20180501

සෙම්ප්‍රතිෂ්‍යාව දුකකි. මම බුදුන් සරණ යමි

ඊයෙ රාත්‍රියේ
උගුරේ සිට ඉහළට දැනුණ වේදනා
අද දැනෙන්නේ
නාසයේ සිට ඉහළ ප්‍රදේශයටයි.

දින දෙකතුනකට පැමිණෙන්නාවූ
මේ අනාරාධිත අදිසි ආගන්තුකයා
මගේ කය වෙනස් කරන බව කියන්නට
කය නොයෙකුත් සංඥාවන් මුදා හරියි.
අප්‍රිය වේදනා නොදැනෙන තැන්වල
කවර රෝගයක් තිබුණත් නොදනිමි.
සෙම්ප්‍රතිශ්‍යාව ඇති බව දනිමි.

සෙම්ප්‍රතිශ්‍යාව කියා හඳුන්වන්නේ
මේ වේදනා මාලාව නොවේද?
අප ප්‍රතිකාර සොයන්නේ කයටද?
නැත්නම් මේ වේදනාවන්ටද?

වේදනා පච්චයා තණ්හා.

මේ අප්‍රිය වේදනාවලින් මිදෙන්නට
මා තුළ බලවත් තණ්හාවක් ඇත.

මට විකල්ප තුනක් ඇත.

1, කිසියම් නිර්වින්දකයක් ලබාගෙන
මේ සිහිය අකර්මණ්‍ය කොට, විසංවේදී වීමෙන්
නින්ද නමින් හඳුන්වන අන්ධභාවය තුළ
මෝහයට පත්වී මේ සිත සුවපත් කිරීමේ
නිරාගමික ක්‍රමය.

2, සෙම්ප්‍රතිෂ්‍යාව නිසා උපන්නා වූ
අප්‍රිය වේදනා මාලාවට ද්වේශයෙන්
මේ ඇති වූ තණ්හාව උපාදාන කරගෙන
කායික දුකෙන් සහ මානසිකව
දොම්නසින් දුක් විඳීමේ
සාමාන්‍ය ක්‍රමය.

3, බුදු දහමෙහි සඳහන් වන ආකාරයට
මේ වෙනස ගැන සිහියෙන් වෙසෙන අතරම
මේ වෙනසට උපේක්ෂාවෙන් විසීමේ
බොදුනු ක්‍රමය.

සෙම්ප්‍රතිෂ්‍යාව බරක් නොවේ.
මගේ දුක අප්‍රිය වේදනාවන්ය.

මේ අප්‍රිය වේදනාවන්ට
උපේක්ෂාවෙන් සිටින විට
දින තුනකින් සුව වී යන
කුඩා සෙම්ප්‍රතිශ්‍යාවකට
ප්‍රතිකාරවල අවශ්‍යතාවයක් නැත.

සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුණු විට
ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ සිතටයි.
මේ හඬන සිත රැවටීමටයි.
මේ අප්‍රිය වේදනා මා නොදකින ලෙස
මගෙන් සඟවා තබන්නටයි.
ප්‍රතිකාරය එයයි.

ඇත්ත වශයෙන්ම,
ප්‍රතිකාරයෙහි ඒකායන අරමුණ
දුකක් වී ඇති අනිත්‍යය
මේ අප්‍රිය වෙනස්වීම වෙනස් කරගෙන
සුපුරුදු මෝහයට පත් වීමටයි.

කය පිළිබඳව මෝහයෙන් පසුවූ සිත
දැන් හදිසියෙන්ම කයට සංවේදී වී ඇත.
කය ගැන සිහිය අවදිවී ඇත.

මෙතෙක් පසුවූ මෝහය නිවනක් වැන්න.

පුහුදුන් පුද්ගලයාට නිවන
මෝහයයි.

මෙතෙක් කය ගැන මෝහයෙන් සිටි මට
මේ අප්‍රිය වේදනා නිසා
කය ගැන සිහියෙන් බලන්නට
දැන් සිදුවී ඇත.

