20170305

තෘප්තියෙන් ලැබෙන්නෙ සතුටක්ද? සතුට තෘප්තියක්ද?


සතුට සහ තෘප්තිය කියන්නෙ
එකිනෙකට වෙනස් තත්වයන් යටතෙ ඇති වෙන
එකිනෙකට වෙනස් හැඟීම් දෙකක්.

පොල් සම්බලුයි බතුයි ආහාරයට ගනිද්දි
අපි විඳින තෘප්තිය සතුට නොවෙයි.
තරු පහේ හෝටලයක සාදයකින් ලබන සතුට
තෘප්තියත් නොවෙයි.

විනෝද ගමනකින් වෙහෙස වෙලා ගෙදර ඇවිත්
මළාක් මෙන් නින්දට වැටෙන්නෙ සතුටු වුණ දවසට.
විනෝද ගමනෙන් තෘප්තිමත් වුණ දවසට
අපිට නිදිමත නැහැ. බඩගිනි නැහැ.

සතුට අපේ වෙහෙසට හේතු වුණාට
තෘප්තිය විවේකයක්.

තෘප්තිය,
අපි තනි තනිව ස්පර්ශ කරන,
ඇතුළාන්තයෙන් විඳින හැඟීමක්.
කල්ලියක් විදියට රැස්වෙලා,
කල්ලියක් විදියට හැසිරෙමින්,
කල්ලියෙ අන්තර් සබඳතා නිසා විඳින
වෙහෙසකර හැඟීම සතුටක්.

මනි රත්නම්ගෙ 'බොම්බෙ' චිත්‍රපටියෙ
තේමා වාදනය අහද්දි අපි විඳින තෘප්තිය
'හම්මා හම්මා' ගීතය අහල ලබන සතුටට වඩා
බෙහෙවින් වෙනස්.

ලෙස්ටර්ගෙ 'නිධානය' බලද්දි විඳින තෘප්තිය
සෝමරත්නගෙ 'සිරි පැරකුම්' බලද්දි අපට දැනෙන
වර්ණවත් ආවේගශීලී සතුට නොවෙයි.

මාරක ලිඳ, කතුරු ඔන්චිල්ලා, අයිස්ක්‍රීම්,
සතුට අපි විඳින්නෙ සැණකෙළියක ස්වරූපයෙන්.
වැල්ලෙ ගෙයක් හදලා. වැලි සෙල්ලම් කරලා
හද ගැස්මේ රිද්මය සමග විඳින තෘප්තිය ආත්මිකයි.

පෙම්වතුන් විදියට සැරි සැරීමෙන්,
මධුසමයෙන් විඳින සතුට දවසින් දවස මෝරලා
දරු මල්ලන්, කුටුම්බ සංරක්ෂණයෙන් විඳින
තෘප්තියක් බවට කාලයත් සමග පත් නොවුණොත්
මොන වියදමක් කරමින් මොන දේ කළත් සතුටු වෙන්න
ඒ පවුලටම පුලුවන් වෙන්නෙ නෑ..

කාරුණික වෛද්‍ය සේවයක්, සාත්තු සේවයක් නිසා
රෝගියෙක් ලෙඩ ඇඳේ ලබන තෘප්තිය නැත්නම්
සුව වෙලා ගෙදර ගියත් පවතින සතුටක් නෑ.

කඩල ගොට්ටට අමතර ඇට ටිකක් දාලා
පාර අයිනෙ කඩල වෙළෙන්දෙක් ලබන
වර්තමාන, තත් කාල තෘප්තියට
ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙක්
වසර අවසානයේ බෝනස් ලබා දීම නිසා
නව වසරෙ ලාභය ගැන හිතා
අනාගත කාලයෙන් විඳින සතුට දෙවෙනියි.

සතුට මනමාලිගෙ මංගල ඇඳුම වගෙයි.
මධුසමය ඉවර වෙලා ඇවිත්
කලක් තිස්සේ ඇන්ද පුරුදු ගවුම ඇඳගෙන
කාමරෙන් එළියට එද්දි දැනෙන්නෙ තෘප්තියක්.

පොඩි කාලෙ පුංචි සෙල්ලම් කාර් එක තල්ලු කරගෙන
මුවෙන් නගන හඬ සමගින් සිතින් වින්ද
අදත් සිහිපත් කොට විඳිය හැකි තෘප්තිය
වැඩිහිටියෙක් විදියට පදවන වාහනයෙන් ලැබෙන
ඇති වෙන නැති වෙන සතුට නොවෙයි.

කඳු පෙලක් මැද්දේ වෙල් යායක, අබලන් පාරක,
මග නවතින, ඉදිරියට ඇදෙන රිද්මය සමග
සීටීබී බස් එකේ කවුලුවෙන් බලාගෙන විඳින තෘප්තිය
වායු සමීකරණය කළ සුඛෝපභෝගී බස් රියක
එකාකාරී අධිවේගී මාර්ගයක, වේගයෙන් ගොස්
අඩුකාලයකින් වැඩි දුරක් ගෙවා පැහැරගන්නා
හිංසාවෙන් මිදීමේ සතුට නොවෙයි.

සතුට කියමින් අපි විඳින හදන්නෙ
වැඩි මිලක් ගෙවා, නොයෙක් කැප කිරීම් කරමින්
ජීවිතයට බලපෑම් කරමින්, නුසුදුසු ලෙස වෙහෙසී
සිත මතුපිට වැරෙන් ආලේප කර ගන්නා වූ
සැබැවින්ම අපට උරුම නැති, ආගන්තුක සැපක්.

තෘප්තිය කියෙන්නෙ
නිවැරදි වෙලාවෙ, නිවැරදිව කළ දෙයක් නිසා,
අනිවාර්යයෙන් අපිට ලැබෙන ත්‍යාගයක්.
අපේ කල් පවතින වින්දනයෙ තියෙන්නෙ
ඒ සඳහා අපි කළ කී දේවල් නිසා නොවෙයි.
ඒ කළ කී දේ නිසා අප තුළ වූ වෙනසයි,
අපි ලද තෘප්තියයි.

අපි සතුට ලබන්නෙ වහල් සේවයකින්..
තෘප්තිය අපි ලබන නිදහසයි.


No comments:

Post a Comment