී නැති වුණාම
කුණුහරුප මට්ටමට වැටෙනවා.

මමත්වය නැති වෙන ක්‍රම දෙකයි තියෙන්නෙ.
එකක් මෝහයට පත් වීම.
අනික රහත් වීම.
පටාචාරාව පන්සලට ආවෙ මෝහයෙන්.
මේ කාන්තාව තුළත් ඒ මෝහය තියනවා.
ඇයට පන්සල ගැන වැටහීමක් නෑ.
කමෙන්ට් කරන අය අතරත්
එවැන්නන් ඉන්නවා.
ඔවුන් හැඟීමෙන් පන්සල් යන අය නොවෙයි.
සමාජශාලාවක නැටුමකට නම්
මේ ඇඳුම සුදුසුයි.
සිල් රෙදි ඇඳගෙන බාර් එකට යන අයත්
ඒ වෙලාවට යන්නෙ මෝහයෙන්.

පන්සලේ ඉඳලා ගිහි සමාජයේ
නිදැල්ලේ හැසිරෙන්න යන
දුසිල් භික්ෂූන් සමාජයෙන් ගර්හා විඳින්නෙ
තමන් කවුද, ඉන්නෙ කොහේද,
කරන්නෙ මොනවද කියා
නොදන්නා, නොහැඟෙන මෝහය නිසයි.
ඔවුන් ඉන්නෙත් පටාචාරාව උන් තැන.

පටාචාරාව පන්සලට නිරුවතින් ආවා.
ඇය සිටියෙ හොඳ සිහියෙන් නොවෙයි.
ඇය සිටියෙ මෝහයෙන්.
උමතු වන මුව විටේ, මෝය කටේ.

සිතේ ඇතිවුණ කෙළෙස් දරා ගන්න බැරුව
ඇගේ මමත්වය නැති වෙලා තිබුණෙ...
මමත්වය නැති වුනේ මෝහයෙන්.
ඇය නිසි පරිදි මමත්වය නසා
රහත් භාවයට පත් වුණේ පසු කලෙක,
විදසුන් වඩා මෝහය නැති කිරීමෙන්.

බුදුන් වහන්සේ නිසා
උන් වහන්සේ පාමුළ ඇයට සිහිය ආවා.

බුදුන් වහන්සේ කියන්නෙ
මෙලොව පහළ වූ උපරිම සිහිය ඇති
උත්තර මනුෂ්‍යයායි.
උන් වහන්සේ ජීවිතය පුරාම
මග පෙන්නුවෙ සිහිය පිහිටුවන්නයි.

පටාචාරාවට සිහිය ආවා.
යළි මමත්වය ඇතිවුණා.

කෙනෙක් ඇයට සලුවක් දුන්නා.

සිහිය ආවට පස්සෙ ඇය සිටියෙ
කලින් පටාචාරා උන් තැනත් නොවෙයි.

විදසුන් වැඩීම තුළින්
නිසි පරිදි සිහිය පිහිටුවාගෙන
මමත්වය අතික්‍රමණය නිර්මාණශීලී වූ නිසා
ඇගේ මුළු ජීවිතයම පරිවර්තනය වුණා.
ඒ එතන බුදුන් වහන්සේ උන්න නිසායි.
එදා එතන අඥාණ භික්ෂුවක් සිටියා නම්
ඇය සදහටම පිස්සියෙක් වෙන්න ඉඩ තිබුණා.

++++++++++++++++++++++++++

Buddhi Vithanarachchi {FACEBOOK}
"නිරැවත මට සුන්දරයි..!!
ලොව දියුණු කලා සංස්කෘතියක් ඇති රටවල ප්‍රසිද්ධ මහජන උද්‍යානවල

නිරුවත් නාරිදේහ හා පුරැෂ දේහ ඇතිබව ඔබ දන්නවා .
ඉන්දියාවේ සුප්‍රකට මහබලිපුරම්,
කජිරාවෝ වැනි පූජනීය ස්ථාන වල නිරුවත පමණක් නොව

විවිධ රමණ ඉරියව් පවා දක්නට ලැබෙනවා.
ඒවා අසභ්‍ය හෝ අශෝභන යැයි කිසිවකු මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
නමුත් අපේ ලාංකීය සමාජයේ ආකල්ප වෙනස්..
එහෙම වෙන්න අපේ සමාජයේ සංස්කෘතික විඥාණය
පෝෂණයට බල පෑ සාධක තියෙනව නේද ?"


නිරැවත සුන්දරයි..!! හැමවිටම නොවෙයි.
නිරුවත සුන්දර වගේම
ග්‍රාම්‍ය, අසභ්‍ය, අශ්ලීල වෙන්නත් පුලුවන්.
නිරුවත පෙන්වන කෙනාගෙත්
නිරුවත බලන කෙනාගෙත් සිත්වල
ආකල්ප අනුව මේ ප්‍රතිඵල ජනිත වෙනවා.

එකම නිරුවත් ස්ත්‍රියක්
ඡායාරූපයට හෝ චිත්‍රයට නගද්දි
එලිය අඳුර, බලන කෝණයට අනුව
රූපයේ මතුවෙන රිද්ම රටා ආදිය
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

රෂෝමොන් චිත්‍රපටියේ ස්ත්‍රී දූෂණය
වයස හතරෙදි පහේදි විතර
මගේ දෝණි නැරඹුවා.
කුරොසාවා ඒ ස්ත්‍රී දූෂණය පෙන්වූ
අසාමාන්‍ය සංයමය නිසා
ඇය ඒ දසුන නැරඹීම
අපට ගැටළුවක් වුණේ නෑ.

Click to watch the scene

ඒ කාන්තාව සොරාට අවනත වෙද්දී
ඇගේ අතේ තිබුණ පිහිය ගිළිහෙද්දී
"ඒ දෙන්නා බැන්දා..." දෝණි කිව්වා.
ඒ පණිවිඩය ඇයට දෙන්නට
කුරොසාවා සමත් වුණේ කොහොමද?

වරක් මම "පළිඟු" චිත්‍ර කතාව
පත්‍රයකට අඳින කාලෙ
ප්‍රකාශකයා මාව කැඳෙව්වා.
එහි සිටි එක් පිරිමි චරිතයක්
පළිඟු මැණිකේ නිරුවත් කරලා
දූෂණය කරන දසුනක්
කතාවට එකතු කරන්න කියා
ඔහු මට කියා සිටියා.
කතාවට එවැන්නක් ගැලපුනේ නෑ.
මම අකමැති වුණා.
ඔහු මට කතාව නතර කරන්න කිව්වා.
මම සැහැල්ලුවෙන් පිට වෙලා ඇවිත්
කතාව අතරමග නතර කළා.
ඒ යෝජනාව කුරොසාවා කළා නම්
මට ඔහු සමග එකතු වී
විසඳුමක් සොයා ගන්න තිබුණා.
ඒත් ඒ ප්‍රකාශකයාගේ අරමුණ
ග්‍රාම්‍ය, අසභ්‍ය, අශ්ලීල අරමුණක්.
මම ඔහුට නැමුණා නම්
මම එතන පෙන්වන නිරුවත
ග්‍රාම්‍ය, අසභ්‍ය, අශ්ලීල නිරුවතක්.