20171218

කූඹියෝ, කළණ/ප්‍රියන්ත, මාලන් බ්‍රැන්ඩෝ සහ සංස්කාර

"ජීවත්වීම සඳහා බොරු කියන,
වංචාකරන, නැති දේ ඇති ලෙස හඟවන
ඇති දේ නැති ලෙස හඟවන සියල්ලන්ම
රඟපෑමක යෙදෙනවා".
---මාලන් බ්‍රැන්ඩෝ

රංගනයක් විශිෂ්ඨ වෙන්නෙ
තමන් ඉක්මවා ගොස්,
අදාළ චරිතය වෙලා
ඒ චරිතය විඳින හැඟීම විඳිමින්
අදාළ රංගනය ඉදිරිපත් කිරීමෙන්.

සැබෑ ජීවිතයේදී
අපි හැඟීම්බර වෙද්දි
අපි තුළ මතුවෙන සංස්කාර අනුව
අපේ කයත් වචනයත් හැඩ ගැසීමයි,  වෙන්නෙ .
ඒ වෙනස් වීම් සිදු වෙන්නෙ ස්වයංක්‍රීයවයි.

නළුවෙක් කරන්නෙ අවශ්‍ය සංස්කාර
තමන්ගෙ හැකියාව භාවිතා කරමින්
හිතට මතු වෙන්න ඉඩ දීලා
අදාළ චරිතය වගේ
ප්‍රතික්‍රියා කිරීමක්.

රඟපෑමක හැඟීම නැති වෙන්නෙ
නලුවා තුළ සංස්කාර මතු නොවී
ඔහු බුද්ධියෙන් කය මෙහෙයවමින්
අදාළ ඉරියව් පැවැත්වීමෙන්.
නාට්‍යයකදි එසේ කළ යුතුයි කියා
සරච්චන්ද්‍රයන් සිය නලුවන්ට
උපදෙස් දී තියනවා.

"ඔබ හඬන්න එපා.
ප්‍රේක්ෂකයා හඬවන්න"
මේ සරච්චන්ද්‍රයන්ගේ උපදෙසයි.

සිනමාවෙදි ටෙලිනාට්‍යවලදි
හැඟීම්බර වීමෙන් තාත්වික වුණොත්
වඩාත් ජනප්‍රියයි.

මාලන් බ්‍රැන්ඩෝ, ගාමිණි, ජෝ වැනි නළුවන්
මේ වර්ගයේ විශිෂ්ඨ නලුවන්...

රංගනය පිළිබඳ පන්තියකදී
"ගුවන් ප්‍රහාරයක අනතුරු හඟවන නාදයක් ඇසුණ
කුකුළෙක් මෙන් රඟපාන්නට උපදෙස් ලැබුණු විට
රංගනය හදාරන අනෙක් සිසුන්
වියරුවෙන් මෙන් භීතියෙන් මුසපත්ව රඟන විට
මාලන් බ්‍රැන්ඩෝ සිවිලිම දෙස බලාගෙන
ගල් ගැසී සිටි අතර, විමසූ විට කීවේ
"මම කුකුළෙක්.
ගුවන් ප්‍රහාරයක අනතුරු හඟවන
නාදය මම හඳුනන්නෙ නෑ." කියායි.

ඒ අවස්ථාවේ ඔහු මාලන් බ්‍රැන්ඩෝ නොවෙයි.
අවම වශයෙන් මිනිසෙකුවත් නොවෙයි.
රඟපෑමට පෙර ඔහු විසින් කරන්නෙ
තමන්ගේ පෞරුෂයෙන් පිටමං වී
චරිතය තුළට පිවිසීමයි.

යම් කිසි නලුවෙකුගෙ රඟපෑමෙදි
දර්ශනයට අවශ්‍ය සංස්කාර මතුවුණත්
ඔහු ඒ දර්ශනයෙ සිටින චරිතය නොවෙයි නම්
ඔහුගේ රංගනයෙන් දිස්වෙන්නෙ අපි දන්න කියන
නලුවාගෙ ඉරියව්වක්මයි.

මාලන් බ්‍රැන්ඩෝ ගෝඩ් ෆාදර් චිත්‍රපටියෙ
අපූර්ව පාතාල කල්ලි නායකයෙක්.
එකල මාලන්ගේ වයස අවුරුදු 47ක් පමණ ඇති.
මාලන් එහිදී රඟපාන විටෝ කොර්ලියෝන් චරිතය
ඔහුට වඩා බෙහෙවින් වයසින් වැඩි චරිතයකි.
ඔහු ඒ චරිතයට පිවිසෙන්නෙ
ඔහු තුළ ඇති විශිෂ්ඨ හැකියාවෙන්.

