20170215

සයිටම්, උසාවි නියෝගය සහ රජයේ වෛද්‍ය අරගලය

මහින්ද ජනපති - මෛත්‍රී සෞඛ්‍ය ඇමති සහ
කාලෝ/නෙවිල් ප්‍රනාන්දු එක්ව දියත් කළ සයිටම් ඔරුව
උසාවි නියෝගය වෙරළට සේන්දු වන්නට
රජයේ වෛද්‍ය සංගම් සුළඟ නොවිණි නම්
කිසිදා නොහැකි වනු ඇති.

ජනතාවට හිමි රජයේ රෝහල්
සිය පෞද්ගලික බූදලයක් ලෙස සලකා
සයිටම් සිසුන්ට බාධා කිරීම් කළ
රජයේ වෛද්‍ය සංගම් පාර්ශවයේ විරෝධය
මේ උසාවි නියෝගය ලබා ගන්නට
නෙවිල් ප්‍රනාන්දුට අවකාශ සැලසිණ.
මහින්ද, මෛත්‍රී, කාලෝ, නෙවිල් යන
මේ සියලුම රජ ඉත්තෝ එක් පසකි.
දැන් රජයේ වෛද්‍ය සංගමයද
මහින්දලාට එක් වී ඇති හෙයින්
මහින්ද මගින් ඔවුන් නෙවිල් හා බැඳේ.

මේ නාට්‍ය කණ්ඩායම කුමක් හෝ
නාඩගමක් සඳහා සැරසෙන බව නම්
අපට සැක නැත.

"සයිටම් වෛද්‍යවරු ලියාපදිංචි කරන්නට නම්
මගේ මළකඳ උඩින් යායුතුයි"
කාලෝ වීරයාගේ වහසි බස් අපි ඇසුවෙමු.

සයිටම් ආයතනයට සායනික පුහුණුව සමග
පීඨාදිපතීන් රජයේ යෝජනා සැකසීමත්
සමහර පීඨාදිපතීන් එහි වගකීමෙන් මිදීමත්
එක් ජවනිකාවක රඟ දෙනු දුටුවෙමු.

උසාවි නියෝගය ඒ අයුරින්ම පිළිපදිමින්,
සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීම
නෙවිල් ප්‍රනාන්දුගේ ස්ථාවරය බව පැවසීම
ආසන්නම රසවත් ජවනිකාවයි..

"පුද්ගලික වෛද්‍ය විද්‍යාල අපට එපා"
රජයේ වෛද්‍ය සංගමයේ ස්ථාවරයයි.

මහින්ද සහ නෙවිල්ගේ දරුවාගේ ගැබ
කල් මෝරා දරුවන් බිහි වෙන්නට පෙර
අකල්හි මන්ද පෝෂිත දරුවන් ලැබෙන සේ
උසාවි ගොස් සිසේරියන් කරගන්නට වරම් ලැබුණේ
මහින්ද පාක්ෂික රජයේ වෛද්‍ය සංගමය
නිසි කල්හි ගැබට නිසි ප්‍රතිකාර කරමින්
අවශ්‍ය ලෙස තිඹිරිගෙය සැකසූ හෙයිනි.

නෙවිල් පුරසාරම් කියන අයුරින්
සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය දෙන්නට
ඔහු උසාවි නියෝගය අනුව ක්‍රියා කළ හොත්
ඔවුන් ලියාපදිංචි නොකරන්නෙමැයි
කාලෝ ෆොන්සේකාගේ ස්ථාවරයෙහි
ඔහු පිහිටා සිටියහොත් කුමකින් කුමක්වේද?

රජය, සයිටම් ආයතනය, රජයේ වෛද්‍යවරු
යන පාර්ශව තුන ක්‍රියා කරන ආකාරය තුල සහ
හැඟීම් ඇවිස්සෙන අයුරින් හැසිරීම තුළ
මෙහි පසුබිමේ වෛද්‍ය උපාධි දීම ඉක්මවා ගිය
කූට දේශපාලනික යාන්ත්‍රණයක් පවතින බව
විමසිල්ලෙන් සිටින්නාට පැහැදිලිය.

මේ කැරැල්ලට බර යාන්ත්‍රණයට
හැඟීමෙන් අතගහන යමෙක් වෙයි නම්
ඔහු අනිවා ඒ යාන්ත්‍රණයෙහි ඉත්තෙක් වීම
වැළැක්විය නොහැකි වනු ඇත.

රජය, සයිටම් ආයතනය, රජයේ වෛද්‍යවරු
යන පාර්ශව තුනටම ඔවුන්ගේ අවශ්‍යතා හැර
දෙපැත්තේම ඉගෙනගන්නා සිසුන් ගැන
හැඟීමක් ඇතැයි සිතිය නොහැකිය.

දැන් දෙපිරිසේම අනාගතය සුරක්ෂිතය.
රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ට නම් කවදත්
ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතය.
උගන්වන්නට මහාචාර්ය වරු හා
වෙනත් පහසුකම් කොතෙක් අඩුපාඩු තිබුණත්
ප්‍රමිතිය ප්‍රශ්න කරන්නට කෙනෙක් නැත.
මෙතෙක් සියලු ප්‍රශ්න තිබුණේ සයිටම් සිසුන්ටය.

නෙවිල්ගේ ස්ථාවරය අනුව
සයිටම් සිසුන්ගේ අනාගතයද
රජයේ වෛද්‍ය සිසුන්ගේ මෙන්ම
ප්‍රමිතිය ඇතුව හෝ නැතුව සුරක්ෂිත වන්නේ
උසාවි නියෝගය අනුව වෛද්‍ය උපාධිය දෙන්නට
නෙවිල් අධිෂ්ඨාන කරගෙන ඇති බැවිනි.

නෙවිල් පරාජය කරන්නට සටන මෙහෙයවන්නේ
කැරලි දෙකක් ඇතිකර සිසුන් දහස් ගණක් බිලි දී
ඉතිහාසයෙහි කුප්‍රසිද්ධියක් ඇති ජවිපෙ සමග
මහින්ද පිළ සහ රජයේ වෛද්‍ය සංගමයයි.

රජයේ වෛද්‍ය සිසුන්, සමග විශ්ව විද්‍යාල සිසුන්,
උසස්පෙළ සිසුන් ආදී මේ ගැටලුවට නෑ හිතවත්
සියලුම සිසුන් සමග සහය දෙන තරුණ පෙළට
මොනවා හෝ අතට දී මහමගට ගන්නට
උණුසුම් පසු බිමක් සකස් වී ඇත.

කාට හෝ අවශ්‍ය නම්, කාට හෝ වාසි නම්
මේ ආවේග ශීලී ඉත්තන් පිරිස එහා මෙහා කරමින්
තමන්ගේ කෙනෙකු රජ කරගෙන, අනවශ්‍ය ඉත්තන්
කැපෙන්නට ඉඩ හැර රජ ගේමක් දෙන්නට
තවත් ජවිපෙ කැරැල්ලක් වුව දියත් කරන්නට
දාම් පෙත හතර අත සූදානම්ය.

කැපුණොත් මිස රජවෙන්නට නොහැකි
මේ දාම් පෙතෙහි ඉත්තෙක් වෙනවාද
රසිකයෙකු නරඹන්නෙකු වෙනවාද යන්න
අපේ තීරණයකි.

No comments:

Post a Comment