දැන් කයෙහි තැන තැන දැනෙන වේදනා
ඉතා හොඳින් පැහැදිලිව දැනෙයි.
මේ කායගතා සතිය නොවේද?
මේ වේදනා වලට උපේක්ෂාවෙන්
සිතෙහි ද්වේශයෙන් තොරව විසුවොත්
මා වඩන්නේ වේදනානුපස්සනාව නොවේද?

බවුන් වඩන්නට යොමුවෙන කෙනෙකුටත්
මේ මානසිකත්වය කායගතා සතියමද?.
මා සිටින්නේ කය ගැන සිහියෙනි.
මේ සිහිය කායගතා සතියමද?

පන්සලේ, ආරණ්‍යයේ ශාලාවේ හිඳගෙන
නොදුක් නොසුව වේදනා එනම් මෝහය තුළ හිඳ
කය දකීමෙ අරමුණෙන් වීර්ය කරමින්
ප්‍රිය අප්‍රිය වේදනා සොයන යෝගියාම
නිවසේදී සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් පසුව
කය පුරා දැනෙන මේ වේදනා මාලාවන්
අප්‍රිය කරන්නේ ඇයි...?

දෑස් පියාගෙන වාඩිවී හෝ සක්මන් කරමින්
වේදනා සොයා ගන්නට වෙර වඩන කෙනෙක්
සෙම්ප්‍රතිශ්‍යාව වැනි සරල ලෙඩකදී
දින තුනක් ඉවසා සිටිය නොහැකිව
එම වේදනාවන්ගෙන් මිදෙන්නට දරන
වෑයමට හේතුව කුමක්ද?

කය ගැන සිහිය දියුණු කරන්නට
කායගතා සතිය වඩමින් වේදනා දකින්නට
වේදනානුපස්සනා වඩන්නට ඉතා සුදුසු
මේ අවස්ථාව මග හැර ගන්නා ප්‍රතිකාරයෙන්
මෝහයට පත්වීම සුදුසුද?

වෛද්‍යවරයා නියම කළත් ඔබම ගත්තත්
පැනඩෝල් වැනි නිර්වින්දක වලින් කරන්නේ
සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම නොවන බව
ඔබ නොදන්නවා නොවේ.

අප ගන්නා බොහෝ ප්‍රතිකාරවල සැබෑ අරමුණ
මේ අප්‍රිය වේදනාවන්ගෙන් ඔද්දල් වූ සිත
මේ වේදනාවන් දැකීමෙන් මුදාගෙන
මේ අප්‍රිය වේදනාවන් නොපෙනෙන තැනකට පත්වී
සිතෙහි සංවේදී බව නැති කරගන්නට නොවේද?

බුදු දහමට අනුව ක්‍රියා කොට
මේ පවතින දුකෙන් මිදෙන්නේ කෙසේද?
මේ කයෙහි අනිත්‍යයයි, අනිත්‍යය දුකයි.
මේ කයෙහි වෙනස් වීමයි, වෙනස් වීමේ දුකයි.
විපරිණාමයෙහි දුකෙන් පෙළෙන මට
මෙතෙක් විසූ මෝහය සුවයක් විය.

කය ගැන කිසිදු සිහියකින් තොරව සිටියත්
කය වෙනස් වන විට සිහිය දියුණු වෙයි.
එහෙත් ගැටලුව ඇත්තේ දියුණු වන සිහියට
දැන් පෙනෙන වේදනා අප්‍රිය වීමයි.
මේ අප්‍රිය වේදනා අනුපස්සනාවට වඩා
මෙතෙක් පසු වූ මෝහය සුවයක් බවට
මාරයා සිත තුළ තර්ක කරයි.

මාරයාට රජකළ හැක්කේ මෝහය තුළය.

මේ කායික වේදනාවන් ලෙස මා දකින්නේ
පවිටු මාරයාගේම තවත් ස්වරූපයකි.
මගේ සිහිය අඩු කරගෙන මෝහයට පත්වන්නට
ඔහු මා පොළඹවා ගන්නේ අප්‍රිය වේදනා මගිනි.