සැබෑ ජීවිතයේදීත් අපි සියල්ලෝම
දිවි ගලවා ගැනීමට රඟපාන බව
මෙහි වීඩියෝ සංවාදයේදී
මාලන් බ්‍රැන්ඩෝ ඉඳුරාම පවසනවා.

"ජීවත්වීම සඳහා බොරු කියන,
වංචාකරන, නැති දේ ඇති ලෙස හඟවන
ඇති දේ නැති ලෙස හඟවන සියල්ලන්ම
කිසියම් ආකාරයක රඟපෑමක යෙදෙනවා".

මාලන් රඟපෑමක් කියා කීවත්
මේ රඟපෑමේදී මිනිසා කරන්නේ
තමා තුළ මතු වී ඇති සංස්කාර
ලෝකයාගෙන් සඟවාගෙන හැසිරීමයි.

නලුවෙකුට තරහෙන් රඟපාන්න වුණාම
ඔහු ද්වේශ සංස්කාර මතු කරගෙන
ඔහුගෙ රංගනය ඉදිරිපත් කරනවා.

සාමාන්‍ය මිනිහෙකුගෙ ද්වේශය මතු වුණාම
ඔහු ඒ ද්වේශය යටපත් කරගෙන රඟපානවා.
මේ දෙක එකිනෙකට වෙනස් ක්‍රම දෙකක්.

මේ මතුකරගන්නා සංස්කාර
නලුවාගෙ ජීවිතයට බලපානවා.
අපි සිනමා නිර්මාණයක් සඳහා
රෙද්දක සායම් පැල්ලමක් තවරනවා.
ඒ තවරන සංස්කාර නිසා
ඒ රෙද්දෙ සිදු වෙන වෙනස පවතිනවා.
මෙවැනි වෙනසක්, කිසියම් සලකුණක්
නලුවාගෙ ජීවිතයටත් එකතු වෙනවා.

සැබෑ චරිතයට සමීපව රඟපාන
දුර්වල නලුවන් තුළ මේ වෙනස
කවදාවත් වෙන්නෙ නෑ.

මේ නිසා නිර්මාණයක චරිතය
රඟපෑමෙහි යෙදෙන නලුවාගෙ
සැබෑ ස්වරූපය විය නොහැකියි.
දක්ෂ නලුවන්ගෙ ඒ වෙනස පැහැදිලියි.

අපේ රටේ මේ වෙනස දකින්න ලැබෙන්නෙ
ඉතාම කලාතුරකින් බව රහසක් නොවෙයි.

අද ඉන්න ටෙලිනාට්‍ය නලුවන් අතර
කළණ ගුණසේකර මේ වෙනස පවත්වාගෙන
පිටපතේ චරිතය බවට පත් වෙන්න
ලොකු වෑයමක් දරණ දක්ෂයෙක්.
කූඹියෝ ටෙලිනාට්‍යයෙ ප්‍රියන්ත කියන්නෙ
අපි දන්න කියන කළණ නොවෙයි.
ඔහු මතු කරගන්නා සංස්කාර
ඔහුගෙ කයට මනසට බලපානවා.

මේ කූඹියෝ දර්ශනයෙ කළණ මතු කරන
සංස්කාර වල බලපෑම ඔහු තුළ ඇති නිසා
ජෙහාන් ඔහුට ප්‍රසංශා කළත්
ඔහු තවම ඉන්නෙ අර "මූඩ්" එකේමයි.
ඒ සංස්කාර පහවෙන්න ලැබුණෙ නෑ.

නලුවාගෙ ඒ වෙනස නිසා
ඔහුට ඩැමේජ් එකක් - හානියක් වෙනවා
කියා කළණ හිතනවා.

ඒ අතරම
නලුවෙක් විදියට වෙන වෙනස
ඔහු පදම් කරන, පන්නරය තියන
බැරෑරුම් අත්දැකීමක් වෙන්නත් පුලුවන්.

දක්ෂ නලුවන් වයසත් සමග මුහුකුරා යන්න
ඔහු රඟන චරිත විඳින සියලු අත්දැකීම් හේතු වෙනවා.
සැබෑ ජීවිතයේ ඔහු නොයන අහුමුළුවල
නලුවෙක් ලෙස රිංගන නිසා
මිනිසෙක් ලෙස මුහුකුරා යමින්
ඔහු වැඩෙනවා.

මුහුකුරා යාමත් වයසට යාමත් කියන්නෙ
ඉතාම වෙනස් සංසිද්ධි දෙකක්...

No comments:

Post a Comment