කිසියම් රසායනික බෙහෙතක් භාවිතා කොට
මනස නිර්වින්දනය කරන කෙනෙකුගේ
සිහිය අකර්මණ්‍ය වී කය මෝහයට පත්වන විට
 කයට අහිමි වන සිහිය නිසා නැති වන සංවේදීභාවය
මානසිකව ඔහු අන්ධභාවයට පත් නොකරයිද?

වයස්ගත වුවද
කායිකව ඉතා නිරෝගී මහළු පුද්ගලයන්
මානසිකව අන්ධයන් බවට පත්වී සිටින්නේ
මෙසේ වරින් වර අකර්මණ්‍ය කරමින් විසූ
මානසික සංවේදීභාවය මකා ගැනීමේ
අතුරු ප්‍රතිඵලයක් ලෙස නොවේද?

ඇල්සයිමර්, ඩිමෙන්ෂියා යනු
ජීවිත කාලය පුරා ලබාගත්
නිර්වින්දක වල අතුරු ඵලයක් නොවන්නේද?

දුර්වල නිර්වින්දකයක් වන
මත්පැන් නිසා සිදුවෙන හානියට වඩා
විශාල හානියක් සිදු කරන්නට
පූර්ණ නිර්වින්දක සමත්වෙයි.

නිර්වින්දකයක් සොයා යන්නට මට අවශ්‍ය ඇයි.?
මේ අප්‍රිය වේදනාව නොදැනෙන ලෙස
මෝහයට පත් වන්නටය.

මම මෝහය වෙනුවට සිහිය තෝරා ගනිමි.
සිහියෙන් වෙසෙන විට ඇතිවෙන කායික දුකෙන්
මානසික දොම්නසින්  මිදෙනු පිණිස
පවතින වේදනාවලට උපේක්ෂාවෙන්
විසීම තෝරා ගනිමි.

මා විපස්සනා පාඨමාලාවකදී
දස දිනක් තිස්සේ පුහුණු වූයේ
මේ ආකාරයෙන් වෙසෙන්නටයි.

මට මගේ කායික වේදනාව ගැන සිහියෙන්
මේ වෙනසට උපේක්ෂාවෙන් විසීමට ඇති පුහුණුව
මේ අවස්ථාවේ භාවිතා කළ හැක.

සෙම්ප්‍රතිශ්‍යා විදර්ශනාව

මේ දැනෙන අප්‍රිය වේදනාවන්ට,
මේ කායික පවතින වෙනස
වෙනස් වෙමින් යන අයුරු දකිමින්
උපේක්ෂාවෙන් සිටින කෙනෙකුට
සෙම්ප්‍රතිෂ්‍යාව බරක් නොවේ.

අප්‍රිය වේදනා නිසා උපදින
තණ්හාව මේ මොහොතෙහි නැත.
තණ්හාව නැති නිසා
උපාදාන වීමක්ද නැත.

අනාරාධිතව පැමිණි සෙම්ප්‍රතිශ්‍යාව
අනාරාධිතවම ආපසු ගියාවේ.

සෙම්ප්‍රතිශ්‍යාවත් අනිත්‍යයි.

සෙම්ප්‍රතිශ්‍යාව වෙනස් වනතුරු
මේ දුකෙන් දොම්නසින් මිදීමට මගක් ඇත.
දහමට අනුව දුක් දොම්නස් අස්තංගත වීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

මම ධර්මයෙහි හැසිරෙමි.
ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය විසින් රකින්නේය.

"වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි"
මේ බුදු දහමට අනුව හැසිරෙන කෙනෙක්
වේදනා හමුවෙහි ජීවත් වෙන ආකාරයයි.

සමස්ත කය පුරාම දැනෙන විවිධ වේදනා අනුව
මේ පවතින වෙනසට ලෝභයෙන් හෝ ද්වේශයෙන් තොරව
සිහියෙන් සහ උපෙක්ෂාවෙන් දකින මේ මොහොතෙහි
මා වෙසෙන්නේ බුදු දහමට අනුව නොවේද?

බුදුන් වහන්සේ මට සරණ වී ඇත.

බුදු සරණයි.

------------------------------------

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,


1 comment: